rauschenbergමාක්ස්වාදි දර්ශනයේ ප‍්‍රධාන මූලධර්ම 03කි. එනම් ලෝකයේ දාව්‍යමය බව, ද්‍රව්‍ය චලිතයක පවතින බව හා ද්‍රව්‍යයේ චලිතයේ දයලෙක්තික ස්වභාවය යන්නයි. බොහෝ දර්ශනයන් විමසා බැලීමේදී පෙනෙන කරුණක් නම් ලෝකය ද්‍රව්‍යමය බවත් එමෙන්ම එය චලිතයක පවතින බවත් ය. නමුත් එම දර්ශනයන් එම චලිතයට හේතුවත් එය පාලනය කරන නියාමයන් නිවරිදිව වටහා ගත්තේ නැත. නමුත් මාක්ස්වාදි දර්ශනයේ දී ලෝකය ද්‍රව්‍යමය බවත් ද්‍රව්‍ය පවතින්නේ චලිතයේ බවත් හෙළිකර එකී චලිතය තීරණය කරන්නා වූ දයලෙක්තික සම්බන්ධය ද හෙළි කිරීමට සමත් විය. මාක්ස්වාදය අනෙකුත් දර්ශනයන්ගෙන් වෙනස්වන ප‍්‍රධාන ම ලක්ෂණය වන්නේ ද්‍රව්‍යයේ වර්ධනයේ දයලෙක්තික ස්වභාවය පෙන්වා දීම නිසා ය.

මෙම නියාමයන් අතරින් මා මූලිකව ම පෙන්වා දෙන්නේ ප‍්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය හා අරගලය පිළිබඳ නියාමය යි. මේ නියාමය මගින් ප‍්‍රකෘතියේත්, සමාජයේත්, චින්තනයේත්, සංවර්ධනයේ ප‍්‍රධාන උල්පත් මෙන්ම එහි ගාමක බලවේගයන් ද පෙන්වා දෙයි. මෙය තව දුරටත් සරලව පෙන්වා දෙන්නේ නම් සෑම වස්තුවක් තුළ ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දක්වන පැති දෙකක් හෝ ප‍්‍රවනතා දෙකක් හෝ බලවේගයන් දෙකක් පවතින බව පෙන්වා දිය හැකි ය. උදාහරණයක් ලෙස චුම්භකයක් පෙන්වා දිය හැකි ය. මෙහි ධන, ඍන ලෙස ප‍්‍රතිපක්ෂ දෙකක් පවතී. නමුත් එහි ධ‍්‍රැවීයතාවය ශුන්‍ය බවට පත්වේ. පුළුල් අර්ථයෙන් කියන්නේනම් ධ‍්‍රැව අන්‍යෝන්‍ය වශයෙන් නිශේධ වන අතර ම එකිනෙකට සම්බන්ධව පවතී. මෙය ප‍්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය හෙවත් සමගිය ලෙස පෙන්වා දිය හැක.
වස්තුවක හෝ කිසියම් ප‍්‍රපංචයන් තුළ පවතින ප‍්‍රතිපක්ෂයන්ගේ සමගිය මගින් පෙනී යන ප‍්‍රධාන කරුණක් නම් එකී ප‍්‍රතිපක්ෂ අතර අන්තර්ක‍්‍රියාකාරිත්වයක් ඇති බවයි. මෙම අන්තර් ක‍්‍රියාකාර්ත්වය සරලව ප‍්‍රති විරෝධතාවය ලෙස හැඳින්විය හැක. ප‍්‍රතිපක්ෂයක අරගලය යමක හරය වෙයි. ඉතාමත් සරලව පෙන්වා දෙන්නේ නම් කිසියම් ප‍්‍රපංචයක් වර්ධනය වන්නේත් පවතින්නේත් මේ කියන්නාවූ ප‍්‍රතිපක්ෂයන්ගේ ගැටුමේ ක‍්‍රියාකාරිත්වය හේතුවෙනි.

