වියහැකිභාවයන් බහුල මෙවන් විසල් පොළවක දරුණු විවිධත්වයකින් යුක්ත මානයන් පිළිබද සිහින දකින්නන් නොසිටිය හැක කියා කිය නොහැක, එය ප්‍රථමයෙන්ම කිව යුතු ය. සංකීර්ණ ලෙස “ජීවය” යන්න පවතිනවා ද පවතින්නෙ කෙසේ ද යන්න පිලිබදවත්, ජීවය නො පහළ වීමේ සිට  ජීවය පහළ වීම පිළිබදවත්, තියෙනවා, තිබෙනවා, පවතිනවා කෙටියෙන් කිවහොත් “පැවැත්ම” යන්න පිළිබදවත්, වැනි  සරල ව ඇස නොගැටෙන මානයන් ගැන  බරපතල සිහින දකින්නන් සිටීමේ වියහැකියාව හොදාකාරව ම තිබේ. එ් වගේම ඒ ආකාරයට බරපතල සිහින දකින්නන් නොතිත් දරුණු කුතුහලයකින් දිවෙන ස්වරූපයක් ගනියි. මෙය හේතුකොට ගෙන මේ පොළෝ කොටසෙහි හුදු ලෙස සුසුම්නා කඩන් වැටෙන ලෙස ඇදගෙන වැටීම් වන්නට තරම් අභිමුඛ වීම් සිදුවීමේ හැකියාව තිබෙන බව හොදින් සිතට ගත යුත්තකි.

ඒ ආකාරයට බරපතල ලස්සන  සිහින දකින යම් කිසිවෙක්ට විවිධ චින්තකයන් සිදු කළ බැරෑරුම් සහගත ප්‍රකාශනයන්, ලිවීම්, සිතීම් හෙවත් සෘජුව කිවහොත් “දර්ශනය” කියවා ගැනීම සදහා  ඉගෙනීම සදහා නොතිත් කුතුහලයක් වැළදේ. එ් නොතිත් කුතුහලය නිසා සිදුවන බරපතල සිහින ගතවීම් තුළින් මෙම පොළව  මත කරන දීර්ඝ ගවේෂණයන් වල දී ඔහුට හෝ ඇයට යම් යම් කාලවල ප්‍රකාශිත සගරා, පොත්පත්, පත්තර පිටු කෑලි වීඩියෝ කැබලි හමු වීම සිදුවන බව නියතය.

යම්කිසිවෙක්ට ඒ ආකාරයෙන් යම් යම් චින්තකයන් විසින් සිදු කළ බරපතල සහගත කියවීම්, ලිවීම්, සිතීම්, සූත්‍රගතකිරීම් ආදි දේ අන්තර්ගත ව පවතින දර්ශනය පිළිබද ව ප්‍රකාශනය කර ඇති පොත්පත් ප්‍රධාන පෙළේ පොත් සාප්පුවලිනුත්, අප්‍රධාන පෙළේ පොත් සාප්පුවලිනුත් එමෙන් ම මේ පොළෝ කොටසෙහි අධ්‍යාපනය සදහා වූ අමාත්‍යාංශයෙනුත් ගත හැක. ඒ ඇත්තේ ද ස්වල්පයකි, එ් ස්වල්පය ද අවදානම්කාරී වළවල් වලින් අධික ලෙස සම්න්විත වීමේ හැකියාව ද එලෙසම අනෙක් පසින් තිබේ. බහුල ලෙස එවන් පොත්පත්, සගරා මුද්‍රණය කිරීමෙන්ම නවතා දමා ඇත. ප්‍රවාද වගේත් මාතොට වගේත් සගරා කලක එවන් බරපතල සිහින දකින්නන්ට මහත් ආසක්තිත වූවන් විය. අද දේශපාලන වේදිකාවල දක්නට ලැබෙන සමහර පුද්ගලයන්ගෙනුත්, එලෙස ම අද පෙනෙන්නටවත් නොමැති සමහර පුද්ගලයන්ගෙනුත්, සහ මගහැරිය නොහැකි  පුද්ගලයෙක් වන පෙරදිග සුළන් වලින් පසු දැන් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරගෙන සිටින දීප්ති කුමාර ගුණරත්න ද ඇතුළු ව කලක දී නිර්මාණය වුණු එක්ස් කණ්ඩායම නම් විකල්ප කියවීම් සදහා බලපෑමක් සිදු කළ සාමුහිකය කෙරේ ද එකල බරපතල සිහින දකින්නන් ආසක්ත විය. එහි ආසක්තභාවයෙහි තරම අදට ද සමහරුන් තුළින් ගම්‍ය කරවයි.

