15220157_1254166281321898_5456666454155425337_nශානරය යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් අපට Genre කියා කිව හැකිය. එසේම අවශ්‍යය නම් එය අපට ප්‍රභේදය, වර්ගීකරණය ලෙසට වටහා ගත හැකිය. නමුත් ශානරය යන අදහස ඊට වඩා පුළුල් ව පැතිරුණ සහ ගැඹුරු අරුත් සම්පන්න භාවිතයකි. එය මැජෙස්ටික් සිටි හි වෙළඳ කුටියක රාක්කයක තිබෙනා චිත්‍රපට වර්ගීකරණයෙන් ඔබ්බට ගිය අදහසකි. නමුත් ලංකාවේ ශාස්ත්‍රීයවත්, භාවිතයෙනුත් බොහෝ විට සිදු වන්නේ ශානරය යන්න හුදෙක් වර්ගීකරණයක් ලෙසට බාර ගැනීමයි. නමුත් ශානරය යන පදය සාහිත්‍ය ලෝකයට ඇතුළත් වූයේ මිඛායිල් භක්තීන්ගෙනි. එසේම ඔහුගේ ගුරුවරයා වන මෙද්වෙදෙව් ද මේ අදහස වර්ධනය කරනවා. ඔහුගේ මේ පිළිබඳව ලියැවුණ මූලික ග්‍රන්ථය වන්නේ, Speech Genres & Other Late Essays කෘතියයි. නමුත් එහිදී ඔහු ශානරය යන්නට භාවිත කර ඇත්තේ Utterance ලෙසයි. එයින් අර්ථ ගැන්වෙන්නේ ‘වාගාලාපය’ යනුවෙනි. එය යම් කිසි ලෙසකට යථාර්ථයේ දෙන ලද කොටසක් දෘශ්‍ය ගත කරන ආකාරයක් විදිහට හැඳින්වීම වැරදි නොවේ. විශේෂයෙන් ම මේ අදහස ගෙන එනු ලබන්නේ භක්තීන්ගේ ගුරුවරයා වන මෙද්වෙදෙව් විසින්. ශානරය යන්න අප සාහිත්‍යට හෝ කලාවට පමණක් ගොනු කළ යුතු නොවේ. එය අපගේ දෛනික ජීවිතය සමඟ අත්‍යන්තයෙන් සම්බන්ධයක් පවත්වයි. එනම් අප සිතන්නේම ‘ශානරීයව’ වීමයි. අප සිතනා දේ, අප එදිනෙදා පැවැත්ම තහවුරු කරගන්නේ ම ශානරීයව යැයි භක්තීනියානු අදහසින් කිව හැකිය.

සාමාන්‍යයෙන් අපි හිතනවා දෙන ලද යථාර්ථය තුළ දේවල් තෝරාගෙන ශානරය යටතට දමන්නට. නමුත් මෙතනදී සිදු වන්නේ එහි පරස්පරයයි. එනම් අපි දේවල් වටහා ගන්නේ ම ශානරීයවයි. ශානර පිළිබඳ අවබෝධය ඇති අයකු ඔහුගේ/ඇයගේ දෘශ්‍යමය මෙවලම් පද්ධතිය පුළුල් කරගනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතු වන්නේ ශානරය යන්න ප්‍රභේදකරණයක් නොවන අතර එහි අත්‍යන්තයෙන් ම සෞන්දර්යක් පවතී. ශානරයන් විසින් නිරන්තර ව අපගේ අවබෝධය හැඩ ගස්වන අතර ශානර පිළිබඳ දැනුම පුළුල් වන්නේ නම් අප දේවල් දිහා බලන ආකාර ප්‍රමාණය විශාල වේ. අප සරල උදාහරණයකින් මෙය පැහැදිලි කරගන්නේ නම් මෙසේය. අප විද්‍යා ප්‍රබන්ධ නැමැති ශානරය හොඳින් දන්නවා නම් එයින් සමකාලීන  සමාජ සන්දර්භය කියවා ගත හැකි ආකාර බොහෝමයක් අප තුළ නිර්මාණය වනවා ඇති.

