15310733_229008280860603_692551197_n

මේ කෙටි සටහන ලියවෙන්නේ බොහෝ දෙනෙකු ගේ අවධානයට එතරම් ලක් නොවෙනා ගැටලුවක් මතු කර පෙන්වීමටයි. ඒ තමයි කලා විචාරය කියනා ක්ෂේස්ත්‍රය අද දවසේ වැටී තිබෙනා ගැටලුකාරී තත්වය. සමහරවිට, මෙහි මේ ආකාරයේ ගැටලුකාරී තත්වයක් තිබෙනා බව පිළිගැනීමට කෙනෙක් අකමැති වීමට ඉඩ තිබේ. කලා විචාරවල අඩුවක් නම් අපට දැක ගැනීමට නොහැක. චිත්‍රපටියක්, නවකතාවක් සහ, එයට තරමක් අඩු වශයෙන්, වේදිකා නාට්‍යයක් පිට වූ විට ඒ පිළිබඳව ලියවෙන විචාර, පුවත්පත්වල මෙන්ම අන්තර්ජාලයේ විවිධ අවකාශවල ද දැක ගැනීමේ හැකියාව අතින්නම් කිසි ගැටලුවක් නොමැති වේ.නමුත් ගැටලුව ඇති වන්නේ මෙම විවිධ විචාර (critiques) සහ නිකන්ම මත (opinions) අතර වෙනසක් ඇති කරගත හැකිද කියා විමසා බලන විටයි.

බොහෝ දේ ගැන, බොහෝ දෙනෙකු හට විවිධ මත තිබේ. සමහරුන්ට අනුව යූ. එන්. පී කාරයන් ධනවාදයට පක්ෂ වන අතර ශ්‍රී ලංකා එක යටතේ මැද මාවතක් තෝරා ගැනීමට හැකිය. සමහරුන්ට අනුව මහින්ද රාජපක්ෂ හොරකම් කර නැති අතර තවත් සමහරුන්ට අනුව ඔහු හොරකම් කර ඇත. සමහරුන්ට අනුව කෝච්චියේ ගමන වඩාත් වාසිදායක වන අතර සමහරුන්ට අනුව බස් එකේ යන එක කාර්යක්ෂම වේ. සමහරුන් වඩාත් කැමති කෝපි බොන්නට වන අතර තවත් අය ප්‍රිය කරන්නේ තේ වලටයි. සමහරුන්ට අනුව Harry Potter හොඳම ෆැන්ටසි කතා මාලාව වන විට තවත් සමහරුන්ට අනුව එම ගෞරවය හිමි විය යුත්තේ The Lord of the Rings කතා වලටයි. මේ ආකාරයේ නිදර්ශන තව විශාල ගණනක් ලිවිය හැකි බව අපි දනිමු. මෙවැනි ආකාරයේ මත දැරීම වරදක් නොවන බවත් අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙතනදී මතු කරනා එකම කරුණ වන්නේ අප ‘විචාරය’ යනුවෙන් නම් කරනා දෙය සහ මේ ආකාරයේ මත අතර වෙනසක් තිබිය යුතු වේද යන ප්‍රශ්නයයි.

