පහතින් දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් සිදු කරන ලද දේශනයක සිංහල අනුවාදයයි. සමස්ත දේශනය ලිඛිත භාෂාවට පෙරළන විට එය තරමක් දිගු වූ බැවින් එය කොටස් කීපයකට වෙන් කර පළ කිරීමට තීරණය කළෙමු. සමස්ත කතාව තිබෙනා වීඩියෝ ව මේ ලිපියේ අගින් දැක්වේ – ‘බව’ සංස්කාරක මණ්ඩලය

15645022_235398036888294_2038028324_n

පසුගිය සියවසේ අවසන් භාගය වන තුරු ආත්මීය අර්ථයෙන් ගත්විට මිනිසාගේ පැවැත්මේ ඓතිහාසික දෛවය සම්බන්ධයෙන් වියහැකිභාවයන් දෙකක් පැවතුණි. පළමු එක වන්නේ සම්භාව්‍ය ලිබරල්වාදය මගින් යෝජනා කළ මිනිසාගේ හැකියාවයි. එයට අනුව සමාජය සංවිධානය වීමේ පදනම වන්නේ පුද්ගලික දේපළ වේ. මේ සඳහා අප ගෙවිය යුතු වන්දිය වූයේ අති විශාල අසමානතාවයන් බාර ගැනීමට සිදු වීමයි. අනෙක් අතට තිබුනේ වෙනස් ලෝකයක් පිළිබඳ සමාජවාදී-කොමියුනිස්ට්වාදී මාවතයි. එයට අනුව මිනිස් දේශපාලන ක්‍රියාකාරකම්වල අති මූලික අරමුණ විය යුතු වූයේ අසමානතාවයන් ගේ අවසානයයි. මේ සඳහා ගෙවීමට සූදානම් වූ වන්දිය වූයේ ප්‍රචණ්ඩ විප්ලවයයි.

මේ අනුව අපට එක් පසෙකින් දක්නට ලැබුනේ ඉතිහාසය පිළිබඳ සාමකාමී දැක්මකි. එමගින් අපට පෙන්වා දුන්නේ පුද්ගලික දේපළ නම් වැරැද්දේ අඛණ්ඩතාවයයි. අනෙක් පසින් වූයේ තරමක් නවීන වූ අදහසකි. ප්‍රංශ විප්ලවය දක්වා ගෙන යා හැකි වූ මෙම දෙවැනි ප්‍රවේශයේ දක්නට ලැබුණේ විකල්ප මාවතක් තිබිය හැකිය යන ප්‍රස්තූතයයි. පුද්ගලික දේපල සහ අසමානතාවය යනු සාමූහික පැවැත්මේ නීතිය ලෙස පිළිගත් විශාල කාල පරාසයෙන් කැඩී වෙන්වීමක් මිනිසාගේ ඓතිහාසික පැවැත්ම විසින් පිළිගත යුතු වේ යන්න එහි ප්‍රමුඛ යෝජනාව විය.

පසුගිය සියවස් දෙකේ දේශපාලනයේ විවිධ ප්‍රාදේශීය තෝරාගැනීම් වලට ඉහළින් තීරණාත්මක වූයේ මේ ආකාරයට මූලධාර්මික උපාය මාර්ගික තෝරාගැනීමක පැවැත්මයි. මිනිස් වර්ගයාගේ ඓතිහාසික දෛවය වන්නේ කුමක්ද යන්න සමග එය සම්බන්ධ විය. මෙන්න මෙම තෝරාගැනීමේ දෘශ්‍යමාන අවසානය අපගේ වර්තමානය නිර්වචනය කළ හැකි එක් ආකාරයකි. අද දවසේ ආධිපත්‍යධාරී අදහසට අනුව මේ ආකාරයේ ගෝලීය තෝරා ගැනීමක් නොමැති වේ. ඒ වෙනුවට අප සියලු දෙනා සඳහා තිබෙන්නේ ලිබරල්වාදයේ ප්‍රවේශය පිළිගැනීම පමණි.

