සටහන: පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘සල්ලි ගහයි හෝඩි පොතයි – අධ්‍යාපනය විකිණීමට එරෙහි විය යුත්තේ ඇයි?’ සම්මන්ත්‍රණය සඳහා වංගීස සුමනසේකර සිදුකල ඉදිරිපත් කිරීමයි.

ලංකාවේඅධ්‍යාපනයේ නිදහස පිළිබඳ කෙරෙනා සංවාදයේ මා කලක සිට දකිනා එක් මූලික අඩුපාඩුවක් තිබේ. මේ කෙටි අදහස් දැක්වීම තුළ මා උත්සාහ කරන්නේ මෙය හැකිතාක් සංක්ෂිප්තව පැහැදිළි කිරීමටයි. මෙහි අරමුණ වන්නේ අපේ රටේ අධ්‍යාපනයේ නිදහස පිළිබඳ අරගලය වඩාත් දියුණු අරගලයක් බවට පත් කිරීමට කුඩා හෝ දායකත්වයක් ලබා දීමයි.

f11482f60c7e4a3d933311d0faf427a0

අපි මේ සඳහා මෙවැනි ප්‍රවේශයක් ගනිමු. ලංකාවේඅධ්‍යාපනඅරගල වලදී නිතර දක්නට ලැබෙනා සටන් පාඨයක් තමයි ‘අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිවෙමු’ කියන සටන් පාඨය. සටන් පාඨයක වටිනාකම රැඳී තිබෙන්නේ එහි පදානුගත අර්ථයට අමතරව එවැන්නකින් ඇති කරනා ආවේදනාත්මක බලපෑම මත වෙයි. ආවේදනා(affects)යනුවෙන් අදහස් කරන්නේ අප සාමාන්‍යයෙන් හැඟීම්, දැනීම් යනුවෙන් නම් කරනා දේවල්ය.

අපට සමහර අවස්ථාවන් වලදී වචන වල තේරුමට අමතරව එම වචන මගින් වෙනස් ආකාරයක ‘අවබෝධයක්’ ලබා දෙයි. සාහිත්‍යය තුළදී බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ මේ දෙවැනි ආකාරයේ ආවේදනයන් ඇති කිරීමටයි. නිදර්ශනයක් ලෙස කසුන් කල්හාර ගායනා කරන මේ වචන ටික බලන්න:

“ආදරේ ගැනද කෙටි යෙදුම්

ජීවිතේ ගැනද මහ වැනුම්

රැඩිකල් ප්‍රේමයේ

සමනළ පියාපතකට දී රිදුම්”

මේ වචන ටික වෙන වෙනම සලකා බැලූ විට මෙහි එතරම් විශාල අදහසක් අදහසක් නොකියවෙන බව පමණක් නොව මෙමගින් නිශ්චිත අදහසක් නිරවුල් ලෙස නොකියනවාද කියා කෙනෙකු පැවසිය හැකිය. නමුත් මෙම වචන ටික කසුන් කල්හාර ගේ හඬ සහ නදීක ගුරුගේ ගේ සංගීතය සමග එකතු වී පැමිණෙන විට මෙහි අර්ථය තීරණය කරන්නේ මේ වචන ටික පමණක් නොවන බව අපි දනිමු. එම වචන වලට අමතරව මෙහි තිබෙනවා අපිට දැනෙන කොටසක්: ‘වේදනාව’, ‘විරහව’, ‘ප්‍රේමසම්බන්ධතා බිඳ වැටීමේ අත්දැකීම’,’හුදෙකලාව’ වැනි අත්දැකීම් රාශියක් අපිට මේ දැනීම් සමග ලැබේ. අවසානයේදී මේ මගින් ඉඟි කරන්නේ මිනිසාගේ පැවැත්මේ අර්ථය කුමක්ද කියනා සදාතනික ප්‍රශ්නය වෙතයි. ආවේදනා යනුවෙන් මා නම් කරන්නේ මේ ආකාරයට අපට කිසියම් ප්‍රකාශයක තිබෙනා පදානුගත අර්ථය ට අමතරව, හැඟීම් යන මාදිළිය හරහා සිදු වන සන්නිවේදනයයි.

