පහතින් දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් සිදු කරන ලද දේශනයක සිංහල අනුවාදයයි. සමස්ත දේශනය ලිඛිත භාෂාවට පෙරළන විට එය තරමක් දිගු වූ බැවින් එය කොටස් කීපයකට වෙන් කර පළ කිරීමට තීරණය කළෙමු. සමස්ත කතාව තිබෙනා වීඩියෝව මේ ලිපියේ අගින් දැක්වේ. මේ තිබෙන්නේ එම ලිපියේ තෙවැනි කොටසයි. පළමු සහ දෙවැනි කොටස්, පිළිවෙලින්, අපගේ යුගය දේශපාලනිකව හඳුන්වා දිය හැක්කේ කෙසේද? – ඇලේන් බදියු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ කුමක්ද? ඇලේන් බදියූ. – ‘බව’ සංස්කාරකමණ්ඩලය

15644983_235398106888287_378148574_n

 

දේශපාලනික අරුතින් ගත්විට අපගේ ලෝකයේ සීමා නිර්ණය කිරීමට අපට උපකාර කරනා මූලික සාධක වන්නේ මොනවාද? සමස්තයක් වශයෙන් ගත්විට අප සිටින්නේ මූලික කරුණු හතරක් අතර සිදු වන මාරාන්තික දයලෙක්තිකයක් තුළ කියා හඳුනා ගත හැකි වේ.

පළමුවෙන් තිබෙන්නේ වත්මන් ධනවාදයේ තිබෙනා පූර්ණ කුරිරු බව සහ අන්ධ ප්‍රචණ්ඩත්වයයි. බටහිර ලෝකය තුළදී අපට මෙම කුරිරු බව සම්පූර්ණයෙන් දැනෙන්නේ නැති බව සත්‍යයකි. නමුත් ඔබ සිටින්නේ අප්‍රිකාවේ නම් ඔබට මෙම කුරිරු බව තදින්ම දැනෙනු ඇත. ඔබ සිටින්නේ මැද පෙරදිගනම් ඔබට මෙම කුරිරු බව තදින්ම දැනෙනු ඇත. සමහර විට ආසියාවේදී පවා එය ඔබට දැනෙනු ඇත. අපේ ලෝකයේ සිට බලන විට මෙය අලුත් වර්ධනයක් ලෙස හැඟී ගියත් මෙය සත්‍ය වශයෙන්ම ධනවාදයේ සාරය වෙත ආපසු යාමක් මිස වෙනත් දෙයක් නොවේ. ධනවාදය යනු සියලු දෙනා සියලු දෙනාට එරෙහිව ආධිපත්‍යය වෙනුවෙන් කෙරෙන්නා වූ ම්ලේච්ඡ සටනකි. මේ තමයි පළමු කරුණ.

දෙවැනි කරුණ වන්නේ සම්ප්‍රදායික දේශපාලනික කතිපාධිපත්‍යය නියෝජනය කළ සම්භාව්‍ය පක්ෂ ක්‍රමයේ ඛාදනය වීමයි. මේ ඛාදනය වීම සිදු වෙන්නේ නව ෆැසිස්ට්වාදයේ ස්ථාපිත වීම හා සමගාමීවයි. මෙහි අනාගතය කුමක්ද කියා අපි නිශ්චිත ලෙස තවමත් නොදන්නෙමු. නිදර්ශනයක් ලෙස ට්‍රම්ප් ගේ අනාගතය කුමක්ද? එක්තරා අරුතකින් අප මෙයට පිළිතුරක් තවමත් සොයාගෙන නැත. සමහරවිට මෙය ට්‍රම්ප් පවා නොදන්නවා විය හැකිය. අප නිශ්චිතව දන්නා දෙය වන්නේ සම්භාව්‍ය දේශපාලන කතිපයාධිපත්‍යයේ අවසානය සහ නව දේශපාලන භූමිකාවක ආරම්භයයි. එහි අනාගත වියහැකිභාවයන් මොනවාද කියා අපි නිශ්චිත වශයෙන් නොදන්නෙමු. එය පොදුවේ මහජනයා හට සුභවාදී අනාගතයක් නොවන බව පමණක් අපට කිව හැකිය.

