වසන්තය උදාවීම යනු ප‍්‍රහර්ෂයාත්මක අදහසකි. ඉතාම ආදරණීය ලෙස කියන්නේ නම් එය ආදරයේ අඩංගුවකි. ජීවිතයට වසන්තය උදාවීම යනු යමෙකුගේ තරුණ කාලයේ හෝ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය යුගය හගවන අදහසකි. ඍතු විපර්යාසය ඇසුරෙන් ගත්ත ද වසන්ත සමය සශ‍්‍රීකත්වය, ප‍්‍රබෝධමත්බව කියාපාන අදහසකි. මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ ලක්ෂ ගණනකට දිවි අහිමි කළ ලක්ෂ ගණනක් අවතැන් කළ ලක්ෂ ගණනකගේ ජීවිතවලට වසන්තය අහිමි කළ අරාබි වසන්තය ඇසුරෙන් 21 වන සියවසේ විප්ලවය පිලිබඳ සොයාබැලීමක් කිරීමටයි. අරාබි වසන්තය අවසානයේදී වසන්තය පිලිබඳ අදහසේ මෙතෙක් පැවති වාච්‍යාර්ථ සුණු විසුණු කර ඇති බව ඔබට පෙනෙණු ඇත.

arabic-spring-1

අපගේ ප‍්‍රවේශය සඳහා ආරාබි වසන්තය පිලිබඳ සොයා බැලීමක් කරමු.

අරාබි වසන්තය යනු අරාබියේ හා උතුරු අප්‍රිකාවේ එවකට පැවති ඒකාධිපති පාලනයක් සහිත රාජ්‍යයන්ට එරෙහි ව එම රාජ්‍යන් තුල ම හටගත් විරෝධතා ව්‍යාපාර මාලාවකි. එය 2010 දෙසැම්බර් මස ටියුනීසියානු හිටපු ජනාධිපති ආබ්දීන් බෙන් අලී ට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් මූලික කොටගෙන ඇරඹිණි. ඒ වන විට බෙන් අලී ටියුනීසියානු ජනපති ලෙස වසර 24 ක කාලයක් කටයුතු කර තිබුණි. උග‍්‍ර රැකියා අර්බුධය, උද්ධමනය, දුෂණ චෝදනා හා සමස්තයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පලුදු වීම මූලික කොටගෙන විරෝධතා මෙහෙයවිණි. පසුව එරට පැවති රජය පෙරලා 2011 ඔක්තොම්බර් මස වෙනත් ව්‍යවස්ථාවක් යටතේ කැරලිකරුවන්ගේ ප‍්‍රාධානත්වයෙන් නව පාලනයක් ඇති විය. නමුත් නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවත් තවමත් තත්වය වෙනස් වී නැත. 2011 වැඩබලන ජනපති ලෙස ෆොයිඞ් මෙබාසාත් ද 2011 අවසන දී මොන්සෙෆ් මර්සූකි ද 2014 දී බෙජීකයිඞ් එසෙබ්සි ද ජනපති ලෙස පත්විය. අරාබි වසන්ත විප්ලවයෙන් පසු අප මේ ලිපිය ලියන මේ මොහොත වන විටත් එරට සියලූ නීතීඥයන් බදු පනතට විරුද්ධව විශාල වැඩ වර්ජනයක් දියත් කර ඇත. මීට දින කිහිපයකට ප්‍රථම තුවක්කුකරුවෙකු බි‍්‍රතාන්‍ය සංචාරකයින් තිස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. සැබෑ අර්ථයෙන් ඔවුන් තවමත් වසන්තය සොයමින් සිටියි.

ඉන්පසු අරාබි වසන්තය හමා ගියේ ඊජිප්තුවටයි. 2011 ජනවාරි 25 ආරම්භ වුණු විරෝධතාවල ප‍්‍රතිඵලයක් ලෙස එම වසරේ පෙබරවාරි මස 11 වන දින වසර 30 ක කාලයක් එරට ජනාධිපති ව සිටි හොස්නි මුබාරක් ට ඉල්ලා අස්වීමට සිදුවිය. විරෝධතාකරුවන්ගේ විප්ලවයෙන් පසුව බලයට පත් මොහොමඞ් මුස්රි ව ද 2013 වසරේ ජූලි 03 වනදින නැවත හමුදාපාලනයක් යටතේ ඔහු ව නෙරපා හැරිණි. නැවත පසුව 2014 අබ්ධිල් ෆටා අල් සිසී ජනාධිපති ලෙස එරට නව ව්‍යාස්ථාපිත ඡන්දයෙන් තේරීපත් විය. මේ වසර කිහිපය තුල දහස් ගණනක් දෙනා සිරගත කිරීම ද දහස් ගණනකට තම ජීවිත ද අහිමි විය.