12507405_10154105958516953_743295196642755237_n

ඒ එක්ස් කණඩායම ට සම්බන්ධ ව අද වෙළදපොලෙහි දක්නට ඇත්තෙ කෘති කීපයකි. ඒවා ද ඇත්තටම නැතිතරම් ය. තිබුනත් ඉන් ප්‍රවේශයක් ලබා දුන්නාට මන්මුලා වීමේ අවදානම පවතී. ඇතැම් පොත් සාප්පුවල තෙමී මුලුවල ඉතිරි වී ඔවුන් විසින් ප්‍රකාශිත “කලාව හා විසංයෝජනය” වැනි පොත් ශේෂ වී තිබෙනු දක්නට ලැබ ඇත. එහෙත් එවැනි කෘති යමෙකු පරිශීලනය කිරීමෙදී නිතර ඇදගෙන වැටෙන්නට තරම් වූ හේතුකාරණා හොදින් ප්‍රකාශමාන වේ.

මෙතන දී කාරණය නම් මෙ බරපතල සිහින දකින්නන් සදහා නිළලත් ලෙස හෙවත් මෙහි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන පොත්වල දක්නට ලැබෙන වැටෙන්න නියමිත විශාල වළවල් ය. ඊට ගත හැකි හොද උදාහරණයක් කලක කැලැණි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ සිටි ඒ.ඩී.පී.කල්න්සූරිය ව ම ගත හැක්කේ ඔහු විසින් විසල් මාතෘකා ගෙන ග්‍රීක දර්ශනය පිළිබදවත් නූතන බටහිර දර්ශනය පිලිබද වත් ලියූ මේ පොළෝ කොටසෙහි අධ්‍යාපනය සදහා වූ අමාත්‍යාංශය විසින් නිකුත් කොට මේ පොළවෙහි බැරෑරුම් වු දර්ශනය කියවීමට ආසක්තිත බරපතල සිහින දකින්නන්ට 1973 වැනි දීර්ඝ කාලයක පටන් අද වනතුරුත් ලබා දෙන කෘතීන් ය.

“නූතන බටහිර දර්ශනය” යන නමින් මෙලෙස බරපතල ලස්සන සිහින දකින්නන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෙවත් නිළලත් ලෙස ලබාදුන් ඒ.ඩී.පී.කලන්සූරිය ගෙ කෘතියහි ඇදගෙන වැටෙන්න නියමිත විශාල වළවල් හැරවෙන්න නියමිත විකාර මාවත් තිබේ. ඊට නිදසුනක් ලෙස ඔහු ඔහුගෙ එම කෘතියේ බටහිර නුතන දර්ශනයේ ආරම්භක මෙන්ම ප්‍රධාන චින්තකයෙක් වන “Meditations on first philosophy “ කෘතිය ද ලියූ රෙනේ ඩෙකාට් පිළිබද ව ගෙන එන සාවද්‍ය කරුණක් දැක්විය හැකිය. ඒ.ඩී.පී.කලන්සූරිය විසින් ඩෙකාට් ගෙන එන “මා සිතමි එනිසා මා පවතිමි” (I think therefore I am”) යන්න ඩෙකාට් ගෙනෙන සිතනා දෙය (thinking thing) යන්න විශ්ලේෂී හා සංස්ලේශී යන ඛණ්ඩනය යටතේ අර්ථකථනය කිරීමට ගන්නා වෑයමයි. මේ විශ්ලේෂී (analytic) සහ සංස්ලේෂී (synthetic) නම් එම සම්භාව්‍ය විභේදනය සිදුකරනු ලැබුවේ කාන්ට් විසින්, ඒ ඩෙකාට් මියගොස් දීර්ඝ කාලයක් ගිය පසුවයි. එවන් සන්දර්භයක ඒ.ඩී.පී කලන්සූරිය විසින්,