මෙයින් අදහස් වන්නේ මේ ලිබරල්වාදයේ විසඳුම යහපත් විසඳුමක් ලෙස සියලු දෙනා පිළිගන්නා බව නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ එතන නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ එය අප හමුවේ ඇති එකම විසඳුම වීමයි. මේ අනුව සමකාලීන මතවාද මෙහෙයවන්නන් විසින් අපට ප්‍රකාශ කර සිටින්නේ ගෝලීයකරණය වූ ධනවාදය ඉතා යහපත් වන බව නොවේ. එය එසේ නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වන්නකි: අති බිහිසුණු ආකාරයේ අසමානතාවයන් මිනිස් වර්ගයාගේ ඓතිහාසික දෛවය සම්බන්ධයෙන් යහපත් විසඳුමක් විය නොහැක. නමුත්අද දවසේ පිළිගත් මතය පෙනී සිටින්නේ එවැනි මතයක් වෙනුවෙන් නොවේ. ඒ වෙනුවට එමගින් කියා සිටින්නේ, මෙය කොතරම් නරක වුවත්, අපට ළඟා විය හැකි එකම සැබෑ විසඳුම වන්නේ මෙය වන බවයි.

එනිසා අපගේ වර්තමානය නිර්වචනය කළ හැකි වන්නේ මිනිස් වර්ගයාගේ ඓතිහාසික දෛවය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ එකම මාවතකි කියනා විශ්වාසය ගෝලීය වශයෙන් තහවුරු කිරීමට උත්සාහ කරනා මොහොතක් ලෙසයි. එම මාවත ඉතා විශිෂ්ට මාවතක් බව කියන්නට එමගින් උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට එහි තර්කය වන්නේ අපට වෙනත් විසඳුමක් නොමැති වේ යන්නයි. ඒ අනුව අප ජීවත් වන යුගයේ ප්‍රධාන විශ්වාසය වන්නේ පුද්ගලික දේපළ සහ නිදහස් වෙළඳපොළ මගින් මිනිස් වර්ගයාගේ අනාගතය සඳහා තිබෙනා එකම මාවත විවර කර දෙන බව වේ.

එම අර්ථයෙන් ගත්විට එය මිනිසා පිළිබඳව දාර්ශනික නිර්වචනයක් අපට ලබා දෙයි. එයට අනුව මිනිස් ආත්මයක් යන්න අපට හඳුනා ගත හැකි මූලික ස්වරූපයන් තිබෙන්නේ තුනක් පමණි: වැටුප් හිමියෙකු, පාරිභෝගිකයෙකු, දේපළ හිමියෙකු. මෙයින් පරිබාහිර වූ මිනිසත් බවක් කියා දෙයක් ඓතිහාසික අර්ථයෙන් ගත හැකි නොවේ.

මෙහි දේශපාලන ප්‍රතිවිපාකයන් වන්නේ මොනවාද? පළමු සහ ඍජු ප්‍රතිවිපාකය වන්නේ ලෝකයේ තිබෙනා සෑම ආණ්ඩුවක්ම මෙම එකම මාවතේ පැවැත්ම පිළිගත යුතු වීමයි. ප්‍රංශයේ සමාජවාදී ආණ්ඩුව සහ චීනයේ කොමියුනිස්ට්වාදී පාලන තන්ත්‍රයේ සිට එක්සත් ජනපදයේ, ජපානයේ සහ ඉන්දියාවේ ආණ්ඩුව දක්වා සියලු දෙනා කියා සිටිනා පොදු කරුණ වන්නේ මෙයයි: ගෝලීය ධනවාදය යනු මිනිස් වර්ගයාගේ එකම තෝරා ගැනීමයි. එම අර්ථයෙන් ගත්විට අද තිබෙනා කිසිම ජාතික ආණ්ඩුවක් ‘නිදහස්’ වේ කියා අපට පැවසිය නොහැක. මේ සෑම ආණ්ඩුවක් ම සිටින්නේ ගෝලීය ධනවාදයට සහ එමගින් යෝජනා කරන අසමානතාවයේ තර්කණයට යටත්වයි.

