fidel-castro-cateye-eyeglasses

පහතින පළ වන්නේ ෆිඩෙල් කැස්ත්‍රෝ ගේ මරණය සම්බන්ධයෙන් ස්ලාවෝයි ජිජැක්, රූපවාහිණි නාළිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක දළ සිංහල අනුවාදයයි (මුල් සාකච්ඡාවට අදාළ වීඩියෝව මෙහි අවසානයේ තිබේ). සිය දෛනික ජීවිතය තුළදී වෙළඳපොල ධනවාදයේ පරිභෝජනවාදී දෘෂ්ඨිවාදය තුල කරවටක් ගිලී සිටිනා මිනිසුන් සහ ගැහැණුන්, කැස්ත්‍රෝ ගේ මරණයත් සමග හදිසියේම විප්ලවවාදී වී තිබේ. ස්ටීව් ජොබ්ස් ගේ ‘වීරත්වවය’ පිළිබඳවත් ෆේස්බුක් එකේ මේ ආකාරයටම පින්තූර දැමූ මෙම ‘විප්ලවවාදීන්’ හෙට දිනයේදී මාධ්‍ය ධනවාදය විසින් ඔසවා තබන ඕනෑම චරිතයක් වෙනුවෙන් කඳුළු සැලීමට නියමිත වේ. වමේ දේශපාලනයේ තිබෙන සැබෑ ප්‍රශ්න පිළිබඳව සිතීමට උවමනාවක් හෝ අවශ්‍යතාවයක් හෝ නොමැති මෙම ජනප්‍රිය-මත-ගං-වතුර බැස ගිය පසු ජිජැක් ගේ මෙම සංවාදය කියවා බැලිය හැකිය. ජිජැක් ගේ අදහස් වලට ඔබ එකඟ වීම අනිවාර්ය නොවේ. නමුත් ඔහු අසන ප්‍රශ්න වලට පිළිතුරු නිර්මාණය කිරීමේ අභියෝගයෙන්නම් ඔබට ගැලවිය නොහැකි වේ.

***

ප්‍රශ්නය: වාමාංශික අදහස් වලට ආකර්ෂණය වන පුද්ගලයන් හට කැස්ත්‍රෝ ගේ මරණය කුමන අර්ථයක් ගෙන එනවා කියා ඔබ සිතන්නේද?

පිළිතුර: මගේ සමහර වාමාංශික මිතුරන් තරහ වුනත් මෙය කිව යුතුයි. කැස්ත්‍රෝ කියන්නේ කොතරම් ශ්‍රේෂ්ඨ චරිතයක් වුනත්, අවාසනාවකට ඔහුගේ අදහස් අතින් ගත්විට, ඔහුගේ දේශපාලන භාවිතය අතින් ගත්විට, ඔහුව හැකිතාක් ඉක්මනින් අමතක කර දැමිය යුතුයි. ඇයි ඒ? මම හොඳටම දන්නවා ඔහුගේ අගය කළ යුතු දේ මොකද්ද කියන එක: පුංචි රටක් ලෝකයේ සුපිරි බලවතාට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීම වගේ වීර වාමාංශික ක්‍රියාවන්. නමුත් ඔබගෙන්ම අවංකව අහන්න. ආර්ථිකය තුළ, සංස්කෘතිය තුළ, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආදී ලෙස නව මොඩලයක් හදන්න කියුබාවට පුළුවන් උනාද?

වසර 10ට පෙර මම කියුබාවට ගිය වෙලාවේ මා බොහෝ කණගාටුවට පත්වූ දෙයක් වූයේ එහේ තිබුණු මානව හිමිකම් උල්ලංගණය වගේ දේවල් නෙමෙයි. අඩුම තරමේ ආර්ථික අකාර්යක්ෂමතාවයත් නෙමෙයි. මා කණගාටු වුනේ එහි තිබුණු එක තැන පල් වීමේ තත්වයට. එහි කිසිවක් වෙනස් වූයේ නැහැ. මිනිස්සු නිකන්ම ඔහේ හිටියා. ආර්ථිකය තුළ, සංස්කෘතිය තුළ ආදී ලෙස කොහෙවත් නිර්මාණශීලිත්වයක්, ක්‍රියාකාරකමක් තිබුනේ නැහැ. ඒක නිකන්ම ගල් ගැස්සුණු සමාජයක්.