එය එසේ නොවේ කියනවානම්, අපිට සාකච්ඡා කිරීමට තවත් ප්‍රශ්නයක් ඉතිරි නොවේ. අප සියලු දෙනාගේම මත පිළිගනිමින් අපට සිටිය හැකි අතර කිසියම් කරුණක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇති වුවහොත් අපේ යුගයේ නියාම ධර්මයන්ට අනුව බහුතර මතයට එකඟ වීමේ සම්ප්‍රදායක් ඇති කර ගැනීමටද හැකි වේ. ඒ අනුව, සංවාදයේ අවසානය වන්නේ සංඛ්‍යාත්මක බහුතරයේ මතයයි. නමුත් දශක ගණනක් දිග හැරෙන දෙමළ ජාතික අරගලය විසින් මෙම සංඛ්‍යාත්මක බහුතරවාදයේ සීමාව අපට හොඳින් පෙන්වා දී තිබේ. අවම වශයෙන් මේ සඳහා විකල්ප ප්‍රවේශයක් සළකා බැලීමේ අවශ්‍යතාවය එමගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, විචාරය යනුවෙන් අදහස් කරන්නේ මේ ආකාරයේ මත වලට එහා ගිය දෙයක් කියා අප උපකල්පනය කරන්නේනම්, එය වටහා ගත හැකි නිර්ණායක මොනවාද ? මෙය දාර්ශනික ව සාධනය කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. කෙනෙකුට අවශ්‍යනම් පුළුවන්, නිදර්ශනයක් ලෙස, දෛනික ජීවිතයේ අපගේ පැවැත්ම තුළ ‘බොළඳ කතාව’ (idle talk) විසින් ඉටු කරන භූමිකාව පිළිබඳ හෛඩගර් ගේ විග්‍රහය මේ සඳහා උපකාර කර ගන්න. නමුත් එවැනි ප්‍රවේශයක් පැහැදිළි කිරීම සඳහා පසුබිම් කරුණු රාශියක් කිව යුතු වේ. මෙවැනි කෙටි ලියවිල්ලකින් ඒ ආකාරයේ දෙයක් සඳහා ප්‍රයත්න දැරීම ප්‍රායෝගික නොවන්නකි. ඒ නිසා අප මෙයට වඩා සරල – ‘අනුභූතික’ – ප්‍රවේශයක් ගනිමු.

අපි සිතමු විචාරය යනුවෙන් අදහස් කරන්නේ ඉහත ආකාරයේ නිකන්ම මත ප්‍රකාශ කිරීම නොව තමන් කතා කිරීමට යන දේවල් සම්බන්ධයෙන් එයට පෙර සංකීර්ණ ලෙස කතා කර ඇති පුද්ගලයන්ගේ අදහස් ගැඹුරින් හදාරා ඒ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය නිරවුල්ව පෙන්වා දීමෙන් පසුව බිහිවෙන දෙයක් බව. මේ ආකාරයේ පුද්ගලයෙක්, අපට පුළුවන්, තමන්ගේම කියා බුද්ධිමය ව්‍යාපෘතියක් තිබෙනා කෙනෙක් ලෙස හඳුනා ගන්න. ඔහුට හෝ ඇයට හෝ කිසියම් විෂය කළාපයක් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබේ. ඔහු හෝ ඇය හෝ කතා කරන මාතෘකා, සංකල්ප, ප්‍රවාද සම්බන්ධයෙන් මෙයට පෙර කතා කර තිබෙනා අය ගේ අදහස් ඔහු හෝ ඇය හෝ ඉතාම හොඳින් දනියි. එම විශාල සංවාදය තුළ ඔහුගේ හෝ ඇයගේ හෝ තෝරාගැනීම් සඳහා නිශ්චිත හේතු මොනවාද සහ අනෙක් අයගේ අදහස් තෝරා නොගැනීමට නිශ්චිත හේතු මොනවාද කියා පැහැදිළි කිරීමට එවැනි කෙනෙකුට හැකි වේ. එම පැහැදිළි කිරීම් සඳහා හේතු දක්වමින් දිගු සාහිත්‍යයක් ගොඩ නැගීමට ඔහු හෝ ඇය හෝ ජීවිත කාලයක් පුරා උත්සාහ කරයි. එහි අරමුණ වන්නේ සිය තෝරා ගැනීම් වල නිවැරදි බව හැකිතරම් පිරිසක් වෙත ඒත්තු ගැන්වීම සහ ඒ වෙත හැකිතරම් පිරිසක් දිනා ගැනීමයි. ‘බුද්ධිමය ව්‍යාපෘතියක්’ ඇති කෙනෙක් යනුවෙන් අදහස් කරන්නේ මෙවැනි කෙනෙකි. එවැනි කෙනෙක් කලා කෘතියක් සම්බන්ධයෙන් ලිවීමට පෙළඹෙන්නේ මෙම සමස්ත බුද්ධිමය ව්‍යාපෘතියේ එක කොටසක් ලෙස මිස, ජීවිත කාලය පුරා කරනා එකම බුද්ධිමය කටයුත්ත ලෙස නොවේ. නමුත් මේ ආකාරයේ ලිවීමක් හුදු මත දැක්වීමකින් වෙනස් වන්නේ එය පදනම් වන බුද්ධිමය ව්‍යාපෘතියේ ශක්තිය නිසාය. මේ දෙවැනි ප්‍රවේශය මගින් අපගේ ආරම්භක ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනා බව, මේ අනුව, පැහැදිළි වේ. දැන්, මේ ආකාරයේ ‘කලා විචාරකයන්’ කොපමණ සංඛ්‍යාවක් සිංහල කතා කරන ලෝකයේ සිටිනවාද ?

