පහතින් දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් සිදු කරන ලද දේශනයක සිංහල අනුවාදයයි. සමස්ත දේශනය ලිඛිත භාෂාවට පෙරළන විට එය තරමක් දිගු වූ බැවින් එය කොටස් කීපයකට වෙන් කර පළ කිරීමට තීරණය කළෙමු. සමස්ත කතාව තිබෙනා වීඩියෝව මේ ලිපියේ අගින් දැක්වේ. මේ තිබෙන්නේ එම කතාවේ දෙවැනි කොටසයි. පළමු කොටස, අපගේ යුගය දේශපාලනිකව හඳුන්වා දිය හැක්කේ කෙසේද? – ඇලේන් බදියු. – ‘බව’ සංස්කාරකමණ්ඩලය

15644441_235398196888278_1097041713_n

අද අපට දක්නට ලැබෙන එක මූලික ප්‍රවණතාවයක් වන්නේ බටහිර ලෝකයේ දේශපාලන බලය හිමි ව තිබූ කණ්ඩායම සතු වූ ධනේශ්වර යාන්ත්‍රණය පාලනය කිරීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහී යාමයි. මෙයට හේතුව වටහා ගැනීම ඒ තරම් අපහසු නොවේ. අප මේ වනවිටත් සාකච්ඡා කර ඇති පරිදි, අප මේ අත්දකිමින් සිටින්නේ ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ අසමානතාවයන් තිබෙනා සහ ඒවා තවදුරටත් වැඩි වෙමින් තිබෙනා ලෝකයකි. එනිසා අද ලෝකය පාලනය කරන සම්භාව්‍ය ලිබරල් පාලකයන් විසින් සමාජයට දායාද කර තිබෙන්නේ ඔවුන්ගේ මහජනතාව තුළ තිබෙනා කළකිරීම්, වැරදි අවබෝධයන් සහ අර්ථ විරහිත අරගලයන් පමණි. මේ සියලු විරෝධයන් එල්ල වන්නේ අපේ යුගයේ සමාජ විමුක්තිය සඳහා මේ දේශපාලන කතිපාධිපත්‍යයේ සියලුම සාමාජිකයන් විසින් යෝජනා කරනා එකම මාවතට එරෙහිවයි.

මෙයින් අදහස් කරන්නේ මේ දේශපාලන කතිපාධිපත්‍යයේ සියලු සාමාජිකයන් අතර කිසිදු වෙනස්කමක් නොමැති බව නොවේ. ඔවුන් අතර යම් යම් වෙනස්කම් තිබේ. නමුත් මේවා ඉතා කුඩා වෙනස්කම් පමණි. අවසන් අරුතින් ගත්විට මේ සියලු දෙනා සිටින්නේ එක ගෝලීය ක්‍රමයක අභ්‍යන්තරත්වය තුළයි.

මේ මගින් මහජනයා තුළ ඇති කරන සාමූහික හැඟීම් – ආවේදනයන්- වන්නේ මොනවාද? මෙහි පළමු ලක්ෂණය වන්නේ දිශානතිහරණය කියා අපට කිව හැකිය. ජීවිතය ගමන් කළ යුතු දිශාව කුමක්ද කියා අතීතයේ තිබුණු සියලු විමර්ශක අද වන විට බිඳ වැටී තිබේ. ඉතිරි ව තිබෙන එකම මාවත මගින් මිනිස් වර්ගයා ගේ අනාගතය සම්බන්ධයෙන් අපට උපාය මාර්ගික දැක්මක් ලබා දෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය සාමූහික ආවේදනයන් වලට පිළිතුරු ලෙස ව්‍යාජ නවීනත්වයන්, අතාර්කික දැක්මවල් සහ මිය ගොස් ඇති සම්ප්‍රදායන් ආදිය වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවයක් මහජනයාගේ පැත්තෙන් හඳුනා ගත හැකිය.

