පහතින් දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇලේන් බදියූ විසින් සිදු කරන ලද දේශනයක සිංහල අනුවාදයයි. සමස්ත දේශනය ලිඛිත භාෂාවට පෙරළන විට එය තරමක් දිගු වූ බැවින් එය කොටස් කීපයකට වෙන් කර පළ කිරීමට තීරණය කළෙමු. සමස්ත කතාව තිබෙනා වීඩියෝව මේ ලිපියේ අගින් දැක්වේ. මේ තිබෙන්නේ එම දේශනයේ පස්වැනි සහ අවසාන කොටසයි. පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ලිපි, පිළිවෙලින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්. – ‘බව’ සංස්කාරකමණ්ඩලය

15722774_236952243399540_172245982_n

අප අවසන් වරට සාකච්ඡා කරමින් සිටියේ නැවතත් දේශපාලනය වෙත ප්‍රවිෂ්ට වීම සඳහා අප මූලික වශයෙන් අප වෙතම උපායමාර්ගික දැක්මක් ලබා දිය යුතු වන බවයි. මෙයින් අදහස් වන්නේ අප විසින් සැබෑ තෝරා ගැනීමක් සඳහා අපට ඉඩ ලබා දෙන ලෙස දේශපාලනය බෙදා වෙන්කිරීමේ අවශ්‍යතාවය වේ. මේ සඳහා අපට විවිධ නම් යෝජනා කළ හැකි බව ඇත්තකි. නමුත් මවිසින් ‘කොමියුනිස්ට්වාදය’ නම් දූෂිත වචනය මෙයට යෝජනා කරනා බව සමහරවිට ඔබ මේ වනවිටත් අසා තිබෙනවා කියා සිතමි.

පසුගිය සියවසේ සංකීර්ණ දේශපාලන අත්දැකීම් වලින් මෙම දූෂණය වීම සිදු වූ බව අපි දනිමු. නමුත් නමක් කියන්නේ, නමක් පමණි. ඔබට අවශ්‍යනම් මේ සඳහා වෙනත් නමක් යෝජනා කිරීමට හැකි ය. නමුත් මේ පැරණි සහ දූෂිත වචනයේ තිබෙන ප්‍රාථමික අර්ථය තුළ වැදගත් යමක් තවමත් ඉතිරිව තිබේ. මේ ප්‍රාථමික අර්ථය ගොඩ නැගී තිබෙන්නේ කරුණු එහෙමත් නැතිනම් මූලධර්ම හතරක් මත පදනම්වයි. උපායමාර්ගික දැක්මවල්දෙකකින් සමන්විත නව දේශපාලන අවකාශයක් නිපදවීම සඳහා මෙම මූලධර්ම හතර අපට ලබා දෙන්නේ ඉමහත් උපකාරයකි. කෙතරම් ප්‍රශ්න තිබුනද මේ වචනය අප තබා ගත යුතුයැයි කියා මා යෝජනා කරන්නේ මෙම නිසාය. මොනවද මේ මූලධර්ම හතර?

කොමියුනිස්ට්වාදය නම් වචනය පදනම් වන පළමු මූලධර්මය වන්නේ සමාජ සංවිධානයේ පදනම ලෙස පුද්ගලික දේපළ සහ එමගින් ඇති කරන බිහිසුණු අසමානතාවයන් ගැනීම අනිවාර්ය නොවේ යන්නයි. මෙය අනිවාර්ය නොවන බව සාධනය කරනා සීමා සහිත පර්යේෂණ සංවිධානය කිරීම අපට කළ හැකි වේ. එවැනි දේ සිදු කිරීම අද දවසේ ඉතාම වැදගත් දෙයකි. පුද්ගලික දේපළ ගොඩ නැගීම වෙනුවට සාමූහික පැවැත්මක් පිළිබඳ විශ්වාසය ඇති කළ හැක්කේ මේ ආකාරයෙන් පමණි. මේ වචනය මගින් යෝජනා කරනා පළමු මූලධර්මය වන්නේ ද මෙයයි. පුද්ගලික දේපළ සහ ඒ හා බැඳුනු බිහිසුණු අසමානතාවයන් යනු මිනිසත් බව ඇතිවීමේ නීතිය නොවන බව එහි මූලික අදහසයි.