මෙයට පිළිතුරු සපයා ගත හැකි එක් ආකාරයක් වන්නේ අපේ රටේ කලා විචාරය සඳහා යොදා ගන්නා මූලික අදහස් මොනවාද කියා විධිමත්ව ලියවුණු නිබන්ධන ප්‍රමාණය සලකා බැලීමයි. ලියනගේ අමරකීර්ති ගේ සාහිත්‍ය විචාරය පිළිබඳ ලියවුනු කෘති කීපය ඉවත් කළ පසු, මෙරට සිටිනා බොහෝ විචාරකයන් ගේ ලිපි වලට පදනම් වන න්‍යායික සංවාද මොනවාද කියා එතරම් පැහැදිළි කිරීමක් ලබා ගැනීම ඉතාම අපහසු වේ. අපට දැක ගත හැකි වන්නේ පුවත් පත්වල පළ වන විචාර ලිපි පමණි. පුවත් පත් ලිපියේ ඇති ආකෘතික සීමාවන් වලට යටත්ව ලියවෙන මෙවැනි විචාර මගින් පමණක් මිනිසුන්ගේ අදහස් ගැඹුරින් වෙනස් කළ හැකි බුද්ධිමය මැදිහත්වීම් සිදු වීමේ ඉඩ තිබෙන්නේ ඉතාමත් අඩුවෙනි. එවැන්නකින් මූලික වශයෙන් කළ හැක්කේ වෙනත් ආකෘතියක් මගින් සාධනය කර තිබෙනා ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ සංයුක්ත කලා කෘතියක් පැහැදිළි කිරීමට යොදා ගැනීමයි. නමුත් මෙම පූර්ව පැහැදිළි කිරීම නොපවතින්නා වූ තත්වයකදී ‘පුවත් පත් ලිපිය’ තුළින් පමණක් ගැඹුරු බුද්ධිමය සංවාදයක් ජනනය වීම සිදු විය නොහැකිය.

අපට පෙර පරම්පරාවන් සමග සංසන්ධනය කිරීමෙන් කෙනෙකුට අවශ්‍යනම් මෙය වටහා ගැනීමට හැකි වේ. සුචරිත ගම්ලත්, නිදර්ශනයක් ලෙස, සිදු කළේ පුවත් පත් වලට විචාර ලිපි ලිවීම පමණක් නොවේ. ඔහුගේ සංවාදය මූලික වශයෙන් දිග හැරුණේ නූතන සෞන්දර්යවේදය, ට්‍රොට්ස්කිවාදී කලා විචාරය, පෙරදිග රසවාදය ආදිය පිළිබඳව කළ නිබන්ධන තුළයි. ගම්ලත් ගේ ‘වැඩේ’ දැන ගැනීමට වුවමනා කෙනෙකුට මෙම නිබන්ධන කියවීම අනිවාර්ය විය. පුවත් පත්වල පළ වූ ඔහුගේ නිශ්චිත ‘විචාර ලිපි’ පදනම් වූ පොළොව වූයේ මෙයයි. නමුත් අද දවසේ මෙරට සිටිනා ප්‍රමුඛ විචාරකයන් බොහෝ දෙනෙකු අතින් සිදු නොවනා දෙය වන්නේද මෙයයි. අද තිබෙනා බොහෝ විචාර ලිපි මගින් සිදු වන මූලික කාර්ය වන්නේ ඒවා මගින් සාකච්ඡා කරනා කෘතිය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා දීමයි. එම අර්ථයෙන් මෙරට විචාර කලාව අද වන විට පැමිණ තිබෙන්නේ කිසියම් කලා නිර්මාණයක ‘ප්‍රොමෝෂන් කැම්පේන්’ එකේ කොටසක් බවට ඌණනය වීම වෙතටයි.