දේශපාලන සටන් පාඨයක දී ද මේ ආවේදනාත්මක සන්නිවේදනයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. අප මෙහිදී සැලකිල්ලට ගන්නා ‘අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි වීම’ කියන සටන් පාඨය, මෙම අර්ථයෙන් අප තේරුම් ගත යුත්තේ කෙසේද? මෙහි පදානුගත අර්ථය අවබෝධ කරගැනීම කිසිවෙකු හට අපහසු නොවේ. එමගින් කියන්නේ අධ්‍යාපනය යනු මුදල් හරහා, වෙළඳපොලේ හුවමාරු කර ගන්නා භාණ්ඩයක් ලෙස නොසලකා සිටිය යුතු බවයි. එම අර්ථයෙන් එයට එකඟ වීමටද අප බොහෝ දෙනෙකුට එතරම් අපහසු නොවේ. ටෙරී ඊගල්ටන් කියන ඉංග්‍රීසි ජාතික මාක්ස්වාදී චින්තකයා වරක් ඉතා ලස්සනට ලියා තැබූ ආකාරයට “අප ළදරුවන්ට මව් කිරි විකුණන්නේ නැති සේම, තුවාල වී ලේ ගලනා මිනිසෙකුට බැන්ඩේජ් විකුණන්නේ නැති සේම, සැබවින්ම ශිෂ්ට සම්පන්න වූ කිසිදු සමාජයක් ඔවුන්ගේ ළමා පරපුරට අධ්‍යාපනය විකුණන්නේනැත”. එම අරුතින් ගත්විට ‘අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි වෙමු’ කියනා සටන් පාඨයේ පදානුගත අර්ථය සමග අපට කිසිදු නොඑකඟතාවයක් නොමැති වේ.

නමුත්, මා කියා සිටි ආකාරයට, සෑමසටන් පාඨයකම, පදානුගත අර්ථය ඉක්මවා ගිය ආවේදනාත්මක අර්ථය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. අප මෙහිදී සාකච්ඡා කරනා සටන් පාඨයේ ආවේදනාත්මක අර්ථයන් මොනවාද? මෙය නිශ්චිතව කුමක්ද කියා සඳහන් කිරීම කළ නොහැකි දෙයක් බව පැහැදිළි වෙයි. ආවේදනාත්මක යන්නෙහි අර්ථය වන්නේම, භාෂාමය අර්ථය ඉක්මවා ගිය, එහෙමත් නැතිනම් භාෂාමය අර්ථයට මුළුමනින් යටත් කළ නොහැකි දෙයක් යන්නයි. එනිසා මෙහිදී අපට එය භාෂාව තුළට ගෙන ආ හැක්කේ, සෑමවිටම, අසම්පූර්ණ ආකාරයකට පමණි. නමුත් මෙයින් අදහස් වන්නේ ඒ පිළිබඳව අපිට නිශ්චිත මග සලකුණු සටහන් කළ නොහැකි බව නොවේ.

අපගේ සටන් පාඨය වෙත නැවත යොමු වුවහොත්, මේ මගින් සන්නිවේදනය කරනා ආවේදනාත්මක කළාපය හඳුනා ගැනීමට අපටඑතරම් අපහසු නොවේ. මෙය වටහා ගැනීම සඳහා අපට තවත් ගීතයක් උපකාරී කර ගත හැකිය. ඒ තමයි රඹුකන සිද්ධාර්ථ හිමි විසින් ලියන ලද, වික්ටර් රත්නායක ගායනා කරන මෙම වචන ටික:

“කාසි වලට ගන්නත් බැහැ

කාසි වලට දෙන්නත් බැහැ

මනුස්සකම, මිනිස්සුනේ

කාසි වාසි ඇති අය ළඟ

බොහොම හිඟයි, ගන්නට නැහැ

මනුස්සකම, මිනිස්සුනේ”

මේ ගීතය මගින් යෝජනා කරන්නේ ‘මනුස්සකම’ නම් දෙය මුදල් තිබෙනා මිනිසුන් ගාව නොමැති බවත්, එනිසා එවැනි මිනිසුන්ගෙන් අප එම දෙය බලාපොරොත්තු වීම අරුත්සුන් දෙයක් වන බවත්ය. එම මිනිසුන් ගාව තිබෙන්නේ මුදල් වලින් මිලට ගත හැකි දේ පමණි. නමුත් මනුස්සකම යනු එලෙස මුදල් වලට විකිණිය හැකි හෝ මිලට ගත හැකි දෙයක් නොවනා හෙයින් ඔවුන් සතුව ඇති දේ අතරට එය අයත් නොවේ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද යන්න වටහා ගැනීම කිසිසේත් අපහසු නොවන්නකි. ධනවතුන් ගාව කොතරම් ඉඩ කඩම්, යාන වාහන, සුඛෝපභෝගී භාණ්ඩ තිබුනත්, ඔවුහුමිත්‍රත්වය, ආදරය, සහෝදරත්වය, අනෙකන්ට උපකාර කිරීම වැනි යහපත් ගුණ දම් නොමැති මිනිසුන් වෙති. එනිසා එවැනි මිනිසුන් මිතුරන් ලෙස, ආදරවන්තයන් ලෙස, සහෝදරයන් ලෙස ඇසුරු කිරීම ඥානාන්විත දෙයක් නොවේ.එම ගීතයේම දැක්වෙන ආකාරයට එය හරියට ‘දිඹුල් ගහකින් මල් ඉල්ලා හඬනවා’ නැතිනම්‘මාරාන්තික කාන්තාරයක් මැද සිට දිය ඉල්ලා හඬනවා’ වැනි දෙයකි.

