13174000_997719320319938_300990818526847183_n

අද අපට උද්ගතව ඇති පරිසර අර්බුදයෙන් පලා යා නොහැකිය. එය එසේ වන්නේ මානවයාට හිතකර ලොවක් නිර්මාණය කිරීමට ඇති සියලු පරිසර සම්පත් අවසන් වීම අද වන විට සීඝ්‍රගාමී වීමත් එසේම ඒවායේ ප්‍රථිපලයන් ලෙසට නැවත ඒවා මානවයාට එරෙහිව ව්‍යසන ලෙස නැඟී සිටීමත් නිසාය. මේ පිළිබඳව විශාල සාකච්ඡාවක් මෙම දිනවල මොරොක්කෝවේ දී පැවැත්වේ. එය සංවිධානය කරන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයයි. පසුගිය පස් වසරේ දී අන් කවරදාටවත් වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා සමුළුව(WMO),  සඳහන් කරයි. එසේම  එම සමුළුවේ දී මේ පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කරන ලදි. මේ අනුව ධ්‍රැවීය අයිස් කඳු දියවීම හේතුකොටගෙන මුහුදු රළ ඉහළ යාම භයානක තත්ත්වයක් ලෙස  මෙමඟින් පෙන්වා දී ඇත.මෙම තත්ත්වය ඇන්ටාක්ටික් ග්ලැසියර වලට සෘජුවම බලපානු ලබයි. දැනටමත්  ආක්ටික් මුහුදේ අයිස් තට්ටු දියවීමේ වේගය පසුගිය වසර 29 ට සාපෙක්ෂව මෙම ආසන්න වසර 5 ඇතුළත වේගවත් වී ඇත. මේ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධව විශාල අර්බුදයක් අප ඉදිරියේ පවතින බව දැන් අපට පැහැදිලිය.

විශේෂයෙන්ම පරිසරය රැක ගැනීම වෙනුවෙන්, පරිසරය සංරක්ෂණය පිළිබඳව කතිකාවන් ද මේ සමඟම ඉදිරියට එනු දක්නට ලැබෙයි. පරිසරය පූජනීයයි වැනි ඊනියා පරිසර සුරැකීම් වලින් අප මිදිය යුත්තේ එම නිසාය. විශේෂයෙන් පරිසරය රැක ගැනීම වෙනුවෙන් පවතින අධිපති කතිකාව යෝජනා කරන්නේ ඒ පිළිබඳ ‘භක්තිවාදී’අදහසයි. නමුත් මා මෙහිදී අවධාරණය කරන්නේ එවන් භක්තිවාදී ලෙසට ගෝලීය පරිසර අර්බුදය වටහා ගත නොහැකි බවයි. විශේෂයෙන්ම පරිසරය ලෙසට නම් කිරීමේදී එහි අර්ථකථනය කරගන්නා ආකාරයම ගැටලු සහගතය. මා මේ වෙලාවේ ඉන්නා නිවස , පරිඝණකය මේ සියල්ලම නොමැති වුවත් මෙහි පරිසරයක් ඇත. එය තරමක් සරල ලෙසට කියන්නේ නම් මිනිසාට පරිසරය පිළිබඳව අර්ථකථන දිය හැකිය. නමුත් මිනිසා ද එහිම වූ කොටසක් බව වටහා ගත යුතුය. පරිසරය යන්න අප නොමැතිව කතා කළ නොහැකි දෙයක් බව අප වටහා ගත යුතුය. විශේෂයෙන්ම මිනිසාගේ පැවැත්ම සඳහා ලෝකය තුළ ඇති මෙම වටපිටාබව අතිශය වැදගත්ය. නමුත් බොහෝ විට පරිසරය පිළිබඳව අප අර්ථක්ථනය කිරීමේදී අප පිට සිට ඒ ගැන කතා කිරීමේ ප්‍රවණතාවය අද වන විට අධිපතිධාරී වී ඇත. තවත් සරලවම කියන්නේ නම් මේ සියල්ල අතර අන්තර්සම්බන්ධයක් ඇති බව අප වටහා ගත යුතුය. ඒ අන්තර්සම්බන්ධයෙන් අපට මිනිසා යන සාධකයවෙන් කළ නොහැක. මිනිසා, ගහකොළ, සමුද්‍රය, ඕසෝන් වියන මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් ඇත. මිනිසා සහ වස්තූන් අතර ද වස්තූන් වස්තූන් අතරද ඒ අන්තර්සම්බන්ධය පවතී.