සමාජ ප‍්‍රපංචයන් ලෙස ගැනීමේදී ප‍්‍රාථමික සාමූහික සමාජයේ ප‍්‍රතිපක්ෂයන් වූයේ මිනිසා හා ප‍්‍රකෘතිය හෙවත් ස්භාදහමය. එහෙත් පංති සමාජ ක‍්‍රමය කරලියට ඒමත් සමග එය වෙනස් තත්වයකට පත් විය. වහල් සමාජයේදී වහලා සහ වහල් හිමියා ලෙස ප‍්‍රතිපක්ෂය වූ අතර එය වැඩවසම් සමජයේදී ප‍්‍රවේණි දාසයා හා ඉඩම් හිමියා බවට පත් විය. ධනපති පංතියේදී ප‍්‍රතිපක්ෂය වූයේ ධනපතියා හා නිර්ධනයා අතරයි.

ඉහත පෙන්වාදුන් ආකාරයට ප‍්‍රතිපක්ෂයන් අතර පවතින සම්බන්ධතා ආකාර 04ක් ලෙස පවතියි.

01 අන්තර් සම්බන්ධය

මෙහිදී ප‍්‍රතිපක්ෂයට තනිව පැවතිය නොහැකි මෙන්ම අනෙක් ප‍්‍රතිපක්ෂය සමග පැවතිය යුතුය. මේ මගින් ප‍්‍රපංචයේ පැවැත්ම තහවුරු කරගැනීමට හැකියාව ඇත. වෙනත් ආකාරයට පවසන්නේනම් ධනපති පංතියට නිර්ධන පංතිය නොමැතිව පැවතිය නොහැක. එය තවත් ආකාරයෙ කියන්නේනම් ධනපති පංතියේ ඉදිරිපිට පැවැත්ම නිර්ධන පංතිය වන අතර නිර්ධන පංතියේ ඉදිරිපිට පැවැත්ම වනුයේ ධනපති පංතියයි.

02 අන්තර් රඳා පැවැත්ම

මේ මගින් ප‍්‍රපංචයක පවතින එක් ප‍්‍රතිපක්ෂයක් මගින් අනෙකාගේ පැවැත්ම කෙරෙහි ඇගවීමක් කරයි. එකක් නොමැති ව අනෙකා නොපැවැතීම අන්තර් රදා පැවැත්මයි. එය වඩාත් සරලව කියන්නේනම් ධනපති ක‍්‍රමය පවත්වාගෙන යාමට ජාතිවාදය අවුලූවාලීම, යුද්ධය වැනි කරුණු පෙන්වා දිය හැක. එය තවත් අකාරයට කියන්නේනම් දොරක් බාගෙට ඇර තැබූ විට බාගයක් වසා තබන්නාක් මෙනි.

03 අන්තර් ක‍්‍රියාකාරිත්වය

ප‍්‍රතිපක්ෂ දෙකක් අනෙකා අභිබවා යාමට කරන උත්සහය අන්තර් ක‍්‍රීයාකාරිත්වයයි.

04 අන්තර් විනිවිද යාම

ප‍්‍රපංචයක ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතා අන්තර් විනිවිඳ යාම මගින් නව ප‍්‍රපංචයක් බවට පත් වෙයි. මෙය විශේෂයෙන් දැකිය හැක්කේ සතුරු ප‍්‍රතිවිරෝධතාවයන් පවත්නා සමාජමය ප‍්‍රපංච තුළය. වෙනත් අකාරයට කියන්නේනම් විප්ලවවයක් ලෙස හදුන්වන්නේ අන්තර් විනිවිඳ යාමකි.