පෙර තත්වයන්ට නොදැවෙනි අයුරින් ලිබියාවේ 2011 පෙබරවාරි 15 දින මහජන විරෝධතා ඇති විය. යුරෝපයේ සහ ඇමරිකාවේ සහයෝගයෙන් විරෝධතාකරුවන් විසින් වසර 42 ක් ලිබියාව පාලනය කළ කර්නල් ගඩාෆි ව අත්තඩංගුවට ගනිමින් 2011 ඔක්තොම්බර් 23 වන දින නිල වශයෙන් ලිබියානු විරෝධතා ව්‍යාපාර විප්ලවය අවසන් කරන ලදී. නමුත් අද වනවිටත් ලිබියාවේ තත්වය ඉතාම අහිතකරය. යේමනයේත් 2011 ජනවාරි මස ඇරඹි විරෝධතා අදටත් ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ක‍්‍රියාත්මක වෙයි. සිරියානු යුද්ධය මේ සියල්ල අතරින් අතිශය ඛේදනීය ඉරණමට ගොදුරුවූ දේශයයි. බෂාර් අල් අසාද් ට විරුද්ධ අයි එස් සටන්කරුවන් මේ මොහොත වන විටත් සිරියානු හමුදාව හා තවත් සිරියානු මිත්‍ර හමුදා සමග සටන් වදිමින් සිටියි. මීට අමතර ව බහරේනය, ජෝර්දානය, ඇල්ජීරියාව,  ඕමානය, ඞ්ජිබොයිටි, සෝමාලියාව, සුඩානය, ඉරාකය, කුවෙට්, මොරොක්කෝව, මයුරිටානියා, ලෙබනනය, සවුදිඅරාබිය, ඉරානය, පලස්තීනය යන රටවල ද යම් යම් පරිමාණයෙන් රාජ්‍ය විරෝධී කැරලි ඇති විය.

ඉහත ඉතා සංෂිප්ත උදාහරණවලට අනුව අපට මෙහිදී මතුවන ගැටලූව වන්නේ අද දවසේ විප්ලවයේ වලංගුතාවය යි. 20 වන සියවසේ රුසියානු සහ කියුබානු විප්ලවයෙන් පසුව 21 වන සියවසේ විප්ලවය අපට ප‍්‍රකාශමාන වන්නේ අරාබිය හා උතුරු අපි‍්‍රකාව පුරා හමා ගිය විප්ලවීය වසන්තයේ ජීවිත හා දේපල පමණක් අහිමි කළ නිෂ්ඵලත්වය යි. වසර ගණනක් රාජ්‍ය පාලනය කළ ඒකාධිපති පාලකයන් එලවා දැමීමෙන් අනතුරුව නැවත දේශය ගොඩනැගීමේ යාන්ත‍්‍රණය සැකසීමට විප්ලවවාදීන්ට හෝ ඊට සහය දැක් වූ විදෙස් රාජ්‍යයන්ට හා සිවිල් සංවිධානවලට නොහැකිවන්නේ ඇයි ? ඒකාධිපති පාලනයක් පෙරලා දමා නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමේදී ඇතිවන තත්වයන් විප්ලවීය අර්ථයෙන් විසඳා ගැනීමට නොහැකි වන්නේ ඇයි ?

විප්ලවයක් ඇතිවන්නේ පවතින තත්වය විසින් ජනතාව මත ඇතිකරන පීඩනය දරා ගත නොහැකි අවකාශක දී ය. එම පීඩනය ප‍්‍රතිවිරෝධයක් දැක්වීම හා පවතින තත්වය උඩු යටිකුරු කිරීම විප්ලවයේ අරමුණයි. මෙහිදී ප‍්‍රධාන සාධකයක් වන්නේ විප්ලවයට පෙර පැවති පාලනයේ සංස්කෘතිමය තත්වයන්, පැවති පාලනය හා බැඳී ඇති ආකාරයයි. විශේෂයෙන් ආගමික මූලයන් විප්ලවයෙන් පසු ද වෙනස් නොවී ඒ ආකාරයෙන් ම පැවැතීමයි. මේ විප්ලවීය ස්භාවය බොහෝ අවස්ථාවල නැගී සිටියේ මෙම ආගමික අර්ථයෙන් වීම තුල එහි දේශපාලන ආධ්‍යාශය වියැකී ගිය අවස්ථා බොහෝය. විප්ලවය යනු ම සමාජවාදී අදහසක් ලෙස අපට සමීප වුවත් ඒ තුල ආගම හා පුද්ගල නිදහස කේන්ද්‍රගත වූ ලිබරල් මානුෂවාදයක පෙනී සිටීම් දක්නට ලැබුණි.

