what-was-abstract-expressionsim-900x450-cපහු ගිය දවසක  අනුර කුමාර දිසානායක කියනව ලංකාවේ පාලකයන් අතර ඉන්න දූෂිත වළල්ලක් ගැන . මේ දූෂිත වළල්ල හඳුනාගත් නිශ්චිත ව්‍යුහයක් බවත්, වළල්ල එහෙම්ම තියෙද්දි ඔලු ගෙඩි විතරක් මාරු වෙන බවත්  පවසනවා . මේ වළල්ලට එපිටින් තවත් අලුත් වළලු හැදෙන්න පටන් ගත්තොත් ඒවාට එරෙහිව නැගී සිට පහර දී  විනාශ කර දමන්නත් මේ දූෂිත වළල්ල වග බලා ගන්නව. ඔහුට අනුව  අපේ රටේ  දූෂණ වංචා ගැන මොනවා හරි ප්‍රගතිශීලී දෙයක් වෙනව නම් මේ ස්ථාපිත දූෂිත වළල්ල තමන්ගෙ අලුත් සතුරන්ට පහර දීම නිසා සිදුවෙන දේ පමණක් වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රගතිශීලිත්වය  ගැන ඒ තරම් සතුටු නොවිය යුතු බවත් ඔහු පවසනවා ..  මේ අනුව ගත්තම එලෙස නිර්මාණය වී ඇති  වළල්ලේ අභිප්‍රාය වන්නේ ආණ්ඩු පෙරළීම වගේම  දූෂිත  වළල්ල එමගින් දිගින් දිගටම නඩත්තු කිරීමයි.

මේ අතරේ ධර්මාශෝක විද්‍යාලයේ තිබුන උත්සවයකට  ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට පැමිණි රනිල් වික්‍රමසිංහ  කියනවා ඡන්දය විශ්වාස නොකළ එකම නායකයා හැටියට හිටපු  රෝහණ විජේවීරත්  බිහිවුනේ ඒ පාසැලෙන්  බව ..

ඔය අතරේ මටත් කියන්න වෙනවා රාජ්‍යය යනුවෙන් දෙයක් පවතී ද එතැන දුෂණයත් තියෙනව කියලා. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක් තමයි දුෂණය හිස එසවූ විට මිත්‍යාව යන්න එහි මුල් පෙළ අසුන්වල ඉඳගන්න බව. ඒ  අනුව  දැනට ජනතා විමුක්ති පෙරමුණේ  ඉන්න නායකයා උත්සාහ කරනව රාජ්‍යය කියන දෙය තව තවත් විශ්වාස කරන්න. ඉතිං ඒ විශ්වාසය මත හිට ගත්තම එයාට පේනව නිශ්චිත දුෂිත වළල්ලක්.  ඒ විදියට පේන්නෙ ගන්නේ අර විශ්වාසය මත හිටගත්තම සිද්ධ වෙන දෙයක් විදියට .

කොහොම කළත් මේ වෙද්දි මිනිසාට සිදුවෙලා තියෙනව රාජ්‍යය කියන දෙය විශ්වාස කරන්න. බැරි බැරි ගාතේ හරි රාජ්‍යය ගොඩ නැඟීම තමයි ඔවුන් විසින් කරන්නේ. අනුර කුමාර දිසානායකත් මීට වෙනස් නැහැ. ඔහු උත්සාහ කරන්නෙත් රාජ්‍යය කියන දෙය වඩා හොඳින් ගොඩ නගන්න. ඒ නිසා පේන විදියට  ඔහුගේ අවබෝධය තුලත්  රාජ්‍යය නම් මිත්‍යාව සත්‍යයක් බවට පත් වෙලා ඉවරයි. ඊට අනුව යමින් පක්ෂයේ  නියෝජනයන් දැන් පාර්ලිමේන්තුව දක්වා ගිහින් ..

රෝහණ විජේවීර කියන ප්‍රපංචය කුමක් වුවත් ඔහු  සටන් කරපු  කතිකාවේ ප්‍රාථමික සත්‍යය තමයි රාජ්‍යය නම් මිත්‍යාවට එරෙහි අරගලය. එහෙමත් නැත්තම් රාජ්‍යයට පරිභාහිර ව ඇති විකල්පයක් ගොඩනැංවීම ගැන තිබුණ අදහස ක්‍රියාවේ යෙදීම.. ඒක හඳුන්වන්නේ කොමියුනිස්ට් අදහස වෙනුවෙන් සටන් කිරීම යනුවෙන්..  තව දුරටත් පැවසුවොත් මිනිසාට රාජ්‍යය යන්න අවශ්‍යයි නම් ඒ අනිවාර්ය පුරුද්දට එරෙහිව කරන අරගලය. ඒත් ඊට පරස්පරව තියෙන තත්වය අනුව නම් අනුර හෘදයාබාධයකින් මිය යන්න අවශ්‍ය හෘද සාක්ෂිය හොඳටම මුල පුරලා ඉවරයි. ඔහුගේ තත්වය ලඟදීම මාරාන්තික වේවි. නැත්තම් මේ ලිපියෙන් ඔහුව ඝාතනය කරාවි .