මෙතනදී අප මේ කතා කරමින් සිටිනා අසමානතාවය කොතරම් සංකීර්ණද යන්න මතක් කර ගැනීම ප්‍රයෝජනවත් වන්නකි. සත්‍ය වශයෙන් ම අද අපට දක්නට ලැබෙනා අසමානතාවය ඓතිහාසික අරුතින් ගත්විට විශ්මයජනක වේ. අද දවසේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 265 දෙනාගේ දේපළ වල වටිනාකම තවත් මිනිසුන් බිලියන තුනකගේ දේපළ වල වටිනාකම හා සමාන වන්නකි. මෙයටපෙර පැවති රාජාණ්ඩු ක්‍රමයන් තුළ හෝ මේ ආකාරයේ දේපළ අසමානතාවයක් අපට දැක ගැනීමට නොහැකි විය. මිනිස් ඉතිහාසයේ මේ හා සමාන අසමානතාවයක් තිබූ කිසිදු මොහොතක් අපට සොයා ගැනීමට නොහැකි වේ. මෙහි අනාගතය කුමක්ද කියා තීරණය කිරීමද එතරම් අපහසු නොවේ. ඉතා පැහැදිළිව එය ගමන් කරන්නේ මේ අසමානතාවය තවත් වැඩි වෙන දිශාවටයි.

රාජ්‍යයේ භූමිකාව, මේ සන්දර්භයේ සිට ගත්විට, සෑම තැනකම අපට එකම ආකාරයකින් හඳුනා ගත හැකිය. එක්සත් ජනපදයේ සිට චීන කොමියුනිස්ට් රාජ්‍යය දක්වාත් පුටින් ගේ රුසියාවේ සිට සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය දක්වාත් සියලු දෙනා මෙම පොදු නියාම ධර්මයට යටත් වන්නන් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ තිබෙනා සියලුම රාජ්‍යයන් වල පාලකයන් එකම සමාජ කණ්ඩායමක් බවට පත් වෙමින් යයි. මේ ආකාරයට අප හමුවේ තිබෙන්නේ දේශපාලන කතිපයාධිපත්‍යයකි (political oligarchy). කතිපයාධිපත්‍යය යනු සුළු කණ්ඩායමක් සතු වූ පූර්ණ ආධිපත්‍යය බව අපි දනිමු. අද ලෝකයේ සියලුම රටවල් පාහේ පාලනය කරනා පුද්ගල කණ්ඩායම මේ ආකාරයේ කතිපයාධිපත්‍යයක් ලෙස අපට හඳුනා ගත හැකිය.

මෙය සිදු වන්නේ ගෝලීය තලයෙනි. මේ කණ්ඩායම එකිනෙකාගෙන් වෙනස් වන්නේ වියුක්ත අර්ථයෙන් පමණි. රිපබ්ලිකන්/ඩිමොක්‍රටික්, සමාජවාදී/ලිබරල්, වම/දකුණ, ජාතික/විජාතික, බටහිර ගැති/බටහිර විරෝධී ආදී සියලු දේශපාලන බෙදීම් මේ ආකාරයේ වියුක්ත බෙදීම් බවට අද වන විට පත්ව තිබේ. ඒවා තවදුරටත් සැබෑ බෙදීම් නොවේ. හේතුව ඉතාම සරලයි: මේ සියලු වෙනස්කම් පවතින්නේ එකම දේශපාලන-ආර්ථික පසුබිමක වේ.

සමස්තයක් ලෙස ගත්විට, අප ජීවත් වන ලෝකයේ ඓතිහාසික මොහොත අපට සම්පිණ්ඩනය කළ හැකි වන්නේ මේ ආකාරයටයි. මෙවන් සන්දර්භයක සිට ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි චරිතයක ඓතිහාසික නැග ඒම අප අර්ථකථනය කරන්නේ කොහොමද?

Advertisements