godspeed-you

‘සංගීතය’ යනුවෙන් සමකාලීන ලෝකයේ අත්දකින්නට ඇති දේ අතිශයින් සීමාසහිත වූ, කුඩා ආකෘතියක් බව අපි දනිමු. බොහෝ දෙනෙකු ‘ඔපෙරා’, ‘සිම්ෆනී’, ‘කැන්ටාටා’ වැනි වචන මෙන්ම ‘බීතෝවන්’, ‘මොසාට්’, ‘බාක්’ වැනි පුද්ගල නාමයන් අසා තිබේ. නමුත් ඒවා සම්බන්ධයෙන් බහුතරයක් හට තිබෙන්නේ එක්තරා සීතල දුරස්ථ බවකි – ඒවා බොහෝ ගෞවරණීය, ඉහළ ගණයේ කලා නිර්මාණ කියා අපි සිතමු, නමුත් ඒ ‘ඉහළ-බව’ කුමක්ද කියා නිශ්චිත වශයෙන් අවබෝධ කරගැනීමට අපි මහන්සි නොවෙමු. සත්‍ය වශයෙන්ම අපේ ජීවිතයේ අසා තිබෙන, බැඳී තිබෙන, ආදරය කරන සංගීතය වන්නේ ‘විනාඩි තුනේ ගීතය’ නම් ආකෘතියෙන් තැනුණු නිර්මාණ කීපයක් පමණි. මින් අදහස් කරන්නේ අප සිම්ෆනි වැනි ආකෘති වල නිර්මාණ අසා නොමැති බව හෝ බීතෝවන් වැනි අයගේ නිර්මාණ අසා නොමැති බව හෝ නොවේ. නමුත් ඒවා අප බොහෝ දෙනෙකුගේ ජීවිත වලට අවංකව සමීප වූ නිර්මාණ නොවේ. අප හොඳින් දන්නා, අප යලි යලිත් සවන් දෙන සංගීත ආකෘතිය වන්නේ ‘විනාඩි තුනේ ගීතයයි’.

එය තුළම ගත්විට, මෙය ගැටලුවක් නොවන බව කෙනෙක් පැවසිය හැකිය. ‘ගීතයට’ වඩා ‘සිම්ෆනි’ එක වඩා හොඳ බව පිළිබඳ විශ්වාසය තවදුරටත් දාර්ශනිකව පිළිගත හැකි ආස්ථානයක් නොවේ. කලා නිර්මාණයක වටිනාකම තීරණය කිරීමේදී පුද්ගලික රුචිකත්වය යන සාධකය මුළුමනින් ඉවත් කළ නොහැකිය. එනිසා කලාවේ ‘වඩා හොඳ බව’ මැන ගැනීම මුළුමනින් වාස්තවික කරුණක් නොවේ. අවශ්‍යනම්, මේ ආකාරයට සංගීත වර්ගීකරණයන් පිළිබඳ විවේචනය සංස්කෘතික යටත්විජිතවාදය දක්වාම දිගු කළ හැකි වේ. එයට අනුව ගීත වලට වඩා සිම්ෆනි හොඳයි කියා ප්‍රකාශ කිරීම යුරෝපීය සංස්කෘතියේ ප්‍රමුඛ බව වෙත යට වීමක් මිස, නෛසර්ගික වටිනාකමක් පෙන්වා දීම නොවේ.

නමුත් මෙම සටහන මගින් උත්සාහ කරන්නේ කලාවේ වටිනාකම තීරණය කරනා ආකාරය පිළිබඳ දාර්ශනික ප්‍රශ්නයට මැදිහත් වීමට නොවේ. ඒ වෙනුවට මෙහි දී සලකා බලන මූලික ගැටලුව වන්නේ ‘විනාඩි තුනේ ගීතය’ සංගීතය ඇසීමේ එකම මාදිළිය ලෙස ගැනෙනා සමාජයකට ප්‍රායෝගිකව මුහුණ දීමට සිදු වන අභියෝගයක් පිළිබඳවයි. ඒ තමයි මෙම ආකෘතිය මගින් ඉතාම රැඩිකල් ලෙස නවීන නිර්මාණ බිහි වීමේ අපහසුව.

මෙය වටහා ගැනීම සඳහා ඇලේන් බදියූ කියන ප්‍රංශ චින්තකයා නිතර භාවිතයට ගන්නා saturation නම් අදහස උපයෝගී කරගැනීමට හැකි වේ. Saturation යන වචනය අපට ආසන්න වශයෙන් ‘පූර්ණ තෙතබරිත බව’ ලෙස පරිවර්තනය කළ හැකිය. රෙදි කඩක් ජලයේ ඔබන විට එයට ජලය උරා ගන්නා බව අපි දනිමු. නමුත් එක්තරා සීමාවකට පසුව එයට ජලය උරා ගැනීම නැවතී යයි. ඉන් පසුව එය ජලය යට තිබුනත් එයට අලුතෙන් ජලය උරා ගන්නේ නැත. එවිට එම රෙදි කඩ saturate වී ඇතැයි කිව හැකිය.

