මෙයට දින කීපයකට පෙර පළ වූ ලාංකික විචාර ගැන විචාරයක් ලිපියටසමාජ ජාල හරහා ලැබුණු විවිධ ප්‍රතිචාර නිසා එක් පැහැදිළි කිරීමක් කළ යුතු වේ. එම ලිපිය මගින් මතු කිරීමට උත්සාහ කරන්නේ ‘කාටවත් තේරෙන්නේ නැති භාෂාවකින්’ විචාර ලිවීමේ අර්බුධය, එහෙමත් නැතිනම් ‘පිටරට චින්තකයන් මෙරට ගෙන්වීමෙන්’ වන අර්බුධයක් ලෙස සමහර අය වටහාගෙන තිබුණි. මෙය ඉතා බරපතල වරදවා වටහා ගැනීමක් වන හෙයින් ඒ පිළිබඳව කෙටි පැහැදිළි කිරීමක් කළ යුතු වේ.

එම ලිපිය කල්පනාවෙන් කියවූ කිසිවෙකුට මෙවැනි ආකාරයේ වරදවා වටහා ගැනීමක් ඇති විය හැක්කේ කෙසේද කියා පැහැදිළි නොවේ. එම ලිපිය මගින් කිසිදු ආකාරයකට ‘අමාරු’ චින්තකයන්, ‘ලොකු වචන’ දමන චින්තකයන් සම්බන්ධයෙන් කතා නොකළ යුතු බව හෝ නොලිවිය යුතු බව හෝ කිසිදු ආකාරයකට අඟවා නොමැත. එහි තිබෙන්නේ එහි ප්‍රතිපක්ෂයයි!

sනිදර්ශනයක් ලෙස එම ලිපියේ සඳහන් වන එකම ‘විදේශික’ චින්තකයා වන මාටින් හෛඩගර් ගන්න. හෛඩගර් කියවා ඇති ඕනෑම කෙනෙක් ඉක්මනින් පිළිගන්නා කරුණක් වනු ඇත්තේ, සම්ප්‍රදායික අර්ථයෙන්, ඔහු කියවීමට ‘අමාරු’ චින්තකයෙක් බවයි. (එයට අමතරව ඔහු ‘පිටරට’ චින්තකයෙක්ද වන බව අමුතුවෙන් කිව යුතු නොවේ). දැන්, එම ලිපිය මගින් විවේචනය කරන්නේ ‘අමාරු වචන දමා ලිවීම’ සහ‘පිටරට චින්තකයන්’ ගැන ලිවීමනම්, හෛඩගර් සම්බන්ධයෙන් මෙලෙස ලිවීම – එනම්, ලිපියේ තර්කය පැහැදිළි කරගත හැකි දාර්ශනික මූලයක් ලෙස හෛඩගර් ව හැඳින්වීම – කළ හැක්කේ කෙසේද ?

බරපතල පරස්පරයක් ඇති කරන්නේ නොමැති ව එවැනි දෙයක් කිව නොහැකි බව පැහැදිළි විය යුතුය. ඒ වෙනුවට එමගින් මතු කර පෙන්වීමට උත්සාහ කළේ ඉතාම සරල දෙයකි. ඒ තමයි කෙනෙක්ට බැරෑරුම් න්‍යායික මැදිහත්වීමක් කිරීමට අවශ්‍යනම් පුවත් ලිපිය හෝ – එයටත් වඩා ගැටලුකාරී වන – ‘ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට්’ එක ප්‍රමාණවත් නොවන බවයි. සුචරිතගම්ලත් ගේ උදාහරණය මගින් පැහැදිළි කිරීමට උත්සාහ කළේ මෙයයි. නමුත් මෙය මෙයටත් වඩා ඉතා පහසුවෙන් ‘පිටරට’ ‘අමාරු’ චින්තකයන් සම්බන්ධයෙන්, මෙයටත් වඩා ඉහළ තීව්‍රතාවයකින් යොදා ගත හැකි වේ.

