kandinsky_wassily_3

අප ජීවත් වන යුගය, ෆෙඞ්රික් ජෙම්සන්ට අනුව ධනවාදයේ තෙවන කාර්තුව එහි පළමු හා දෙවන කාර්තුවලට වඩා වෙනස් ආකාරයකින් ප‍්‍රතීයමාන වීමකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් අප ජීවත් වන යුගයේ වෙළද පල අපූර්වත්වයෙන් පෙනී සිටින යුගයකි. එහි ආරම්භය ඇමරිකාවේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පය ඔස්සේ වර්ධනය වූ බව පශ්චාත් නූතනවාදී විචාරකයින්ගේ අදහසයි. හෙගල් වරක් ප‍්‍රකාශ කළේ එම යුගයේ සියලූ කලාවන්ගේ පිලිබිඹුව එම යුගයේ ගොඩනැගිලි නිර්මාණ හරහා දිස්වෙන බවයි. අද දවසේ වෙළදපල කටයුතු සඳහා අපේක්ෂා කරන සංස්කෘතික සම්මිශ‍්‍රණය, විවිධත්වය, අනේකමිතිය අනන්‍යතාවක් නොමැති ගුණය වැනි කාරණා සියලූ කෙෂ්ත‍්‍රයක් ආක‍්‍රමණය කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ අනුව මෙරට තවමත් ළදරු අවස්ථාවේ පවතින ධනවාදයේ මෙම අලූත් පෙනී සිටීම කොයිබටද ?

එක් සුවිශේෂී ප‍්‍රවේශයක් ලෙස සය පෙති මල චිත‍්‍රපටියෙන් ආමන්ත‍්‍රණය කරන ප‍්‍රස්තුතය මෙම ධනවාදයේ නව පෙනී සිටීමේ අතුරු ප්‍රතිපලයක් සේ ගත හැකිය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එය ධනවාදයේ ප‍්‍රගතිශීලිභාවය ඉස්මතු කරන්නකි. සය පෙති මල සම ලිංගික හා ලිංගික සමයන් වෙනස් වන්නන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නක් යැයි කීම සර්ව සාධාරණ නොවේ. වඩා උද්වේගකර ලෙස කියන්නේ නම් අද දවසේ වෙළද පල අවශ්‍යතාවයට අදාල සමාජය සූදානම් කිරීමට එමගින් සිදු වේ යන්න වඩා නිවැරදිය. නමුත් එහි ඇති ප‍්‍රගතිශීලී ගුණය වන්නේ මානව නිදහස උත්කර්ෂයට නැංවීමයි.

බහු ජාතික ධනවාදයේ පැවැත්ම උදෙසා තව දුරටත් ගතානුගතික සංස්කෘතික හැසිරීම් දැඩි බාධාවක් එල්ල කරන බව නව ලිබරල්වාදයට වැටහෙමින් පවතියි. බහු ජාතික ධනවාදයේ ප‍්‍රවර්ධනය උදෙසා එම බැමි ලිහිල් කිරීම අද වන විට ධනේෂ්වර සමාජයට අත්‍යවශ්‍ය වී ඇත. මිනිසාගේ පරම නිදහස අපේක්ෂා කරන ධනවාදී සමාජය තුල මෙම සය පෙති මලෙහි මූලික කාරණයට ද නිදහස ලැබිය යුතුව ඇත. මේ අරගලය සඳහා ඔවුන් ආගම හා රාජ්‍ය තුලින් ලබා ගන්නා උපකාර නැවත බහුජාතික ධනවාදය උදෙසා සංස්කරණය කොට ගනියි. උසස් ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යවල අද වන විට මෙම සම රිසි අයිතීන් වෙනුවෙන් ඇති නීතිමය ඉඩ ඉතාම යහපත්ය. මන්ද සමරිසි අයිතීන් ලබා දීමට ධනවාදයේ කිසිදු අමනාපයක් නැත. ශ‍්‍රී ලංකාවට මෙම තත්වය පත් වීමට අවශ්‍ය සාධක නිර්මාණය කර ගැනීමට මෙහි ක‍්‍රියාධරයන් විසින් සිදු කළ යුත්තේ කුමක්ද යන්න ඔවුන් වටහා ගත යුතුව ඇත. වෙනත් ආකාරයකට කියන්නේ නම් ක‍්‍රියාධරයන් විසින් ඉටු කළ යුත්තේ ඔවුන්ගේ කෙෂ්ත‍්‍රයෙ අයිතිය වෙනුවෙන් පමණක් පෙනී සිටීම නොව ඒ සඳහා පුළුල් අර්ථයෙන් සමාජය සූදානම් කිරීමයි. නමුත් එම සංස්කෘතික අරගලය වෙනුවෙන් බුද්ධිමය ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය. නැතිනම් සිදු වන්නේ මෙම අයිතීන් හොර රහසේ ධනේෂ්වර පංතිය පමණක් බුක්ති විදීමයි. මෙමගින් කියවෙන්නේ ධනවාදයට අවශ්‍ය සමාජය සූදානම් කිරීමට නොව, ධනවාදයේ විවිධ පෙනී සිටීම් හරහා අපට ලබා ගත යුතු නිදහස් අයිතීන් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමයි. උසස් ප‍්‍රජාතන්ත‍්‍රික සමාජයක් හෝ සමාජවාදී රාජ්‍යයේ කලල අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට විශාල බුද්ධිමය මැදිහත්මක් අත්‍යවශ්‍යය. එම නිසා එම බුද්ධිමය ව්‍යාපර සංවර්ධනය කිරීමට අද දවසේ අපේ සමාජයට දේශපාලනික ප‍්‍රබුද්ධත්වයට පත් වීමට ඇති එක් ප්‍රධාන මාර්ගයක් වේ. අප දේශපාලනිකව, සාමාජිකව හා අධ්‍යාපනිකව හා මානව නිදහස තුල ඉතා පහත් තත්වයක පසුවන්නේ මෙම අවම බුද්ධිමය ධාරිතාව හේතුවෙනි.

