අපගේ කුඩා කල සිට, පන්සලේ සිට පාසැල දක්වා නොයෙකුත් ගුරුවරුන් හමු වී ඇත. ඔවුන්ගෙන් ඉගෙන ගත් බොහෝ දේ ඇති බැවින් ඒ වෙනුවෙන් ගෞරව කළ යුතුය යන හැඟීම අප තුල නිරුත්සාහකව ම පවතියි. එහි දී එය පරම යුතුකමක් වශයෙන් සැළකීම ගැන ද සැක සංකා කිසිවක් තිබිය නොහැක. ගුරුවෘත්තියේ යෙදෙන කාලය තුල ඔහුට හෝ ඇයට හමු වූ ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය දෙස බලා තමාව ම ආඩම්බරයට පත් කරවන තරමේ ප්‍රහර්ෂයක ඔවුන් නියැලෙමින් සිටියි. වැටුප් ලැබුව ද එය ඊට ඔබ්බෙන් වූ උතුම් කාර්යයක නියැලීම ගැන සතුටු වන්නන් බවට තමන්ව පත්කරගැනීමට අධ්‍යයතන ගුරුවරුන්ට අවශ්‍යය.

baffbf123f3ae34e8215c1e557bac85a

අපේ ජීවිතයට ගුරුවරයෙකුගේ පැමිණීම කෙසේ  සිදුවන්නේ ද කියා විමසුවොත්,  ලැබෙන පිළිතුර වන්නේ මැදිහත්කරුවෙකු / අතරමැදියෙකු ස්වභාවයෙන් එය සිදුවෙන්නක් බවයි. නමුත් එය ශිෂ්‍යයා වෙතට නැඹුරු වී බැලු විට පමණක් පෙනෙන ප්‍රකාශයකි යැයි යමෙකුට කිව හැකිය. ඔහු මැදිහත්කරුවෙකු වන්නේ ශිෂ්‍යයාට මෙන්ම තවත්  කිසියම් විෂයකටය. ඒ විෂය රාජ්‍යය විය හැකිය. නැතහොත් දර්ශනය හෝ දේශපාලනය විය හැකිය. එසේත් නැති නම් ආගම විය හැකිය. එබැවින් මෙම අතරමැදිභාවය ගුරුවරයාගේ පැත්තෙන් සංකීර්ණ යමක් වන බව ද කිව යුතුය. එලෙස ඔහු එක් අතකින් තුන්වැන්නෙකුට වගකියන්නෙකු වනු ඇත. එවිට එය ශිෂ්‍යයා වෙතට ම වූ නැඹුරුවක් ම නොවෙනු ඇත .

උදාහරණයක් ලෙස පාසැල් අධ්‍යාපනයේ දී අපට හමුවන ගුරුවරුන් රාජ්‍යය සහ මම අතර වන ව්‍යාපෘතියක අතරමැදියෙකු වෙයි. එ බැවින් ඔවුන්ගේ එම මැදිහත්වීම වෙනුවෙන් ගාස්තුවක් ගෙවිය යුතුය. මේ ගාස්තුව නිකම් ම නිකම් ගාස්තුවක් නොව, එය රුපියල් 25, 000 ක් නම් ඒ සමග ම ගෞරවය, ඇගයීම, විවේක බුද්ධිය ද, අපගෙන් අය කර ගැනීමට රාජ්‍යයේ වෙසෙන සෑම නිශ්පාදනීය මිනිසෙක් ම ගුරුවරුන් වෙනුවෙන් ඉඩ හල යුතුය. එය වැටුපට වඩා යමකි. ඇතැම් විට සුවිශාල ගුරු පඬුරු ..!

වෙළෙන්දන් යනු මෙලෙස සිටින තවත් අතරමැදියන් වර්ගයකි. ඔවුන්ගේ ද මුල් සම්බන්ධය ඇත්තේ අනිවාර්ය ලෙස ම නිශ්පාදනීය මිනිසුන්  සමගය. නිශ්පාදකයාගෙන් හැකි තාක් අඩු මිලට ගෙන පාරිභෝගිකයා  වෙත වැඩි මුදලකට විකුණා, මේ දෙපිරිසට ම වැඩි බරක් දීම ඔවුන්ගේ අභිලාෂයයි. අඩු බරක් දෙන වෙළෙදුන් කියා යමක් මෙලොව නැත.