හෛඩගර් පිළිබඳව මෙහි මේ වනවිටත් සඳහන්ව ඇති නිසා අපි ඔහුට පමණක් සීමා වෙමු.කෙනෙක් හෛඩගර් ව දියුණු න්‍යායධරයෙක් ලෙස පිළිගන්නවානම්, එයට හේතුව වන්නේ ඔහු විසින් ‘හොයිබේර්ගර් වෝක්ස්බ්ලැට්’ (Heuberger Volksblatt) පුවත්පතට ලියූ ලිපිවල තිබූ අදහස් නොවේ – එකළ ෆේස්බුක් නොතිබූ හෙයින් ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට්ස් නම් නොමැති විය. හෛඩගර් දියුණු න්‍යායධරයෙක් ලෙස පිළිගන්නවානම් එයට ඇති එකම හේතුව වන්නේ ජීවිත කාලයක් පුරා ඔහු විසින් ගොඩ නැගූ දර්ශනයයි. මේ දර්ශනය පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබීම කළ හැකි එකම ආකාරය වන්නේ ඒවා ලියවී ඇති ඔහුගේ මූලික කෘති වන “Being and Time”, “Kant and the Problem of Metaphysics” වැනි කෘති කියවීමයි.

දැන්, කවුරුන් හෝ එම කෘති වළදී හෛඩගර් සිදු කර තිබෙන්නේ කාටවත් තේරෙන්නේ නැති විධියට භාෂාව හසුරුවා ඇති බව කියා චෝදනා කරන්නේනම් – එසේ කරනා අයද සිටිනා බව මතක තබා ගන්න – එය අසාධාරණ අදහසක් බව පිළිගත හැකි සාක්ෂි තිබේ. එවැනි දෙයක් සිදු කරන්නේනම් ඉතිහාසයේ සිටි ජනප්‍රිය, හෛඩගර් ගේ අර්ථකතනකරුවන්- ජොන් පෝල් සාත්‍ර ගේ සිට ජාක් ඩෙරීඩා දක්වාත් ජොන්-ලක් නොන්සි ගේ සිට ග්‍රැහැම් හාමන් හා කැතරින් මැලබූ දක්වාත් -සහ එම අර්ථකතනකරුවන් ගේ ලිපි කියවා තේරුම් ගත් බව පවසන එයටත් වඩා බොහෝ විශාල ගණනක් වන මිනිසුනුත් සිදු කර තිබෙන්නේ විශාල බොරුවක් කියා නිගමනය කිරීමට සිදු වනු ඇත. තවත් සරල ආකාරයකින් කියන්නේනම්, හෛඩගර් තේරෙනේවා සහ ඔහු කියවීම වැදගත් කියා අපිට පවසා සිටිනා සියලු දෙනා බොරු කාරයන් කියා නිගමනය කිරීමට එමගින් සිදු වනු ඇත.

එනිසා, කරුණා කර අප කියනා දෙය වැරදියට අවබෝධ කර නොගන්න. ඊනියා අමාරු චින්තකයන් කියවීමට එරෙහි වීමක් කිසිදු තැනක ඉහත ලිපියේ යෝජනා කර නැත. එවැනි බුද්ධිමය කම්මැලියන්ගෙන් තිබෙනා ප්‍රයෝජනයක් නොමැත. අප කර තිබෙන්නේ ඉතාම සරල නිරීක්ෂණයකි. හෛඩගර් වැනි චින්තකයන් ගේ අදහස් වල මූලාශ්‍රය වන්නේ ඔහු ලියූ පුවත්පත් ලිපි නොවේ. එවැනි ආකාරයේ අතිශයින් සීමිත ආකෘතියක් හෛඩගර් ගේ වැනි දර්ශනයක් ගොඩ නැගීම සඳහා ප්‍රයෝජනවත් නොවේ. එනිසා කවුරුන් හෝ එවැනි දේ පමණක් කර, ඔහුගේ හෝ ඇයගේ හෝ අදහස් අපට බැරෑරුම් අදහස් ලෙස බාර ගන්න කියා යෝජනා කිරීම සුදුසු නොවේ. එවැනි කෙනෙකු කළ යුත්තේ සිය අදහස් විධිමත්ව, පිලිවෙලින්, එම අදහස් වලින් ඉඩ දෙන තරම් සරල ලෙස ලියා තැබීමයි. මෙයින් අදහස් කරන්නේ ඒවා ඕනෑම කෙනෙකුට තේරෙන තරම් සරල ලෙස ලියා තැබිය යුතු බව නොවේ. සමහර අදහස් තේරුම් ගැනීමට ඒවා ඉගෙන ගන්නා අය විසින් සිදු කළ යුතු පූර්ව සූදානමක් ඇති බව පිළිගත හැකිය. සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ව තිබෙනා පර්යේෂණ සඟරාවක් මේ ලෝකයේ සියලු දෙනාට එකවර කියවා තේරුම් ගත යුතු වේ කියා කිසිවෙක් අපේක්ෂා කරන්නේ නැත. නමුත් එවැනි දේවල් කියවන පිරිසක් සිටිනා බව අපි දනිමු. ඉහතින් සඳහන් කළ පූර්ව දැනුම ඒවා කියවන අයට තිබේ.