ඉතාම වැදගත් නිදර්ශනයක් ඇසුරින් මෙය කියන්නේනම්, දකුණේ මිනිසුන් කවරදාකවත් උතුරේ අයිතීන් වෙනුවෙන් බහුතර කැමැත්තක් පල නොකරන බව අද දවසේ සමාජ සවිඤ්ඤාණිකත්වයක් ඇති අයෙකුට ඉතා පහසුවෙන් පුරෝකතනය කළ හැකිය. නමුත් අවම වශයෙන් ධනවාදී රාජ්‍ය තුල තීරණ ගන්නා පාර්ශවය එවන් ආස්ථානයකට තල්ලූ කිරීමට විශාල බුද්ධිමය මැදිහත් වීමක් අවශ්‍යය. මානව හිමිකම් හා සංහිඳියා ක‍්‍රියාධරයින් විසින් නිරාවරණය කර ගත යුත්තේ ඒ සඳහා අවශ්‍ය නව දැනුම් ප‍්‍රවේශයන් වේ. ඒ සඳහා ඔවුනට වඩා පහසුවක් වීමට බහුජාතික ධනවාදයේ නව ප‍්‍රතිපත්ති පෙල ගැසී සිටින බව අමතක නොකළ යුතුය.

තවත් ප‍්‍රවේශයක් ලෙස පරිසරය සුරකීම යනු අද දවසේ ධනවාදී ව්‍යාපාරයේ සුචරිත අදහසකි. ඔවුන් ඒ සඳහා බොහෝ කැප කිරීම් සහ නව තාක්ෂණික දැනුම් ප‍්‍රවේශයන් අත්හදා බලමින් සිටියි. අප මෙරට පරිසර අර්බුධය සලකා බැලූ විට විල්පත්තු අභය භූමියේ අර්බුධය, අලි මිනිස් ගැටුම් මූලික වශයෙන් ගැටෙමින් පවතින්නේ මිනිස් මූලික අවශ්‍යතා මතයි. එම නිසා පරිසරවේදීන් මේ සඳහා පෙල ගැසිය යුත්තේ පුළුල් දේශපාලන හා දාර්ශනික මැදිහත්මක් සහිත නව දැනුමකිණි.

අද දවසේ ඉහත මතු කළ වාර්ගික ගැටුම්, සමරිසි අයිතීන් වැනි කාරණා සම්න්ධයෙන් බොහෝ විට මෙරට ධනේෂ්වර පංතියට කිසිදු ආකාරයක බලපෑමක් සිදු වී නැත. ඔවුන්ගේ පංතියේ විවාහ ගිවිස ගැනීම්, ලිංගික එකතුවීම් තුල මෙම නීතිමය බැමි හෝ සංස්කෘතික බැදීම් ඔවුනට වලංගු නොවේ. එම අයිතිය පහළ හා මධ්‍යම පංතිය වෙත ලබා ගැනීමට හා නීති රීති සංශෝධනය කිරීමට ධනේෂ්වර සමාජය අල්ලා කුරුසයෙහි ඇණ ගැසීමට ප‍්‍රථම යමක් කළ යුතුව ඇත. සමරිසි අයිතීන්, ජාතික ප‍්‍රශ්නය හා ඉහත මතු කළ පරිසර අර්බුධය ඇතුළු අප ජීවත් වන යුගයේ බොහෝ දේශපාලනික සමාජීය ප්‍රශ්න හැරී තිබෙන්නේ බුද්ධිමය ව්‍යාපාරක් දියුණුකිරීමේ අවශ්‍යතාවය දෙසටයි. අප ජීවත් වන යුගයේ බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන් උදෙසා සිදු කරන මහජන සටන් දියාරු වී යන්නේ ඒ සඳහා සමාජ පසුබිමක් එම ක‍්‍රියාධරයන් විසින් නිර්මාණය නොකිරීමයි.

මෙයින් මා කියන්නට උත්සාහ කරන්නේ ධනවාදය පිළිබඳ ප්‍රශ්නය අමතක කර අප ‘සිත හදා ගත යුතු බව’ නොවේ. නමුත් ධනේශ්වර ක්‍රමය තුළ විසඳිය හැකි ප්‍රශ්න තිබේ. ඒවා විසඳීම සඳහා ජන-විඥාණයේ වෙනසක් සිදු කිරීම අයත් වන්නේ කළ හැකි කලාපයේ දේ වලටයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිතන්න පුළුවන් මිනිසුන් සිටින සමාජයකි. නමුත් ගැටලුව වන්නේ මේ සඳහා අත්‍යවශ්‍ය වන බුද්ධිමය ව්‍යාපාරයක් ගොඩ නැගීම මේ ආකාරයේ කළ හැකි දේ අයත් වන කළාපයට අයත් වනවාද යන්නයි. අපි එම ප්‍රශ්නය විවෘතව තබමු. දැනට.

රංග මනුප්‍රිය

Advertisements