ඉතින් අප කියා සිටින්නේ විප්ලවය පිළිබඳ අදහස අත හැරිය යුතු බව නොවේ. ඒ වෙනුවට මෙහි යෝජනා කරන්නේ එය වත්මන තුළ යළි අර්ථකථනය කරන්නේ කෙසේද යන්නයි. එය ඉතාම අපහසු බව පමණක් දැනට ලියා තබමු. කොපමණ අපහසු ද කියතොත්, එය ඔබ සිතනවාටත් වඩා අපහසුය.

පවතින ඒකාධිපතිත්වය පරාජය කිරීමට ජනතාව එක් රොක්වීම යහපත් තත්වයකි. නමුත් ජනතාව විසින් සංස්කෘතිමය සතුරා ලෙස එක් පුද්ගලයෙකුගේ ඛේදය පමණක් සමස්ත අරගලයට දිශානත කිරීමේ නිර්රථක ක‍්‍රියාවලියක් ලෙස තවත් ආකාරයකින් අරාබි වසන්තය දැක්විය හැකිය. පෙර අප සඳහන් කළ පරිදි ආගමික මූලයන් වෙනස් නොවීම මත, සමාජ සංස්කෘතික කාරණා විප්ලවීය අර්ථයෙන් වෙනස් කිරීමට යාමේදි සංස්කෘතික මිනිසා වෙනස් නොවීම අරාබි වසන්තයේ මූලික දුර්වලතාව බව කිව යුතුය.

මේ සඳහා අත පොවන මානයේ අපට ඇති උදාහරණයක් ලෙස ජනවාරි 08 විප්ලවය හැදින්විය හැකිය. එනම් බහුතර ජනතාවක් විසින් පැවැති පාලනය පෙරලා දැමීමෙන් පසුව සිදුකරන්නට යන වෙනස්කම්වලට ජනතාව සවිඤ්ඤාණික නොවීමත් බලයට පැමිණි පිරිස වෙනසට පර්යාය පිරිසක් නොවීමත් තව දුරටත් ඡන්දයෙන් හෝ කැරැල්ලකින් විප්ලවය සිදුකොට පවතින තත්වය වෙනස්කිරීමේ වලංගුතාවය 21 වන සියවසේ ඵලරහිත වී ඇත. එංගලන්තයේ Brexit අර්බුධයත්, ඇමරිකාවේ ට‍්‍රම්ප්ගේ පත්වීමත්, මෑතකදී ඉතාලි අගමැතිගේ ඉල්ලා අස්වීමත් තුල මහජන නැගිටීම් හා ඔවුන්ගේ මනාපය දිශානත ව තිබෙන ආකාරය මෙම පවතින තත්වයන් හි අවදානය ප‍්‍රකාශමාන කරයි.

මේවායින් කියාපාන්නේ රුසියාව කියුබාවේ සිදු වූ විප්ලවීය ආකෘතිය අද දවසට වලංගු නොවන බව නොවේද ? වෙනත් ආකාරයට කියන්නේ නම් දේශපාලන වෙනසක් යනු සංස්කෘතිමය වශයෙන් දෘෂ්ටිවාදාත්මක පෙරළියකි. එම දෘෂ්ටිවාදාත්මක පෙරළිය සඳහා අවශ්‍යවන්නේ බුද්ධිමය විප්ලවයක් බව අපගේ උපකල්පනයයි. ආරාබි වසන්තය පුරාවට සිදු වූ ඛේදනීය තත්වයන් මැඩපැවැත්විය නොහැකි ලෙස සිරියාව තුල ලක්ෂ හතරක් වසර හතරක් තුල ඝාතනය වන්නේ විමුක්ති සටන්කාමීත්වය හා ජනතා විප්ලවයන්ගේ මොඩලය යාවත් කාලීන නොවීම බව කිය යුතුය.

ඉතාම පැහැදිලිව ම අවසන් විග‍්‍රහය ලෙස කියන්නේනම් ආණ්ඩු පෙරළියට අවශ්‍ය වන්නේ විකල්ප සමාජ සංවිධාන මාදිලියක්. ආණ්ඩු පෙරලීම හා පෙරලීමෙන් පසුව කළ යුත්තේ කුමක්ද යන්න පිලිබඳ සමාජ සවිඤ්ඤාණිකත්වයක් ඇති සමාජ සංවිධාන 21 වන සියවසේ විප්ලවයට  ඕනෑකර තිබේ. තව දුරටත් ප‍්‍රජාතාන්ත‍්‍රික ඡන්දයෙන් හෝ ජනතා විප්ලවයක් යන මොඩලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යහපාලන රාජ්‍යයක් උදෙසා නැතිනම් වසන්තයක් උදෙසා වලංගු නොවේ.

රංග මනුප්‍රිය

Advertisements