Badiou, A. & Cassin, B. (2016), Heidegger: His Life and His Philosophy, tr. Spitzer, S., New York, Columbia University Press.

vincents_shoes

හැඳින්වීම

තනි කෘතියක් ලෙස Heidegger: His Life and His Philosophy අප අතට පත් වුවත් මෙය මුල් වරට සකස් වෙන්නේ මාටින් හෛඩගර් සහ ඔහුගේ බිරිඳ, එල්ෆ්රිඩ් හෛඩගර් අතර හුවමාරු වූ ලිපි එකතුවේ, ප්‍රංශ පරිවර්තනයේ පෙරවදන ලෙසයි. අපිට දැන්, මේ වන විටත්, ලංකාව සම්බන්ධයෙන් අතිරේක සටහනක් දැමීමට සිදු වන බව පැහැදිළි වෙයි.

අප හොඳින් දන්නා පරිදි ලංකාවේ ‘බුද්ධිමය සංවාදයේ’ ඉන්නා බොහෝ දෙනෙකු හෛඩගර්ගේ දර්ශනය පිළිබඳ සංකීර්ණ අවබෝධයක් නොමැති වන අය වන අතර, ඒ අතරින් අති මහත් බහුතරයක් වෙත හෛඩගර් කියවීමේ වැදගත්කම පිළිබඳ හෝ තක්සේරුවක් නොමැති වේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, ‘දර්ශනය’ කියන සංවාදය අපේ රටේ සංකීර්ණ ලෙස මුල් ඇදුණු සංවාදයක් නොවෙයි. නමුත් මෙහි සංකීර්ණත්වය වන්නේ එම සංවාදය නොමැතිව කිසිවෙකුට වෙනත් දේ පිළිබඳ ගැඹුරින් සිතීමට නොහැකි වීමයි. නිදර්ශනයක් ලෙස කෙනෙක් සමාජ විද්‍යාව පිළිබඳව ගැඹුරින් සිතීමේදී, ‘සමාජය’ කියන්නේ කුමක්ද කියනා ප්‍රශ්නය වෙත පළමුවෙන් පිළිතුරක්- එසේත් නොමැතිනම්, පිළිතුරක් ගොණු කිරීමේ නොහැකියාව – සලකුණු කළ යුතුය. නමුත් මෙම තලයේදී ඔහු හෝ ඇය හෝ සිටින්නේ, තවදුරටත්, සමාජ විද්‍යාව තුළ නොව දර්ශනය තුළයි. එම අරුතින් ගත්විට දර්ශනය යනු විවිධ අධ්‍යයන විෂයන් අතරින් තිබෙනා තවත් එක් විෂයක් නොවේ. එය සෑම අධ්‍යයන විෂයක තාවකාලිකව ලැගුම් ගන්නා සංචාරකයෙකි. රස්තියාදුකාරයෙකි. දර්ශනය සෑම විටම ඩයස්පෝරික වන බව ජෝජියෝ අගම්බෙන් වරක් පැවසුවේ මේ නිසාය. ඩයස්පෝරාවක් යනු මව්බිම අහිමි වූ, මව්බිමක් නොමැති වූ, ජන සමූහයකි. දර්ශනය යනුද තමන්ගේම කියා නිජභූමියක් නොමැතිව අනෙක් මිනිසුන්ට අයත් රටවල් වල ජීවත් වන පැවැත්මකි. එනිසා අපේ රටේ දර්ශනය පිළිබඳ සංවාදය මුල් ඇද නොගැනීම කියන්නේ තවත් එක් අධ්‍යයන විෂයක් මෙරටේ වර්ධනය නොවීම වගේ දෙයක් නොවෙයි. එමගින් මෙරටේ සමස්ත බුද්ධිමය සංවාදයේ වලංගුබව බැරෑරුම් ලෙස ප්‍රශ්න කරයි.