එසේම ශානරය සමඟ යම් ආකාරයක සෞන්දර්යයට සම්බන්ධයක් ඇත. ඒ නිසා කලාවේ දී ශානරය බිඳින්නා නව සෞන්දර්යයක් සොයා ගනී. අලුතෙන් ශානර පැමිණෙන විට අලුතෙන් සමාජය ද වෙනස්කමකට ලක් වේ. ඒ තුළ අලුත් යෙදුම්, අලුත් භාෂණ විධි ඇතුළත් වේ. බොහෝ විට කලාව පිළිබඳව දියුණු සංවාදයන් ඇති රටක සෑම මොහොතකම පාහේ ශානර වලට අභියෝග කිරීමත් ඒවා බිඳ දමා නව ශානර බිහි කර ගැනීමටත් උත්සාහ කරනු ලබයි. ඒ තුළින් නව සෞන්දර්ය අදහස් ප්‍රති නිර්මාණය වේ. නමුත් ලංකාවේ බොහෝ විට වාරණය පවා හැඩ ගැසී ඇත්තේ ශානර පිළිබඳව දැනුම මද බව නිසාය. ශානර අපට අලුතින් හිතන්නට පුරුදු කරන බව ඔවුන් නොදන්නවා විය හැකියි. ලෙස්ටර්ගේ සිනමාව ලංකාවට අලුතින් සිතන්නට පුරුදු කළාක් මෙන් එය ඛණ්ඩනය කර ධර්මසේන පතිරාජ විසින් අපව වෙන මාවතකට ගෙන යන ලදි. පසුව අශෝක හඳගමත් ප්‍රසන්න විතානගේත් අප වෙත සිනමාවේ නව හැරවුමක් නිර්මාණය කළ අතර ඉන් පසු විමුක්ති ජයසුන්දර විසින් අපට නැවත සිනමාව ගැන හිතන්නට විශාල කලාපයක් විවර කරන ලදි. මේ සියල්ල සිදු වූයේ ශානරය නම් සංකල්පය තුළය. අප හිතන්නේම ශානරීය ව යැයි මා මුලින් සඳහන් කලේ එබැවිනි.

එසේම ශානරය කියා කියන්නේ උත්තර සංස්කෘතික දෙයක් හෝ විශ්වීය දෙයක් නොවන බව අප මතක තබා ගත යුතුය. යටත්විජිතකරණය සමඟ සම්බන්ධ කොට මෙම අදහස කියවිය හැකිය. යටත්විජිතකරණයට පෙර අප සතුව ‘නවකතාව’ යනුවෙන් ශානරයක් තිබුනේ නැත. නමුත් ඔවුන් අපට නවකතාව හඳුන්වා දිණි. නමුත් අප දන්නා පරිදි අප සතුව ජාතක කතා කියා ශානරයක් පැවතිණි. නමුත් යටත් විජිතයාට එය ශානරයක් නොවේ. ඒ ආකාරයෙන් ගත් විට අපට මෙහිදී පැහැදිලිව ම වටහා ගත හැක්කේ යම් ආකාරයකට ශානරය යනුම දේශපාලන අර්ථකථනයකි. එය සතුව විශාල දේශපාලනයක් පවතී.

මේ අනුව  ශානරය විසින් එක් සංස්කෘතියක් සහ තවත් සංස්කෘතියක් අතර උස් -පහත් බවක් ඇති කරනු ලබයි. යම් විටෙක අනෙක් සංස්කෘතිය පහතට ඇද දමනු අපට දක්නට ලැබේ. ශානරය යනු අප තුළ පැවැත්මක් කියා මා මුලින්ම සඳහන් කළේ එම නිසාය. ශානරය යන අදහස පුරාණෝක්ති වලට පැමිණි විට අවශ්‍යයෙන් ම ඒවා ක්‍රියා කරන්නේ ශානරීය ව යැයි අපට වටහා ගත හැකිය. ඒවා පවතින දේශපාලන දෘෂ්ටියට අනුකූලව නිර්මාණය වන බව එළාර – දුටුගැමුණු නම්  එතිහාසික කතාවෙන් අපට වටහා ගත හැකිය. එය නිර්මාණය වන්නේ මහා විහාරය විසින් අදහස් කළ ශානරයට සාපේක්ෂවය.