විශේෂයෙන්ම අද පරිසර අර්බුදය අපට කොටස් ද්විත්වයක් ලෙසට දැකිය හැකිය. එක් ආකාරයක් නම් අපට පාලනය කළ හැකි පරිසර අර්බුද පැවතීම ගත හැකිය.අනෙක් ආකාරය වන්නේ අපට කිසිසේත්ම පාලනය කළ නොහැකි පරිසර අර්බුදයි. දැන් අපි උදාහරණයක් ලෙසට ගන්නේ නම් විල්පත්තු වන විනාශය, ගංගාඉවුරු රැකීම, සමුද්‍ර ඛාදනය වැනි දේවල් පාලනය කළ හැකිය. ඕසෝන් වියන රැක ගැනීම පවා අද අපට කළ හැකිය. ඒවා පාලනය කිරීම සඳහා අපට දැන් අවශ්‍යය තාක්ෂණය නිරතුරුව වර්ධනය වෙමින් පවතී. දිනෙන් දින නව සොයාගැනීම් , අත්හදා බැලීම් සිදු වේ. එහි මෑත කාලීන උදාහරණයක් ලෙසට සමුද්‍රතෙල් තට්ටු ඉවත් කිරීමට හැකි රොබෝ මාළුවකු සොයා ගැනීම දැක්විය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ මෙතරම් තාක්ෂණය තිබුණ ද පරිසර අර්බුදය වඩාත් ඉහළ තලයකට යාමයි. එසේම අපට පාලනය කළ නොහැකි අර්බුදයන් ද පවතී. හිරුගේ උෂ්ණත්වය ඉහළ යාම, විශාල උල්කාපාත කඩා වැටීම අපට වලක්වා ලිය නොහැක. නමුත් අපට වලක්වා ගැනීමට හැකි පරිසර අර්බුද වෙනුවෙන් සටන් කිරීම ඒ වෙනුවෙන් පෙනී සිටිම යුගයේ අවශ්‍යතාවයකි. වෙනත් වචන වලින් කියනවා නම් අද ගෝලීයව ගොඩනැඟී ඇති පරිසර අර්බුදය අපට බල කර සිටිනවා ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙස. අප දාර්ශනිකව පරිසරය යන අදහස බාරගත්ත ද අද වන විට මෙයට සක්‍රීයව මැදිහත් වීම අපගේ සමාජය තුළින්ම මතුවන කාරණාවක් බවට අද පත් වී හමාරය. මහා බාධක කොරල් පරයේ විශාල ප්‍රමාණයක් විනාශ වූ බව පසුගිය දා ලෝක විද්‍යාඥයන්ගේ සංගමය නිළ වශයෙන් දැනුම් දුන්නේය.මහනුවර නගරයේ විශාල වශයෙන් වායු දූෂණයක් ඇති වීම.චීනය කැනඩාවෙන් ඔක්ෂිජන් ආනයනය කිරීම. බොම්බාය නගරයේ වායු දූෂණය මිනිසාට ජීවත් වීමට නුසුදුසු ලෙසට ඉහළ යාම වැනි කාරණා මෑත කාලීනවගෝලීයව උද්ගත වී ඇති අර්බුදයන් ලෙසට අප වටහා ගත යුතුය.