බදියූ ට අනුව දේශපාලනයේදී මෙන්ම කලාවේදීත් අපට මෙලෙස ‘පූර්ණ ලෙස තෙත බරිත වූ’ ආකෘතීන් මුණ ගැසේ. නිදර්ශනයක් ලෙස ‘වාමාංශික දේශපාලනය’ මුහුණ දෙන අභියෝග සිහිපත් කරන්න. ඉතාමත් පැහැදිළි වන්නේ තවදුරටත් විසි වෙනි සියවසේ ක්‍රියාත්මක වූ සංවිධාන මාදිළීන් වලංගු නොවන බවයි. සන්නද්ධ ව්‍යාපාරයක් මගින් රාජ්‍ය බලය අල්වා ගැනීම වැනි දේ පිළිබඳව කල්පනා කිරීම පවා හාස්‍යයොත්පාදක වන බව අපි දනිමු. මැතිවරණ සෙල්ලම යනු මෙයට කිසිසේත්ම යහපත් විකල්පයක් නොවන බවත් ඒ තරම්ම පැහැදිළි වේ. එනිසා අද දවසේ බොහෝ වමේ සංවිධාන යනු වෙබ් අඩවි, මාධ්‍ය සාකච්ඡා ආදී දේ තුළ පමණක් පවතින්නා වූ සංවිධාන වේ. ඒවායින් පරිබාහිර සමාජය සංවිධානය කිරීම යනු එම සංවිධාන වලින් අඩුවෙන්ම සිදු වන දෙයයි. ඒ සඳහා ‘වමේ දේශපාලනය’ සඳහා සම්ප්‍රදායිකව උරුම වූ අදහස් සහ ආකෘතීන් තවදුරටත් ප්‍රමාණාත්මක නොවේ. පූර්ණ තෙතබරිත බව යනුවෙන් බදියූ අදහස් කරන්නේ මෙවැනි දෙයකි.

සංගීතය නම් කලාව තුළ ‘විනාඩි තුනේ ගීතය’ ලෙස මෙහිදී නම් කළ සංගීත ආකෘතිය මුහුණ දෙන්නේද මේ හා සමාන තත්වයකටයි. මෙම ආකෘතිය යටතේ නවීනත්වයන් බිහි නොවන බව – අඩුම වශයෙන් එවැනි නවීනත්වයන් බිහි වන්නේ ඉතාමත් අල්ප වශයෙන් බව – අපි හොඳින් දනිමු. මෙයට ඇති අනුභූතික සාක්ෂිය වන්නේ මේ ආකෘතියේ අප කවුරුත් ආදරය කරනා ගීත නිර්මාණය වූ කාලය පරීක්ෂා කර බැලීමයි. එම බොහෝ ගීත නිර්මාණය වී තිබෙන්නේ 70 සහ 80 දශක වල වේ. අප ආදරය කරන, අප නැවත නැවතත් අසන්නට කැමති, අප ගේ මිත්‍රත්වයන්ගෙන් සැදුම්ලත් සන්ධ්‍යාවන් වලදී සාමූහිකව ගායනා කරනා ගීත වන්නේ මේ පැරණි ගීත බව තහවුරු කිරීමට විශාල පර්යේෂණ කිරීමට අවශ්‍ය නැත. අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලිනී, අමරසිරි පීරිස් මෙන්ම, අනෙක් අතට, ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස්, ඇන්ජලීන්, සුජාතා අත්තනායක, රූකාන්ත වැනි පුද්ගල නාම කීපයක් වටා මෙම ගීත එකතුව සංසරණය වෙයි. මෙම ලැයිස්තුවට අලුත් පරම්පරාවන් වලින් ගීත එකතු වන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයකිනි.