ඉතින් මේ වගේ බුද්ධිමය දරිද්‍රතාවයක ඉඳන් බලන විට හෛඩගර් යුවලගේ පුද්ගලික ලිපි වල වැදගත්කම අපිට තේරුම් ගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි. ‘Being and Time’ කියවපු නැති සමාජයක ඉන්න කෙනෙකුට මේකෙන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවේ. එයට වඩා කුමාර් සංගක්කාර සහ යෙහෙළි සංගක්කාර අතර හුවමාරු වූ ලිපි එකතුව- එවැනි ලිපි එකතුවක් තිබේනම් – ප්‍රකාශ වන්නේනම්, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගේ පුද්ගලික ජීවිතයේ තිබෙනා ප්‍රශ්න සහ එමගින් හෙළි කරනා, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සමාජ-ආර්ථික පසුබිම තේරුම් ගැනීමට හැකි වනු ඇත. අවම වශයෙන් මාලිනි ෆොන්සේකා වැනි නිළියකගේ පුද්ගලික ආදර සම්බන්ධයන් වලට අදාළ ලිපි දැක ගත හැකිනම් එමගින් ශෘගාරාත්මකරසයක් හෝ විඳින්න හැකි වනු ඇත. නාමුත් මාටින් සහ එල්ෆ්රිඩ් හෛඩගර් කියන මෙම ජර්මන් ජාතික යුවළගේ පුද්ගලික ලිපි ගණුදෙනු අපි කියවන්නේ කුමකටද?

නමුත්, මේ ලිපි එකතුව පළ වෙන ප්‍රංශය යනු, අප දන්නා පරිදි, ඉතාමත් දියුණු හෛඩගරියානු සම්ප්‍රදායක් තිබෙනා රටකි. මෙම කෘතියේ බදියූ සහ බාබරා කැසින් අපට මතක් කර දෙන ආකාරයට (පි.8), ජිල් ඩෙලර්වුස් (Gilles Deleuze) හැරුණු විට පසුගිය සියවසේ දෙවැනි භාගයේ ප්‍රංශයේ බිහි වූ සෑම වැදගත් චින්තකයෙක්ම, හෛඩගර් ගේ දැඩි බලපෑමට යටත් වී තිබේ. මෙවැනි සදර්භයක් තුළදී හෛඩගර් යුවළගේ ලිපි එකතුව ට ලැබෙන්නේ, ලංකාවට වඩා මුළුමනින් වෙනස් වන්නා වූ වටිනාකමක් බව ඉතාමත් පැහැදිළිය. හෛඩගර් ගේ අතිශයින් ආන්දෝලනාත්මක පුද්ගලික ජීවිතය සහ ඔහුගේ දර්ශනය අතර ඇති සම්බන්ධය කුමක්ද කියනා එක සම්බන්ධයෙන් විශාල විවාදයක් තිබේ. අප දන්නා පරිදි, හෛඩගර්, එක අතකින්, විසි වෙනි සියවසේ පහළ වූ බිහිසුණුම දේශපාලන රෙජීමය වන නට්සි පක්ෂයේ නිළ සාමාජිකයෙකි. අනෙක් අතට, ඔහු ජීවිතයේ අවසාන කාලය වන තුරු ගැහැණුන් විශාල ගණනක් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ ලිංගික ලෝලියෙකි. මේ කරුණු දෙක සම්බන්ධයෙන්ම වැදගත් තොරතුරු ප්‍රමාණයක් හෛඩගර් යුවළගේ පුද්ගලික ලිපි එකතුවේ තිබෙනා බව කෙනෙකු උපකල්පනය කළහොත් එය සාධාරණ බලාපොරොත්තුවකි. බදියූ සහ කැසින් විසින් ප්‍රථමයෙන් පෙරවදනක් ලියුවේ මෙවැනි සන්දර්භයක පිහිටවිය යුතු කෘතියකටයි.