එමෙන්ම, මෙම ප්‍රවණතාවයට ප්‍රතිචාර ලෙස දේශපාලන කතිපාධිපත්‍යයේ පැරණි නායකයන් වෙනුවට නව ස්වරූපයක ක්‍රියාධරයෙක් ප්‍රාදුර්භූත වී තිබේ. එමගින් සහයෝගය ලබා දෙන්නේ ප්‍රචණ්ඩ සහ ග්‍රාම්‍ය ජනප්‍රියවාදී දේශපාලන නායකත්වයන්ටයි. ඔවුන් බොහෝ විට සමීප වන්නේ උගත් දේශපාලකයන්ට නොව චන්ඩින්ට සහ මාෆියා කල්ලි වලටයි. මේ දෙක අතර තෝරාගැනීමක් ලැබුණු විට අද වන විට වැඩි කැමැත්ත ලැබෙන බව පෙනෙන්නේ සම්ප්‍රදායික උගත් දේශපාලඥයාට නොව ඉහතින් සඳහන් කළ නව ආකාරයේ දේශපාලන ග්‍රාම්‍යත්වය සහ ඒ සමග එන ආත්මීය ලෙස ප්‍රචණ්ඩ වූ දේශපාලන යෝජනාවලිය වෙතයි.

මේ නව දේශපාලන චරිතය සහ 1930 ගණන්වල ඇති වූ ෆැසිස්ට්වාදීයා නම් භූමිකාව අතර කිසියම් සමානකමක් තිබේ. නමුත් අවාසනාවකට මෙන් අද වන විට 1930 ගණන්වලදී මෙන් මේ භූමිකාවට ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටි අනෙක් භූමිකාව නොමැති වේ. අප දන්නා පරිදි, ඒ ප්‍රතිවිරුද්ධ භූමිකාව වූයේ කොමියුනිස්ට්වාදියාය. මේ දෙවැනි චරිතය අද මුළුමනින් ම වාගේ අතුරුදන්ව ගොස් තිබේ.

අපට අද දක්නට ලැබෙන මෙම අලුත් දේශපාලන චරිතය එක්තරා ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදයෙක් ලෙස අපට නම් කළ හැකිය. මේ චරිතය සෑම විටම සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ ඇතුළතයි – එහි ආයතන ව්‍යූහය ඇතුළතයි. නමුත් ඔවුන් ක්‍රීඩාව කරන්නේ තරමක් වෙනස් ආකාරයකටයි. සංගීත උපමාවකින් කියන්නේනම්, ඔවුන් වෙනත් ආකාරයක සංගීත සම්ප්‍රදායක් වාදනය කරයි. ඔවුන් සතුව තර්ක බුද්ධිය හෝ තාර්කිකත්වය පිළිබඳ කිසිදු සැලකිලිමත් බවක් නොමැත. මෙයත් අප ෆැසිස්ට්වාදයේ සම්භාව්‍ය ලක්ෂණයක් ලෙස හඳුනා ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදයේ භාෂාවට සවන් දුන් කෙනෙක් හට ඉක්මනින් මෙය හඳුනා ගත හැකි වනු ඇත. එය එක්තරා ආකාරයකට භාෂාවේ පිළිවෙල තුළ සිදු වන විසන්ධි වීමකි (dislocation of language). එයට එක මොහොතක එක දෙයක් පවසා, ඊළඟ නිමේෂයේදී එහි ප්‍රතිපක්ෂය කිව හැකිය. මෙහි කිසිදු ගැටලුවක් ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදියාට නොමැති වේ. එහි භාෂාව වන්නේ පැහැදිළි කරගැනීමේ භාෂාවක් නොව කිසියම් ආකාරයක ආවේදනයන් සංඛ්‍යාවක් උත්පාද කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නා වූ භාෂාවකි. ආවේදනාත්මක භාෂාවකි. ඒ මගින් වැරදි නමුත් ප්‍රායෝගික වන්නා වූ එකතුවීම් ඇති කරයි. මේ සියලු ලක්ෂණ ට්‍රම්ප් ගේ හඳුනාගත හැකි වුවත්, එයට පෙර එය ඉතාලියේ සිල්වියෝ බර්ලස්කෝනි තුළ අපි දුටුවෙමු. සමහරවිට මේ නව ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදියාගේ චරිතය අපට පළමුවෙන් හඳුන්වා දුන්නේ බර්ලොස්කෝනී විය හැකිය. එම චරිතයේ මූලික චරිත ලක්ෂණ වන්නේ ග්‍රාම්‍යත්වය, ස්ත්‍රීන් සමග තිබෙනා ව්‍යාධිමය සහ පෙළඹුම්කාරී සම්බන්ධය වැනි දේය. පොදුවේ ගත්විට එමගින් පෙන්වන්නේ සමාජයේ සාතිශය බහුතරයක් දෙනෙකුට ප්‍රසිද්ධියේ කළ නොහැකි දේ විවෘත ව සිදු කිරීමේ හැකියාවයි. ප්‍රංශයේ සාකෝසි යනුත් මේ ආකාරයේ චරිතයකි. මේ ප්‍රවණතාවයම අපට ඉන්දියාව, පෝලන්තය, තුර්කිය වැනි රටවල් වලත් හඳුනා ගත හැකිය.