මා මෙම ලිපිය ලිවීමට හේතු වූ ප්‍රධාන කාරණාව වන්නේ තල්මසුන් දඩයම පිළිබඳව නලීන් ද සිල්වා විසින් කලෙකට ඉහත දී ඔහුගේ ‘කාලය’ නැමැති බ්ලොග් අඩවියට ලියූ ලිපියකි. නලීන් ද සිල්වාගේ මෙම ප්‍රකාශයන් අප සංකීර්ණව බාර ගත යුතු යැයි මම සිතනවා. නලීන් ද සිල්වා තල්මසුන් මැරීම පිළිබඳව කරන ප්‍රකාශයේ ආස්ථානය අපට කිසිසේත්ම සරල කොට තැකිය නොහැකිය. ඔහු අසන්නේ දැනුම පිළිබඳ ප්‍රශ්නයයි. එය තවත් සරල කරගන්නවා නම් , අප කිනම් ආකාරයට ද සත්තු මරණව ද නැද්ද කියා තීරණය කරන්නේ ? ඒ තීරණය ගැනීමේ බලය, හැකියාව, ශක්‍යතාවය තිබෙන්නේ මිනිසුන්ටය. එම තීරණය ගැනීමට සත්තුන්ට නොහැකිය. එවිට අපි මොන සත්තු මරණව ද මොන සත්තු ජීවත් කරනවා ද කියන තීරණය නලීන් ද සිල්වා ට අනුව පදනම් වන්නේ කිසියම් සංස්කෘතියකට අනුවයි. ජපානයේ ඩොල්ෆින් මසුන් මැරීම පිළිබඳව නිර්මාණය කළ වාර්ථා චිත්‍රපටයක් වන the Cove නම් චිත්‍රපටය මෙහිදී අපට උදාහරණක් විදිහට ගැනීමට හැකිය. මෙම චිත්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ඇමරිකානුවෙකි. ඔවුන් අසන ප්‍රශ්නය වන්නේ ඩොල්ෆින් මසුන් මෙතරම් මරන්නේ ඇයි ?කියායි. නමුත් පෙරලා ජපන් ජාතිකයන් අසන ප්‍රශ්නය වන්නේ ඇමරිකානුවන් හරක්, ඌරන් ලක්ෂ ගණනින් මරන්නේ ඇයි කියාය.

දැන් අප විශාල ගැටලුකාරීත්වයකට මැදි වෙනවා. මෙයට පිළිතුරු ලෙසට නලීන් ද සිල්වා ගෙන එන යෝජනාව වන්නේ එක එක සංස්කෘතීන් වල පැවතීමට, තමතමන්ගේ සංස්කෘතිය නඩත්තු කිරීමට නිදහස ලබා දීම වැනි යෝජනාවකි. ජපන් මිනිස්සු තල්මස්සු මරණවා, ඇමරිකානුවෝ හරක්, අපි ඉස්සෝ මරණවා ආදීවශයෙන් වූ යෝජනාවක්. දැන් මෙහිදී ගැටලුවක් පැන නඟිනවා. එනම් , තල්මස්සු මරණ එක ප්‍රශ්නයක් ලෙසට මතු වන්නේ සංස්කෘතික ප්‍රශ්නයක් ලෙසටනොව සංස්කෘතීන් වාසය කරන පොදු ලෝකය තුළ වීම නිසාය. අපට මෙවැනි අර්බුද සාකච්ඡා කළ හැක්කේ පරිසර විද්‍යාත්මකව ලෝකය මුහුණ පා ඇතිඅර්බුදත් සමඟය.