මෙයටත් වඩා මා කණගාටු වූයේ කුමක්ද දන්නවද? මම එහි සමහර පුද්ගලයන් සමග කතා කළා – සාමාන්‍ය මිනිස්සු සමග. අපි හවානා වල පාරේ ඇවිදන් යන විට කොතරම් ගොඩනැගිලි ප්‍රමාණයක් කඩා වැටිලද කියන එක මම දැක්කා. එතකොට අර මිනිස්සු මට කිව්වේ මෙහෙමයි: ‘මේක තමයි අපේ වීර ශ්‍රේෂ්ඨත්වය. දේවල් ගරා වැටෙනවා. පරණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. නමුත් අපි කොච්චර විඳෙව්වත්, අපිට කොච්චර දේවල් අත හරින්න වුනත්, අපි අපේ විල්පවීය අරමුණ වෙනුවෙන් පක්ෂපාත වී සිටිනවා.’

ප්‍රශ්නය: නමුත් අපට ඒකෙන් කියුබාව ගැන යමක් කියන්නේ නැද්ද? ඔබ කතා කරන්නේ පරණ සහ කඩා වැටෙන අධෝව්‍යුහය ගැන. එක තැන පල් වෙන ආර්ථිකය ගැන. නමුත් එතකොට ඔබ කියනවා මිනිස්සුන්ගේ ප්‍රතිචාරය වෙන්නේ ‘මේ සියල්ල අපේ ශ්‍රේෂ්ඨ නායකයා නිසා’ වෙන බව. ඒ කියන්නේ එක්තරා අර්ථයකින් ඔවුන්ට ජීවන තත්වය වගේ දේවල් වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් වෙන්නේ ෆිඩෙල් කැස්ත්‍රෝ ට ගරු කිරීමයි.

පිළිතුර: මේ ආකාරයට ‘අපේ ආර්ථික කඩා වැටීම මගින් අපේ ශ්‍රේෂ්ඨත්වය තහවුරු වෙනවා’ කියලා තමන්ගේ වේදනාව මගින් කිසියම් විප්ලවයක් තමන්වම සාධාරණීකරණය කර ගන්නා විට, ඒක හරිම අවාසනාවන්ත තත්වයක්. මම තරමක් නරක විදියකට කියන්නේනම්, මනෝවිශ්ලේෂණය තුළ මේ ආකාරයට දේවල් අත් හැරීම ගැන කතා කිරීමට කියන්නේ ‘සංඛේතීය කප්පාදුව’ (symbolic castration) කියලා. සරලව මේ රෙජීමය තමන්ව සාධාරණීකරණය කර ගන්නේ කප්පාදුවට පක්ෂපාතී (fidelity to castration)  වෙලා. එම අර්ථයෙන් එහි නායකයාට ‘ෆිඩෙල් කැස්ත්‍රෝ’ කියා කියන එක පුදුමයක් නොවෙයි!

මේක බොහොම කණගාටුදායක දෙයක්. මොකද, කැස්ත්‍රෝ කියන්නේ ජනතාව බලමුළු ගැන්වීම, අති විශාල හමුවන් සංවිධානය කිරීම වගේ දේවල් වලට ඉතාම දක්ෂ කෙනෙක්. නමුත් විසි වෙනි සියවසේ පරාජයන්ගෙන් අපිට පාඩමක් ඉගෙන ගන්න තියෙනවානම් ඒ තමයි විප්ලවයක සැබෑ පරීක්ෂණය තිබෙන්නේ විශාල සිදුවීම් අවසන් වුනාට පසුව කියන එකයි. ‘සියල්ල සිදු වන රාත්‍රියෙන්’ පසුව පසුදා නැවත සාමාන්‍ය තත්වයට පත්වූ පසු, වෙන්නේ මොකද්ද? කොහොමද මිනිස්සුන්ගේ දෛනික ජීවිතය වෙනස් වෙන්නේ?

ප්‍රශ්නය: මම හිතන්නේ ඒකම තමයි අපේ මීළඟ ප්‍රශ්නය විය යුත්තේ. එහෙනම් කියුබාවට මීළඟට මොකද වෙන්නේ?

පිළිතුර: මම හිතන්නේ නැහැ මහා ලොකු දෙයක් වෙයි කියලා. පැහැදිළි තෝරා ගැනීම් ටිකක් තියෙනවා. එක්කෝ ඔවුන් උතුරු කොරියාව වගේ හිමින් හිමින්, අසම්පූර්ණ ලෙස ධනවාදයට ඇතුළු වෙයි. එහෙම නැත්නම් ඔවුන් සම්පූර්ණ පියවර තියයි. චීනයේ වගේ – පක්ෂය දිගටම බලයේ ඉන්නවා නමුත් ආර්ථිකය විවෘත කරනවා. එහෙමත් නැත්නම් ඔවුන් විවෘතවම බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ට ඇතුලත් වෙයි. මම හිතන්නේ ඒකත් හරිම භයානක එකක්. මොකද එතකොට පැහැදිලිවම ඇමරිකාවේ විදෙස් සංක්‍රමණිකයන් ගෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි සියල්ල යළි පුද්ගලීකරණය කරන්න වගේ දේවල් වලට. ඒක මහා විනාශයක්. මගේ එකම ප්‍රාර්ථනය තමයි ධනවාදය යලි හඳුන්වා දෙන ගමන් සමාජීය වශයෙන් දිනා ගත්ත දේ ඉතිරි වෙන ආකාරයේ අතරමැදි විසඳුමකට එන එක.