නමුත් හෛඩගර් ගේ ප්‍රකාශන වල නිල හිමිකරුවන් විසින් බදියුගේ සහ කැසින් ගේ මේ අර්ථකථනය ප්‍රතික්ෂේප කරනා හෙයින් එම මුල් ප්‍රංශ පරිවර්තනය තහනමට ලක් වන අතර, මුද්‍රිත පොත් සියල්ල විනාශ කර දමනු ලබයි.Heidegger: His Life and His Philosophy යනුවෙන් මෙලෙස ප්‍රකාශයට පත් වන්නේ මේ තහනම් වූ පෙරවදනෙහි තරමක් දික්කරනු ලැබූ නව ස්වරූපයකි. එමඅරුතින්, මෙය දර්ශනයේ ශානරයක් ලෙස ගත්විට, තරමක්වෙනස් මාදිලියේ කෘතියකි. පිටු සංඛ්‍යාව අතින් ගත්විට, මෙය සැබවින්ම තරමක් දිග රචනයකට වඩා දිගු නොවේ. නමුත් මෙය සාමාන්‍ය ආකාරයේ දාර්ශනික රචනාව (essay) නම් ශානරයට අයත් නොවන්නේ, මෙය වෙනත් ලියවිල්ලක් – හෛඩගර් යුවළගේ ලිපි එකතුව – සම්බන්ධයෙන් ලියූ පෙරවදනක ආකෘතිය ගන්නා නිසාය. එම බාහිර ලියවිල්ල, විවාහක යුවළකගේ පුද්ගලික ලිපි එකතුවක් වන නිසා, මෙම කෘතිය තුළ තිබෙන සංවාදයද ඉතාමත් සමීප, පුද්ගලික හඬකින් ලියවී තිබෙන්නකි. මෙම කෘතියේ පසු පිටේ සටහනක් තබනා ග්‍රැහැම් හාමන් කියනා ආකාරයටම මෙය කියවන කෙනෙකු ට ලැබෙන්නේ ඔහු හෝ ඇය හෝ, බදියූ සහ කැසින් සමග එකට කාලය ගත කළා වැනි හැඟීමකි. හෛඩගර් ගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්නට, එක්තරා සන්ධ්‍යාවකදී ඔබට බදියූ සහ කැසින් මුණ ගැසුනානම්, මෙම කෘතිය කියවීමෙන් පසුව ඔබට ඇති වනු ඇත්තේ එම සන්ධ්‍යාව අවසානයේදී ඔබට ඇති වන හැඟීමයි. හාමන් කියනා ලෙසම ඔබ බදියූ ගේ සහ කැසින් ගේ ‘බුද්ධිමත් කටකාරකම බෙදා ගන්න ගමන්, ඔවුන්ගේඅති විශාල බුද්ධිමය සංස්කෘතියෙන් සහ මිනිස් අත්දැකීම් වලින් බොහෝ දේ ඉගෙන ගනු ඇත’.

ගැටලුව

සමස්තයක් ලෙස ගත්විට ඔවුන් මෙහිදී උත්සාහ කරන්නේ හෛඩගර් සම්බන්ධයෙන් තිබෙනා අති මූලික අර්ථ කථනමය ගැටලුවට පිළිතුරක් ගොණු කිරීමටයි. ඉහතින්ද කියා ඇති පරිදි, මේ ගැටලුව ඉතාමත් සරල ලෙස ලියා තැබිය හැකිය : එක අතකින්, බදියූ සහ කැසින් යන දෙදෙනාම පිළිගන්නා ආකාරයට (පි.12-13), හෛඩගර් යනු විසි වෙනි සියවසේ සිටි ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වන අතර, අනෙක් අතට, ඔහු ඇදහිය නොහැකි ආකාරයේ අපාරධයකට වගකිව යුතු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකි. මෙමඅපහසු සමපාත වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? මෙම කෘතිය පුරා බදියූ සහ කැසින් පොර බදින ගැටලුව මෙයයි.

