16095143697_243889792e_h

අපි කෙළින්ම ප‍්‍රශ්නය අසමු. අද දවසේ ශ‍්‍රී ලාංකීය නාට්‍යකරුවෝ ආමන්ත‍්‍රණය කරන්නේ කාටද ? ඔවුන් පවතින්නේ කා වෙනුවෙන්ද ? ඔවුනගේ අරමුණු මොනවාද ? නාට්‍යකරුවන් වගකියන්නේ කාටද ? අපට පිළිතුරු ලෙස ලැබෙන්නේ ප‍්‍රායෝගිකව ප‍්‍රතික්ෂේප වූ දියාරු දේශපාලන මතවාද වෙනුවෙන් සාවද්‍ය පෙනීසිටීමක් ගැන අදහසක් හෝ ඔවුන්ගේ ආත්මාර්ථය රැගත් අවංක අදහස යන දෙකේ විවිධාකාර අතරමැදි අවස්ථාවන් බව එතරම් අපහසුවකින් තොරව තේරුම් ගත හැකි වේ. වෙනත් ආකාරයට කියන්නේ නම් දෙදහසකට අඩු නාට්‍ය පේ‍්‍රක්ෂකයින් පිරිසක් ඉලක්ක කරගත් කොළඹ ප්‍රොසීනියම් නාට්‍යකරුවන් “අපි නාට්‍ය කරන්නේ ජනතාව වෙනුවෙන්”, “අපේ නාට්‍ය කලාව සබුද්ධික ජනතාවක් බිහිකිරීමට”,  “අපි බ්‍රේෂ්ට් කියූ පරිදි අලුත් ජනතාවක් පත්කරන්නට අවශ්‍ය පසුබිම සූදානම් කරනවා.” වැනි කතා තේරුම් ගත යුත්තේ බැරෑරුම් දේශපාලන ආස්ථානයන් ලෙස ද එහෙමත් නැතිනම් තමන්ට කියන්නට දෙයක් නැති කමට කියන කතා විදියට ද ?

අද දවසේ තව දුරටත් ලයනල් වෙන්ට්ඩ් හෝ වෙනත් ප‍්‍රධාන රංග ශාලාවක නාට්‍ය බැලීමට රුපියල් 500 ක් ගෙවා ප්‍රොසීනියම් පේ‍්‍රක්ෂකාගාරය තුලට අලුතින් පේ‍්‍රක්ෂකයන් එකතු වේ යැයි සිතීම යහපාලන ආණ්ඩුව විසින් නාට්‍ය කලාවට විශාල මෙහෙවරක් කරයි යන විහිළුව වැනි එකකි. නාට්‍ය කලාවට රාජ්‍යයෙන් උපකාරයක් නොලැබෙන බව අද දවස වන විට නාට්‍යකරුවන්ට හා පේ‍්‍රක්ෂකයින්ට අවබෝධ විය යුතුය. රාජ්‍යයෙන් වියුක්ත ව පුළුල් ශක්තිමත් නාට්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්නේ නැතිව අමාත්‍යාංශ ලේකම්වරුන් සමග නාට්‍ය කලාව ගොඩනැගීමට සාකච්ඡා පැවැත්වීම නිකරුණේ හැන්දෑවරු නාස්තිකර දැමීමකි. ඉතා පැහැදිළිව මේ සඳහා නව ආකෘතික පර්යේෂණ කළ යුතු වේ. අතීතයේ පැවති හත්තෙට්ටුවගමගේ ගේ වීදි නාට්‍ය භාවිතය මෙන්ම වර්තමානයේ පරාක්‍රම නිරිඇල්ලගේ “ජනකරළිය” වැනි අත්හදා බැලීම් මෙරට වේදිකාව නම් වූ අත්දැකීමේ අනාගතය සඳහා ඉතිරි වී ඇති යහපත් විකල්ප වේ.

අවසාන විග්‍රහය ලෙස කියන්නේ නම් අද දවසේ අපට අවශ්‍ය ව ඇත්තේ නාට්‍යකරුවන් ම පමණක් නොව නාට්‍ය ක‍්‍රියාධරයින්ය.