මෙම ගීතය බිහි වූ 1980 දශකය යනු මේ අදහස සඳහා එක්තරා ආකාරයක මතවාදී හයියක් තිබුණු යුගයකි. ජීවිතය යනු මුදල් හම්බු කිරීම සහ පොහොසත් වීම අරමුණු කරනා දෙයක් නොවන බව එකළ සිටි මතවාද මෙහෙයවන්නන් විසින් දැඩි ලෙස ප්‍රකාශ කළ දෙයකි. නිදර්ශනයක් ලෙස 1980 දශකයේදීම එකළ මෙරටරාජ්‍ය නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන‘සාහිත්‍ය කන්නද?’ කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට එයට එරෙහිව සමාජයෙන් පොදු විරෝධයක් නැගුනේ මෙම අරුතිනි.

මෙයින්අදහස් වන්නේ මේ ගීතයේ තිබෙනා අදහස මුදල් සම්බන්ධයෙන් ඉතාම නිවැරදි විග්‍රහයක් වන බව නොවේ. මුදල්පිළිබඳ අපගේ තක්සේරුව මෙයට වඩා වෙනස් විය යුතු බව 1980 දශකයකට සියවස් එකහමාරකට පමණ පෙර මාක්ස් සිය ‘1844ආර්ථික සහ දාර්ශනික අත්පිටපත්’ වල සටහන් කර තිබුණි (මාක්ස් ගේ මුල් රචනය මෙතැනින් බලන්න). මුදල් යනු මිනිසා සතු වූ ශක්‍යතාවය පරාරෝපිත වූ පැවැත්මකි. ගොඑත සහ ශේක්ස්පියර් උපුටමින් මාක්ස් පෙන්වා දෙන්නේ මුදල් වල මෙම විශේෂ හැකියාව ඔහුටත් බොහෝ පෙර සාහිත්‍යකරුවන් ගේ තියුණු නිරීක්ෂණයන් වලට හසුව තිබූ ආකාරයයි. මෙම නිශ්චිත මාක්සියානු – සහ එමෙන්ම ශේක්ස්පියරියානු සහ ගොඑතියානු- අරුතින් මුදල් වලට මනුස්සකම ගන්න බැරි බව කීම නිවැරදි ප්‍රකාශයක් නොවේ. සත්‍යවශයෙන්ම කිව යුත්තේ ධනේශ්වර සමාජයකදී ‘මනුස්සකම’ යනුවෙන් නම් කළ හැකි දෙය තිබෙන්නේ මුදල් වල මිස, මිනිසුන් තුළ නොවේ යන්නයි. මිනිසෙකු ලෙස මට කළ හැකි දේ කුමක්ද කියා තීරණය වන්නේ මට ඇති මුදල් වැය කිරීමේහැකියාවට අනුවයි.

නමුත්1980 දශකයේ අවසානය වන තුරු මුදල් වල මෙම පරාරෝපිත බලයට එරෙහිව අභියෝග කරනා, තරුණ මාක්ස් ගේ භාෂාවෙන් කියන්නේනම් ‘මානුෂික සමාජයක්’ බිහි කිරීමේ සක්‍රීය අරගලයක් ක්‍රියාත්මක විය. එනිසාමුදල් වල මෙම බලයට කොන්දේසි විරහිත ජයග්‍රහණයක් එකළ හිමි නොවීය. වික්ටර් රත්නායකගේ ඉහත ගීතය මගින් නියෝජනය කළේ මුදල් වල මෙම බලයට ප්‍රතිරෝධාත්මක ලෙස පැවති මතවාදී කඳවුරයි.

දැන්, මගේ ප්‍රශ්නය වන්නේ මෙවැන්නකි: අපි ජීවත් වන මොහොත නිර්වචනය කිරීම සඳහා සුදුසු ආකාරයක් වන්නේ මෙවැනි අදහසක් සමාජයේ ආධිපත්‍යය දරනා මොහොතක් යන්නද? මා සිතනා ආකාරයට මෙයට දිය හැකි අවංක පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි. අප ජීවත් වන්නේ මෙවැනි වටපිටාවක නොවේ. ඒ වෙනුවට අප අද ජීවත් වන්නේ ධනවාදය ඉතාම ස්වභාවික ලෙස දැනෙනා, මුදල් හම්බ කිරීම ජීවිතයේ එකම අරමුණ ලෙස පිළිගැනෙනා මිනිසුන් සාතිශය බහුතරයක් සිටිනා සමාජයකයි. ‘සාහිත්‍ය කන්නද’ කියනාජේ. ආර්. ජයවර්ධන ගේ ප්‍රශ්නය දශක තුනකට පසුව මෙරට සමාජයේ බිහිසුණු යථාර්ථයක් බවට පත්වී නොමැති වේද? තවදුරටත් සාහිත්‍ය ඉගෙන ගැනීම සිය අරමුණු කරගත් මිනිසුන් මේ සාමාජය මගින් උත්පාද වන්නේ ඉතාම අඩුවෙනි. අද දවසේ සෑම දරුවෙක්ටම පවුලෙන් ලැබෙනා ඔවදන වන්නේ හැකිතාක් මුදල් හම්බ කරගන්න කියන එකයි.අප බොහෝ දෙනෙක් අසා ඇති සිංහල ප්‍රකාශයක් තමයි ‘මිනිහ ගොඩ ගියා’ යනුවෙන් සමාජයේ යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් කරනා කතාව.මෙමගින් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙක් ජීවිතයේ මුදල් හම්බ කිරීමේ අරමුණ සාක්ෂාත් කරගත් බව මිස ඔහු හෝ ඇය හෝ සාහිත්‍ය හොඳින් ඉගෙන ගැනීම වැනි දෙයක් නොවන බව අපි හොඳින් දනිමු. අප ජීවත් වන සමාජයේ ‘ගොඩ යාම යනු’ මුදල් බොහෝ රැස් කිරීමයි.