එමෙන්ම මෙම නියාමය තුළ ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතා තුනක් හදුනාගත හැක. මුලික හා මූලික නොවන ප‍්‍රතිවිරෝධතා ඉන් පළමුවැන්නයි. ඇතැම් වස්තු හා ප‍්‍රපංචයන් තුළ ප‍්‍රතිවිරෝධතා කිපයක් පැවතීමට ඉඩකඩ තිබේ. නමුත් එම වස්තුවේ හෝ එම ප‍්‍රපංචයේ වර්ධනය සිදුවීමටත් පැවැත්ම පිළිබඳ තීරණාත්මක වැඩ කොටස ඉටු වීමටත් එක් ප‍්‍රතිවිරෝධයක් අත්‍යාවශ්‍ය වේ. එයට මූලික ප‍්‍රතිවිරෝධය ලෙස කියා පෑමට හැක. නමුත් මූලික ප‍්‍රතිවිරෝධයට අමතරව මුලික නොවන ප‍්‍රතිවිරෝධතා නොමැත යන්න ඉන් ගම්‍යමාන නොවේ. නිදසුනක් ලෙස කියන්නේනම් ධනපති සමාජයේ මූලික ප‍්‍රතිවිරෝධය වන්නේ ධනපති පංතිය හා නිර්ධන පංතියයි. මූලික නොවන ප‍්‍රතිවිරෝධතාවලට නිදසුන් ලෙස සිංහල ජාතිකත්වයට එරෙහි දෙමළ ජාතිවාදය, ගම හා නගරය, පුරුෂෝත්තම හා ස්ත‍්‍රීවාදය වැනි දෑ පෙන්වාදීමට හැක. වඩාත් උද්වේගකර ලෙස කියන්නේනම් මූලික ප‍්‍රතිවිරෝධය ජය නොගෙන මූලික නොවන ප‍්‍රතිවිරෝධතා මූලික ලෙස වරදවා තේරුම් ගැනීම ම බරපතල හානිකර වේ. වෙනත් ආකාරයට එය කියන්නේනම් මූලික නොවන ප‍්‍රතිවිරෝධතා මූලික ලෙස වටහා ගෙන එ්වාට නිවරිදිව  ක‍්‍රියා නොකිරීමේදි මූලික ප‍්‍රතිවිරෝධය වෙනස් කිරීමටත් වර්ධනය කරගැනීමටත් නොහැකි තත්වයන් උදා කරයි.

ප‍්‍රතිඝතික (සතුරු) සහ ප‍්‍රතිඝතික නොවන ( සතුරු නොවන) ප‍්‍රතිවිරෝධතා  මින් දෙවැන්නයි. මෙම විරෝධතා සමාජමය ප‍්‍රපංචයන් තුළ විශේෂයෙන් පවතියි. පංති සමාජයන්හි සතුරු ප‍්‍රතිවිරෝධතා පවතියි. වෙනත් ආකාරයට කියන්නේනම් ධනපති සමාජයේ මූලික සකුරු ප‍්‍රවිරෝධය වන්නේ ධනපති පංතිය හා නිර්ධන පංතියයි. මෙය තවදුරටත් විස්තර කරන්නේනම් සමාජමය ප‍්‍රපංචයක් වන ධනපති සමාජය පවතින ලෙසටම පවත්වා ගැනීමෙන් ප‍්‍රතිපක්ෂයන්ගේ සතුරු බව වෙනස් නොවේ. මෙන්න මෙම කරුණ නිසයි රාජපක්ෂ පාලනයට එරෙහි යහපාලනය විප්ලවයක් නොවන්නෙ. ඒ වගේම වත්මන් යහපාලන ආණ්ඩුව තුළ බොහෝ පක්ෂ සමගි සන්ධානයකට පැමිණ ඇත. පෙර සතුරන් දැන් මිතුරු වී ඇත. එමෙන් ම වංචා හා දූෂණ සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලි කටයුක්තක් දක්නට නොමැත. එ්කාබද්ධ විපක්ෂය ද යහපාලයට සතුරු බවින් සිටින බව මතු පිටින් පෙන් වුව ද හරයෙන් ඔවුන් සමගිව ඇත. එය  යම් ආණ්ඩු පෙරළියකදී වුව ද ප‍්‍රකාශමාන විය හැකිය. ධනපති ක‍්‍රමයේ ධනපති හා නිර්ධන ලෙස සතුරු බවක් තිබුණ ද ධනපති පංතියේ එක් එක් කොටස්වල සතුරුබාවයක් නොමැත. එය වත්මන් පාලනයේත් ඊට පෙර පාලනයේ සිටි පුද්ලයන්ගේ සබඳතාවයන් වලින් නොපෙනෙනවානම් පුදුමයට කරුණකි.

අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධතා යන්නද වටහා ගැනීම වඩා වැදගත්ය.වස්තුවක හෝ ප‍්‍රපංචයක අභ්‍යන්තරයේ ඇති විරුද්ධ පැතිවල ගැටුම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවය වන අතර එකී ප‍්‍රපංචයන් තමා අවට පිහිටි බාහිර ප‍්‍රපංචයන් සමග ඇකි කරගන්නා සාධක බාහිර ප‍්‍රතිවිරෝධතා නම් වේ. මෙහි වැදගත්ම සාධකය වන්නේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයයි. මෙයින් එම ප‍්‍රපංචයන් වඩා දියුණු තත්වයට ගෙන එ්මට හැකියාව ඇත. බාහිර ප‍්‍රතිවිරෝධතාවයන්ට කළ හැක්කේ එකී ප‍්‍රපංචයන් සඳහා යම් බලපෑමක් කිරීමට පමණි. මෙය වඩාත් සරලව කියන්නේනම් රටක ධනවාදය තුළ පංති ප‍්‍රතිවිරෝධය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධය වෙයි. එහි බාහිර ප‍්‍රතිවිරෝධය ලෝකයේ වෙනත් රටවල් සමග කරන සබඳතාවයයි. අධිරාජ්‍යවාදය එය වඩා ප‍්‍රබල කිරීමට තැත් කරයි. මෙම ප‍්‍රතිවිරෝධතා සෑම එකක්ම නිරපේක්ෂ ලෙස වෙන් වෙන්ව පවතින්නේ නැත. වාස්තවික ලෝකය තුළ එය එකිනෙකර සහසම්බන්ධව පවතිී.

මේ පිළිබඳව තවදුරටත් සඳහන් කරන්නේනම් ඔබට මතක ඇති මීට ටික කලකට පෙර මිය ගිය අපේ කාලයේ ශ්‍රේෂ්ට විප්ලවවාදියෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝගේ මරණය. එහිදී ජිජැක් කොමියුනිස්ට් මතවාදය පිළිගනිමින්ම පැවසූයේ ඔහුගේ මරණය ඉක්මනින්ම අප අමතක කළ යුතු බවයි. එහිදී ඔහු නිර්ධන පංතියේ කෙනෙකු ව සිට ඔහුගේ මතය ඉදිරිපත් කළේ ය. මෙය බොහෝ වාමාංශිකයන් සිතුවේ ඔහු සතුරු මතවාදයක සිටින බවකි. නමුත් මාක්ස්වාදයේ ම කියන ප‍්‍රතිවිරෝධය ඔවුන් අමතක හෝ අමතක කර දැමීය. ඉහතින් දැක්වූ පරිදිත් ප‍්‍රතිවිරෝධය මගින් ප‍්‍රපංචයන් වඩා වර්ධනය කර ගැනීමට හැකි බව පෙන්වා දුණි. ලෙනින් කී පරිදි ම සතුරුබාවය හා ප‍්‍රතිවිරෝධය යනු එකක් නොවේ. මෙය වාමාංශික අර්ථයෙන්ම පවසනවානම් මතවාදී අරගලය තුළ පවතින්නේ ප‍්‍රතිවිරෝධයයි.මතවාදී අරගලය පෝෂණය නොකර යමෙකු කළ විවේචනය සතුරුබාවයක්  සේ වටහාගන්නේනම් මූලික ප‍්‍රතිවිරෝධය ජය ගැනීම තව තවත් ආපස්සට කැඳවන බව රහසක් නොවේ.