මෙම වෙළදුන් අතරින් අපට පෙනෙන්නේ අතරමැදිභාවය ගැන කාරණයකි. එනම් නිරන්තරව ම අතරමැදිභාවය විසින් යම් විෂයක් ගැන වූ පෝෂණයට ව්යාජයක් කරනවා යන්නයි. ගුරුවරයා සහ වෙළෙන්දා  අතරමැදියන් ලෙස ගන්නට නොහැකි කමක් ඔබ තුල වේද එය එම ව්‍යාජයෙහි යෙදී සිටින්නන්ගේ හිත සුව පිණිසම ය. මේ අනුව ගත් විට  තව දුරටත් ශිෂ්‍යයෙකු ලෙස නියැලීම ගැන අප අපව ම හොඳින් සූදානම් කරගත යුතුය. ඒ කෙසේද යත්.. ?

යම් දත්ත වාර්තවක් ඉදිරිපත් කරන විට එහි වෙළෙන්දන් වැඩි වන වේගය ගැන පෙන්වද්දී  ගුරුවරුන් වැඩි වන වේගය ගැන ද යමක් සඳහන් කරන්නේය යනුවෙන් උපමාත්මක උපකාරයක් ගන්නට සිදු වීම ගුරුවරන් ගැන වූ විවේචනයකට එතරම් බුද්ධිමත් ක්‍රියාවක් සේ නොපෙනෙනු ඇත. එහෙත් ගුරුවරුන්ට එරෙහි වීම ගැන ශිෂ්‍යයන් විසින් මූලධර්මයක් සොයා ගත යුතුය. ඒ සඳහා අවශ්‍යය සියලු ම අයිතිය ශිෂ්‍යයා තමා වෙත පවරා ගත යුතුය. මේ අතරමැදි මිනිසා වෙත අනුකම්පාව ගෙන දෙන බොහෝ දේ මේ වන විට ශිෂ්‍යයාවන්ට මුණ ගැසී ඇත. ගුරුවරුන් අපට මහ මග බස් රථ තුල කොන්දොස්තරවරුන්ගෙන් බැනුම් අසමින් සිටින අතරේ හමු වී ඇත .

ගුරුවරු මේ අර්ථයෙන් සමාජයේ බහුල වී ඇත. ඇතැම් විට එලෙස බහුල වීම පිටුපස ඇත්තේ තමන්ගේ ජිවිතය වඩා සුව පහසු ලෙස මේ මොහොතේ දී ගත කළ හැකි ආකාරය ගුරුවරයෙකු වීම යැයි සිතන නිසා විය හැක. එය එසේ නම් මොන තරම් අාධ්‍යාත්මික දුප්පත්කමක් විය හැකි ද ? සමාජයක ගුරුවරුන් වැඩි වීම මොන ආකාරයක දුර්ගුණයන් ඇති කරන්නක් ද ? සහ ඊට පෙර නිමිති සපයන්නක් ද ? ගුරු බෝම්බ..!! මීට එරෙහි වීම ශිෂ්‍යයන්ගේ අයිතිය යි.

මෙය අත්‍යවශ්‍ය නස්පැත්තියක් වන්නේ එය අධ්‍යාපනය ලැබීමේ දී ශිෂ්‍යයෙකු මුහුණ දෙන පවතින අභියෝගය ද වන නිසාය. ඉතින් ශිෂ්‍යයිනි ඔබගේ ගුරුවරු ගැන මවිත වීම පමණක් සෑහෙනු ඇත.

ගුරුවරුන් ලෙස අපගෙන් අහිමි කරවනු ලබන්නේ ද මේ මවිත වීමේ හැකියාවයි. ඕනෑම දෙයක් ගැන මවිත වීමේ හැකියාව නොසෑහෙන ලෙස පටු කිරීමට ඔවුන්ගේ ව්‍යාජ පෝෂණය විසින් උත්සාහ ගෙන ඇත. ඇත්තෙන්ම ඔවුන් අපව අධික ලාභ ලබමින් සූරාකන්නට සම්මුති සකසා ගෙන ඇත. සියලු වැටුප් වැඩිවීම් තුල ඇත්තේ ශිෂ්‍යයන් විසින් ගත් ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල දෙස නැවත හැරී බලමින් ද ?