මෙවැනි සන්දර්භයක් තුළ ‘අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි වෙමු’ කියනා සටන් පාඨය මගින් අප බලාපොරොත්තු වන ආවේදනාත්මක සන්නිවේදනයක් සිදු වීමට ඇති ඉඩ ඉතාම අඩු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආදරය, විවාහ උත්සව, වෙසක් උත්සවය, සිංහල/දෙමළ අළුත් අවුරුද්ද පමණක් නොව මිනිස් ඝාතන වැනි අපරාධ පවා මාධ්‍ය ධනවාදය තුළ මුදලට විකිණෙන සමාජයක් තුළ, “අධ්‍යාපනය මුදලට විකිණේ” කියා අප විශාල බැනරයක, ලොකු අකුරින් ලියා තැබූ පමණින්, කිසිවෙක් කම්පා වෙන්නේ හෝ පුදුමයට පත් වන්නේ හෝ නැත.

මෙයින් මා කියන්නට උත්සාහ කරන්නේ අප අධ්‍යාපනය වෙළඳපොළකරණය වීමට එරෙහි අරගලය අත්හැරිය යුතු බව නොවේ. මට අවශ්‍ය වන්නේ අප එම අරගලය වඩාත් තියුණු කර ගැනීම සඳහා සිතිය යුතු දෙයක් පිළිබඳව අවධානය යොමු කිරීමටයි. විශේෂයෙන් මෙහිදී ලංකාවේ අධ්‍යාපනය නිදහස් කර ගැනීමේ අරගලය තුළ එතරම් අවධානයක් යොමු නොවන නමුත් මාගේ අදහසේ හැටියට ඉතාම තීරණාත්මක ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කිරීමට මම උත්සාහ කරමි.මේ සඳහා අප මෙලෙස කෙටියෙන් සාකච්ඡා කළ සමාජයේ පොදු අදහස් වල සිදුව ඇති වෙනස් වීම තීරණාත්මක වේ. යමක් මුදලට විකිණීම අත්‍යන්තයෙන් නරක දෙයක් ලෙස සලකනා සමාජයක අප ජීවත් වන්නේ නැත. ඒ නිසා අපට අධ්‍යාපනය රැක ගැනීම සඳහා ඇති තර්කය වඩාත් නිශ්චිත කර ගැනීමේ අතිරේක වගකීමක් පැවරේ. මේ සඳහා අත්‍යවශ්‍ය වන්නේ අධ්‍යාපනය යනු කුමක්ද කියන එක සම්බන්ධයෙන් අප අතර ඇති නිරවද්‍යතාවයයි. වෙළඳපොල මගින් අපගේ අධ්‍යාපනය ගිල ගැනීමේ අනතුර අපට නිශ්චිතව පෙන්වා දිය හැක්කේ මේ ආකාරයට පමණි.

අපේ රටේ අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන් තිබෙනා අරගලයේ දී මූලික වශයෙන් අවධානය යොමු වන්නේ අධ්‍යාපනය මුදල් තිබෙනා සුළුතරයකගේ වරප්‍රසාදයක් නොවී, සමාජයේ සෑම කෙනෙකුටම තිබෙනා අයිතියක් ලෙස තහවුරු කිරීම වෙතයි. මෙයට හේතුව ලෙස එම කතිකාව මගින් ලබා දෙන ප්‍රධාන තර්කය වන්නේ කුමක්ද? අප මුහුණ දෙන ප්‍රශ්නය තරමක් සංකීර්ණ වන්නේ මේ මංසන්ධියේදීය.