මෙම විවාදයේ ඓතිහාසික පාර්ශව දෙකම ප්‍රතික්ෂේප කිරීම මෙහිදී අනිවාර්ය වෙයි. එක පාර්ශවයකට අනුව හෛඩගර් ගේ දර්ශනය මුළුමනින්ම ඔහුගේ දේශපාලනයෙන් විනිර්මුක්ත වන අතර, ඔහුගේ මෝඩ දේශපාලන තීරණ වලට තුඩු දුන් චින්තනය එම දර්ශනයට කිසි සේත් ඇතුලත් නොවේ. අනෙක් පාර්ශවයට අනුව, හෛඩගර් ගේ දර්ශනය මුළුමනින්ම කියවිය යුත්තේ ඔහුගේ දේශපාලන තීරණ වලට අනුව වන අතර,එය බර වචන වලින් තවරා ඇති යුදෙව්-විරෝධී, ජාතිවාදී, නට්සිවාදයක් පමණි. මේ අන්ත දෙකම බදියූ ට සහ කැසින් ට පිළිගත හැකි අවසානයන් නොවේ. හෛඩගර් යනු විසිවෙනි සියවසේ සිටි ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියා කෙනෙකු පිළිගන්නේනම්, එය මුළුමනින් නට්සිවාදයක් බවට ඌණනය කිරීම කළ නොහැක්කකි. නමුත්, අනෙක් අතට, ඔහුගේපුද්ගලික ජීවිතයේ තීරණ වලට ඔහුගේ දර්ශනය පදනම් වූ චින්තනය කිසිසේත් සම්බන්ධ නොවූ බව පිළිගැනීමද කළ නොහැක්කකි.එනිසා, බදියූ ට සහ කැසින් ට අනුව, අපට තිබෙන්නේ එකම තෝරා ගැනීමකි. අප මේ විරුද්ධාභාශය(paradox) පිළිගත යුතු වේ:

“අවසාන අරුතින් ගත්විට ඔවුන්ගේ ඉතාම සරල ආස්ථානය වන්නේ මෙන්න මේ විරුද්ධාභාශය අප පිළිගතයුතු බවයි : ඔව්, හෛඩගර් යනු නට්සි සාමාජිකයෙකි, ගොඩක් ඉහළ පෙළේ නට්සි නායකයෙක් නොවෙයි, ඉතාම සාමාන්‍ය සාමාජිකයෙක්, ග්‍රාම්‍ය සුළු ධනේශ්වර නට්සි සාමාජිකයෙක්, සහ ඔව්, හෛඩගර් යනු කිසිදු සැකයකින් තොරවම විසි වෙනි සියවසේ සිටි වඩාත් වැදගත්ම දාර්ශනිකයෙකි” (පි. 14).

පසු තැවීමට අපොහොසත් වීම

හෛඩගර් සම්බන්ධයෙන් තිබෙනා ජනප්‍රිය විවේචනයක් වන්නේ ඔහු කෙදිනකවත් සිය වැරැද්ද පිළිගැනීමට හෝ ඒ පිළිබඳව පසු තැවීමට හෝ උත්සාහ නොකිරීමයි. හෛඩගර් යුවළගේ ලිපි එකතුව දෙස බලනා විට මෙම චෝදනාව තවත් තහවුරු වනවා කියා කෙනෙකුට කිව හැකි කරුණක් තිබේ. ඒ තමයි එහි තිබෙනා, 1933 සහ 1938 කියන කාලය තුළ ලියවූ ලිපි සංඛ්‍යාව ඉතාම අඩු වීම. හෛඩගර් ගේ ජීවිතයේ ඉතාම ගැටලුකාරී කාල පරිච්චේදය වන මෙම යුගය තුළ ඔහු බොහෝ විට නිවසින් පිටව නැවතී සිටියත්, අපට දැක ගත හැකි වන්නේ ලිපි නමයක් පමණි. ඉතා පැහැදිළි ලෙස මේ කාලයේ ලියවූ ලිපි විශාල ගණනක් අතුරුදහන් වී තිබේ. ඒවා කිසියම් අහම්බයක් නිසා විනාශ වී ගියාද නැතිනම් හෛඩගර් යුවළ විසින් සිතා මතා විනාශ කරනු ලැබුවාද කියා අපිට නිශ්චිතව කිව නොහැකි වන නමුත්, එය මේ දෙවැනි කාරණය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.අනෙක් අතට මේ ලිපි වල හනා අරෙන්ඩ් සම්බන්ධයෙන් කිසිවක් නොවීම මගින් මේ ලිපි වල කිසියම් ආකාරයක වාරණයක් තිබෙනා බව ඉතාම පැහැදිළි වෙයි. එමෙන්ම, එම කාලය වන විට යුදෙව්වන්ට එරෙහි අපරාධ පිළිබඳ ඉතා පැහැදිළි තොරතුරු ඔවුන් දැන සිටියා විය යුතුය. නමුත්මේ සම්බන්ධයෙන් හෛඩගර් යුවළ මුළුමනින් නිහඬ වෙයි.