වඳ වී යන සතුන් සංරක්ෂණය නැමැති අදහස නතු වන්නේ මෙයට විසඳුමක් ලෙසය. නමුත් අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාව වන්නේ මෙම පරිසර සංරක්ෂණය නමැති අදහස මතු වන්නේ කිසියම් එක සංස්කෘතියක් තුළින් ද ? එසේ නැතිනම් සංස්කෘතිය ඉක්මවා ගිය පොදු ඉල්ලීමක් ලෙස ද කියන්නා වූකාරණයයි. අද දවසේ මතු කළ යුතු වැදගත් මාතෘකාවක් ලෙසට මම මෙය හඳුනාගනිමි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක පරිසර සංවිධාන ආදිය මෙම පරිසර සංරක්ෂණය නැමැති අදහස ගෙන එන්නේ පොදු මිනිසාගේ යහපත වෙනුවෙනි. ඒක ක්‍රිස්තියානි සංස්කෘතියෙන් පමණක් එන අදහසක් නොවේ. දැන් නලීන් ද සිල්වාට මෙතනදී වර නඟන්නට හැකි දෙයක් තිබේ. එනම් මේ සංවිධාන මේ ආකාරයට පරිසර සංරක්ෂණය සිදු කළත් ඒවා බටහිර ක්‍රිස්තියානි දැනුමට,සංස්කෘතියට පක්ෂපාතී යැයි ඔහුට කිව හැකිය. නමුත් ඔහු මෙහිදී පිළිතුරු නොදෙන ප්‍රශ්න ද්විත්වයක් ඇත. පළමු ප්‍රශ්නය වන්නේ ධනවාදය පිළිබඳ ප්‍රශ්නයයි. ඔහු එයට විසඳුමක් යෝජනා නොකරයි. ඒවගේම ඔහු මේ පිළිබඳව අවධානය යොමු නොකරයි. අවසාන වශයෙන් ඔහු සුපුරුදු ලෙසම මෙය බැර කරන්නේ බටහිර චින්තනය මතටය. දෙවැන්න වන්නේ ඔහු පරිසර අර්බුදය ගෝලීයව බාර නොගැනීමයි. ඒ වෙනුවට ඔහු එය සංස්කෘතියට ඌනනය කරයි.නමුත් අපට අපේ සංස්කෘතිය කියනා රාමුවේ සිට මෙයට පිළිතුරක් සෙවිය නොහැකි බව පැහැදිලිය.

එම නිසා අපට සිදුවෙනවා සියලුදෙනාටම බලපාන ප්‍රශ්නයක් ලෙස පොදු නියාමන විධික්‍රමයක්, ආයතන ව්‍යුහයක්, ආකෘතියක් යෝජනා කිරීමට. නමුත් මේ නියාමන යාන්ත්‍රණය කිසිම ජාතියකට, සංස්කෘතියකට පක්ෂපාතී නොවන කිසියම් ආකාරයක විශ්වීයත්වයක් පිළිබඳ අදහසක් විය යුතුය. එවිට මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ ජාතික සංස්කෘතිය ඉක්මවා ගිය විශ්වීයත්වයක් පිළිබඳව වූ ව්‍යාපාරයක් වෙනුවෙන් පිනී සිටීමෙන්ය. හරක් මැරීම නවත්තන්න , යැයි බලකරමින් මහනුවර මාළිගාව ඉදිරිපිට භික්ෂුවක් ගිණි තබා ගැනීම සහ විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සහ සුනාමිය, ශ්‍රීපාදය රැකගැනීම  ඇතුළු තව බොහෝ පරිසර අර්බුදසමඟ ලංකාවේ උද්ගත වූයේ ජාතිය, සංස්කෘතිය පෙරටු කොටගත් ව්‍යාපාරයන්ය. ඒවා බොහෝ විට පරිසර අර්බුදයට පිළියම් ලෙසට ඉදිරිපත් වුව ද ඒවා ජාතිය ආශ්‍රයෙන් බිහි වූ ඒවාය. මා නලීන් ද සිල්වා අසන ප්‍රශ්නය බැරෑරුම්ව ගත යුතු යැයි යෝජනා කරන්නේ මෙම තත්ත්වය නිසාය. ජපන් ජාතිකයන් ඩොල්ෆින් මසුන් මැරීමත් ඇමරිකානුවන් හරක් මැරීමත් මෙතනදී සාකච්ඡා කළ යුත්තේ එම නිසාය. එක් සංස්කෘතියක් නිවැරදි යැයි ද තවත් සංස්කෘතියක් වැරදි යැයි දතීරණය කිරීමට අයිතිය ඇත්තේ කාහට ද ? එසේ තීරණය කිරීමට නම් අපට සංස්කෘතිය ඉක්මවා ගිය දැනුම් පද්ධතියක් අවශ්‍යය වේ. සියලු දෙනාටම එක සේපිළිගත හැකි අදහසක් අවශ්‍යය වේ. මේ සඳහා අපට උදාහරණයක් ලෙසට සම්භාව්‍යය මාක්ස්වාදය ගත හැකිය. එය පෙනී සිටියේ එවන් ව්‍යාපාරයක් වෙනුවෙනි.

