පහතින් දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් සිදු කරන ලද දේශනයක සිංහල අනුවාදයයි. සමස්ත දේශනය ලිඛිත භාෂාවට පෙරළන විට එය තරමක් දිගු වූ බැවින් එය කොටස් කීපයකට වෙන් කර පළ කිරීමට තීරණය කළෙමු. සමස්ත කතාව තිබෙනා වීඩියෝව මේ ලිපියේ අගින් දැක්වේ. මේ තිබෙන්නේ එම දේශනයේ සිව්වැනි කොටසයි. පළමු, දෙවන සහ තෙවන කොටස්, පිළිවෙලින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්. – ‘බව’ සංස්කාරක මණ්ඩලය

15644855_236216480139783_1409671251_nඅවසන් වරට අප සාකච්ඡා කළේ සමකාලීන ලෝකයේ දේශපාලන අර්බුධය පැහැදිළි කිරීමට අපට සලකා බැලිය යුතු වන ප්‍රධාන කරුණු හතර මොනවාද යන්නයි. නැවතත් අප ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණය වෙත පැමිණියහොත් අපට කිව හැක්කේ කුමක්ද?

පළමුවෙන් ම, අප කියා සිටිය යුතු දෙය වන්නේ සැබෑ ප්‍රතිවිරෝධය, වඩාත් වැදගත් ප්‍රතිවිරෝධය, කිසිසේත් ම එකම ලෝකයක් තුළ තිබෙනා ආකෘති දෙකක් අතර විය නොහැකි බවයි. ගෝලීයකරණය වූ ධනවාදයේ ලෝකය, අධිරාජ්‍යවාදයේ ලෝකය සහ මිනිස් වර්ගයාගේ දෛවය පිළිබඳ කිසිදු අදහසක නොමැති බව යන මේවායින් සමන්විත වූ ලෝකය යනු එකම ලෝකයකි.

හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු බොහෝ අර්ථ වලින් වෙනස් වන චරිත බව මම හොඳින් දනිමි. මා උත්සාහ කරන්නේ ඔවුන් සමාන කිරීමට නොවේ. ඔවුන් අතර ඇති වෙනස වන්නේ නව ෆැසිස්ට්වාදය සහ පැරණි දේශපාලන කතිපයාධිපත්‍යය අතර වෙනසයි. පැරණි දේශපාලන කතිපයාධිපත්‍යය, නව ෆැසිස්ට්වාදයට සාපේක්ෂව අඩුවෙන් බිහිසුණු වන දෙයක් බවත් සත්‍යය වේ. එනිසා අප මේ තෝරාගැනීම් දෙක අතරින් හිලරි ක්ලින්ටන් හට වඩා කැමති වීම මට තේරුම් ගත හැක. නමුත් මේ වෙනස තිබෙන්නේ එකම ලෝකයක අභ්‍යන්තරත්වය තුළ කියන දෙය අප අමතක නොකළ යුතුය. එය ලෝකය පිළිබඳ වෙනස් වූ උපායමාර්ගික දැක්මවල් දෙකක ප්‍රකාශමාන වීමක් නොවේ. ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට හේතුව වන්නේ ලෝකයේ තිබෙනා සැබෑ ප්‍රතිවිරෝධය අපට ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර ඇති ප්‍රතිපක්ෂය මගින් නියෝජනය කිරීමට නොහැකි වීමයි. ඔවුන් එකිනෙකාගෙන් බොහෝ වෙනස් වුවත් ඒ වෙනස්කම තිබෙන්නේ එකම ලෝකයක අභ්‍යන්තරත්වය තුළයි.

