943166_6492047_lz-jpg3333වෙනස්වීම යනු ඉතාම සරල දෙයක් කියා අප සිතයි. නමුත් පාමනයිඩීස් කියන ග්‍රීක මනුස්සයෙක් මෙයට වසර දෙදහස් පන්සීයකට පෙර මේ සරල අදහස ප්‍රශ්න කරන තර්කයක් ගෙන ආවේය. ‘වෙනස සැපද’ කියා අපෙන් අසන අයට මෙන්ම ‘සමාජ වෙනසක්’ සඳහා ෂෝට් කට් සොයමින් යන අයටද – සමහරවිට – මෙය වැදගත් විය හැක.

වෙනස් වීම ට එරෙහි පාමනයිඩීස් ගේ තර්කය:

  1. සෑම සිතීමේ නිමේශයක් තුලදීම සිතීමට බඳුන් වන වස්තුවක් තිබේ. අපි සිතනවා යනු කුමක් හෝ දෙයක් පිලිබඳ සිතීමයි. අපි ශුන්‍යත්වය පිලිබඳ සිතුවත්, එතනදී පවා අප කරන්නේ ශුන්‍යත්වය, සිතීමේ වස්තුවක් බවට පත් කිරීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, එහිදී සිදු කරන්නේ ‘නොමැතිභාවය’ යන්න ‘යමක්’ බවට පත්කිරීමයි.
  1. එම නිසා අපට ශුන්‍යත්වය (nothing), ශුන්‍යත්වය ලෙස සිතිය නොහැකි වේ.
  1. නමුත්, අපට වර්ධනය වීම, වැඩීම (උදා: ගසක්, සත්වයෙක්) සිතිය හැක්කේ ශුන්‍යත්වය ගැන සිතිය හැකිනම් පමණි. අපි නිදර්ශනයක් ගනිමු. එක දිනයක පැළයක උස අඩියක් ලෙස අප මැන ගන්නා අතර දෙවැනි දිනයේදී එම පැළය අඩියක් සහ අඟල් දෙකක් උස බව දැක ගැනීමට හැකි වේ. දැන්, මේ අතිරේක අඟල් දෙක පැමිණියේ කොහොමද? එය කලින් දින තිබුනේ නැත. වෙනත් ආකාරයකින් කියන්නේනම්, කලින් දිනයේදී එම අඟල් දෙක ‘නොමැති බවකි’. එසේනම්, එම අඟල් දෙක වර්ධනය වූ ආකාරය පිලිබඳ සිතීමටනම් අපි එය වර්ධනය වීමට පටන් ගත් තැනට යා යුතුය. එහිදී අපට අවසානයේදී කිසිවක් නොමැති බවක් – අඟල් දෙක නොමැති බවක් – පිලිබඳ සිතීමට හැකි විය යුතුය. නමුත් එය සිතිය නොහැකි බව ඉහත 1 හි නිගමනය කර තිබේ.
  1. අපිට පොදුවේ ක්ෂය වීම සම්බන්ධයෙන් ද මේ ප්‍රශ්නය ම ඇති වේ. එනම්, යමක් නැති වී යන බව සිතන්නට, එලෙස නැති වී යන තැන ගැන සිතිය යුතුය. නමුත් එය ‘තැනක්’ නොවන නිසා එය ද සිතිය නොහැක (ඉහත 1 කරුණ).
  1. සියළු වෙනස්වීම් යනු එක්කෝ වර්ධනයකි නැතිනම් ක්ෂය වීමකි.
  1. නමුත් මේ අවස්ථාවන් දෙකම අපට සිතිය නොහැකි නිසා, වෙනස්වීම යන්න අපට අවබෝධ කරගත නොහැකි වේ.
  1. ඒ නිසා කිසිවක් කිසිදා වෙනස් වන්නේ නැත.
Advertisements