දෙවැනි මූලධර්මය වන්නේ වැඩකරන්නන්, ඔවුන් කරනා වැඩ අනුව ශ්‍රේෂ්ඨ වැඩ – බුද්ධිමය ශ්‍රමය, කලාත්මක නිෂ්පාදන බිහි කිරීම, ආණ්ඩුකරණය ආදී ලෙස – සහ සාමාන්‍ය වැඩ – නුපුහුණු ශ්‍රමිකයන්, කම්කරුවන් ආදී ලෙස – කොටස් දෙකකට බෙදීම අනිවාර්ය නොවන බවයි. විශේෂයෙන්ම බුද්ධිමය ශ්‍රමය සහ කායික ශ්‍රමය අතර තිබෙනා වෙනස මකා දැමිය යුතු වේ. මිනිසාගේ ශ්‍රමය සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ බෙදීමක් ඇති කිරීමට කිසිදු ආකාරයක දාර්ශනික පදනමක් නොමැත. එනිසා මෙය ඉතා පැහැදිළිවම දේශපාලනික බෙදීමකි. මෙය තමයි කොමියුනිස්ට්වාදය කියන වචනයේ තිබෙනා දෙවැනි වැදගත් ප්‍රාථමික අර්ථය.

තුන්වැනි මූලධර්මය වන්නේ මිනිස් වර්ගයා ජාතික, වාර්ගික, ලිංගික ආදී සීමාවන්ගෙන් වෙන්ව පැවතීම අනිවාර්ය නොවීමයි. සමානාත්මතාවය ඇති විය යුත්තේ වෙනස්කම් අතරණි, වෙනස්කම් විනිවිදිමිණි. වෙනස්කම් යනු සමානාත්මතාවයට බාධාවක් විය යුතු දෙයක් නොවේ.මේ ලෝකයේ වෙනස්කම් තිබෙනා නිසා සමානාත්මතාවය ඇති කිරීම කිසිදා කළ නොහැකි වේ යන්න අප ප්‍රතික්ෂේප කළ යුතුය. සමානාත්මතාවය යනු සියලු දෙනා එකම ආකෘතියකට – අච්චුවකට – දමා, සියලු වෙනස්කම් මකා දැමීම නොවේ. කිසි සේත් නැත. ඒ වෙනුවට, එමගින් අදහස් කරන්නේ මේ සියලු වෙනස්කම් අභිමුවේ පවා මිනිසුන් අතර ඇති රැඩිකල් සමානාත්මතාවය පිළිගැනීමයි – එය තහවුරු කිරීමට හැකි වන ලෙස සමාජය සංවිධානය කිරීමයි. කොමියුනිස්ට්වාදය නම් වචනය මගින් ප්‍රකාශ කර සිටිනා තුන්වැනි වැදගත් මූලධර්මය වන්නේ මෙයයි.

බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙහි තිබෙනා අවසාන මූලධර්මය වන්නේ රාජ්‍යයේ පැවැත්ම අනිවාර්ය නොවනා බව පිළිගැනීමයි. එනම්, සිවිල් සමාජයෙන් වෙන් වුණු, ආයුධ සන්නද්ධ බලයක ආකෘතිය ගත් රාජ්‍යයක පැවැත්ම අනිවාර්ය නොවන බවයි. මෙයින් අදහස් කරන්නේ සමාජ සංවිධානයේ මූලික පසුබිම් කරුණු සහතික කරනා පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍ය නොවන බව නොවේ. නමුත් රාජ්‍යය යනු හුදු මෙවැනි යාන්ත්‍රණයක් නොවන බව අපි දනිමු. එය ස්වායත්ත පැවැත්මකි. එය පවතින්නේ අප වෙනුවෙන් නොව, අප පවතින්නේ එය වෙනුවෙනි. මිනිසාගේ ජෛවීය ජීවිතය මුළුමනින් පාලනය කිරීම එහි අරමුණ වේ. කොමියුනිස්ට්වාදය නම් වචනයේ අවසාන මූලධර්මය මගින් අපට කියා සිටින්නේ මෙන්න මේ රාජ්‍යයයේ පැවැත්ම අනිවාර්යතාවයක් නොවනා බවයි.