ෆිදෙල්ගේ මරණය සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප රටෙහි ද ඔහු වෙනුවෙන් ආචාරය පුද කරන අයුරු අපි දුටුවෙමු. එහිදී ජනතා විමුක්ති පෙරමුණ ද එලෙස විප්ලවීය ආචාරය පුද කළේ ය. එලෙස ආචාර කළ එක් තරුණියක ෆිදෙල්ගේ නම තම මුහුණෙහි ඇඳ තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු යම් විවේචනයක් කළ අතර ඒ සම්බන්ධයෙන් අද දක්වාම යම් සාකච්ඡාවක් පවතින ආකාරය දුටුවෙමු. ඔහු අන් කවුරුත් නොව සුහද කලාකරුවෙකු වන කපිල. එම්. ගමගේ ය. ඔහුගේ විවේචනය වූයේ එම තරුණිය ෆිදෙල් පිළිබද කිසිවක් නොදැන ෆේශල් කළ මුහුණක ෆිදෙල්ගේ නම ඇද තිබීම සම්බන්ධවය. ඔහුගේ විවේචනය විග‍්‍රාහාත්මකව සිදු නොකළ අතර එය ‍ජේදයක පමණ ලූහුඩු විවේචනයකි. එහි සාධනීය මෙන්ම නිෂේධනීය තත්වයන් පිළිබඳ සාකච්ඡාව මගහැර පක්ෂ සාමාජිකයන්ගේ මතය ලෙස දැක්වුයේ කවි ලියන පණ්ඩිතයෙක් ආදි දෑය. ඔහු සතුරෙකුගේ තත්වයට ම පත්කර තිබූණි. ප‍්‍රතිවිරෝධය තුළින් වඩා දියුණු තත්වයකට පත් කර ගැනීම පසෙකලා මෙවැනි දෑ සිදුවේනම් එහි ඛේදවාචකය මොනතරම් ද ? මෙයින් සිදුවන්නේ නිර්ධන පංතියේ යමෙකු දිනා ගන්නවා හැර ඔහු සතුරෙකු ලෙස වටහා ගැනීම නොවේ ද ?

රාවය සංවත්සර උළෙලකදී ජ.වී.පෙ නායක අනුර දිසානයක කළ කතාව ඇසුරින් මා මිත‍්‍ර ශ‍්‍රීනාත් විසින් ගොඩනගන විවේචනය ද එතරම් සාරගර්භ වූවක් නොවේ. අනුරගේ කතාවෙන් දූෂිත වළල්ලේ තරම මොනතරම්ද යන්න පෙන්වා දුණි. ඒ වගේම ඔහුගේ කතාව අවසානයේ දූෂිත වළල්ල අවසන් කිරීමට ගත යුතු මාර්ගය ද පවසා සිටියේ ය. එසේ පවසන්නේ ම පාර්ලිමේන්තුව තුළින්ම එය කළ නොහැකි නිසා ය. නමුත් ශ‍්‍රීනාත්ගේ මතය වන්නේ ජ.වී.පෙ පාර්ලිමේන්තුවාදයට යටවී ඇත යනුවෙනි. මාක්ස්වාදයට අනුව ද එය එසේනම් බරපතල වැරැද්දකි. නමුත් ලෙනින් කී පරිද්දෙන් ම පාර්ලිමේන්තුව තම මතය දැක්වීම සදහා කරලියක් කර ගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. එම කතාව අවසානයේ අනුර කියන්නේ ද මේ සදහා පුළුල් ජනතා ව්‍යපාරයක් සෑදිය යුතු බවයි. එය ජ.වී.පෙ කොන්ත‍්‍රාතුවක් නොවෙයි. ඒ සදහා ඔබ අප  සැමට ම කාර්යභාර්යක් තිබේ. ඒ අන්කවරක් සදහාවත් නොව සාධාරණ සමාජයක් වෙනුවෙනී. අප ලෝකය තළ පැවතිය යුතු ය. ලෝකය තුළ යම් ආකාරයක පැවැත්මක් සනිටුවහන් කිරීමට නම් ලෝකය තුළ ම පැවතිය යුතුය. පාර්ලිමේන්තුව තුළ නොපැවතී පවතින ආකාරය කුමක්ද ? ලෝකයේ සෑම රටකම පාහේ පාර්ලිමේන්තු පවතිී. සමාජවාදී රාජ්‍ය තුළ ද පාර්ලිමේන්තු තිබේ. ඔවුන් එහි නියෝජනය කරයි.  ඔබ කරන විවේචනය පදනම් විරහිත වන්නේ අන්න ඒ නිසා ය.  එහිදී ධනපති පංතියට එරෙහි සමග-පැවැත්මකට අප එක්විය යුතුව ඇත. වඩාත් පුළුල් අර්ථයෙන් කියන්නේනම් ධනපති පංතියේ පැවැත්ම උදෙසා ඔවුන් පංතියක් ලෙස ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්නේ ඉදිරිපිට-පැවැත්මත් භාවිතාත්මක-පැවැත්මත් වන නිර්ධන පංතිය නිසා ය. නිර්ධන පංතිය වඩ වඩාත් සමග-පැවැත්මකට එළඹීමෙන් අන්තර් විනිවිදබාවයකට පත්විය හැක. උත්කර්ෂවත් ලෙස කියන්නේනම් එය විප්ලවයයි. නමුත් සමාජවාදය තුළදී ද රාජ්‍ය අහෝසි නොවේ. නමුත් ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ රාජ්‍ය පරමත්වය නොවන බවයි . පංති සමාජය කරලියට ඒමත් සමග රාජ්‍ය ඇති වූවත් පංති සමාජයක නොමැති තත්වයකදී රාජ්‍ය පැවතියේ නැත. ඉදිරියේදී පංති සමාජය අහෝසි වීමට නියමිත ය. ඒ කොමියුනිස්ට් සමාජයකදී ය.