මේ සම්බන්ධයෙන් හෛඩගර් ට එරෙහිව චෝදනා කිරීමට අපට හැකි වේද?

බදියු සහ කැසින් පෙන්වා දෙන පරිදි, මෙය බොහෝ සංකීර්ණ මාතෘකාවකි. එක අතකින් අප මේ කතා කරන්නේ දාර්ශනිකයෙක් පිළිබඳ පමණක් නොවේ. දෙවැනි ලෝක යුද්ධයෙන් මිත්‍ර හමුදා ජය ගැනීමත් සමග පැවති නඩු විභාග වලදී හෛඩගර් විත්තිකරුවකු වන අතර අවසානයේදී වැරදිකරුවෙකු වෙයි. ඔහුට සිරගත කරන්නේ නැති වුවත්, ඉගැන්වීම් වලින් තහනම් කරයි. මෙවැනි ආකාරයේ වන්දියක්, හෛඩගර් වැනි කෘතහස්ත ගුරුවරයෙකුට සහ දේශකයෙකුට දරා ගැනීමට කොතරම් අපහසු වන්නට ඇතිද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි තත්වයක් යටතේ ඔහුගෙන් අප නැවත නැවතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම අවශ්‍ය වන්නේ ඇයිද කියන එක අප සිතනා තරම් සරල නොවේ.

අප දන්නා පරිදි ඔහුසිය බුද්ධිමය ව්‍යාපෘතිය කෙදිනකවත් අත හැර දමන්නේ නැත. යුද්ධයෙන්පසු සහ ඒ සමග ආ අපකීර්තියේ අඳුරු දශකයට පසුව, එම දාර්ශනික ව්‍යාපාරය යළි ගොඩ නැගීම සඳහා ඉතා සංකීර්ණ වැඩ පිළිවෙලක් ඔහුසකස් කරයි. හෛඩගර් ගේ දර්ශනයෙන් ඉමහත් බලපෑමට ලක් වූ ජොන් පෝල් සාත්‍ර ගේ සිට ජාක් ලැකෝන් දක්වා ප්‍රංශ චින්තකයන් රාශියකගෙන් ඔහුට මේ සඳහා උපකාර ලැබේ.නමුත් මේ කිසිම තැනකදී ඔහු සිය ක්‍රියාකාරකම් විවෘතව සංවාදයට ගන්නේ නැත.

මෙහිදී කරුණු තුනක්, බදියූ සහ කැසින්, හෛඩගර් වෙනුවෙන් ඉදිරිපත් කරයි.පළමුතර්කය පදනම් වන්නේ ස්පිනෝසාගේ වැදගත් අදහසක් මතයි. ඒ තමයි පසු තැවීම යනු යහගුණයක් නොවේ(repentance is not a virtue) යන අදහස මතයි(පි.19). 17 වන සියවසේ ක්‍රිස්තියානි ආගමට යුරෝපයේ තිබුණු ආධිපත්‍යය හමුවේ ස්පිනෝසා ගේ මේ අදහස ඉතාම ආන්දෝලනාත්මක අදහසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කිතු දහම තුළ පසුතැවීතැවිලි වීම යනු පාපයෙන් මිදීමේ පළමු පියවරයි. දෙවියන් වෙත භක්තිවන්ත වන්නේ මෙහි ප්‍රතිපලයක් ලෙසයි. ස්පිනෝසා මේ අදහස සාධනය කරන්නේ කෙසේද කියන එක වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ දර්ශනයේ අනෙකුත් කොටස් – දෙවියන්, පැවැත්ම, තර්ක බුද්ධිය ආදිය – පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වුවත් මෙහි සරල අර්ථය වටහා ගැනීම එතරම් අපහසු නොවේ. කිසිවෙකු පසුතැවිලි වනවා යනුවෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය හෝ අතින් සිදු වූ වරදක් හඳුනා ගැනීම පමණක් නොව, එම අතීත ක්‍රියාව පිළිබඳ කල්පනා කිරීමෙන් වේදනාවට පත් වීමයි.එවිට අප සිදු කරන්නේ වේදනාව නම් හැඟීමට- ‘ආවේදනයට’ (affect) – යටත් වීමයි. නමුත් අපව දුර්වල කරනා ආවේදනයකට යටත් වීම මගින් අප සැබවින්ම සිදු කරන්නේ මිනිසත්බව වෙත ළඟා විය හැකි තර්ක බුද්ධියේ පරිපූර්ණත්වයෙන් දුරස් වීමයි. එම නිසා : පසුතැවීම යහගුණයක් නොවේ.

