ආදරය තරම් මේ සමාජයේ හැමෝටම විඳිය හැකි සුලභ අත්දැකීමක් තියෙනවද? හැමදාම අපේ රටේ දහස් ගණනක් මිනිස්සු ‘ප්‍රේම දඩයම’, ‘උතුම් පැතුම්’, ‘මේ ආදරය’ වගේ නාට්‍ය බලනවා. අපිට වෙබ් අඩවි වලින් ඒවායේ රඟපාන අය ගේ විවාහ උත්සව වල පින්තූර පෙන්නනවා. ආදරය ගැන දිනපතා සින්දු ලියවෙනවා. සත්‍ය ප්‍රේමයන් පිළිබඳ ලියවුනු නවකතා වල පිටපත් දස දහස් ගණන් විකිණෙනවා. කොටින්ම, ‘වැලන්ටයින් ඩේ’ එකට ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය පවා ආදරය සඳහා වීදි නාට්‍ය පෙන්නනවා. ඉතින් අපිට පේන හැටියට මේ කරුණු සියල්ලෙන් එන්න තියෙන එකම නිගමනය තමයි අපේ රට ආදරය සඳහා ඉතාම සුදුසු ප්‍රදේශයක් ලෙස වටහා ගැනීම.

ලංකාවේ කුඩා පිරිසක් අතර ජනප්‍රිය වුනු ඇලේන් බදියු කියන ප්‍රංශ දාර්ශනිකයාගේ ‘ප්‍රේමය පසසනු වස්’ කියන පොතේ බදියු තරමක් වෙනස් යෝජනාවක් කරනවා. ඔහුට අනුව අපි ජීවත් වෙන්නේ වෙන්නේ ආදරය කියන එක බොහෝ පැති වලින් අභියෝගයකට ලක් වුණු යුගයක. එක අතකින් ආදරය යන්න විවාහය තුළින් ප්‍රකාශමාන වෙන ගිවිසුමක් බවටත් අනෙක් අතට ශරීරයේ සතුට පමණක් සොයා යන ලිංගික ඉලක්කයක් බවටත් ආදරය ඌණනය වෙලා. එනිසා අපි ආදරය රැක ගැනීම වෙනුවෙන් සටන් කළ යුතු වෙනවා. ඒකට හේතුව තමයි ආත්මාර්ථකාමී පුද්ගලවාදය රජයන මේ වගේ සමාජයක, ආදරය කියන්නේ තවත් මිනිසෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කිරීමේ මිනිස් උරුමයක්. මේ පුද්ගලවාදී සමාජයෙන් මිදිලා අපිට වෙනස් විදියක සාමූහික සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් වෙනුවෙන් අපිට සටන් කළ හැකි එක් දෙයක් තමයි මේ මිනිස් උරුමය. මේක තමයි බදියු ගේ නිගමනය.love-song-abstract-pop-art-by-fidostudio-tom-fedro-fidostudio

මම මේ කෙටි රචනයේ උත්සාහ කරන්නේ මේ බදියු යෝජනා කරන සටන වෙනුවෙන් පුංචි එකතු කිරීමක් කරන එක. ඒ තමයි ආදරය කියන එක ලිංගික තෘප්තියට පමණක් ඌණනය කරන්න බැහැ කියන එක වෙනුවෙන් තර්කයක් ගෙන එන්න. ඒ කියන්නේ ආදරය කියන එකේ ලිංගික මානයක් ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි. නමුත් එම අත්දැකීම ලිංගිකත්වයට පමණක් යටත් කරන්න බැහැ කියන එකයි මගේ තර්කය. මේ මගින් අපිට පුළුවන් වෙනවා ආදරය යනු ශරීරයේ සතුට පමණයි කියා ප්‍රකාශ කරනා නිදහස්වාදීන්ට සහ පරිභෝජනවාදීන්ට පිළිතුරක් එකතු කරන්න. මේ සඳහා මගේ මූලාශ්‍රය තමයි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දැන් කාලයක ඉඳන්, හැම බ්‍රහස්පතින්දාවකම යන දර්ශනය පිලිබඳ සංවාදය.

මාගේ අවධානය යොමු වන්නේ නූතන දර්ශනයේ ආරම්භක චින්තකයා ලෙස බොහෝ දෙනා සලකන රෙනේ ඩෙකාට් හට, විසි වෙනි සියවසේදී මාටින් හෛඩගර් නම් ජර්මන් දාර්ශනිකයා එල්ල කළ විවේචනය වෙතයි.මේ සදහා ඉහත චින්තකයන් දෙදෙනා විසින් සංවාදයේදී සළකුණු කරනු ලබන අස්ථානයන් වටහා ගැනීමට උත්සහ කරමු.

