dicethrowමෙවර ඇමරිකානු ජනාධිපතිවරණය ට පෙර දින, හිලරි ක්ලින්ටන් හට සහයෝගය දීම වෙනුවෙන් පැවැත්වූ මහජන එකතුවකදී අපූරු සිදු වීමක් දැක ගත හැකි විය. ක්ලින්ටන් ගේ සහය සඳහා එයට එකතු වී සිටි ජනප්‍රිය ගායිකා මැඩෝනා එහිදී ජෝන් ලෙනන් ගේ Imagine නම් වූ ගීතය (ලෙනන් ගායන කරන මුල් ගීතය සඳහා ලින්ක් එක) ගායනා කිරීමට පටන් ගත්තාය. ලෙනන් ගේ මෙම ගීතය දශක ගණනාවක විවිධ විකල්ප සමාජ අවකාශ වෙනුවෙන් නිම වූ වේදිකාවන් වල නිතර අසන්නට ලැබුණු ගීතයක් බව අපි දනිමු.

මැඩෝනා උත්සාහ කළේද…

(අපේ සටහනේ ගලායාම මොහොතකට නවතා,මෙතැනදී, අමතර කාරණයක් එකතු කිරීම සඳහා වරහනක් විවෘත කළ යුතුය. මේ සටහන මගින් පෙන්වීමට උත්සාහ කරනා දෙය වටහා ගැනීම සඳහා Imagine ගීතයේඅර්ථය වටහා ගැනීම අනිවාර්ය වේ. එනිසා අපි එහිවචන ටික, ඉකමනින්, සිංහලට නගමු.Imagine යන්නෙහි අර්ථය වන්නේ ‘සිතන්න’, එහෙමත් නැතිනම් ‘පරිකල්පනය කරන්න’ යන්න බවයි.

“සිතන්න…

ස්වර්ගයක් නොමැති බව

උත්සාහ කළහොත් අපහසු නොවේ එය ඔබට

අපට පහලින් වූ නිරයක් නොමැත

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි

සිතන්න, සියලු මිනිසුන්

අදදවසවෙනුවෙන් ජීවත් වෙන හැටි…

සිතන්න…

රටවල් නොපවතින බව

අපහසු දෙයක් නොවේ එය සිතීම

ජීවිතය පූජාකිරීමට මෙන්ම ජීවිත නැති කිරීමටද

හේතුවක් නොමැති වනු ඇත.

ආගමක් නොමැති බවද සිතන්න

සියලු මිනිසුන් ජීවිතය

සාමයෙන් ගත කරන බව සිතන්න

මා සිහින දකින්නෙකු ලෙස

චෝදනා කරනු ඇත ඔබ

නමුත්මෙලෙසසිතන්නේ මා පමණක් නොවේ

යම්දිනකදී

ඔබ අපට එකතු වන්නේයැයි පතමි

එවිට ලෝකය තනි යායක් වනු ඇත

සිතන්න…

දේපළනොපවතින බව

ඔබට හැකිදැයි කියා කල්පනා කරමි

තණ්හාව මෙන්ම කුසගින්න ද අවැසි නොවනු ඇත

මිනිසාගේ සහෝදරත්වය පමණක්

ඉතිරි වනු ඇත

ලෝකයේ සියලු මිනිසුන්

මුළු ලෝකයම බෙදා ගන්නා බව සිතන්න”)

…සාමූහික අරමුණු වෙනුවෙන් එකතු වෙන මිනිසුන් අතර නිතර ඇසෙන ගීතයක් වන ලෙනන් ගේ මෙම හැඟුම්බර ගීතය ගායනා කිරීමටයි. බැලූ බැල්මට ඇය සිටියේ ඉතාම සාධාරණ අරමුණක් වෙනුවනි.

මෙයින් අදහස් කරන්නේ හිලරි ක්ලින්ටන් ඉතාම පරමාදර්ශී දේශපාලන නායකත්වයක් වූ බව නොවේ. ඇය පසුගිය දශකය තුළ මැද පෙරදිග ක්‍රියාත්මක වූ ලේ වැකි විදේශ ප්‍රතිපත්තියේ නියමුවරියක් විය. සුප්‍රකට වෝල් වීදියේ වෙළඳපොල පාලනය කරන්නන් ගේ කැමැත්ත දිනූ අපේක්ෂිකාව විය.සියලුම අර්ථ වලින් ඇය පවත්නා ක්‍රමයේ විශ්වසනීය නියෝජිතවරිය විය.

නමුත් ගැටලුව තිබුනේ ඇයට ප්‍රතිපක්ෂ ලෙස සිටි අපේක්ෂකයා යනු විවෘතවම ජාතිවාදී,පුරුෂමූලිකවාදී, සමලිංගික විරෝධී මිනිසෙකු වීමත් ඔහුට සහය දීම සඳහා කු ක්ලුක්ස් ක්ලෑන්(Ku Klux Klan) වැනි බිහිසුණු මූලධර්මවාදී සංවිධාන පෙනී සිටීමත්ය.මෙවැනි තත්වයක් යටතේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය කුමන වන්දියක් ගෙවා හෝ වැලැක්වීමට මහන්සි වනවා හැර කළ හැකි වෙනත් දෙයක් යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් හට නොවීය.

මැඩෝනා මේ ගීතය ගායනා කළ සන්දර්භය මෙයයි.

