635368368275590804_painting1-2thegreatgalleryවිද්‍යාත්මක උපකල්පන සහ දාර්ශනික කරුණු එකිනෙක සංසන්දනය කිරීම කෙතරම් දුරට සාධාරණ දැයි මම නොදනිමි. නමුත් විද්‍යාව සහ දර්ශනය යන විෂයයන් දෙක ම දිශානත වී ඇත්තේ සත්‍ය යනු කුමක්ද යන ප්‍රශ්නය වෙත යැයි සිතිය හැකිය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ඩෙකාට් සහ හෛඩෙගර් ගොඩනංවන තර්ක, විද්‍යාත්මක උපකල්පන කිහිපයක් සමග සංසන්දනය කිරීමයි. සමහරවිට එය ඉතාම බොළඳ උත්සාහයක් වියහැකි නමුත් එහි කිසියම් වැදගත්කමක් ඇතැයි මම සිතමි. මන්ද යත් හෛඩෙගර්ගේ ඩාසයිනුත්, ඩෙකාට් ගේ කොජිටෝවත් යන දෙකම ශරීරය සමඟ, දාර්ශනික ව ඔප්පු කිරීමට අපහසු, එහෙත් යම්කිසි සුවිශේෂී බැඳීමක් ඇතිබව අපට පෙනීයන නිසාය.
.
මෙහිදී මා උත්සාහ කරන්නේ ඩාසයින්, කොජිටෝව සහ ශරීරය යන තුනට ම පොදු වන ගුණාංග හඳුනා ගැනීමටයි. කොජිටෝව සහ ශරීරයට පොදු ගුණාංගය වන්නේ සිතීමේ හැකියාවයි. ජීව  විද්‍යාවට අනුව සිතීම ද ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලි නිසා ඇතිවන්නකි. එනම්, සිතීම ඇතිවන්නේ ජීවියෙක් (මිනිසා) තුළ ය. ජීව විද්‍යාවේ උපකල්පන වලට අනුව ජීවය ඇතිවන්නේ ද්‍රව්‍ය (රසායනික ද්‍රව්‍ය ) සංවර්ධනය වීමෙන් වන අතර සිතීම යනු ද මෙම ද්‍රව්‍ය සංවර්ධනයේ එක් ප්‍රතිඵලයකි. මෙහි ද්‍රව්‍ය ( භෞතික ශරීරය ), කාටිසියානු දර්ශනයට අනුව ව්‍යාප්තිත පැවැත්මට අයත් වන අතර, සිතීම, කොජිටෝවට අයත් වේ. නමුත්  කාටිසියානු දර්ශනයට අනුව කොජිටෝවත් ව්‍යාප්තිත පැවැත්මත් එකිනෙකින් ස්වායත්ත පැවැත්මවල් වේ. ජීව විද්‍යාවට අනුව ශරීරයත් සිතීමත් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. කොජිටෝව යනු ව්‍යාප්තිත පැවැත්මෙහි ක්‍රියාකරිත්වය නිසා ඇතිවන්නක් බව දාර්ශනිකව ඔප්පු කල නොහැක. නමුත් ශරීරය සහ කොජිටෝව අතර ඇති සුවිශේෂී බැඳීම මෙය විය නොහැකිද? අපට එය මගහැර යා හැකිද?
.
ඩාසයින් සහ ශරීරය අතර ඇත්තේ භාවිතාත්මක සම්බන්ධතාවයක් වන අතර ශරීරය යනු හෛඩෙගර්ට අනුව භාවිතයට හැකි පැවැත්මකි. නමුත් ඩාසයින් සහ ශරීරය අතර ඇති බැඳීම කොජිටෝව සහ ශරීරය අතර ඇති බැඳීමට වඩා ලිහිල් ය. මන්ද යත් ඩාසයින් යනු කොජිටෝව මෙන් සිතීමේ හැකියාවක් ඇති දෙයක් ලෙස සෘජුවම  කිව නොහැකි නිසා ය. එම නිසා අය සෘජුවම ජීව විද්‍යාත්මක සිතීමට සමාන කළ නොහැක. නමුත් ඩාසයින් සතු, පැවැත්ම ප්‍රශ්න කිරීමේ හැකියාව, කල්පනාකාරී බව, මනෝභාවය, අවබෝධය ආදී දේ ජීව විද්‍යාත්මක සිතීමට ද පොදු ගුණාංග ලෙස සැළකිය හැකිය. කලින් සඳහන් කළ පරිදි මෙම ජීව විද්‍යාත්මක සිතීම යනු ජෛව ක්‍රියාවලි (ශරීරයේ ක්‍රියාකාරිත්වය ) නිසා ඇතිවන්නකි.
.
හෛඩෙගර්ට අනුව ඩාසයින් අනෙකුත් භාවිතයට හැකි පැවැත්මවල් සමඟ භාවිතාත්මක ගනුදෙනුවක සිටී. නමුත් ශරීරය නැමැති භාවිතයට හැකි පැවැත්ම සමඟ ඩාසයින් දක්වන සම්බන්ධතාවය අනෙකුත් භාවිතයට හැකි පැවැත්මවල් සමඟ ඇති සම්බන්ධතාවලට වඩා සුවිශේෂී වේ.  ඩාසයින් යනු ඔතන පැවැත්මයි. නමුත් සෑමවිටම ඔතන ශරීරයක් ද ඇත. මෙම සම්බන්ධතාවයද ශරීරය කොජිටෝව අතර ඇති සම්බන්ධතාවය ලෙසම දාර්ශනිකව ඔප්පු කල නොහැක. ඒවා අතර ඇති මෙම සුවිශේෂී සම්බන්ධතාවය මගහැර යාමෙන් අපට පැවැත්මෙහි නියම ස්වරූපය මගහැරෙනවා නොවේ ද?
දිනිත් සුමනසේකර
Advertisements