මාගේ මතයට අනුව මෙම මැතිවරණයේ මුල් අධියර තුළ තිබූ සැබෑ ප්‍රතිවිරෝධය දක්නට ලැබුනේ ට්‍රම්ප් සහ බර්නි සැන්ඩර්ස් අතරයි. එය සැබෑ ප්‍රතිවිරෝධයක් විය. මෙම ප්‍රතිවිරෝධයේ පාර්ශව දෙක නම් කරනා ආකාරය සම්බන්ධයෙන් අපට සාකච්ඡාවක් කළ හැකිය. ට්‍රම්ප් සිටින්නේ නව ෆැසිස්ට්වාදයේ පැත්තේ සහ බර්නි සැන්ඩර්ස් සිටින්නේ කිසියම් ආකාරයක සමාජවාදය වැනි දෙයක් වෙනුවෙන් කියා අපිට කිව හැකි වේ. එහෙත්, බර්නි සැන්ඩර්ස් හට අවසානයේදී ක්ලින්ටන් සිටිනා තැනට යන්නට පවත්නා ක්‍රමය තුළ සිදු වනු ඇති කියාද අපට කිව හැකි වේ. නමුත් අවම වශයෙන් සංඛේතකරණය වීමේ තලය තුළ – මෙම තලය ඉතාම තීරණාත්මක වේ – සැබෑ ප්‍රතිවිරෝධය නියෝජනය කළේ ට්‍රම්ප් සහ බර්නි සැන්ඩර්ස් අතර වූ ප්‍රතිපක්ෂය විසින් මිස ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර ප්‍රතිපක්ෂය විසින් නොවේ. මෙයට හේතුව තමයි බර්නි සැන්ඩර්ස් ගේ යෝජනා තුළ ලෝකය පවත්නා ආකාරයට ඔබ්බෙන් වූ දෙයක් පිළිබඳ ඉඟි කෙරෙන්නා වූ යම් යම් කරුණු හඳුනා ගැනීමට අපට හැකි වීම. හිලරි ක්ලින්ටන් ගේ යෝජනා අතර එවැනි දේ දක්නට නොමැති විය.

මේ අර්ථයෙන් අපට මෙතැනදී දයලෙක්තික න්‍යායෙන් යමක් ප්‍රයෝජනයට ගත හැකි වේ. ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර වූ ප්‍රතිවිරෝධය, සාපේක්ෂ ප්‍රතිවිරෝධයකි. එය පරම ප්‍රතිවිරෝධයක් නොවේ. එම ප්‍රතිවිරෝධය පැවතියේ එකම ලෝකයක අභ්‍යන්තරත්වය තුළයි. නමුත් බර්නි සැන්ඩර්ස් සහ ට්‍රම්ප් අතර වූ ප්‍රතිවිරෝධය තුළ සැබෑ ප්‍රතිවිරෝධයක වියහැකිභාවයක ආරම්භය සලකුණු විය. එනම් ලෝකයේ තිබෙනා දෙයක් සහ මේ ලෝකයෙන් ඔබ්බෙහි වූ දෙයක් අතර තිබෙනා ප්‍රතිවිරෝධයයි.

එක්තරා අර්ථයකින් ගත්විට ට්‍රම්ප් සිටියේ ව්‍යාකූල, ප්‍රතික්‍රියාකාරී සහ ජනප්‍රිය ආත්මීයත්වයක පැත්තේ වන අතර එය තිබුනේ ලෝකය පවත්නා ආකාරයේ අභ්‍යන්තරත්වය තුළයි. බර්නි සැන්ඩර්ස් සිටියේ තාර්කික, ක්‍රියාකාරී සහ පැහැදිළි ජනප්‍රිය ආත්මීයත්වයක පැත්තෙහිය. එය තිබුනේ ලෝකය පවත්නා ආකාරයට ඔබ්බෙනි. එම පරිබාහිරත්වය කුමක්ද කියා එතරම් පැහැදිළි නොවූවත්, එය පැහැදිළිව ම ලෝකය පවත්නා ආකාරයට ඔබ්බෙන් වූ පරිබාහිරත්වයකි.