තුන්වෙනි කරුණ වන්නේ ජනප්‍රිය ඉච්ඡා භංගත්වයයි, බලාපොරොත්තු බිඳ වැටීමෙන් ඇති වෙන ආතතියයි. මෙම ව්‍යාකූල ආවේදනය විශාල ජනතාවක් අතර දක්නට ලැබුන ද මෙය විශේෂයෙන් ම දිළිඳු ජනයා අතර ක්‍රියාත්මක වන බව අපට නිරීක්ෂණය කළ හැකිය. බොහෝ රටවල ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන ජනයා, ගොවිජනතාව, රැකියා විරහිත කම්කරුවන් වැනි සමාජ කොටස් අතර මෙය තීව්‍ර ලෙස ප්‍රකාශමාන වෙයි. මේ ජනයාගෙන් සාතිශය බහුතරයක් දෙනා සමකාලීන ධනවාදය විසින් ඌණනය කර තිබෙන්නේ වියහැකි පැවැත්මක් නොමැති, වියහැකි සාංදෘෂ්ඨිකත්වයක් නොමැති තැනකටයි. අද අපේ ග්‍රහලෝකයේ තත්වය පරීක්ෂා කිරීමේදී මේ කරුණ ඉතාම වැදගත් වන්නකි. අප යා යුතු දිශානතිය කුමක්ද කියා ග්‍රහලෝකයේ සාතිශය බහුතරයකට තේරුම් ගත නොහැකි වී තිබේ. ස්ථාවරත්වය බිඳ වැටී තිබේ. ඒ වෙනුවට තිබෙන්නේ අපට උපතින් උරුම වූ ලෝකයේ විනාශ වී යාම පමණි. නමුත් මේ විනාශය සිදු වන්නේ නව ලෝකයක් නිර්මාණය වීම තුළ නොවේ. එනිසා මෙය ශුන්‍යතාවාදී විනාශයකි.

අවසාන කරුණ වන්නේ විකල්ප ක්‍රමයක් පිළිබඳ උපාය මාර්ගික සිතා බැලීමක සම්පූර්ණ අඩුවයි. මෙයින් අදහස් වන්නේ කිසිදු ආකාරයක නව දේශපාලන අත්දැකීම් ලෝකයේ කොතැනකින්වත් දක්නට නොහැකි වන බව නොවේ. මම එසේ නොකියමි. එවැනි ආකාරයේ අත්දැකීම් සෑහෙන ප්‍රමාණයක් කෙනෙකුට පෙන්වා දිය හැකිය: යම් යම් ස්ථාන අත්පත් කරගැනීමේ ව්‍යාපාර, නව සංවිධානගතවීම්, පරිසර අරගල වැනි දේ තිබෙනා බව සත්‍යයක්. එනිසා සකලවිධ ප්‍රතිරෝධය දැක්වීමේ ආකෘති බිඳ වැටී තිබෙන බව මා කියන්නේ නැත.

නමුත් ප්‍රශ්නය වන්නේ විකල්ප උපාය මාර්ගික දැක්මක් නොමැති වීමයි. මෙයින් අදහස් කරන්නේ ධනවාදය තමයි අපට තිබෙනා එකම මාවත කියනා විශ්වාසය සඳහා තිබෙනා පිළිගැනීම හා සමාන ලෙස, එම විශ්වාසය ක්‍රියාත්මක වන තලය තුළම, විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීමේ නොහැකියාවයි. මගේ වචන වලින් කියන්නේනම්, අපට නොමැත්තේ ‘අදහසකි’ (‘Idea’ not ‘idea’). අදහසක් යනු සියලු ආකාරයේ නවීනත්වයන් උත්පාද කිරීම වෙනුවෙන් වන ප්‍රතිරෝධයන් ගෝලීය වශයෙන්, උපායමාර්ගිකව එකතු කිරීමේ වියහැකිභාවයයි. එම අර්ථයෙන් අදහසක් යනු තනි පුද්ගලික ආත්මයක් සහ ඓතිහාසික, සාමූහික අරමුණක් අතර තිබෙනා නිශේධනයකි. එමගින් මුළුමනින් වෙනස් වූ සාමූහිකයන් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව ලබා දිය යුතු අතර අවසානයේදී ඒ සියල්ල එකතු කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතු වේ.

මෙම කරුණු හතර, එනම්:

  1. ගෝලීයකරණය වූ ධනවාදයේ පොදු සහ උපායමාර්ගික ආධිපත්‍යය
  2. සම්භාව්‍ය දේශපාලන කතිපයාධිපත්‍යයේ ඛාදනය වීම
  3. ජනප්‍රිය දිශානතිහරණය සහ ඉච්ඡාභංගත්වය
  4. විකල්ප උපායමාර්ගික දැක්මක අඩුව

අප ජීවත් වන යුගයේ තිබෙනා අර්බුධය සමන්විත වන්නේ මේවායිනි. අපට සමකාලීන ලෝකය ගෝලීය අර්බුධයක් ලෙස හඳුනාගත හැක්කේ මේ අරුතිනි. එය කිසිසේත් පසුගිය වසරවල පැවති ආර්ථික අර්බුධයට පමණක් ඌණනය කිරීම කළ හැකි නොවේ. මෙය එයට වඩා විශාල වූ ආත්මීය අර්බුධයකි. මන්ද, මිනිස් වර්ගයාගේ දෛවය කුමක්ද යන්න අපට එන්න එන්න ම නොපැහැදිලි වෙමින් යයි.

බදියූ ගේ සමස්ත කතාව:

Advertisements