මෙහි ප්‍රායෝගික ප්‍රතිඵලය වන්නේ, අවසන් අරුතින් ගත්විට, ‘සංගීතය’ යන අත්දැකීම අපේ ජීවිතයෙන් ඉවත් වීමයි. මෙරට මාධ්‍ය මගින් ඇසෙන්නට තිබෙනා, අලුතෙන් නිර්මාණය වෙන ගීත යනු තවදුරටත් බොහෝ දෙනෙකු, විශේෂ මහන්සියක් ගෙන අහන්නට උත්සාහ කරනා ගීත නොවේ. යන එන ගමන්, ඉඳ හිට අසන්නට ලැබෙන ආකර්ෂණීය තනුවක් වෙත අපේ අවධානය මොහොතක් යොමු වුවත්, ඉක්මනින් අවසන් වන එම අහම්බයේ මොහොත වෙනුවෙන් අපේ ජීවිතය නැවත නාභිගත කිරීමට අප උත්සාහ කරන්නේ නැත. අතීතයේදී කැසට් පටි මිලට ගෙන, ජීවිතයේ අනෙක් වැඩ නවත්වා ඒවාට සවන් දුන් මිනිසුන් අද දවසේ සංගීතය නම් අත්දැකීමෙන් ඈත් වෙමින් යයි. මෙරට සිටිනා, සංඛ්‍යාත්මකව කුඩා, පර්යේෂණාත්මක සහ විකල්ප සංගීත නිර්මාණකරුවන් මුහුණ දෙන එක් අභියෝගයක් වන්නේ මෙයයි. සංගීතයට සවන් දීම යනු, තවදුරටත්, බොහෝ ලාංකිකකයන් ගේ ජීවිතයේ ‘වැඩක්’ නොවේ. සංගීතය යනු යන එන ගමන්, වෙනත් දේ කරන ගමන්, පසුබිමෙන් ඇසෙන්නට ඇති දෙයකි. අනෙක් වැඩ නවත්වා, සංගීතය සමග සම්බන්ධ වීම යනු තවදුරටත් අප සිදු කරනා දෙයක් නොවේ.

සංගීතයේ ඇති විකල්ප ආකෘතික පර්යේෂණ පිළිබඳ සංවාදයක් අත්‍යවශ්‍ය වන්නේ මෙම සන්දර්භයේදීය. එය ‘උසස්’ කලාව සහ ‘ජනප්‍රිය කලාව’ අතර පැවති පැරණි විවාදයට සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, අප මතු කල යුතු ප්‍රශ්නය වන්නේ ‘විනාඩි තුනේ ගීතය’ ට වඩා ‘සිම්ෆනි’ එක උසස්ද/පහත්ද නම් ප්‍රශ්නය නොවේ. ඒ වෙනුවට අද දවසේ ඉදිරියට පැමිණ ඇති ප්‍රශ්නය වන්නේ ‘විනාඩි තුනේ ගීතය’ තුළ නවීනත්වයන් උත්පාද නොවන විට අප කළ යුත්තේ කුමක්ද යන්නයි. අප මුහුණ දෙන්නේ සංගීතයේ පැවැත්ම පිළිබඳ සාංදෘෂ්ඨික අභියෝගයකටයි. සංගීතය සඳහා විකල්ප ආකෘතීන් අත්හදා බැලීම කළ යුතු වන්නේ මෙම නිසාය.

මේ සඳහා විකල්ප ඇති බවනම් අපි හොඳින් දනිමු. නමුත් ගැටලුව වන්නේ, ඕනෑම බැරෑරුම් කලාවක් සමග සම්බන්ධ වනවා හා සම ලෙස, සංගීතය සමග සම්බන්ධ වීමට ද ‘පුහුණුවක්’ අවශ්‍ය වීමයි. ඔබට සංගීතය වටහාගත හැකි වන්නේ’ එවිට පමණි. සත්‍ය වශයෙන්ම ගත්විට මෙය කලාවට පමණක් නොව ආදරයට මෙන්ම විමුක්ති දේශපාලනයට ද උරුම වන්නා වූ ව්‍යූහාත්මක අනිවාර්යතාවයකි. ඔබට ආදරය කිරීම පිළිබඳව දාර්ශනිකව සිතා බැලීම කළ හැකි වුවත් මේ සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් වන්නේ ඔබගේ ජීවිතය තුළ ආදරයෙන් බැඳී තිබීමයි. ආදරය යනු ‘වාස්තවිකව’, බාහිර නිරීක්ෂකයෙක් සේ මැන බැලිය හැකි දෙයක් නොවේ – උණ කටුවකින් ශරීරයේ උෂ්ණත්වය මැන බලනා ආකාරයට කෙනෙකු ගේ ‘ආදර මට්ටම’ මැන ගැනීම කළ නොහැකිය. මේ සඳහා ඔබ ආදරයේ අවකාශයට ඇතුළු විය යුතුය. ආදරයේ අත්දැකීමට අභිමුඛ විය යුතුය. ආදරයේ ‘සත්‍යය’ ඔබට මුණ ගැසෙන්නේ මෙලෙස එහි පාර්ශව කරුවෙකු ලෙස මිස, නිර්පාක්ෂික නිරීක්ෂකයෙකු ලෙස නොවේ. බාහිර නිරීක්ෂකයෙකුගේ ඇසින් ගත්විට ආදරය යනු සෑම විටම ‘අතාර්කික උමතුවකි’, ‘රැවටිල්ලකි’, ‘මායාවකි’. විමුක්ති දේශපාලනය සම්බන්ධයෙන් ද මෙය මේ ආකාරයටම වලංගු වන බව අපි දනිමු. සාමූහික ජීවිතයක් පිළිබඳ අරගල කිරීමේ වැදගත්කම ඔබට දාර්ශනිකව පැහැදිළි කිරීම කළ හැකි වුවත් මේ සඳහා අනිවාර්ය පූර්ව කොන්දේසියක් වන්නේ ඔබ සාමූහික මැදිහත්වීම් වල ඇති ‘තෘප්තිය’ අත්දැක තිබීමයි. එම වියහැකිභාවයේ අනිවාර්යතාවය ඔබට මුණ ගැසෙන්නේ මෙම අත්දැකීම සමග පමණි. පරිබාහිර නිරීක්ෂකයෙකු හට එය පෙනී යන්නේ ද ‘කරන්න බැරි වැඩක්’, ‘පිස්සු වැඩක්’, ‘රැවටිල්ලක්’ ලෙසයි.