මෙය අවබෝධ කරගැනීම සඳහා අප ඉතාමත් සරල ප්‍රශ්නයක් ඇසිය යුතු වේ. අධ්‍යාපනයේ අරමුණ සමකාලීන ධනේශ්වර වෙළඳපොළ මගින් අරුත්ගන්වන්නේ කෙසේද? මෙයට දිය හැකි සරල පිළිතුරක් වන්නේ අධ්‍යාපනය යනු අනාගත රැකියාවක් ලබා ගැනීම සඳහා දෙනු ලබන මූලික වෘත්තීය සුදුසුකමක් යන්නයි. අපේ රටේ සම්ප්‍රදායිකව අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබුණු අදහස දමේ ප්‍රකාශය සමග මුළුමනින් එකඟ වන්නකි. සම්ප්‍රදායිකව අපේ රටේ අධ්‍යාපනය හඳුනා ගත්තේ සමාජ ශ්‍රේණියේ ඉහළට යා හැකි ඉණි මගක් ලෙසයි. අනාගතයේදී වෛද්‍යවරයෙක්, නීතඥයෙක්, ඉංජිනේරුවෙක් වී ඉහළ ආදායමක් තිබෙනා වෘත්තිකයෙක් වීමේ හැකියාව අපේ රටේ අධ්‍යාපනය සඳහා තිබූ මූලික පෙළඹුමක් ලෙස හඳුනා ගත හැකිය.

සමස්තයක් වශයෙන් ගත්විට මෙහි වරදක් තිබේ කියා මම නොසිතමි. අපගේ ආශාවන් සාධාරණ ලෙස ඉටු කරගැනීමේ හැකියාව අපට ලැබෙන, සාපේක්ෂ වශයෙන් සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා අපි කවුරුත් කැමති වන අතර එය සෑම මිනිසෙකුගේ ම අයිතියක් ලෙස අප පිළිගත යුතුය. නමුත් අප මේ සාකච්ඡා කරමින් සිටිනා සුවිශේෂ මංසන්ධිය තුළදී අධ්‍යාපනය වටහා ගැනීමට ඇති මෙම ප්‍රවේශය අපව ගෙනියන්නේ තරමක් අපහසු තැනකටයි. අපි දුටු පරිදි අද දවසේ අප ජීවත් වන සමාජය විසින් මිනිසාගේ ජීවිතයේ අරමුණ ලෙස අපට ලබා දෙන්නේ හැකිතාක් මුදල් හම්බු කරගැනීම සහ හැකිතාක් පරිභෝජනය කිරීමයි. මේතිබෙන්නේ මාක්ස් විසින් 1844 දී ලියා තැබූ මුදලේ බලය ඉහළම ලෙස වලංගු වන්නා වූ සමාජයකි.

අධ්‍යාපනය වෙළඳපොළකරණය වීමට එරෙහි අරගලය සංකීර්ණ වන්නේ ඇයිද යන්න වටහා ගැනීමට දැන් අපට පහසු වෙයි. අධ්‍යාපනය නොමිලේ දීම මගින් අරමුණු කරන්නේ මේ ආකාරයට මුදල් හම්බ කිරීම යහමින් කළ හැකි ආකාරයේ පුහුණුවක් සියළු දෙනාට ලැබීම සඳහා සමාන අවස්ථා ලබා දීම පමණක්නම් අප එක්තරා ආකාරයක විෂම චක්‍රයකට හසු වීම වැළක්විය හැකි නොවේ. අප එරෙහි වන්නේ අධ්‍යාපනය වෙළඳපොලකරණය කිරීමටයි. එයටහේතුවලෙස අප දක්වන්නේ සියළු දෙනාට එක ලෙස යහමින් මුදල් හම්බ කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු වීමයි. නමුත් මේ ආකාරයට මුදල් හම්බ කිරීම මිනිස් ජීවිතයේ අරමුණ බවට පත් කරන්නේ ද සමාජය වෙළඳපොළකරණය වීමයි. තරමක් අතිශයෝක්තියෙන් අපට මෙමගින් ඇති වන ගැටලුව මෙසේ සූත්‍රගත කළ හැක: මෙහිදී අප වෙළඳපොළට එරෙහි වන්නේ වෙළඳපොළ වෙනුවෙනි.අප මේ කතාව ආරම්භයෙදී සැලකිල්ලට ගත් සටන් පාඨය ඇසුරින් කියන්නේනම් එය මෙසේද ලිවිය හැක: ‘අප මුදලට අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වන්නේ සියළුම දෙනාට එක ලෙස මුදල් විශාල වශයෙන් හම්බ කර ගැනීමට අවස්ථාව දීම සඳහා වෙයි.’

මා ඉහතින්ද කියූ ලෙසමේ ආකාරයට අධ්‍යාපනය සඳහා අපගේ අර්ථකථනය සීමා කරන තාක් එය වෙළඳපොල සඳහා කිසිදු ආකාරයකට අභියෝගයක් එල්ල කරන්නේ නැත. වෙළඳපොල නියෝජනය කරන්නේද මේ ආකාරයේ අධ්‍යාපනයක් පිළිබඳ අදහසකි. එය අපට පවසා සිටින්නේ ද හැකි ඉක්මනින් ශ්‍රම වෙළඳපොල තුළ තරඟකාරී මිලකට තමන්ගේ ශ්‍රම ශක්තිය විකිණිම සඳහා ඉල්ලා සිටින සුදුසුකම් සපුරා ගැනීමට අධ්‍යාපනය යොදා ගන්නා ලෙසයි.