දෙවෙනි කාරණය වන්නේ, අප හොඳින් දන්නා පරිදි, හෛඩගර් නම් චින්තකයා හට පුද්ගලයන්ගේ හෝ ඉතිහාසයන් ගේ කතා ප්‍රවෘත්ති වැදගත් වූයේ එය සිතීම නම් කාර්යයට උපකාරක වන්නේනම් පමණි (පි.27). ඩෙරීඩා පිළිබඳව 2002 වසරේදී නිකුත් වූ වාර්තා චිත්‍රපටියේද (එම වාර්තා චිත්‍රපටිය මෙතනින් නැරඹිය හැකිය) මේ අදහස හොඳින් පැහැදිළි කරනා තැනක් අපට සොයා ගැනීමට හැකිය. එහිදී ඩෙරීඩා පෙන්වා දෙන පරිදි හෛඩගර් ට අනුවඇරිස්ටෝටල් ගේ චරිත කතාව, සම්පූර්ණයෙන් ගත්විට, මෙවැනි වේ: ‘ඇරිස්ටෝටල් ඉපදුනා, ඔහු සිතුවා, ඔහු මිය ගියා’. ඉතිරි සියල්ල නොවැදගත් අතුරු කතා පමණි. එනිසා, හෛඩගර් ගේ දර්ශනය අනුව ගත් විටත්, ඔහුගේ ජීවිතයේ සහ ඔහු ජීවත් වුනු කාලයේ වූ සියළු දේ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටීම අනිවාර්ය වන්නක් නොවේ. මෙහිදී කෙනෙකු හෛඩගර් ගේ මේ අදහසට එකඟ නොවිය හැකිය. නමුත්, බදියූ ගේ සහ කැසින් ගේ තර්කය එය නොව, හෛඩගර් පිළිගත් දර්ශනයට අනුව ඔහු එසේ කිරීමේ අවශ්‍යතාවයක් නොවීමයි.

තුන්වන කරුණ වන්නේ, මේ දෙවැනි කාරණය හා එකට බැඳුනකි. හෛඩගර් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින්නේනම්, එසේ කරන්නේ කුමන භාශාවකින්ද? ඒ සඳහා ඔහුගේ දාර්ශනික භාෂාව – ඉහත දෙවන කරුණ නිසා – ප්‍රයෝජනවත් වන්නක් නොවන බව පැහැදිළි වේ. ඒ නිසා ඔහුටඑය සිදු කළ හැක්කේ සාමාන්‍ය, අර්ථ විරහිත මහජන සංදර්ශනයක් ලෙස විනා, දාර්ශනික හෝ දේශපාලනික හෝ වටිනාකමක් ඇති ආකාරයට නොවේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, හෛඩගර් සමාව ගන්නවා කියා විශේෂයෙන් කළ හැකි, කිව හැකි දෙයක් නොමැත. ඔහුට තිබෙන්නේද අප සියලු දෙනාට තිබෙන ඉතාම සරල අදහස පමණි. රනිල් වික්‍රමසිංහ විසින් යාපනයේ පුස්තකාලය ගිණි තැබීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමේ විකාරයට වඩා වැඩිමනක් දෙයක් එයින් බලාපොරොත්තු වීම එතරම් ඵලදායී බලාපොරොත්තුවක් නොවේ.

එම නිසා, බදියූ සහ කැසින් පෙන්වා දෙන පරිදි, වැදගත්ඓතිහාසික ප්‍රශ්නය වන්නේ සමාව දීම හෝ පසු තැවිලි වීම හෝ නොව වැරදි සිදු කිරීමෙන් පසුව නිවැරදි ලෙස සිදු කිරීමට කෙනෙක් උත්සාහ කරන්නේ කුමක්ද යන්නයි.