ශිෂ්‍යයනි අන්න ..!! ඔවුන් ඔබට අයිතිවීමට නියමිතව තිබූ  ශ්‍රෙෂ්ටත්වයක් මංකොල්ලකමින් ඇත.” පාසැලේ හොඳම සිසුවා මගෙත් ශිෂ්‍යයෙක්”යනුවෙන් ..!!

මවිත වීම තහනම් දේ බවට පත් කර ඇති බව ඔබ දැන ගත් විට, ගුරුවරුන් වෙත ඔබ සිදු කරන අපහාසයන්ට යුක්තිය ඉටුවනු ඇත. ඔබට අවශ්‍ය ගුරුවරයා පිලිබඳ අවසන් සත්‍යය නම් ඒ සඳහා සියලු මෝඩකම් ද අසත්‍යන් ද අවශ්‍ය වන්නේය. ඔබ තුල ඇති මේ දෙවර්ගය ම ගුරුවරයාගෙන්  ගොන්ම ප්‍රශ්න ඇසීම මෝඩකමට ද, කාල සටහන නම් අසත්‍යයට ද හිමි විය යුතුය.

ශිෂ්‍යයන් ලෙස නරක ම ශිෂ්‍යයාගේ සිට හොඳම ශිෂ්‍යයා දක්වා යනු ගොඩනැගීමක් බව, ඒවායේ නිපුන් මහත්මාවරුන්, ගුරුවරුන් බව දැනගත යුත්තේ එ බැවින්ය. මරණයට බිය ඔවුහු ජීවත් වීම ගැන පමණක් අපට කියා දෙති. මරණය ගැන යම් තරමකින් හෝ කතාන්දරයක් ඇසෙන්නෙ සාහිත්‍යයෙන්, විද්‍යාවෙන් හා ආගමෙන් ය. අවාසනාවට එය ද උගන්වන්නේ ගුරුවරුන්ය. මේ  අත්‍යවශ්‍යම නස්පැත්තිය  සුන්දර මිනිසුන් බිහි නොකරන්නට වග බලා ගත්තා විය යුතුය. මරණයට ඇති බිය අත්පත් කරගැනීම පිලිබඳව ඔවුන්ගෙන් ලද   ගුරුහරුකම්  සම්පූර්ණ කිරීම නිසා ගුරුවරුන්ගේ ප්‍රශංසාව ලද   කීකරු පාක්ෂිකයෙකු හොඳම ශිෂ්‍යයා ලෙස  සම්මාන ලැබුවා මතකද ? අහා.. ඊට වඩා වැඩි යමක් ලෙස   ඔබ පංතියේ  නරකම සිසුවා නම් මා ඉන්   සතුටු වෙමි.

නරකම සිසුවා වෙත ගුරුවරයෙකුට කළ හැකි දෙයක් නොමැත. එබැවින් යම් තරමකට හෝ විමුක්තියක් ලැබූ ආත්මය වන්නේ ඔහුය. මා ආදර ශිෂ්‍යයිනි..!! ඔබ ඔවුන්ගෙන් උගෙන ගත යුතුය. ඔබ වෙත පැමිණි සෑම ගුරුවරයෙකු ම අඩක් වෙළෙන්දෙක්ය. ඉතිරි බාගය ඔබගේ අභිමානය, ආත්ම ශක්තිය, උමතුව, වේදනාව මංකොල්ල කමින්,

” ඒ මගේ ගෝලයෙක්. නැහැ, ඒ මගේ ගෝලයෙක් නෙවෙයි ”

යනුවෙන් විනිශ්චයන් දීම ගැන ගෞරව ලැබීමට ඔබගෙන් සුදුසුකම් ඉල්ලන අසරණ ආත්මයක් බව උගත යුතුය. එලෙස ගුරුවරයා මේ යූගයේ අත්‍යවශ්‍ය නස්පැත්තියක් වීම ගැන ඔබගේ අනුකම්පාව නම් මේ මොහොතේ  නොලැබිය යුතුය.

”ඩෙස් පුටු කම්බි කූරු රට හුණු කොට්ට කලු බෝර්ඩ් ආත්මය” මා නොවෙමි ..!!

කේ.කේ. ශ්‍රීනාත් චතුරංග

Advertisements