මා කියනා දෙය වරදවා වටහා ගැනීමට ඉඩ තිබෙනා හෙයින් මට නැවතත් එක කරුණක් අවධාරණය කිරීමට ඉඩ දෙන්න. මා කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ලාංකික අරගලය සහ වෙළඳපොල මගින් අධ්‍යාපනය ලබා දීම පිළිබඳ අදහස අතර කිසිදු වෙනසක් නැති බව නොවේ. මේ දෙක අතර ඉතා තීරණාත්මකවෙනසක් තිබේ. නිදහස් අධ්‍යාපන අරගලය විසින් යෝජනා කරනු ලබන්නේ අධ්‍යාපනය සියළු දෙනා ගේ අයිතියක් බවත්, එනිසාම එය සෑම කෙනෙකුටම සමාන ආකාරයෙන් සහ නොමිලයේ ලබා ගැනීමට අවස්ථාව සැලසීම රජයේ වගකීම බවත්ය. අනෙක් අතට, වෙළඳපොළ මගින් යෝජනා කරන්නේ අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවක් ලෙස සංවිධානය විය යුතු බවයි.

මෙය බරපතල වෙනසක් බව මම පිළිගනිමි. නමුත් එය පිළිගනිමින් පවාමා වැඩිදුරටත්කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ අරගලය,අපට වඩාත් තියුණු කරගැනීම සඳහා තවත් එක් පියවරක් අප තැබිය යුතු වන බවයි. ඒ තමයි වෙළඳපොල මගින් යෝජනා කරනා අධ්‍යාපනය පිළිබඳ අදහසට එරෙහි වීම. අධ්‍යාපනය වෙළඳපොලකරණය වීමට එරෙහිව ලෝකයේ විවිධ රටවලින් පැන නැගී සිසු අරගල සහ අපේ රටේ නිදහස් අධ්‍යාපනය සඳහා වන අරගලය අතර එක්තරා ආකාරයක වෙනසක් අපට සලකුණු කිරීමට හැකි වන්නේ මෙතැනදීය.යුරෝපයේත්, උතුරු ඇමෙරිකාවේත් අධ්‍යාපනය පිළිබඳ අරගල වල මූලික බෙදුම් රේඛාවවන්නේ අධ්‍යාපනය පිළිබඳ අදහස අර්ථකථනය කරනා ආකාරයයි.

අවසාන අරුතින් මෙහි එක් පැත්තක තිබෙන්නේ අධ්‍යාපනය යනු රස්සාවකට අපව පුහුණු කරනා දෙයක් කියනා අදහස වන අතරඅනෙක් පසින් තිබෙන්නේ අධ්‍යාපනය යනු ලෝකයේ සහ ජීවිතයේ සත්‍යය ගවේෂණය කිරීම වේ කියනා අදහසයි. ඇකඩමියාව යන්නෙහි ඓතිහාසික ආරම්භය වන ප්ලේටෝ ගේ ඇකඩමි එක දක්වා අපට මෙම දෙවැනි අදහස ගෙන යා හැකිය. ප්ලේටෝ විසින් ලියා තැබූ ආකාරයට සොක්‍රටීස් ට එරෙහිව මරණ දඬුවම නිකුත් කිරීමට පෙර සොක්‍රටීස් ප්‍රකාශ කරනා අතිශය ජනප්‍රිය අදහස වන්නේ මෙයයි: ‘පරීක්ෂා කර නොබලන ජීවිතයක් යනුජීවත්වීමට තරම් වටිනා ජීවිතයක් නොවේ’ (life which is unexamined is not worth living).