ප්‍රශ්නය: ඇමරිකාව සහ කියුබාව අතර සම්බන්ධයන් ගේ ඊනියා වර්ධනයට අපි නැවත එමු. ජෝන් කෙරී මේ වසරේ ජූලි මාසයේ දී හවානා නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය නැවත විවෘත කළා. අපි දන්නවා මේක වසා දමුවවේ 1961 දී. අපි දන්නවා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟට ජනාධිපති වෙනවා. මේවා එක්ක ගත්තොත් කියුබාවේ අනාගතය පමණක් නෙමෙයි, කියුබාවේ සහ ඇමරිකාවේ සම්බන්ධතා වල අනාගතය කොයි වගේද?

පිළිතුර: මම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතනවා ට්‍රම්ප් මෙයට වඩා දැඩි පිළිවෙතක් අනුගමනය කළොත්, ඒ මගින් කියුබාවේ ඉන්න අන්තවාදීන්ට වැඩි බලයක් යන්න පුළුවන්. මේක තමයි විරුද්ධාභාශය. මම හිතන්නේ ඇමරිකාවේ සිටින සෑම බුද්ධිමත් කොමියුනිස්ට්-විරෝධියෙක්ම තේරුම් ගත්තා ඔබාමා ගේ ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය – පද්ධතිය ඇතුලතින් කඩා බිඳ දැමීම. නමුත් ඇත්තටම තෝරා ගැනීම තියෙන්නේ කියුබානුවන්ටයි. කියුබාව අද මුහුණ දී තිබෙන තත්වය මට අනුවනම් අද දවසේ වම මුහුණ දෙන විශාල ප්‍රශනය පිළිබඳ සංඥාවක්, ඉඟියක් – ඔබ කැමතිනම්, ‘රෝග ලක්ෂණයක්’. සිරීසා වල සිට ලතින් ඇමරිකාව දක්වා, වමට පුළුවන් මිනිස්සු බලමුළු ගන්වන්න, නමුත් කාර්යක්ෂම සමාජ-ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙන්න බැහැ.

ප්‍රශ්නය: එතකොට ඔබ විස්තර කරන්නේ සමාජ ආර්ථික එක තැන පල් වීම ගැන – කියුබාවේ ජීවන තත්වය වගේ දේවල් වලට සාපේක්ෂව ගත්විට මෙන්ම පුළුල් අර්ථයෙන් ලතින් ඇමරිකානු කළාපයට සාපේක්ෂව. ඔබ ෆිඩෙල් කැස්ත්‍රෝ සම්බන්ධයෙන් එතරම් ලස්සන චිත්‍රයක් නෙමෙයි ලබා දෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ගැන ලෝකේ වටෙන්ම ලැබෙන්නේ විවිධාකාරයේ ප්‍රතිචාර. සමහර මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශ කර සිටියා ‘ආඥාදායකුගේ මරණය’ ගැන. ඔබ හිතනවද මේක තමයි බොහෝ දෙනෙක් ගේ මතය කියලා?

පිළිතුර: නැහැ, නැහැ, නැහැ. මම එච්චර දුර යන්නේ නැහැ. මම තවමත් වාමාංශිකයෙක්. මම කොමියුනිස්ට්වාදියෙක් වෙන්නත් උත්සාහ කරනවා. බලන්න, මට අනුව කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර පැහැදිළි වෙනසක් තියෙනවා. ෆැසිස්ට්වාදය කියන්නේ, සරල ලෙස කියන්නේනම්, නරක මිනිස්සු ටිකක් නරක වැඩ කරන්න පොරොන්දු වුනා, ඔවුන් බලය ගත්තා, ඔවුන් නරක වැඩ කළා. කොමියුනිස්ට්වාදය කියන්නේ, එහි නරකම තත්වයන් වළදී  – ස්ටාලින් ගේ පාලනය වැනි තැන් වලදී – උනත් අව්‍යාජ ශෝකාන්තයක්. උතුම් ප්‍රාර්ථනා ලෙස තිබුණු දේවල්, විමුක්තිකාමී විභවයක් ලෙස තිබුණු දේවල්, බිහිසුණු ලෙස අසාර්ථක වුනා. මම ප්‍රාර්ථනා කරනවා අපි කැස්ත්‍රෝ ගේ මරණයත් අපට වැරදුනේ කොතනද සහ එය නිවැරදි කර ගන්නේ කොහොමද කියන එක යළි හිතන්න උපයෝගී කර ගනියි කියලා.

Advertisements