මේ ලියවිල්ල අහම්බයකි, නමුත් අනිවාර්යයෙන් ම ලිවිය යුත්තක් කියා මා සිතූ සේ ම, ඔබ ද මෙය අනිවාර්යයෙන් ම කියවන්න. (එසේ කරන්නේ යයි සිතමි)

මෙම ලියමනට පාදක වන්නේ මෙම මස (නොවැම්බර්) දෙවන බ්‍රහස්පතින්දා (10 වන දා) උදෑසන පදනම් ආයතනයේ පැවැත්වෙන අපගේ ‘දර්ශනය කියවන කණ්ඩායමේ’ හමුව අතරවාරයේ දී වංගීස සුමනසේකර විසින් කරන ලද ප්‍රකාශයකි. එනම්, මා උද්ධෘත කරගන්නා වචන ලිඛිත මුලාශ්‍රගත වූවක් නො ව, ශබ්ද සටහනකි (හඬ උපුටනයකි [Recording] ).

මම දැන් ඔහුගේ එම ප්‍රකාශය වෙත එලඹෙමි :

0906-heidegger_bk-jpg222“ හෛඩගර්ගේ ව්‍යාපෘතිය වුණේ, බුදුන්,ජේසුන්, එහෙමත් නැත්තම්,බයිබලයේ ලේඛකයන් හරි උතසාහ කරපු විදියේ වැඩක් කරන්න. හැබැයි එක ම දේ, මේක සඳහා එයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ භක්තිය. එයා බලාපොරොත්තු වෙන්නේ එයාගේ පැහැදිලි කිරීමේ ශක්තිය මත මෙය භාරගැනීමයි.”

(මාහට අවශ්‍ය) උපුටනය අවසන් ය.

මෙම ප්‍රකාශය කළ වංගීස දන්නා පරිදි, මා ද මේ වන විට හොඳින් ම වටහාගෙන ඇති පරිදි, මෙම වචනවලින් අදහස් වන්නේ බුදුන්ගේ හෝ අන් ආගමික නායකයෙකුගේ සමස්ත කෘත්‍යය හා මාර්ටින් හෛඩගර්ගේ (1889-1976) ව්‍යාපෘතිය සම තැන්හි සැලකීමක් නො වේ. එය සංසන්දනය කිරීමක් ද නොවේ. එම ප්‍රකාශය පිළිබඳ හුදු ප්‍රකාශමානීය තැනකින් නො ව ඒ පිළිබඳ ව ඉනොබ්බට කරනා දීර්ඝ සිතාබැලීමක දී එළිපෙහෙළි වන අදහස වන්නේ; ශාස්තෘවරයෙකු හෝ වෙනයම් ආගමික නිකායක නියෝජිතයෙකු නො වුව ද, හෛඩගර් නමැති මෙම ලෝකය තුළ පුහුදුන් ලෙස කල් ගෙවූ ජර්මානු ගැමි වටාපිටාවක විසූ මෙම සාමාන්‍ය මිනිසාහට, පහසුවෙන් බොහෝ සිත්වල පිළිසිඳ නො ගන්නා බුද්ධියේ ආශාවක් වූ බවයි.

තම Being and Event” කෘතිය ආරම්භයේ හැඳින්වීමේ දී එහි කතුවර ප්‍රංශ ජාතික (විශ්වීය) චින්තකයෙකු වන අලේන් බදියු, අද්‍යතන ලෝකයේ දර්ශනවාදවල තත්වය හමුවේ ඉදිරිපත් කරන පළමුවන උපකල්පනය නම්; හෛඩගර් යනු පිළිගත් අවසන් විශ්වීය දාර්ශනිකයා වන්නේ ය යන්නයි. අප එම ප්‍රකාශය ද සිත්හි තබාගනිමින් හෛඩගර් ඉදිරිපත් කළ දාර්ශනික පද්ධතිය අවදියෙන් අපගේ දැනුමට කාවද්දාගත යුතු ය.

සැබෑ ලෙස ම,“පැවැත්ම” (පවතිනවා/ තිබෙනවා/ ඉන්නවා …) යනු කුමක් ද? යන්න ප්‍රධානතම ගැටලුව වුණු පැවැත්මේ පැවැත්ම ( හෙවත් [Dasein] “ඩාසයින්” පෘථුලාර්ථයෙන් ගන්නේ නම්, මනුෂ්‍ය පැවැත්මේ අතිමූලික වූ ස්වභාවය) සහ එහි ව්‍යුහාත්මක සමස්තයත් විශ්ලේෂණය කිරීම හෛඩගර්ගේ මුල්කාලීන දාර්ශනික ව්‍යාපෘතියයි. පසු කලෙක එකී ව්‍යාපෘතියෙන් නිපන් අගනා ද්විතීයික සාහිත්‍යයක් ද අපට දැකගත් හැකි ය.