අද ලෝකයේ බොහෝ ශිෂ්‍ය අරගල වල බෙදුම් රේඛාව සටහන් වන්නේ මෙන්න මේ ලක්ෂ්‍යය මතයි.මේ සටහන තබනා මොහොතේ මට දැන ගන්නට ලැබුණු එක් අරගලයක් ඇසුරින් මෙය පැහැදිළි කිරීමට ඉඩ දෙන්න. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ‘මානව ශාස්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රය’ (Humanities Center) ලබන වසරේ දී වසා දැමීමට එහි පරිපාලකයන් බවට අද වන විට පත්වී ඇති සාහසික වෙළෙන්දන් විසින් තීරණය කර තිබේ. අඩ සියවසකට වඩා දිගු ඉතිහාසයක් තිබෙනා මෙම ‘මානව ශාස්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රය’ යනු ලෝකයේ තිබෙනා ඉහළම ගණයේ බුද්ධිමය මැදිහත්වීම් සිදු වෙන්නා වූ ආයතනයකි. ජාක් ඩෙරීඩා නම් පසු ගිය සියවසේ සිටි ඉතාමත් ජනප්‍රිය ප්‍රංශ දාර්ශනිකයා පිළිබඳව ඔබ අසා තිබෙනවා කියා සිතමි. ඔහු ගේ ගෝලීය කීර්තිය ආරම්භ වන්නේ මෙම ‘මානව ශාස්ත්‍ර අධ්‍යයයන කේන්ද්‍රය’ සමගයි. ඩෙරීඩා ඇතුළු පසුගිය සියවසේ සිටි ප්‍රකට ප්‍රංශ චින්තකයන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි කතා කරන ලෝකයට අවතීර්ණ වන්නේ මෙම කේන්ද්‍රය මගින් 1966දීසංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකදීය. මේ අතර ජාක් ලැකෝන්, රෝලන්ඩ්බාත්,ජොන් ඉපොලිත් ආදී චින්තකයන් රැසක් විය. ඩෙරීඩා ගේ ‘Structure, Sign, and Play in the Discourse of Human Sciences’නම් සුප්‍රසිද්ධ රචනය ඔහු ප්‍රථම වරට ඉදිරිපත් කරන්නේ මෙම සම්මන්ත්‍රණයෙදීය. අද දක්වාම ප්‍රංශ දර්ශනය සඳහා තිබෙනා ගෝලීය පිළිගැනීමේ ආරම්භක මොහොත ලෙස බොහෝ දෙනා සලකන්නේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රය මගින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයෙදී ඩෙරීඩා ඉදිරිපත් කළ මෙම රචනයයි.

වසර පනහකට පසුව, වසා දැමීමට නියමිතව තිබෙන්නේමේතරම් විශාල ඉතිහාසයකට උරුමකම් කියනා අධ්‍යාපන ආයතනයකි. මෙලෙස වසා දැමීමට හේතුව ඉතාමත් සරල එකකි. ඒ තමයි විශ්ව විද්‍යාලය හැකිතරම් ලාභ ලැබිය හැකි තැනක් බවට පත් කිරීම. මේ සඳහා අවශ්‍ය වන්නේ මානව ශාස්ත්‍ර අධ්‍යයන කේන්ද්‍රය වැනි තැන් නොව වෙනස් වෙන වෙළඳපොල අවශ්‍යතා අනුව පැන නගින විවිධ පාඨමාලවල් වේ: පරිඝණක අධ්‍යාපනය, ව්‍යාපාර කළමනාකරණය, ගණකාධිකරණය, විලාසිතා නිර්මාණය ආදී දේ.වෙනත් ආකාරයකින් එම විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් අපෙන් විමසා සිටින්නේ ජේ. ආර්. ජයවර්ධන 1980 දශකයේදී ඇසූ ප්‍රශ්නයයි: ‘සාහිත්‍ය කන්නද?’ ‘ප්‍රංශ දර්ශනය කන්නද?’

ගෝලීය වශයෙන් අධ්‍යාපනය සඳහා තිබෙනා අරගලයේදී ප්‍රමුක වන්නේ අධ්‍යාපනය නම අදහස අප අර්ථ දක්වන්නා වූ මෙම වෙනසයි. එක පැත්තකින් තිබෙන්නේ මූල්‍යමය වටිනාකමක් නොමැති, එසේත් නැතිනම් මූල්‍යමය වටිනාකමක් බවට ඍජුව හැරවීමට නොහැකි අධ්‍යාපනයයි. දර්ශනය, ඉතිහාසය, සාහිත්‍ය විචාරය, දෘශ්‍ය කලාව, සිනමා අධ්‍යනය ආදී මේ සියල්ල මගින් නියෝජනය කරන්නේ මෙම විකල්ප අධ්‍යාපනය පිළිබඳ අදහසයි. පසුගිය දශකය තුළ ලෝකයේ බොහෝ රටවල ශිෂ්‍ය අරගල ඇති වූයේ මෙවැනි දේ උගන්වන දෙපාර්තමේන්තු, පර්යේෂණ ආයතන ආදිය වසා දැමීමට එරෙහිවයි. මෙහි අනෙක් පසින් තිබෙන්නේ අධ්‍යාපනය යනු අනාගතයේදී යහමින් මුදල් හම්බ කර ගැනීමට හැකි රැකියාවක් ලබා ගැනීම සඳහා වන පුහුණුවක් යන්නයි. මෙවැනි අධ්‍යාපනයක් තුළ ප්‍රංශ දර්ශනය ට කිසිදු වටිනාකමක් හිමි නොවනා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජෝන් හොප්කින්ස් වැනි විශ්ව විද්‍යාල වලින් ඒවා ඉවතට විසි වන්නේත්, ඒ වෙනුවට වඩා ලාභ ලැබිය හැකි පාඨ මාලා හඳුන්වා දෙන්නේත් මේ නිසාය (මෙම තීරණයට එරෙහි අන්තර්ජාල පෙත්සම සඳහා ඔබගේ සහය ලබා දෙන්න, මෙතනින්).