කොමියුනිස්ට්වාදය නම් මේ ඉපැරණි සහ බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන වචනය වෙනුවෙන් මා පෙනී සිටින්නේ මේ නිසාය. මෙම වචනය භාවිතා කිරීම මගින් අපට ලබා දෙන වාසිය කුමක්ද යන්න මෙම මූලධර්ම හතර මගින් සම්පිණ්ඩනය කරයි:

  • පුද්ගලික දෙපළට එරෙහිව සාමූහිකවාදය
  • විශේෂඥකරණය වෙනුවට බහුකාර්ය කම්කරුවන්
  • ආවෘත විවධත්වය වෙනුවට සංයුක්ත විශ්වීයත්වය
  • අවසන් වශයෙන්, රාජ්‍යය වෙනුවට නිදහස් සංවිධානගත වීම

මේවා මූලධර්ම මිස වැඩසටහන් නොවන බව මතක තබා ගැනීම වැදගත් වේ. නමුත් මේ මූලධර්ම මත සිට අපට සෑම දේශපාලන වැඩසටහනක්ම, තීරණයක්ම, දේශපාලන පක්ෂයක්ම, අදහසක්ම මැන බැලීමේ හැකියාව ලැබේ. මේ මූලධර්ම හතර මගින් අපට ලබා දෙන්නේ දෘෂ්ඨිකෝණයකි. නිදර්ශනයක් ලෙස කිසියම් තීරණයක් මේ මූලධර්ම දෙසට වර්තනය වී ඇති බව පැහැදිළි වන්නේනම් එය යහපත් තීරණයක් ලෙස නම් කිරීමේ හැකියාව තිබේ. අනෙක් අතට කිසියම් තීරණයක් ඉතා පැහැදිළිව මෙම මූලධර්ම වලට විරුද්ධ වන්නේනම් එය වැරදි තීරණයක් බව අපට පැවසිය හැකිය. එමගින් අපට දේශපාලන අවකාශය තුළ විනිශ්චයන් ලබා දීමට අවශ්‍ය මූලධර්මයක් හමු වන අතර එය විකල්ප උපායමාර්ගික දැක්මක් ගොඩනැංවීම සඳහා උපයෝගී කර ගත හැකි වේ.

බර්නි සැන්ඩර්ස් විසින් ‘Our Revolution’ (‘අපේ විප්ලවය’) නමින් නව දේශපාලන කණ්ඩායමක් ගොඩ නැගීමට යෝජනා කර තිබෙනා බව මට අසන්නට ලැබුණි. ට්‍රම්ප් ගේ මැතිවරණ ජයග්‍රහණය මගින් මේ ආකාරයේ අදහසක් සඳහා දැන් අවස්ථාවක් විවර කර දී තිබේ. සමහරවිට අපට මේ මොහොතේ බර්නි සැන්ඩර්ස්ව විශ්වාස කිරීමට හැකිය. එය සත්‍ය වශයෙන්ම වත්මන් ලෝකය ඉක්මවා යන්න වූ යමක් යෝජනා කරනා කතිකාවක් ද කියා අප පරීක්ෂා කර බැලිය යුතු වේ. අපගේ මූලධර්ම සමග එකඟ වන්නා වූ දෙයක් එමගින් යෝජනා කර තිබේද කියා අප තීන්දු කළ යුතුය.

අපිට යමක් කළ හැකි වේ. අපි යමක් කළ යුතු වේ. අපි කිසිවක්ම කරන්නේ නොමැති වනවා යනු අප ට්‍රම්ප් ගේ විශාදිමය ජයග්‍රහණයෙන් පුදුමයට පත්වීම තුළ සිර වී සිටිනවා යන්න පමණි.

ඔවුන්ගේ ප්‍රතික්‍රියාවට එරෙහිව, ‘අපගේ විප්ලවය’!

අවම වශයෙන්, මා සිටින්නේ මේ පැත්තේ බව පමණක් කිව හැකි වේ.

ස්තුතියි.

***

බදියූ ගේ සම්පූර්ණ කතාව:

Advertisements