දැන් අපට මෙහිදී පැන නඟින ප්‍රශ්නය වන්නේ’ සංස්කෘතියකට බැඳුනේ නැත්නම් අපට දැනුමක් තිබෙනවා ද කියනා ප්‍රශ්නයයි. මේ මොහොතේ අප වඩාත්ම සාකච්ඡා කළ යුතු වන ප්‍රශ්නය වන්නේ එයයි. ගෝලීය පරිසර අර්බුදය සඳහා ජාතියකට හෝ සංස්කෘතියකට ලඝු වී පිළිතුරු සෙවිය නොහැකිය. මෙවැනිගෝලීය අර්බුද ජාතීන් , සංස්කෘතීන් තුළින් දැකීමේ අවසානය වන්නේ වාර්ගික අන්තවාදයන් වෙත එය තල්ලු වීමයි.එය ඉතා භයානක තත්ත්වයක් බව අප වටහාගත යුතුය. එය යම් ලෙසකට මනුෂ්‍යය සංහාරයක විනාශයක් විය හැකිය.

නලීන් ද සිල්වා මෙහිදී අපට ඉඟි කර සිටින්නේ සිංහල බෞද්ධ චින්තනයෙන් ලෝකයම යළි ව්‍යුහගත වූ පසු මෙම ප්‍රශ්නය විසඳිය හැකි බවය. අප නලීන් දසිල්වාට වැඩි බර තැබීමක් කළ ද මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අපට එතරම් කාලයක් බලා සිටිය නොහැක. එයට පිළිතුරු සෙවිය යුත්තේ මෙම පවතින ක්‍රමය තුළිනි. එම නිසා අද මේ ගෝලීය පරිසර අර්බුදය අපට බල කර සිටිනවා ජාතික සංස්කෘතිය ඉක්මවා ගිය විසඳුමක් වෙත යා යුතු බව. ඒ නිසා එයට සරිලන දාර්ශනික ස්ථාවරයන් බිහි කිරීම මේ යුගයේ අවශ්‍යතාවකි. අද සමකාලීන චින්තන ව්‍යාපෘති සියල්ලම මෙම ප්‍රශ්නය නැඟීම සුවිශේෂී තත්ත්වයක්. පැහැදිලි ලෙසම මෙහිදී හෙළිදරව් වන කාරණය වන්නේ අපට දැනුමේ සීමාවක් පවතින බවයි. නමුත් එම දැනුමේ සීමාව තිබිය දී පවා පවත්නා ක්‍රමය විසින් ගෝලී යපරිසර අර්බුදය විසඳීම ඉල්ලා සිටී. අප කළ යුතු වන්නේ එම දැනුම නිර්මාණය කර ගැනීමයි. නලීන් ද සිලවා ට අනුව තල්මසුන් මැරීම හරි ද වැරදි ද යන්න තීරණය වන්නේ සංස්කෘතියෙන් ද ? සංස්කෘතිය ඉක්මවා ගිය දැනුමකින් ද ? මෙම ප්‍රශ්නය අප මුලින්ම අවධාරණය කර ගත යුතුය.  නැතහොත් මෙහි අවසානය වන්නේ වාර්ගික අන්තවාදයක් වෙතට ලෝකය ඇදී යාමයි. එවිට අපට එවන් එවන් සංස්කෘතිය ඉක්මවා ගිය දැනුමක් අවශ්‍යය වේ. ඊළඟට අප වෙත පැමිණෙන ප්‍රශ්නය වන්නේ එවන් දැනුමක් අප සතුව නොමැති වීමයි. මේ නිදර්ශනයක් දෙනවා නම්, කොමියුනිස්ට්වාදය තුළත් හෛඩෙගරියානු චින්තන ව්‍යාපෘතියත්, සැල්වොයි ජිජැක් එසේත් නැතිනම් බදියුයානු චින්තනයත් අපට පෙන්වා දෙන්නේ එවන් දැනුමක් සොයාගත හැකි බව නොවේ ද ? මම හිතන්නේ වසර තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කියවන කවයවිසින් සිදු කරන්නේ එම කාර්යයි. අප සතුව නොමැති නව විශ්වීය දැනුමක් සෙවීමයි.

එරන්ද මහගමගේ

Advertisements