ඉන්දියාවේ බඩාල් සිර්කාර් කියන ජනතා නාට්‍යකරුවා පිලිබඳ නිෂ්පාදන වුණු and Badal Sircar… වාර්තා චිත‍්‍රපටයේ කුඩා ළමුන් පිරිසක් සමග ඔහු කළ සංවාද කිහිපයක් පහතින් සිංහලට නැගුවේ මේ සඳහාය. ඓතිහාසික වාමවාදයේ පරාජයෙන් පසුව වේදිකා නාට්‍යකරුවන්ගේ හතරවෙනි ජාත්‍යන්තරයක් අද දවසේ අවශ්‍යව තිබේ.

“අපේ වේදිකාවට කියන්නෙ තුන්වෙනි වේදිකාව කියලා. මොකද්ද මේ තුන්වෙනි වේදිකාව ? පළවෙනි වේදිකාව තමයි අපේ ගැමි නාටක, පාරම්පරික නාට්‍ය වගේ දේවල්. ඒවා නාට්‍යමය ගුණයෙන් හරිම පොහොසත්. ජට්රා, රාම්ලීලා වගේ ඒවා. දෙවෙනි වේදිකාව තමයි බි‍්‍රතාන්‍යයෙන් ආනයනය කරපු නගරයේ සීමිත ප‍්‍රමාණයකට විතරක් දකින්නට ලැබෙන වේදිකාව. මේ දෙක අතර විශාල ගැටුමක් තියෙනවා. වෙන විදියකට කිව්වොත් ගමයි නගරයයි අතර තියෙන ගැටුම වගේ. අපි තුන්වෙනි වේදිකාවෙන් කරන්නෙ ඒ දෙක අතර පාලමක් හදන එක. අපි නගරෙයි, ගමෙයි දෙකේම නාට්‍ය පෙන්නනවා. ඒක තමයි මේ තුන්වෙනි වේදිකාව කියලා කියන්නෙ.”

“අපි දන්න සාමාන්‍ය වේදිකාව හරියට ඕගොල්ලො ඉන්න පංති කාමරයක් වගේ. එකක් පස්සෙ එකක් පේළි. නළුව ව 108436bad4පේන්නෙ එකම කෝණයකින් විතරයි. නළුවො අලෝකයේ ඉන්නවා ඒත් පේ‍්‍රක්ෂකයො කළුවරේ. විහිළුවක් නේද ? නළුවො රගපාන කොට පේ‍්‍රක්ෂකයො හැංගිලා වගේ ඉන්නෙ. පස්සෙ ම පේලියෙ අය ඉන්නෙ නළුවගෙන් සෑහෙන්න ඈත. එයාලව හරියට පෙන්නෙත් නැහැ. අනිත් එක නළුවන්ට කැමති විදියට හැරෙන්නවත් බැහැ. නළුවො අතර කතා ඇති වෙනවා, ඒත් ඒ හැමෝම ඒවා කතාකරන්නෙ ඉස්සරහ බලාගෙන. මෝඩ වැඩක් නෙමෙයි ද ? මේවා හින්දා ඒ වේදිකාව ගැන මගෙ තිබුණු විශ්වාසය නැති වුණා. ඉතිං මොකද්ද උත්තරේ. ඒ වේදිකාවෙන් එළියට බහින එක.”

“තවත් ප‍්‍රශ්න තියෙනවා. නළුවො ඉන්නෙ උඩ තලයක, පේ‍්‍රක්ෂකයො ඉන්නෙ පහළ තලයක, ඊටත් වඩා සමහරු අර උඩ බැල්කනි එකෙත් ඉන්නවා. මේ වගේ එක එක මට්ටම්වල ඉඳගෙන කොහොමද නාට්‍යයක් බලන්නෙ. අනික සමහරු වැඩියෙන් ගෙවලා ඉස්සරහ ඉන්නවා. අඩුවෙන් ගෙවන අයව පස්සට තල්ලු කරනවා. වේදිකාවේ අදහසම මේ වෙනස්කම් නැති කරන එක නේද ?”