එමෙන් ම අප දේශපාලනයේ දකින ප‍්‍රධාන විවේචනයන් දෙස බැලීමේ දී වාමාංශික  විවේනයන් ද සැලකිය යුතු ය. එහිදී පැරණි වාමාංශය ඔවුන්ගේ භාවිතාවෙන්ම ඔවුන්ගේ පැවැත්ම සනිටුහන් කරවාගෙන ඇත. නමුත් මෑත කාලීන දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එල්ල කරනා විවේචන දෙස බැලීමේදී පෙනී යන්නේ අනෙකක් නොව එම විවේචනයන් සතුරුබාවයක තිබෙනා බවයි. මාක්ස්වාදී පුළුල් අර්ථයෙන් කියන්නේනම් මූලික ප‍්‍රතිවිරෝධතාවය  ඇත්තේ ධනපති පංතිය හා නිර්ධන පංතිය මිස අන්කවරක් නොවේ. පක්ෂයන්ගේ පැවැත්ම උදෙසා අවලාද නැගීමත් සතුරු විවේචන කිරීමත් බෙදී විසිරීමත් මගින් දැනටමත් සිදුවී ඇත්තේ ධනපති පංතිය ශක්තිමත් කිරීම විනා අන් යමක් නොවේ. එය දේශපාලනය පිළිබඳ දන්නා අය දනිති.

සමාජමය වෙනසක් කිරීමට වාමාංශය ප‍්‍රබල භූමිකාවක් ඉටු කළ යුතුව ඇත. වඩාත් උද්වේගාත්මක ව කියන්නේනම් ලෙනින් කී පරිද්දෙන් ම නිර්ධන පංතියට සංවිධානය වීම හැර අන් අවියක් නොමැත. එය වෙනත් ආකාරයට කියන්නේනම් සමග-පැවැත්ම තුළින් නිර්ධන පංතිය සංවිධානය කළ හැක. මෙහි සාරගර්භ ම දෙයනම් මතවාදී අරගලයක් නොමැති ව සංවිධානයක් පැවතිය නොහැකි වීමයි. එය තවදුරටත් සරලව කියන්නේනම් බුද්ධිමය අවකාශයක් නොමැතිව සංවිධානයක් තිබිය නොහැක.

ධනංජය බණ්ඩාර

Advertisements