ආදරය වටහා ගත හැක්කේ ආදරයේ වතාවත් වලට – ලියුම් ලිවීම, රැය පහන් වන තුරු කෙරෙන සංවාද, සැමරුම් ආදී – සහභාගී වූ අයෙකුට සේම, දේශපාලනයේ සත්‍යය වටහා ගත හැක්කේ දේශපාලනයේ වතාවත් වලට – සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්වීම් සංවිධානය කිරීම් ආදී – සහභාගී වූ අයෙකුට සේම, කලාවේ අපූර්වත්වය වටහා ගත හැක්කේ එය අත්විඳි පාර්ශවකරුවෙකු ලෙස මිස පරිබාහිර විශ්ලේෂකයෙකු ලෙස නොවේ. ඔබ කලාව විඳින්නනම් එහි අතීතය, එහි සම්භවය, අරමුණු, සංකල්ප ආදිය ඉගෙන ගත යුතුය. සංගීතය නම් කලාව සම්බන්ධයෙන්ද මෙය මේ ආකාරයටම අදාළ වේ. සංගීතය යන්න ‘විනාඩි තුනේ ගීතය’ නම් වූ සීමිත ආකෘතියෙන් ඔබ්බෙහි හඳුනා ගත හැක්කේ ඒ සම්බන්ධ පූර්ව අත්දැකීම් තිබේනම් පමණි.

ඉතාම වැදගත් මෙම කර්තව්‍යය සඳහා අපගේ මට්ටමින් කළ හැකි මැදිහත් වීමක් කිරීමට මෙම බ්ලොග් අවකාශය ඉදිරියේදී යොදා ගැනෙනු ඇත. මේ සඳහා අවශ්‍ය එක් කොන්දේසියක් වන්නේ වෙනස් ආකාරයේ සංගීතමය ගොඩනැංවීම් වලට සවන් දීමයි. සංගීතයේ ව්‍යාකරණය ‘ඉගෙන ගැනීමට’ මහන්සි වීම ප්‍රයෝජනවත් බව ඔබට වැටහෙන්නේ, සංගීතය සමග සම්බන්ධ වූ විට පමණි. ඒ නිසා අපේ රටේ සංගීතය යනුවෙන් තිබෙනා සීමිත දේවල් වෙනුවට සමකාලීන ලෝකයේ සංගීතය සම්බන්ධයෙන් තිබෙනා විවිධ අත්හදා බැලීම් මෙහි බෙදා ගැනීමට උත්සාහ කරමු.

අපි සංගීතයට සවන් දෙන සම්ප්‍රදායක් ඇති කරමු. සංගීතය ගැන කතා කරන සම්ප්‍රදායක් ඇති කරමු.

මෙහි ආරම්භක පියවර වශයෙන් “God Speed You! Black Emperor” නම් කැනේඩියානු සංගීත කණ්ඩායමේ “Lift Your Skinny Fists Like Antennas to Heaven” නම් සංගීත ඇල්බමය සඳහා අන්තර්ජාල සබැඳිය පහතින් දක්වා තිබේ. අනෙක් වැඩ නවත්වා ඔබගේ ජීවිතයෙන් පැයක කාලයක් එයට වෙන් කරන්න. මෙය සමග ඔබට සම්බන්ධ වීමේ පූර්ව කොන්දේසියක් වන්නේ මෙය පිළිවෙලින්, අනෙක් වැඩ නවත්වා, එක දිගට සවන් දීමයි. ආදරයෙදී සහ දේශපාලනයේදී මෙන්ම මෙහිදීත් ඔබ ‘විශ්වාසයේ පියවරක්’ තැබිය යුතු වේ.

මේ පිළිබඳ කියවීමක් ඉදිරියේදී මෙහි පළ කරන්නෙමු. නමුත් එයට පෙර මෙම අමුතු, නිර්මානුෂික තාර්කිකත්වයක් ඇති ‘පශ්චාත්-රොක්’ ශබ්දය අසන්න.

Advertisements