පවතිනවා යනු කුමක්දැයි සොයාගන්නට හෙතෙම දැරූ දාර්ශනික ප්‍රයත්නයට සාක්ෂි දරන පොහොසත් සාහිත්‍යයක් ඔහු සතුව ද පවතී. ඔහු උපන් රට පමණක් නො ව එය ඉක්මවා ද ඔහු තම නැවුම් දාර්ශනික පද්ධතිය (මුලධාර්මික සද්භාවවේදය [මෙය තවත් ඒක සද්භාවවේදයක් නො වේ! ] සමාජගත කර ඇත.  එයින් ආලෝකය ලද චින්තකයන් රාශියක් (ඔහුගේ අදහස්වලට පක්‍ෂ ව හා විපක්‍ෂ ව) කරලියට පැමිණ ඇත, නම් දරා ඇත, සිය දේශයන්වල අධ්‍යයන සම්ප්‍රදායන්වල මුල් අද්දවූ වියත් විශාරදයින් බවට පත් ව ඇත.

හෛඩගර්ගේ දාර්ශනික ව්‍යාපෘතිය කුමක් ද යන්න වටහා ගැනීමට යම් අතුරු කලාපයක් ලියමන තුළින් ම විවර කර දීමට මම මෙසේ එකතුවක්  කරමි :

‘පවතිනවා’ කියන විට අදහස් වන්නේ කුමක් දැයි මා ඔබගෙන් අසා සිටියහොත් එයට ඔබ දෙන පිළිතුර වන්නේ කුමක් ද?

බොහෝවිට ඔබ දෙන පිළිතුර වන්නේ ඔබගේ දෑස්මානයේ දේවල් තිබීමයි, දර්ශනය වීමයි. එයින් අපට වැදගත්කමින් වැඩි ම පිළිතුර වන්නේ “පවතිනවා යනු ජීවත් වීම” යන්නයි. විකසිත ව ඇති මලක් දකිමින් ඔබ එය (මලක් ලෙස) පවතින බවත්, එය ම පර වී කැඩී බිඳී ගිය කල එය තවදුරටත් මලක් ලෙස නො පවතින බව ද ඔබ පවසනු ඇත. තව ද ඔබගේ ඥාතියකු මියගිය කලක ඔබ හඬාවැටෙන්නේ හෝ ශෝකය ප්‍රකාශ කරන්නේ එම ඥාතියා තවදුරටත් ඔබ සමග නො පවතින බැවිණි.

නමුත් අප තරමක් විමසිල්ලෙන් නැවත ඒ පිළිබඳ ව සිතීමේ දී වැටහී යන කරුණ නම් ඔබගේ මියගිය ඥාතියා නො පවතින්නේ ඒ වනවිටත් ජීවත් වන ඔබලා අතර පමණක් බවත්, එහෙත් ඔබගේ ද සෙසු ඥාතීන්ගේ ද මතකයේ තවමත් පවතින බවත් ය. එනම්, මෙම මියගිය තැනැත්තා ජීවතුන් අතර සිටි කල ද පැවතුණි, මරණින් පසු ව ද අපගේ මතකයේ වුව ද යම් ආකාරයක පැවැත්මක් අත්කරගෙන ඇති බවයි.

ඉහත අවස්ථා දෙකෙහි දී ම පවතින මෙම ‘පැවත්මවල්වලට’ පොදු වූ ගුණාංග කවරේ ද? එම පොදු වූ පැවැත්ම සැබවින් ම කුමක් ද ?

මෙම උපහැරණ සහ ඉන් ඉස්මතු වන ගැටලු, අපට හෛඩගර් විධිමත් ලෙස විදාරණය කර දෙන දාර්ශනික පද්ධතිය හඳුනාගැනීමට වැදගත් එළඹුමක් කොට සළකමි. බොහෝ විට මෙසේ “පැවැත්ම” පිළිබඳ ව සිතීම ඔබට මට බෙහෙවින් ම නුහුරු වියුක්ත ක්‍රියාකාරකමක් ලෙස හැඟී යා හැකි ය. එහෙත් එදිනෙදා ජීවිතය තුළ මෙසේ විවිධ භාවාත්මක ප්‍රකාශ සිදුකරන්නේ (ඇතැම්විට තමතමන්ට ම මුමුණාගන්නේ) අප ම නො වේ ද?

“මේ මොන කරුමයක් ද ?”