ශ්‍රේෂ්ඨ දෙය සහ නොවැදගත් දෙය අතර දයලෙක්තිකය

අවසාන අරුතින් ගත් විට බදියූ සහ කැසින් අපට යෝජනා කරන්නේ ශ්‍රේෂ්ඨ දෙය සහ නොවැදගත් දෙය (the Great and the Little) අතර සාංදෘෂ්ඨික දයලෙක්තිකයේ විවිධ මාදිළීන් ලෙස මෙම ‘හෛඩගර් සිද්ධිය’ තේරුම් ගත යුතු බවයි. විසි වෙනි සියවසේ ශ්‍රේෂ්ඨතම සිතන්නා, විසි වෙනි සියවසේ සාපරාධීම දේශපාලන රෙජීමයේ කොටස් කරුවෙක් වීම යනු මෙම දයලෙක්තිකයේ රැඩිකල් ප්‍රකාශමාන වීමයි. මෙහිදී අප ස්පර්ශ කරන්නේ චින්තනයේ ඇති ශ්‍රේෂ්ඨත්වය සහ පුද්ගලික විශ්වාසයන් වල ඇති නොවැදගත්කම අතර ඇති සංකීර්ණ සම්බන්ධයයි. විශ්වීය මානයක් සහිත නිර්මාණශීලී විභවයක් සහ ප්‍රාදේශීය මහාචාර්යවරයෙක් ගේ පටු සුවිශේෂය අතරින් පෙනෙන්නේ මෙයයි. ඒ වගේම හෛඩගර් ගේ දර්ශනයේ ඇති හුදෙකලාව සහ විශ්ව විද්‍යාල තනතුරු පසුපස යාමේ පරස්පරය, විවාහය පිළිබඳ පාරිශුද්ධ විශ්වාසය සහ ඉවරයක් නැති ශිෂ්‍යාවන් සමග වූ සම්බන්ධතා අතර තිබූ පරස්පරය මගින්ද අපට හෙළිදරව් වන්නේ මේ දයලෙක්තිකයයි.

මෙය දයලෙක්තිකයක් වන්නේ මේ එකක් මගින් අනෙක සෑම විටම පෝෂණය වන නිසාය. බදියූ සහ කැසින් අපට කාව්‍යාත්මක ලෙස පෙන්වන පරිදි, අප දන්නා හඳුනන හෛඩගර් අපට හමු වන්නේ මේ නිසාය. වටපිටාබව, ලෝකය, පාරිසරිකභාවය වැනි හෛඩගරියානු යෙදුම් අප පරිකල්පනය කරගත යුත්තේ ඔහු ජීවත් වූ ග්‍රාමීය ලෝකයත් සමගයි. ඔහුගේ අනේකත්වය පිළිබඳ සංකීර්ණ අදහස් වල එක් ප්‍රභයවක් වන්නේ බිරිඳ එල්ෆ්රීඩ් සමග වූ සංකීර්ණ සම්බන්ධයේ විකාසනයයි. නූතන ලෝකය යනු ‘ඔවුන්’ නම් දෙය විසින් පාලනය කරනා තාක්ෂණයට යටත් වූවක් ලෙස ඔහුගේ අදහස් යනු සිය වෘත්තිය සගයන්ගේ ගේ උගුල් ඇටවීම්, අනෙක් කථිකාචාර්යවරුන් සමග වූ ගැටුම්, පුවත්පත්වලින් ආ නොනිමි මඩ ගැසීම් වලින් ප්‍රභවය වූවක් ලෙස අපට වටහා ගත හැකි වේ.

චින්තනය සෑම විටම ප්‍රභවය වන්නේ ඓතිහාසිකත්වයක් තුළිනි. නමුත් සමහර විට එම ඓතිහාසිකත්වය ඉක්මවූ විශාලත්වයක් වෙත එයට ගමන් කිරීමේ ඉඩ ප්‍රස්තාවන් විවර වේ. හෛඩගර් සංකීර්ණ දර්ශනය සහ ජීවිතය විසින් අපට අවසාන අරුතින් කියා දෙන්නේ වෙන කුමක්ද?

Advertisements