නැවතත් අපේ රටට පැමිණියහොත්,මෙම අධ්‍යාපනය පිළිබඳ අදහස සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය සඳහා තිබෙනා අරගලය සහ එයට එරෙහිව තිබෙනා අධ්‍යාපනය වෙළඳපොලකරණය වීම අතර මත ගැටුමක් තිබේද? කිසිදු ආකාරයක මත ගැටුමක් නොමැති වේ කියා කියන්නට තරම් මම එඩිතර නොවෙමි. නමුත් එය එතරම් තීරණාත්මක වෙනසක් නොවේ කියානම් මම කියමි. අඩුවැඩි වශයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම පාර්ශවයන් දෙකටම තිබෙන්නේ එකම අදහසකි. වෙනස තිබෙන්නේ මෙය සංවිධානය විය යුත්තේ රජය මගින්ද, වෙළඳපොල මගින්ද යන කරුණ සම්බන්ධයෙන් පමණි. මෙය වැදගත් වෙනසක් බව මම නැවතත් කියමි. නමුත් මාගේ තර්කය වන්නේ අප මෙම වෙනස අධ්‍යාපනය යන අදහස සම්බන්ධයෙන් තිබෙනා මූලධාර්මික වෙනසක් බවට පරිවර්තනය කරගන්නේ නැතිනම්, මෙම අරගලය වෙතමේ වනවිටත් තිබෙනා අවාසිසහගත තත්වය වෙනස් කරගැනීම ඉතාම අපහසු වන බවයි.

මාගේ යෝජනාව වන්නේ අපේ රටේ ශිෂ්‍ය අරගලය බැරෑරුම් සමාජ පරිවර්තනයක කොටසක් ලෙස වර්ධනය විය හැක්කේ එය මගින් මෙම අධ්‍යාපනය සඳහා ඇතිමෙම විකල්ප අදහස වෙනුවෙන් බැරෑරුම් මැදිහත්වීමක් කරන්නේනම් පමණක් බවයි. බුද්ධිමය දරිද්‍රතාවයේ පතුලටම ගිලී තිබෙනා මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය යළි ශක්තිමත් කළ හැක්කේ මෙවැනි අදහසක් සඳහා ඉඩක් ලැබෙනා බුද්ධිමය ප්‍රබෝධයක් ඇති වන්නේනම් පමණි. ශිෂ්‍ය ව්‍යාපාරයට මේ සඳහා මැදිහත්වීමක් කිරීමට යහපත් අවස්තාවක් තිබේ. චිත්‍රපට ප්‍රදර්ශන සංවිධානය කිරීමට සීමා නොවී මෙම බුද්ධිමය පරිවර්තනයේ වගකීම තමන් වෙත පවරා ගැනීමට මෙරට ශිෂ්‍ය නායකයන් තීරණය කරන්නේනම් මේ ආකාරයේ පරිවර්තනයක් සඳහා දායක විය හැකි බොහෝ පිරිසක් මෙරට සිටිනා බව මම දනිමි.

‘ප්‍රාග්ධනය’ කෘතිය ප්‍රථම වරට ප්‍රංශ භාෂාවට පරිවර්තනය වන විට, එයට පෙරවදනක් ලියමින් මාක්ස් කියා සිටි දෙයකින් මේ අදහස් දැක්වීම අවසන් කළ හැකි වේ. තමන් මුහුණ දෙන ඍජු ප්‍රශ්න වලට ‘ප්‍රාග්ධනය’ කෘතිය මගින් ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වන කෙනෙක් හට කිව හැක්කේ එකම දෙයක් පමණක්යැයි මාක්ස් කියයි: විද්‍යාව සඳහා රාජකීය මාවතක් නොමැති වේ. මාක්ස් මෙම අදහස උපුටා ගන්නේ ඔහුට වසර දෙදහසකට පෙර සිටි යුක්ලීඩ් ගේ ‘Elements’ කෘතිය පහසුවෙන්කියා දිය නොහැකිද කියා ඇසූවිට යුක්ලීඩ් දුන් පිළිතුරෙනි. අධ්‍යාපනය වෙළඳපොලකරණය වීමට එරෙහි ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ අධ්‍යයන කිරීම පිළිබඳ මේ වසර දෙදහසක උරුමය රැක ගැනීමේ ප්‍රයත්නයක් සමග පමණි. එවැන්නක් නොමැති තත්වයක් තුළ අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි වීම නම් සටන් පාඨය මගින් සමාජයේ ප්‍රතිරෝධයන් ඕපපාතිකව උත්පාද වන්නේ නැත.

Advertisements