මේ රාජ්‍යය නම් වූ මිත්‍යා ව තමන්ගේ විශ්වාසයක් කරගත්තහම සටන්කාමි දේශපාලනයේ යෙදෙන මනුස්සයෙකුට මොකද වෙන්නේ ? සාමාන්‍යයෙන් මිත්‍යාවන්ට පුලුවන් සෑහෙන සුවපහසු වේෂ නිරූපණයක් අප වෙත නිරන්තරවම යෝජනා කරන්න.. මිත්‍යාවකට යටත් වෙන ඕනෑම කෙනෙක් තමන්ට පවතින්න පුලුවන් හිතකරම විදිය සහ ඒවාට අවශ්‍ය  සූත්‍ර සහ ආකෘතින් නිදහසේ තෝරාගන්නත් හැකි වෙනවා. ඒ අනුව දේශපාලන කතිකාවේදි තමන්ට පවතින්න පුලුවන් වඩා හිතකර සහ නිදහස් ම දෙය මිත්‍යාවන් විදියට හඳුන ගන්න වෙනවා.. ඒත් ඔහුට මතක ඇති ඊට පරස්පරව රෝහණ විජේවීර අපහසුම තෝරා ගැනීම සිදු කළා යන්න  .

ජනතා විමුක්ති පෙරමුණ මේ දුෂිත වළල්ලේ හෙලිදරව්කරුවා බවට පත් වීම අත්හල යුතුයි කියන්න වෙන්නෙ  හෘදයාබාධ හැදෙන තරමේ මිත්‍යාවකට තමන් විසින්ම මුල පුරල නිසයි. ඒ මිත්‍යාව තමයි දුෂණයට එරෙහි අරගලය.  මේ රාජ්‍යය ඔවුන් විසින් තව දුරටත් විශ්වාස කරනවා යන්නෙහි බැගෑපත් අරුත එම අරගලයයි. එය බැගෑපත් යමක් ලෙස වටහා ගැනෙන්නේ රාජ්‍යයට වඩා ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය ලෙස තමන්ව හඳුන්වා ගැනීමට උත්සාහ දැරීම.. ඇත්තෙන්ම එයිනුත් පෙනී යන්නේ ජනතාව නම් වූ දෙය ගැන අවබෝධය ඔවුන්ගෙන් බොහෝ දුරස් වී ඇති බවයි.

ඔවුන්ගේ දුෂණයට එරෙහි අරගලය දේශපාලන ප්‍රගතිශීලිත්වයේ කාරණයක් වනවා සේම එය ඔවුන් නියැලී සිටින මිත්‍යාව ලෙසද ඔවුන්ට වටහා ගැනීමට අවකාශයක් නැහැ. දුෂිත වළල්ල පිලිබඳ මිත්‍යාව මත පදනම් වූ විට එය වඩාත් ප්‍රගතිශීලි ලෙස පෙනී යන අතර ඔවුන් එහිම නියැලී මරණයට පත් වෙන්නට සූදානම්. මීට අමතරව බුද්ධිය  (රෝහණ විජේවීර, පෙරටුගාමී පක්ෂය ඇතුලු ලංකාවේ දාර්ශනික ව්‍යාපාර) තම හඬ නැඟීම වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින අතර දූෂණයට එරෙහි සියලු හඬ ආගමික නිකායන් දක්වා පසු බසිනු නියතයි  – සෝභිත හිමි , බොදු බල සේනා සහ සියලු අන්තවාදි සංවිධාන – කරුණාකර ඔය දූෂණයට එරෙහි සටන ආගමික සංවිධාන වලට බාරදීලා පැත්තකට වෙන්න .. එය වඩාත්ම ගැලපෙන්නේ ඔවුන්ට ..

යලිත් ජනතාව පිලිබඳ ඔවුන් තුල තිබෙන අදහස වර්ධනය කළ යුතු වන්නේ මේ නිසා. ඒ නිසා මුලින්ම කළ යුතු වන්නේ පක්ෂය විසුරුවා දැමීම යැයි කෙනෙකු කිවහොත්, එය පක්ෂ කාඩරය නිහඬව ම යලි ප්‍රබුද්ධත්වය කරා  පොළඹවන්නක් බව කිව යුතුයි. එබැවින් මේ ලිපියෙන් යම් කාඩර්වරයෙකුගේ අධිෂ්ටානයට මරු පහරක් වදින්නේ නම් එය අනුර කුමාර දිසානායකට වැළඳීමට නියමිත හෘදයාබාධයේ කම්පන පරිමාවෙන්ම යුක්තයි. නැතොහොත් සිදුවන්නේ කට කොනකින් සිනහා වී තම සතුරා දූෂිත වළල්ලම බව නිහඬවම විඳ දරා ගැනීම ..

එවන් අයටද අවසාන වශයෙන් යමක් කිව යුත්තේය ..

පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය, පුවත් පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය වන්නේ, රංචු ගත තිරිසනා ස්වාමියා වීම  ඇරඹෙන්නේම එමගින් නිසාය.. මෙය අකුරක් පාසා අවබෝධ කරගත් විට 2020 දී ආණ්ඩු බලය ගත හැක .

එහෙත් ඔබට අවශ්‍ය ආණ්ඩු බලය ද ? තවත් ආකාරයකින්  රාජ්‍යය නම් පුරුද්ද ද ?

රාජ්‍යය සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන සෑම සේවයක්ම ඔවුන්ගේ ස්වභාවයට මුලුමුනින්ම ප්‍රතිවිරුද්ධ වනු ඇත. ඉතිං සහෝදර සහෝදරයිනි දැන් නම් ඔබගේ නායකත්වය හෘදයාබාධයකින් මිය යෑමට හොඳටෝම  ඉඩ ඇත.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

Advertisements