අප මතු කළ ප්‍රශ්නය වූයේ සිංහල විචාර කලාව තුළ මේ ආකාරයට අපට එකඟ විය හැකි පොදු දැනුම් තිබෙනා පිරිසක් සිටිනවාද යන්නයි. එවැනි පිරිසක් ඇති කරගත හැක්කේ අප විසින් යොදා ගන්නා මූලික අදහස් පිළිබඳව පැහැදිළි වන දියුණු සාහිත්‍යයක් සිංහලෙන් තිබෙනා සන්දර්භයක පමණි. එවැන්නක් නොමැති තත්වයක් යටතේ, කවුරුන් හෝ ඉංග්‍රීසි බසින් එම මුල් කෘති කියවීමට උත්සාහ නොකළහොත්, එම අදහස් වල වලංගුතාවය තක්සේරු කළ හැක්කේ කෙසේද? ‘රාවය’ පුවත් පතට ලියවෙන ලිපියකින් පමණක් එවැනි සංකීර්ණ අදහස් ප්‍රමාණාත්මක ලෙස සිංහල සංවාදයේ ස්ථාපනය කළ හැකිද ? ඒ සඳහා මෙවැනි ලිපි පමණක් ප්‍රමාණාත්මක නොවන බව පමණක් ඉහත ලිපියෙන් පෙන්වා දීමට උත්සාහ කර තිබුණි. මෙවැනි සාකච්ඡා සඳහා කිසියම් ආකාරයක දියුණු සාහිත්‍යයක් ඇති කර යුත්තේ මේ නිසාය. මේ ගැන සංවාද කල හැකි පරම්පරාවක් බිහිවනු ඇත්තේ එවිට පමණි.

අවසන් වශයෙන්, මේ කරුණත් කිව යුතුය. අප ඉහත ලිපිය රචනා කළේ කිසිවෙකුට එරෙහි ව, පුද්ගලිකව ඉලක්ක කළ, ලිපියක් ලෙස නොව මෙරට බුද්ධිමය සංවාදයේ දියුණුව වෙනුවෙන් කළ අවංක මැදිහත්වීමක් ලෙසයි. නමුත් එම ලිපියෙන් සමහරුන් අප සමග පුද්ගලිකව අමනාප වී තිබේ කියා උපකල්පනය කිරීමට අවශ්‍ය යම් යම් දේ, එම ලිපිය පළ වීමෙන් පසුව සිදු විය. මෙරට බුද්ධිමය සංවාදය වැටී ඇති තත්වය තේරුම් ගැනීමට මෙයටත් වඩා නිදර්ශනයක් අවශ්‍යද ? එකිනෙකා ගේ අදහස් විවේචනය කර ගැනීම බුද්ධිමය සංවාදයකට අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මේ ආකාරයේ ඉතාම කුඩා විවේචනයකින් වුවත් පුද්ගලිකව අමනාප වන්නා වූ මට්ටමේ විචාරකයන් අප සමග සිටීනම්, එමගින් ඔප්පු වන්නේ අප විසින් මතු කිරීමට උත්සාහ කළ දෙයෙහි නිවැරදි බව මිස වෙන කිසිවක් නොවේ. අප උත්සාහ කළේ මෙරට සිටිනා විචාරකයන් හට ඔවුන් ගේ අදහස් පුවත් පත් ලිපි වලට – සහ ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට්ස් වලට – සීමා නොකර, විධිමත්ව ලියා තබන ලෙස කියා සිටීමටයි. එසේ කළේ ඔවුන්ට එම හැකියාව තිබෙනා බව අප දන්නා නිසා, සාධනීය විවේචනයක් ලෙස මිස ඔවුන්ට පුද්ගලිකව ‘කෙළවීමේ’ අදහසින් නොවේ.

හෛඩගර් ජීවිත කාලය පුරා සිදු කළේ හොයිබේර්ගර් වෝක්ස්බ්ලැට් එකට ලිපි ලියූ එකනම්, සියවසකට පසුව ඔහු පිළිබඳව දන්නා මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් ඉතිරි වනු ඇතිද?

Advertisements