මනමේ ඇතුළු  එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව බොහෝ කොට ගොඩනැඟී ඇත්තේ භරතමුණිගේ රසවාදය විසින් ගොඩ නැඟූ ශානරීය පදනමක් මතය. යම් හෙයකින් සරච්චන්ද්‍ර ඇරිස්ටෝටලියානු ආකෘතිය යොදා ගත්තේ නම් සමස්තය වෙනස් වෙයි. ශානරය වෙනස් වන විට අපගේ ලෝකය උඩු යටිකුරු වේ යැයි අපට පැවසිය හැක. ඒ නිසා විවිධ කලා කෘති, සංස්කෘතීන් අධ්‍යයනයන් හිදී අපට ශානරය නම් අදහසත් එම න්‍යායත් වැදගත් වනු ඇත.

සාහිත්‍ය කේන්ද්‍රීය ව මෙම අදහස නිර්මාණය වුවත් එය අද වන විට නිර් වාග්මය ලෝකයට ආදේශ කළ හැකිය. ඒ නිසා කලාව කියවීමේදී මෙම අදහස වැදගත් වනු ඇත. ශානරය නම් අදහස රසිකයා නම්නීකරණය කරනු ලබයි. ඔහුට/ඇයට කලා කෘතිය කියැවීම සඳහා හිදැස් නිර්මාණය කර දෙනු ලබයි. එසේම ශානරය විසින් උප ශානර ගොඩ නඟයි. සිනමාව එයට හොඳ උදාහරණයකි. එහි දී කෙටි චිත්‍රපටය කියනා ශානරය ජංගම දුරකතන කෙටි චිත්‍රපට ලෙසට උප ශානරයක් ගොඩ නඟා ඇත. නමුත් භක්තීන් විශ්වාස කරන්නේ මෙසේ ශානරයක් හෝ උප ශානරයක් ගොඩ නැඟීම සඳහා විශාල කාලයක් ගත වන බවයි.

කෙසේ වෙතත් අද වන විට ශානරය යන්න වඩාත් භාවිතා වන්නේ වෙළඳපොළකරණය සමඟයි. ඒ නිසා ශානරය යන අදහසට අද බොහෝ විවේචන එල්ල වී තිබේ.  ජාර්ක් රොන්සියර් ශානරය යන්න නොපිළිගනී. ඔහු පවසන්නේ ශානරයන් තුළින් සිදු වන්නේ සිනමාව කේතකරණය වීම බවයි. එහිදී ඔහු ගෙන එන තර්කය වන්නේ ඇන්තනී මාන් ගේ ගොපළු සිනමාපට ඒ සඳහා හොඳ උදාහරණයක් බවයි. ඒවායේ දැක්වෙන මූලධාර්මික පරතරයක් ලැගුම් ගෙන ඇති අතර එසේම ඒවා තුළ සටහන් වන්නේ ස්වදේශී ඇමරිකානුවන් පිළිබඳව නපුරු චිත්‍රයකි. එම නිසා ශානරය නම් අදහස  බොහෝ විට අපගේ ජීවිත කතන්දරකරණය කරන බවත් එය අවසානයේ අධිරාජ්‍යට, වෙළඳපොළට සේවය කරන බවත් රොන්සියර් පවසයි.

මේ ආකාරයෙන් බලන විට අපට තක්සේරු වන්නේ ‘ශානරය’  ගැන දැන ගැනීමෙන්, ශානර පිළිබඳව දැනුම පුළුල් කර ගැනීමෙන් ඒවා ඛණ්ඩනය කළ හැකි බවයි. නමුත් අවසානයේ මිඛාහිල් භක්තීන් පවසන්නේ  කලාත්මක චින්තනයේ තියුණු පිරිපහදු අවස්ථාව අපට ශානරීයයි ලෙස කීමට හැකියාව පවතින බවයි.

එරන්ද මහගමගේ

Advertisements