“ මට දැන් ඉඳල වැඩක් නෑ …”

“අනාගතේ ගැන හිතද්දී නම් දැන් මට බයත් හිතෙනවා….”

“දැන් ඉතින් යන තැනකට දෙයක් කරගන්න ඕනේ..”

මෙවැනි ප්‍රකාශවල ඇති මෙසේ සුලබ ව භාවිත වන; කර්මය, අනාගතය, බිය (හා එහි සීමාවන්) හා ‘යන තැන’ (මරණින් මතු ) වැනි දේ පිළිබඳ ව ඇතැම්විට අපට හුදු අනුමාන ඥයානයක්වත් නො මැත. එනමුත් කිසිවෙකුගේ බලපෑමකින්, අනුදනුමකින් තොර ව වුව අපි මෙවැනි ප්‍රකාශ බෙහෙවින් ම සිදුකරන්නෙමු.

පෙර කී සේ ම, මෙසේ “පැවැත්ම” ගැන සිතීම අපගේ එදිනෙදා දිවිපෙවෙතට බොහෝ ආගන්තුක ක්‍රියාවක්  ලෙස පෙනී ගිය ද, සැබවින් ම එවන් ප්‍රකාශ කිරීමෙන් අප ලොවට සංඥයා කර සිටින්නේ ඒ වනවිටත් “පැවැත්ම” පිළිබඳ ව අප යම් අදහසක ගැලී සිටිනා බව නො වේ ද?

තත්වය එසේ තිබිය දී අප සියල්ලෝ ම මෙම දාර්ශනික ලොව තුළ චින්තකයන් නො වී, ඇතැමෙකු පමණක් (හෛඩගර් වැනි) සුවිශේෂී චින්තකයන් වන්නේ මන්දැයි ඔබට සිතෙනු ඇත. හෛඩගර්ට මෙන් ම අපට ද මෙම ”පැවැත්ම” ගැන ගැටලුව පැවතුණ ද නිශ්චිත ව ම එවන් චින්තකයෙකුගෙන් අප වෙනස් වන්නේ : එකී දාර්ශනික ගැටලුව අභිමුව එම පුද්ගලයාගේ ක්‍රියාත්මක වීම, එයට පිළිතුරු සෙවීම හෙවත් එයට දක්වන සවිචාරාත්මක එළඹුම කරණකොට ගෙන ය. අන් ලෙසකින් කියන්නේ නම්, “පැවැත්ම” පිළිබඳ ව ගැටලුව ඇති වීම තමන්ගේ පැවැත්මේ ම වැදගත් ම ලක්ෂණය බව (එනම් ගැටලුව පිළිබඳ ඇති සිහිනුවණ) අයෙක් විධිමත් ව සිතන්නේ නම්, එවන් මිනිසෙකුට මෙම දාර්ශනික ඉසව්වට ඇතුල් විය හැකි වේ.

heidegger-2-jpg333

ඒක කලෙක රාජකීය පෙළපතකට දාව උපන් කුමරෙක් වූ සිදුහත්, තම ගෘහස්ථ දිවියෙහි වූ සියලු යස ඉසුරු හැර දමා අනගාරික තත්වයට පත්වීම ද (මෙය කිසි ලෙසකින්වත් භක්තිය මත පදනම් ව ගත් තීරණයක් නො වේ) තවත් කලෙක මාර්ටින් හෛඩගර් නමැති ජර්මානු තරුණයා “පැවැත්ම” පිළිබඳ තම විධිමත් දාර්ශනික අදහස් තර්කානුසාරී ලෙස න්‍යායානුගත ව, “Being and Time” (පැවැත්ම හා කාලය) නමින් කෘතියක් ලෙස ලියා පළකිරීම ද යන සිද්ධි දෙක ආගමික අරුතින් නො ව අප මෙම ලිපියේ සාකච්ඡාවට බඳුන් කරන කරුණු මත පිහිටා අරුත් ගන්වන්නේ නම් : පැවැත්ම පිළිබඳ මෙම අතිමූලික ගැටලුව ඉදිරියේ එයට අවධානය යොමු කළ පරිනත මිනුසුන් දෙදෙනෙකුගේ එළඹුම් දෙකක් බව කිව යුතු ය. ඇරඹුමේ දී උපුටාගත් වංගීසගේ ප්‍රකාශය යම් ආගමික කරුණක් ඉඟි නො කරන බව මා සටහන් කර සිටියේ මෙම සුවිශේෂී කරුණ නිසාවෙනි.