මේ මැතිවරණයේ ප්‍රතිඵලය පාරිශුද්ධ ලෙස සංරක්ෂණවාදී (conservative) එකක් ලෙස නම් කළ යුතු වන්නේ ඇයිද කියා වටහා ගැනීමට මෙම පැහැදිළි කිරීම උපකාර කරගත හැක. මන්ද, මෙය අපට ලැබුනේ ව්‍යාජ ප්‍රතිවිරෝධයක ප්‍රතිඵලයක් ලෙසයි. එනිසා මේ මැතිවරණයෙන් අපට ලැබුනේ ඉහතින් සඳහන් කළ කරුණු හතර මගින් ගොඩනැගී ඇති සමකාලීන අර්බුධයේ අකණ්ඩතාවයයි. ට්‍රම්ප් ට එරෙහි ව ක්ලින්ටන් හට ආශා කිරීම අපට කළ නොහැකි වන්නේ එම නිසාය. අප විසින් උත්සාහ කළ යුතු වන්නේ සැබෑ ප්‍රතිවිරෝධය වෙත නැවත යාමක් ඇති කිරීමටයි. මෙම මැතිවරණයේ බිහිසුණු පාඩම වන්නේ එයයි.

ලෝකය දැනට පවත්නා ආකාරය ඉක්මවන දිශානතියක් අප විසින් නිපදවිය යුතු වේ. ආරම්භයේදී මෙය කුමක්ද කියා අපට මුළුමනින් පැහැදිළි නොවිය හැකිය. නමුත් අප ආරම්භ කළ යුතු වේ. ට්‍රම්ප් ට පසුව අප මෙය ආරම්භ කළ යුතු වේ. මේ ආරම්භය පිළිබඳ ප්‍රශ්නය යනු සැබෑ ප්‍රතිවිරෝධයට නැවත යාම පිළිබඳ ප්‍රශ්නයකි – මිනිස් වර්ගයාගේ දිශානතිය පිළිබඳව උපායමාර්ගික තෝරාගැනීමක්නැවත ලබා ගැනීම සඳහා වන ආරම්භයකි. සමකාලීන ධනවාදය මගින් ඇති කර තිබෙන බිහිසුණු අසමානතාවයන් ට එරෙහිව අපගේ වර්තමානය සඳහා උපායමාර්ගික දැක්මවල් දෙකක් ලබා දිය හැකි බව සහ අප එකම උපායමාර්ගික දැක්මට සිර නොවිය යුතු බව පෙන්වා දෙන දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීම ආරම්භ කළ යුතු වේ. 19 වෙනි සියවසේ සහ විසි වෙනි සියවසේ ආරම්භයේදී අප දුටු ශ්‍රේෂ්ඨ දේශපාලන ව්‍යාපාරයන් ඇති වීමට තුඩු දුන් කිසියම් දෙයක් වෙත නැවත යාමක් සලකුණු කිරීමට අප උත්සාහ කළ යුතු වේ. දාර්ශනික භාෂාවකින් කියන්නේනම්, අප කළ යුතු වන්නේ එකෙහි ආධිපත්‍යයට එරෙහිව දෙකෙහි අවස්ථාවක් වෙත නැවත යාමටයි.

අපට තිබෙන්නේ එකම උපායමාර්ගික මාවතක්නම්, මෙහි අවසන් අර්ථය වන්නේ දේශපාලනය ක්‍රමිකව අතුරුදහන් වී යාමයි. එම අර්ථයෙන් ගත්විට ට්‍රම්ප් යනු මෙම අතුරුදහන් වී යාමේ සංඛේතයක් වේ.සත්‍ය වශයෙන්ම ඔහු නියෝජනය කරනා ‘දේශපාලනයක්’ කියා දෙයක් නොමැති බව ඉතාම පැහැදිළිය. දේශපාලනය වෙත නැවත යනවා යනු අනිවාර්ය ලෙස සැබෑ තෝරාගැනීමක් වෙත නැවත යාමකි. මේ සඳහා අපට දාර්ශනික අර්ථයෙන් යෝජනා කළ හැකි නම් කීපයක් තිබේ. මේ අතරින් මා වඩාත් කැමති නාමකරණය සඳහා හේතු දැක්වීමක් වෙත අප මීළඟට යොමු වෙමු.

බදියූ ගේ සම්පූර්ණ කතාව:

Advertisements