මේ අනුව මෙම නව දේශපාලන චරිතයේ මතු වීම ඉතා පැහැදිළිව ගෝලීය තලයේ සිදු වන්නක් බව පෙනී යයි. මේ චරිතය බොහෝ විට සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනැංවීමේ අභ්‍යන්තරය තුළයි. නමුත් එය තවත් අර්ථයකින් ගත්විට සිටින්නේ මේ ගොඩනැංවීමෙන් පරිබාහිරවයි. 1930 දශකයේ ෆැසිස්ට්වාදීන් සමග මේ නව චරිතය බෙදා ගන්නා තවත් චරිත ලක්ෂණයකි මෙය. හිට්ලර් දේශපාලන බලය නිල වශයෙන් ලබා ගන්නේ මැතිවරණ ජයග්‍රහණයක් තුළින් බව අපි දනිමු. ෆැසිස්ට්වාදියා යනු එක් අරුතකින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේඅභ්‍යන්තරත්වය තුළ සිටිනා ගමන්ම, තවත් අර්ථකයින් එයින් බාහිරව සිටින්නෙක් වෙයි. ඔහු සිටින්නේ එළියේ සහ අතුලෙහිය. නැතිනම්: ඔහු ඇතුලේ සිටින්නේ එළියේ සිටීම වෙනුවෙනි.

කෙසේ වුවත්, මේ චරිතය එක්තරා ආකාරයක නවීනත්වයක් බව පැහැදිළිය. නමුත් මේ නවීනත්වය යනු ලෝකය පිළිබඳව අපට තිබෙනා පොදු ආකෘතියේ ඇතුලත තිබෙනා නවීනත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ අභ්‍යන්තරත්වය තුළ රැඳී සිටීමට නව ආකාරයක් මේ මගින් බොහෝ දෙනෙකුට ලබා දී තිබේ. මෙවැනි නව ආකාරයක් අපට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික දේශපාලන කතිපාධිපත්‍යය තුළ අපිට වෙනස් වූ කිසිවක් ලැබෙන්නේ නැති වීම නිසාය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය තුළ ලබා දුන්නේ මෙයයි. එය නවීනත්වයක මානයක්. මෙයින් අදහස් කරන්නේ එය සත්‍ය වශයෙන්ම නවීන දෙයක් යන්න නොවේ. ෆැසිස්ට්වාදය නවීනත්වයක් ලෙස සලකා බැලීම කළ නොහැකි බව අපි දනිමු. එය බොහොම පරණ දෙයක්. නමුත් සම්ප්‍රදායික කතිපයාධිපත්‍යය ඉදිරියේ තබා සලකා බලන විට මේ බොහෝ පැරණි දෙය පවා අපට පෙනී යන්නේ නවීන දෙයක් ලෙසයි. එනිසා තමයි ට්‍රම්ප් ට හැකි වන්නේ ඔහු තමයි නවීනත්වය කියා ප්‍රකාශ කිරීමට. මේ මගින් අපට අපගේ වර්තමානය පිළිබඳව තවත් නිගමනයකට එන්නට අවස්ථාවක් ලබා දෙයි: අප සිටින්නේ බොහෝ පැරණි දෙයක්, බොහෝ නවීන දෙයක් ලෙස දෘශ්‍යමාන විය හැකි යුගයකයි. මේ පැරණි දෙය සහ නවීන දෙය අතර ගොඩනැගෙන සම්බන්ධය ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදයේ තවත් එක් ලක්ෂණයකි.

දැන් මෙම ‘ප්‍රජාතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදියාගේ’ නැග ඒමත් සමගම, සමකාලීන ලෝකය පිළිබඳ අප ගොඩ නැගු සිතියම සංශෝධනය කළ යුතු වන්නේ කෙසේද? අප මීළඟට විමසා බැලිය යුත්තේ මෙයයි.

බදියූ ගේ සමස්ත කතාව:

Advertisements