මෙවන් කලෙක, අපට ( බහුතරයක් බොදුනුවන් වූ රටක) කළ යුත්ත, අවබෝධ කරගත යුත්ත, සහ ඉනොබ්බට එකී දෑ සිදු නොවූ කලෙක, ‘බටහිර’ යයි (අප ම) කියාගන්නා (බොහෝ විට නො දුටු, දූරස්ථ) පෙදෙසක ඇතැම් කලෙක ප්‍රසිද්ධියට පත් ව සැලකිය යුතු ප්‍රජාවකට බුද්ධිමය බලපෑමක් කර සිටින, ඇතැම් කලෙක ආන්දෝලනාත්මක ලෙස පවතින සමාජයීය හා ඥානමූලික සම්පදායයන් අප පෙර නොදුටු නොසිතු පරිදි ගැඹුරු ලෙස අගය කරනා ද, එසේ ම සුනිසි ලෙස විවේචනය කරනා බුද්ධිජීවීන් සිටි බව සහ, අදටත් සිටින බවට අප තුළ යම් හෝ සාධාරණ විනිශ්චයක් හා දැක්මක් පැවතිය යුතු යයි, මම යෝජනා කරමි.

මෙමගින් මා අදහස් කරන්නේ, අපරට තුළ ආගම් හා ඇදහිලි අනිසි ලෙස විවේචක දෘෂ්ටියට යටත් කරගැන්මට මෙකී උගතුන්ගේ (දාර්ශනිකයන්; අන් අයුරින් කියන්නේ නම්, පූර්ණකාලීන සිතන්නන් , චින්තනයෙන් තම ශ්‍රමය සම්ප්‍රදානය කළවුන් ) අදහස් භාවිත කොට ගත යුතුය යන්න නො වේ.

මාගේ අරමුණ, මෙම ලිපියේ අන්තර්ගතයට ආධුනික වුවෙකු ද උදහසට ලක් කරමින්   ඉවක්බවක් නො මැති ව එකී චින්තකයන්ගේ නම්ගොත් වහරමින් හැකි සියල්ල උපහාසයට ලක් කිරීමක් කිරීම නො වන බව ද, මෙය කියවන ඔබට පැහැදිලි විය යුතු ය.

ලිපිය මගින් අවධානයට පාත්‍ර වන ජර්මානු පඬිවරයකු මෙන් ම ඔහු නියෝජනය කළ කාල වකවානුවේ දර්ශන සම්ප්‍රදාය තුළ උසස් චින්තකයෙකු වූ මාර්ටින් හෛඩගර් ද එවැනි ම (අපට බටහිර වුණු ) ලෝකයක් තුළ පැවති එක් ප්‍රධාන වූත් වැදගත් වූත් පැවැත්මකි.

එවන් බැරෑරුම් ලෙස චින්තනයෙහි ව්‍යාපෘත වූවෝ බහුශ්‍රැතයෝ ය ,බෙහෙවින් කියවා ඇත, ලියා පළ කර ඇත.

එහෙත් අප (බොහොමයක් දෙනා) මේ කිසිවකට සංවේදී නැත.

දර්ශන සම්ප්‍රදායයේ වර්තාගත ඇරඹුමේ පටන් වැඩිමනක් චින්තකයන් අතින් ගිලිහුණු “පැවැත්ම පිළිබඳ ගැටලුව” නැවතත් සාංදෘෂ්ටිකත්වයට පත්කිරීමට හෛඩගර් දක්වන උනන්දුවේ දී, ඔහු විසින් ස්වකීය වටාපිටාව සහ අපගේ සාමාන්‍ය-දෛනික -දිවිපෙවෙත වෙතට දක්වන තියුණු අවධානය තරම් ව්‍යක්ත වූත් විස්තරාත්මක වූත්, හෙළිදරව්වක් මීට පෙර දර්ශනයේ ඉතිහාසයෙන් අපට හමු නො වේ. එබැවින් අපට හෛඩගර් මගහැර යා නො හැකි ය.

බදියුගේ උක්ත ප්‍රකාශයට මේ මොහොතේ ඉඩ ඇති පරිදි මාහට ඉදිරිපත් කළ හැකි අටුවාව එයයි.

ලියමන අවසන් කිරීමට මත්තෙන් තවත් ඒක වැදගත් කරුණක් සටහන් කරමි. උපුටාගත් වංගීසගේ ප්‍රකාශයට පහසුවෙන් මුසු කළ හැකි අනගි වදන් පෙළක් මා දැන් උපුටාගන්නේ ඛලීල් ජිබ්රාන් රචනා කළ The Prophet” කාව්‍යයෙනි :

“ දෙවියෝ බුද්ධිය තුළ විවේක සුවයෙන් වැඩ හිඳිති”.

(God rests in reason)

වරංග ද සිල්වා.

Advertisements