“..එහෙත් මේ ප්‍රස්තූතය විශ්ලේෂී ද? ඩෙකාට් කොපමණ තර්ක කළද, මේ ප්‍රස්තූතය විශ්ලේෂී නොව සංස්ලේෂී  (synthetic) ප්‍රස්තූතයකි…………..ඩෙකාට් වරදවා තෙරුම්ගත්ත ද “මා සිතමි. එම නිසා මා පවතිමි” යන ප්‍රස්තූතය සංස්ලේෂී ප්‍රස්තූතයකි ….”

[35-36පිට.]

උපුටාගැනීම අවසන්.

ඒ ආකරයට “නූතන බටහිර දර්ශනය” කෘතියේ  කාන්ට් පසුකාලීනව ගෙන ආ විභේදනය ඔස්සේ අර්ථ්කථනය කිරීමට දැඩි උත්සහයක් ගනී. ඒ ආකාරයට කාටිසියානු “සිතනා දෙය” විශ්ලේෂී හා සංස්ලේෂී ඛණ්ඩනය ඔස්සේ අර්ථකථනය කිරීමෙ පිළිගත් සම්ප්‍රදායක් නැත, එය වංගීස සුමනසේකර විසින් ඩෙකාට් ගෙ ” Meditation on first philosophy” කෘතිය ට කළ ප්‍රතිනිර්මාණාත්මක කෘතියක් වන “ආත්මීයත්වය සහ භෞතික ලෝකය” හි තාක්ෂණික සටහන් වල කෙටියෙන් කේන්ද්‍රයන් ඔස්සේ දක්වා ඇත. කලන්සූරිය විසින් ඔහුගේ “නූතන බටහිර දර්ශනය”කෘතියෙහි “ප්‍රථම ප්‍රස්තූතය කුසලතාවක් නොවේ” නම් කොටසෙහි කලන්සූරිය විසින් ම දක්වා ඇති විශ්ලේෂී හා සංස්ලේෂී ප්‍රස්තූතයන් ඔස්සේ ගිය විට දී ද “මා සිතමි එම නිසා මම පවතිමි යන ප්‍රස්තූතය සංස්ලේෂී ප්‍රස්තූතයකි” කියා උක්තයෙහිදී කලන්සූරිය විසින් කරනා ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව හොදින් පෙනේ. මේ පොලවෙහි අධ්‍යාපනය සදහා වූ අමාත්‍යාංශයෙන් ප්‍රකාශනය කොට අද ට ද විශ්වවිද්‍යාල වල පවා කියවීමට නිර්දේශ කරන කෘතිවල පවත්න විශාල ගැටලුකාරීත්වයයි, විශාල ලෙස ඇදගෙන වැටීම් වියහැකි ගමන් පථයකි. මේ එක් නිදසුනක් ම පමණක් දක්වා ප්‍රකාශ කරන්නෙ ගමන්මගෙහි වූ සංකීර්ණ වැරදිවීමට ඉඩ ඇති වන සුළු බවයි.

මෙ ලිවීම තුලින් පැහැදිලිව මම ප්‍රකාශකිරීමට උත්සහ කරනු ලැබුවේ ප්‍රධාන අනතුරු ඇගවීමක් පිලිබදවයි.එනම්,”සකල දේශවාසි බරපතල සිහින දකින්නනි ප්‍රවේශම් වෙනු”

-ප්‍රබුද්ධ ධණුශ්ක දික්වත්ත

Advertisements