රෙනේ ඩෙකාට් සිය මූලික කෘතිය වන Meditations මගින් දර්ශනය තුළ ඇති සද්භාවවේදී ගැටලුව වෙත නව ප්‍රවේශයක් ගන්නවා. ඩෙකාට් කරන්නේ කිසියම් හෝ ආකාරයකින් සැකයට බදුන් කළ හැකි ආකාරයේ දැනුම මගහරිමින් (අත්හරිමින් නොවේ),  කිසිසේත් සැක කළ නොහැකි නිශ්චිත දැනුමක් ඔස්සේ පැවැත්මට අර්ථකතනයක් ලබා ගැනීමට උත්සහ කිරීම. ඔහුගේ ප්‍ර‍වේශය නැවුම් වුණත් සම්ප්‍රදායික සද්භාවවේදියෙකුගෙන් වෙනස් නොවන්නේ,  ඔහුත් ලෝකය කියන්නේ අපෙන් පරිබාහිර  තියන දෙයක් ලෙස සලකා වටහා ගැනීමට උත්සහ කිරීම. ඉහත ක්‍රමවේදය ඔස්සේ ඉදිරියට යන ඩෙකාට් නිගමනයකට එනවා ලෝකය පිළිබද නිවැරදි දැනුමට ළගා විය හැක්කේ තර්ක බුද්ධිය මගින් කියා. තර්ක බුද්ධියට ගෝචර වන දෙය ඩෙකාට්ට අනුව සැක කළ නොහැකි වන අතර ඉන්ද්‍රිය සංවේදනයට ඩෙකාට් දෙන්නේ අඩු වටිනාකමක්. සරල ලෙස උදාහරණයකින් පැහැදිලි කලොත්, වතුර වීදුරුවකට පෑනක් දාලා තියන අවස්ථාවක් ගනිමු.දැන් අපට බාහිරින් බැලුවා ම පේන්නෙ පෑන මැද්දෙන් කැඩිලා වගෙයි. ඒත් ස්පර්ශ කලොත් තේරෙනවා එහෙම නැති බව. අපි දැන් මේ දෙකෙන් කෝකද නිවැරදි ලෙස බාර ගන්නෙ? දෘෂ්ටියද? ස්පර්ශයද? ඩෙකාට් කියන්නේ මේක සැක කළ හැකී කියලා. ඒත් මේ කෝක වුණත් අපි දන්නව පෑනට දිගක් පළලක් තියනවා යන්න අපට ප්‍රතික්ෂේප කළ නොහැකි බව. මේ නිසා ඩෙකාට් ගේ නිගමනය වෙන්නේ පැවැත්ම පිළිබද නිවැරදි දැනුම වන්නේ ගණිතමය දැනුම බව. ගණිතමය දැනුම ඔස්සේ තර්කය වර්ධනය කරන ඔහු පැවැත්ම යන්න මූලික ආකාර තුනකට ඌනනය කර දක්වනවා. එනම්, දෙවියන්,  කොජිටෝව (ආත්මය) සහ ව්‍යාප්තිත දෙය ලෙස. මම සහ පරිබාහිර ලෝකය අතර ඇති ‍වෙන්කිරීම පිළිබද අදහස ඩෙකාට් විසින් ඉදිරිපත් කරන්නේත් ‍මෙහිදී. එහිදී ඩෙකාට් විසින් පෙන්වා දෙන්නේ මම යන්න පරිබාහිර ලෝකයෙන් රැඩිකල් ලෙස විනර්මුක්ත වූ දෙයක් බව.( නමුත් මෙම සංකල්පය නිරීක්ෂකයා සහ නිරීක්ෂිතය ලෙස වටහා ගැනීම මුලුමනින්ම වැරදියි.)