ගීතය ආරම්භ වී එහි දෙවැනි කොටස ආරම්භ කරනවාත් සමගම මැඩෝනා සුළු මොහොතක අවිනිශ්චිතතාවයකට මුහුණ දුන්නාය. ලෙනන් ගේ වචන ඉතාම පැහැදිළි වේ: ‘රටවල් නොපවතින බව සිතන්න’. එවිට ඔබට ‘දිවි පිදීමට’ මෙන්ම‘දිවි විනාශ කිරීමටද’ හේතුවක් නොතිබෙනු ඇත. නමුත් ගැටලුව වන්නේ හිලරි ක්ලින්ටන් ගේ මැතිවරණ ව්‍යාපාරය සමග මෙය ගැලපීමේ නොහැකියාවයි. ඇය ඍජුවම පෙනී සිටියේ ඇමරිකානු ජාතිය වෙනුවෙනි. ජාතික-රාජ්‍ය වෙනුවෙනි. රට වෙනුවෙනි. හිලරි ක්ලින්ටන් ඇයගේ බොහෝ මහජන කතා අවසන් කරන්නේ ‘ඇමරිකා එක්සත් ජනපදයට දෙවියන් ගේ පිහිට ලැබේවා’ කියාය.

මොහොතක් කල්පනා කිරීමට නතර වන මැඩෝනා සිනහ වී මෙසේ කියයි : ‘මං හිතන්නේ මං මේක දැන් නවත්තන්න ඕන!’.

රට, ජාතිය, ආගම වෙනුවෙන් මරා ගන්නා මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් රටවල්, දේපල, ආගම් නොමැති ලෝකයක් වෙනුවෙන් ලියවුනු ගීතයක් ගැයීමේ උත්ප්‍රාසය මග හැරිය නොහැකි විය. නමුත් ගැටලුව වන්නේ මේ මොහොතේ මේ ගීතය මගින් නියෝජනය කළ මිනිසුන්, මේ ගීතය මගින් ආමන්ත්‍රණය කළ මිනිසුන්, මේ ගීතය මගින් ආවේදනයට ලක් වූ මිනිසුන් සිටිය යුතු තැන එතැන මිස වෙන තැනක් නොවීමයි. එසේ නොමැති වනවා යනු බිහිසිණු ස්වෝත්තමවාදියෙක් හට ලොව බලවත්ම දේශපාලන අසුන හිමි වීමේ සැබෑ අනතුර පමණි.

දැන් ජනාධිපතිවරණය අවසන් ව තිබේ. එම ස්වෝත්තමවාදියා, සියලු දෙනා පුදුමයට පත් කරමින්, එම අසුනට පත්ව තිබේ. එය වැලැක්වීම සඳහා පවතින ක්‍රමය වෙනුවෙන් -වෙන කරන්නට දෙයක් නොමැති වීම නිසා -පෙනී සිටීමෙන් පමණක් නැවත්වීමට නොහැකි විය. ජාතිය, ආගම සහ දේපළ වලට එරෙහි මිනිසුන් එම දේවල් වලම වැඩිදුර වර්ධනය වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් සමග එකතු වීමෙන් කළ හැකි දෙයක් නොවීය.

ජෝන් ලෙනන් ප්‍රාර්ථනා කළ ලෝකය වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් හට, තාවකාලික සන්ධාන ගැසීමෙන් වන ප්‍රයෝජනයක් නොමැති බව මෙම මැතිවරණයෙන් ඉතාම හොඳින් පැහැදිළි විය.‘ඔවුන්ගේ’ වේදිකාව මත නැග ලෙනන් ගේImagine ගායන කිරීමේ පරස්පරය අමතක කර දැමීම තවදුරටත් කළ හැකි දෙයක් නොවේ. අප සත්‍යයට මුහුණ දිය යුතුය.

අප ජීවත් වන්නේ තවදුරටත් ලෙනන් ගේ Imagine ගායනා කිරීමට තැනක් නැති ලෝකයකයි.

‘බව’ වෙන් වන්නේ මෙවැනි ආකාරයට අපගේලෝකයේ තැනක් නැති දේවල් කතා කිරීමටයි.මෙහිදී‘ලෝකය’ යන්නෙන් ගෝලීය ලෙස සංවිධානය වූ වෙළඳපොලේ ලෝකය මෙන්ම සිංහල කතා කරන මිනිසුන්ගේ ලෝකයත් එක ලෙස අදහස් කෙරේ. අප උත්සාහ කරන්නේ මෙම තැනක්-නැති-බව සඟවා අමතක කර ‘සින්දුවදිගටම ගායනා කිරීමට’ නොව එය සියලු දෙනාට දැක ගත හැකි ලෙස උලුප්පා දැක්වීමටයි. අපගේ බැරිබව වසා ගැනීම වෙනුවට එය හැකිතාක් විධිමත්ව සංවිධානය කිරීම මේ යුගයේ ඉතා වැදගත් කර්තව්‍යයකි. එවිට අපගේ නොහැකියාවන් ලෙස පෙනෙන දේ උත්පාද වී ඇත්තේ කෙසේද, ඒවා මෙලෙස පැවතීම සඳහා බලපාන හේතු සාධක කවරේද කියා වටහා ගැනීම වඩාත් පහසු වනු ඇත.මෙම ‘බැරි-බව’ කෙදිනක හෝ ‘පුළුවන්-බවක්’ ලෙස වෙනස් වනු ඇත්තේ මෙම වටහා ගැනීමක් සමගය.

අපට‘බව-තරණය’ කළ හැක්කේ එවැනි අනාගතයකදී පමණි.

***

https://www.youtube.com/watch?v=3wsYM1GgQLU

මැඩෝනා ගේ එම ඉදිරිපත් කිරීමට අදාළ ලින්ක් එක මේ. ඇයගේ ඉහත ප්‍රකාශය අසන්නට 50 වන තත්පරයේ සිට අහන්න.

Advertisements