“තුන්වෙනි වේදිකාවේ හැම දෙනාම ඉන්නෙ එකම තලයක. අපේ වේදිකාවේ තුන්පැත්තකට නැත්තං හතර පැත්තකට නාට්‍ය රග දක්වනවා. අපේ දර්ශනයක් අවසානයේ පේ‍්‍රක්ෂකයො අපි ව වැළද ගන්නකොට අතට අත දෙනෙකොට මට තේරෙනවා අපි කරන්න අවශ්‍ය මොනවද කියලා.”

“අපි දෙවෙනි වේදිකාව අත හරිනවා එක්කම මුදල් කියන බැම්මෙනුත් නිදහස් වුණා. වේදිකා නාට්‍යයක් කරනවා කියන්නෙ ලොකු මිලක් යන වැඩක්. හෝල් එකට, වෙළද දැන්වීම්වලට, ලයිට්වලට තව ගොඩක් දේවල්. අපි පේ‍්‍රක්ෂකයන්ට ඉතාම ළගින් ඉන්නෙ. ඒක නිසා අපිට ඒ කියපු ගොඩක් දේවල්  ඕනෙ නැහැ. ඒක අපිට ලොකු වාසියක්. නාට්‍ය ගමට ගෙනියන්න බාධාවන් රැසක් තියෙනවා. පසුතල ගෙනියන්න වාහන, සමහරු මෙහෙම කියනවා අපේ නාට්‍යයේ මෙන්න මේ කියන ලයිට් වර්ග තියෙනවා ඒවට අපිට අවශ්‍ය ප‍්‍රමාණයට කරන්ට් එක තියෙනවද ? ඒවා කිව්වහ ම ගොඩක් වෙලාවට අවසාන තීරණය තමයි ගමට යන්න වෙන්නෙ නැහැ. අපිට නම් ඔය කිසි දෙයක්  ඕනෙ නැහැ. කරන්ට් එක  ඕනෙ නැහැ අපි නාට්‍ය දර්ශන තියෙන්නෙ ගොඩක් වෙලාවට දවල් කාලෙනෙ. රෑ වුණොත් පෙට්ට්‍රෝල් මැක්ස් එකක් තියෙනවා. අපිට ඕනෙම තත්වයක් යටතේ නාට්‍ය පෙන්නන්න පුලුවන්. අපේ වේදිකාව මිල රහිත, පහසුවෙන් ගෙන යා හැකි, නම්‍ය ශීලී එකක්.”

“අපේ වේදිකාව නොමිලේ පෙන්නන එකක්. මම ටිකට් විකුණන්න විරුද්ධ හේතු කිහිපයක් තියෙනවා. මොකද අපි මිනිස්සු. අපේ නාට්‍ය බලන්න එන්නෙත් මිනිස්සු. අපි නාට්‍ය පෙන්නන්නෙ මිනිස්සු වෙනුවෙන්. ටිකට් වලින් කරන්නෙ අපේ මේ සම්බන්ධකම වෙළෙන්දා හා පාරිභෝගිකයා කියලා වෙන් කරන එකනෙ. ඒක මානව සම්බන්ධ කමක් නෙමෙයි. අපේ මේ වේදිකාව වෙන් වෙලා තියෙන්නෙ මානව සම්බන්ධතා වෙනුවෙන්. ඒත් සමහර දවස්වලට අපිට සල්ලි  ඕනෙ. බොහොම ටිකක්. එදාට අපි නාට්‍ය දර්ශනය ඉවර වෙලා රෙදි කෑල්ලක් අල්ලගෙන යනවා මිනිස්සු ළගට. ඒගොල්ලො අපිට පුලුවන් හැටියට සල්ලි දෙනවා. ඒක මුදලක් නෙමෙයි, තෑග්ගකුත් නෙමෙයි, ඒක ආදරයේ ටෝකන් එකක්, ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන්.”

රංග මනුප්‍රිය

Advertisements