හෛඩැගර් විසින් සිය ප්‍රධාන කෘතිය වූ Being and Time හි ඩෙකාට්ගේ කාටිසියානු ප්‍රවේශය වෙත විවේචන කිහිපයක් එල්ල කරනවා. ඉන් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඩෙකාට් විසින් පැවැත්ම යන්න අපෙන් පරිබාහිරව පවතින්නක් ලෙස සැලකීම. හෛඩැගර්ගේ ම වාග් මාලවට අනුව ඩෙකාට් විසින් පැවැත්ම, ඉදිරිපිට-පැවැත්මක් (Present-at-hand) ලෙස ගෙන විග්‍රහ කිරීමට උත්සහ කරනවා. හෛඩැගර්ට අනුව පැවැත්ම යන්න එලෙස එහි සියලු තත්වයන්ගෙන් ගලවා වෙන්කොට ගැනීම තුළ ම ඇත්තේ ගැටලුකාරි බවක්. පැවැත්ම යන්න එහි විවිධ වූ මාදිලින් සමග අත්‍යන්තයෙන්ම බැදී පවතින බවයි හෛඩැගර් ගේ තර්කය. මෙය තේරැම් ගැනීමට සරල උදාහරණයක් ගනිමු. කුඩා කාලයේදී මෙන් ඔබට මම ගැන රචනාවක් ලිවීමට සිදුවුණා යැයි සිතන්න. දැන් ඔබ ලියනවා, මගේ නම, මගේ වයස, මගේ පාසල, ඔය විදියට. දැන් ඔබට මම කිව්වොත් මේ නම, වයස, පාසල වගේ පරිබාහිර කාරණා එකක් වත් නැතිව මම ගැන විතරක් ම ලියන්න කියලා, ඔබට පුලුවන් වේවිද ? හෛඩැගර් කියන්නෙත් ඒ වගේ එකක්. ඩෙකාට්ගේ සද්භාවවේදයට හෛඩැගර් විසින් කරන දෙවන ප්‍රබල චෝදනාව වන්නේ ඉන්ද්‍රිය සංවේදනයට එහි ලබාදෙන නොවටිනා තත්වය යි. හෛඩැගර් කියනවා අත්විදීම, එහෙමත් නැත්තම් ඉන්ද්‍රිය සංවේදනය එලෙස පහසුවෙන් බැහැර කළ නොහැකි බව.

ඩෙකාට් ගේ සහ හෛඩැගර් ගේ ආස්ථානයන් ඉතා සරල ලෙස විග්‍රහ කරගත්තොත්, ඩෙකාට්ට අනුව පැවැත්ම  කියන්නේ එය බැඳී පවතින සම්බන්ධතා ජාලයෙන් ගලවා වෙනම තනි එකක් ලෙස අර්ථ ගන්වා ගත හැකි, එනම් ඉදිරිපිට පැවැත්මක් ලෙස විග්‍රහ කරගත හැකි ගණිතමය විද්‍යාව සහ තර්ක බුද්ධිය ඔස්සේ ලඟා විය හැකි දෙයකටයි. හෛඩැගර් විසින් ඉහත ප්‍රවේශය අභියෝගයට ලක් කරනවා.ඔහු කියන්නේ ඉන්ද්‍රිය සංවේදනයට වටිනාකමක් ලබා දිය යුතු බව සහ පැවැත්ම එහි මූලික ස්වරෑපයෙන් වටහා ගත යුතු බව.

ආදරය පිළිබද සංවදයට මෙතනින් ඇතුලු වෙමු. ආදරයට ප්‍රතිවිරුද්ධ ව සිටගන්නා බොහෝ දෙනා එය සළකන්නේ සියල්ලෙන් වෙන්කොට විග්‍රහ කළ හැකි යමක් ලෙසයි. ආදරය යනුවෙන් විශේෂිත දෙයක් නොමැති බවත් ආදරය යනු ලිංගික ආකර්ෂණය මිස අන් යමක් නොවන බවත් පවසන අය ආදරය යන්න සෑම විටම ඌණනය කරන්නේ මේ ආකාරයේ පැවැත්මක් වෙතයි. එනම් අප ඉස්සරහා තියෙන, අපිට පරීක්ෂා කර බැලිය හැකි ආකාරයේ දෙයක් බවටයි. නමුත් මෙවැනි ප්‍රවේශයක් ඔස්සේ ආදරය යනුවෙන් දෙයක් නොපවතියි කියා කවුරුන් හෝ පැවසුවහොත් ඔබ පුදුම විය යුතු නොවේ.

දැන් හෛඩැගර් සහ මම එකම මේසයක ඉද ගනිමින් ප්‍රශ්නයක් යොමු කරමු. ආදරය යනු මා ඉදිරියේ පවතින, මට ස්පර්ශ කළ හැකි, දැක බලා ගත හැකි, මගෙන් පරිබාහිර දෙයක්ද ? ආදරය කියන අත්දැකීම සඳහා මා මේ සිටිනා ආකාරය ඉතාම තීරණාත්මක ලෙස වැදගත් නොවේද ? අපි ලෝකය මනින්න උත්සාහ කරන හැම මොහොතකම ඉස්සෙල්ලම කරන්නේ මම සහ ලෝකය වෙන් කර ගැනීම. මම කියන්නේ ‘ඇතුල’, ලෝකය කියන්නේ ‘එළිය’. එතකොට ආදරය සරල ලෙස තියෙන්නේ ඇතුළෙද ? එළියේද ?

එහෙමත් නැතිනම් ආදරය කියන්නේ අපිට මේ ගල් ගැසී තියෙනවා කියලා හිතෙන එළිය සහ ඇතුළ අතර තියෙන බෙදී වෙන්වීම පුපුරුවා හරින පරමාණු බෝම්බයක් නොවේද ?

උමේෂිකා අබේවංශ

Advertisements