මෙයින් අදහස් කරන්නේ එවැනි ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘති වෙනුවෙන් සහයෝගය දීම නෛසර්ගිකව ම නරක බව නොවේ. අපහසු කොන්දේසි යටතේ නිර්මාණය කරනා කලා කෘති වෙනුවෙන් එවැනි සහයෝගයක් බලාපොරොත්තු වී ම නිර්මාණකරුවන් ගේ පැත්තෙන් අසාධාරණ නැත. කිසියම් නිර්මාණයක් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් ලියවුනු විචාර යනු නරක වැඩක් නොවන්නේ එම නිසාය. එවැනි ආකාරයේ විචාර අතීතයේදීත් තිබුණි. ඒවායේ කාලිකත්වය මුළුමනින් රඳා පවතින්නේ අදාළ කලා නිර්මාණයේ පැවැත්ම මතයි. නමුත් අතීතයේදී මේ ආකාරයේ විචාරයන් වුවත් පුළුල් අරුතින් පදනම් වූ විචාර සම්ප්‍රදායන් හඳුනා ගැනීමට හැකියාවක් තිබුණි. ට්‍රොට්ස්කිවාදී කලා විචාරය, භරත ගේ රසවාදය වැනි නිශ්චිත ගුරුකුල වටා බිහි වූ විචාරකයන් ගේ අදහස් පදනම් වූ සාහිත්‍යයක්, අවශ්‍යනම්, කෙනෙකුට සොයා ගැනීම අපහසු නොවීය. ඒ සඳහා අවශ්‍ය කරනා සංවාදයක් ගොඩ නැගීමට තරම් අතීතයේ තිබූ බුද්ධිමය ව්‍යාපාරයන් පොහොසත් විය.

අද දවසේ මෙරට විචාරය වැටී තිබෙනා ප්‍රපාතය තේරුම් ගැනීම, මේ අනුව, එතරම් අපහසු නොවේ. එක අතකින් අපට තවදුරටත් නිශ්චිත බුද්ධිමය-දේශපාලන ව්‍යාපෘති ගොඩ නැගීමට කරනා උත්සාහයන් දැක ගැනීමට නොහැකි වේ. අවම වශයෙන් එවැනි උනන්දුවන් තිබෙනා බව පෙන්වන අය විසින් ඒ සඳහා අවශ්‍ය මූලික දේ සපුරාලීම සිදු කරන්නේ නැත. ඔවුන් විසින් සිදු කරන්නේද ඉඳ හිට පුවත්පත් පිටුවක් පුරා විචාරයක් ලියා තැබීමයි. එම විචාරයේදී යොදා ගැනෙනා න්‍යායික, සංකල්පීය අදහස් වල මූලයන් මොනවාද, ඒවා අප යොදා ගත යුත්තේ ඇයි ආදී ප්‍රශ්න වලට පිළිතුරු, එවැනි පිළිතුරු සඳහා තිබිය යුතු විධිමත් බවින් අපට දැන ගැනීමට නොහැකි වේ.

මෙහි ප්‍රතිපලය ඉතාම පැහැදිළි වේ. මේ ලිපි කියවන මෙරට සිටිනා අති විශාල බහුතරයක් වෙත එම ලිපිවල දැක්වෙන චින්තකයන් ගේ සහ සංකල්ප වල අර්ථයන් මොනවාද කියා නිරවුල් අවබෝධයක් ආසන්න වශයෙන්වත් නොමැති වේ.එසේ නොතේරෙන බව ප්‍රකාශ කිරීමට යාම මගින් සිදු වන්නේ සියලු දෙනා දන්නා, තමා පමණක් නොදන්නා දෙයක් හෙළිදරව් වීම කියන චකිතය නිසා කිසිවෙක් මෙම අදහස් පැහැදිළි කරනා ලෙස ඒවා ලියන, කියන අයගෙන් ඉල්ලා සිටින්නේ නැත. අප සිතන්නේ ඒවා ලියන අය එම අදහස්, ප්‍රවාද, චින්තකයන් හොඳින් දන්නවා කියාය. නමුත් ඔවුන් දන්නා බව අප දන්නේ කොහොමද ? මේ සඳහා අපට තිබෙන්නේ විශ්වාසයක් පමණි.

එම අර්ථයෙන් මෙරට විචාරය පැමිණ තිබෙන්නේ අරුම පුදුම තැනකටයි. එය මුළුමනින් ක්‍රියාත්මක වන්නේ ආගමික විශ්වාසයන් ක්‍රියාත්මක වන ආධානග්‍රාහී විශ්වාසයේ ආකෘතිය මතයි. ආධානග්‍රාහය (dogma) යනු තර්ක බුද්ධියෙන් විමසා බැලීමෙන් තොරව නිවැරදි ලෙස බාර ගන්නා දෙය බව අපි දනිමු. විචාරය යනු, අනෙක් අතට, ආධානග්‍රාහී විශ්වාසයන් ප්‍රශ්න කිරීමයි. ඒ අනුව අද දවසේ ලාංකික විචාරය යනු එමගින් සිදු විය යුතු දෙයෙහි පරිපූර්ණ ප්‍රතිපක්ෂය වෙනුවෙන් තිබෙන්නා වූ දෙයකි. එමගින් බිහි කර තිබෙන ආගමික කතිකාවකි. එහි ප්‍රසිද්ධ ධර්ම දේශකයන්, බලවත් පූජකවරු සිටියි. ඔවුන්ව ප්‍රශ්න කිරීම අවශ්‍ය නොවන්නේ ඔවුන් මේ වන විටත් ලෝක සත්‍යය අවබෝධ කරගෙන ඇති නිසාය. එලෙස අවබෝධ කරගත් සත්‍යය ඔවුන් අපට කලා නිර්මාණ සම්බන්ධයෙන් ලියවුණු විචාර ලෙස ලියා පෙන්වයි. අපට තිබෙන්නේ එම ‘විචාර’ වල දැක්වෙන සංකල්ප සහ චින්තකයන් ගේ නම් තේරුණු බව හැඟවීමයි. එසේ නොමැති ව ඒවා තේරුම් කරන්න කියා පැවසුවහොත් අපේ නොදැනු ම පමණක් හෙළිදරව් වීමේ අවධානම තිබේ. ඒ නිසා මේ පූජකවරුන් හට ඔවුන් පාවිච්චි කරනා චින්තකයන් සම්බන්ධ කෘතහස්ත අවබෝධයක් ඇති බව අපි සියලු දෙනා විශ්වාස කරමු.

සමකාලීන ලාංකික කලා විචාරය මුහුණ දී සිටිනා බැරෑරුම් ගැටලුව අප ඉදිරියේ දෘශ්‍යමාන වන්නේ මේ ආකාරයටයි. එයට අනුව ‘විචාරය’ ක්‍රියාත්මක වන්නේ ‘ආගමික විශ්වාසයේ’ මාදිළියෙන් වේ.

Advertisements