T009120

පසුගිය සතිය පුරා ‘බව’ හී පළ වූ බදියූ ගේ සම්පූර්ණ දේශනය පහතින් තිබෙනා පීඩීඑෆ් ගොණුවෙහි දැක්වේ. විකල්ප සමාජ සිතීමක් වෙනුවෙන් මහන්සි වන අපගේ මිතුරන්ගේ සංවාද සඳහා එය ප්‍රයෝජනවත් විය හැකියැයි සිතු බැවින් එය මෙලෙස බෙදා ගන්නට තීරණය කළෙමු. නව බලාපොරොත්තුවක් ජනනය වන විකල්ප දේශපාලන සංවාදයක් ඇති වනු ඇත්තේ මෙවැනි අදහස් සමග සිදු වන ඝට්ට්ණයකින් පමණි.

සෑම වැදගත් දේශපාලන ලියවිල්ලකින්ම විය යුතු පරිදි මෙම දේශනය මගිනුත් අප වෙත අලුත් ප්‍රශ්න ගණනාවක් ඉතිරි කර දී තිබේ. විශේෂයෙන් මෙහිදී ප්‍රමුක වන්නේ ‘ධනවාදය’ පිළිබඳ ප්‍රශ්නයයි. කොමියුනිස්ට් ව්‍යාපාරයේ දේශපාලන පරාජයත් සමග බටහිර ඇකඩමියාව තුළ ආධිපත්‍යය ලැබූ ‘සංස්කෘතික මාක්ස්වාදයේ’ ඓතිහාසික සීමාවක් වන්නේ දේශපාලන-ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය වෙත දක්වන අල්ප උනන්දුව බව අපි දනිමු.

මෙහි ප්‍රභවය තිබෙන්නේ ‘ආර්ථික ඌණිතවාදය’ සම්බන්ධයෙන් සම්භාව්‍ය මාක්ස්වාදයට එරෙහිව එල්ල වූ විවේචනයයි. සමහරවිට අනවශ්‍ය තරම් සරල ලෙස එය කියන්නේනම්, මෙයින් අදහස් වූයේ සමාජයේ සියලුම ප්‍රශ්න, අවසන් අරුතින්, ආර්ථිකයේ තිබෙනා ප්‍රශ්න ලෙස හඳුනා ගැනීම සහ එනිසා ආර්ථික නොවන සමාජ පීඩනයන් වෙත අඩු බරක් තැබීමයි. එම චෝදනාවට අනුව ජනවාර්ගික බහුතරයේ ආධිපත්‍යය, පීතෘමූලිකත්වය, කුල ධූරාවලිය, විෂම ලිංගික ආධිපත්‍යය වැනි වූ සමාජ පීඩනයන් සම්භාව්‍ය මාක්ස්වාදය විසින් වටහා ගන්නා ලද ආකාරය නිවැරදි නොවුනි. එනිසා, සංස්කෘතික මාක්ස්වාදය තුළ වඩා ජනප්‍රිය වූයේ මේ ආකාරයේ පීඩනයන් අර්ථකථනය කිරීමට යොදා ගත හැකි විකල්ප දාර්ශනික මූලයන් විමසා බැලීමයි. මෙම සමස්ත ප්‍රවණතාවයේ ප්‍රායෝගික ප්‍රතිවිපාකය වූයේ ‘ධනවාදය’ පිළිබඳ විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම වාගේ සංවාදයෙන් ඉවත් වී යාමයි. නමුත්, බදියූ ගේ දේශනයෙන් ද පැහැදිළි වන ආකාරයට, මේ මගින් දේශපාලන විශ්ලේෂණයන් සඳහා සිදු කරන්නේ බරපතල අඩුපාඩුවකි. ධනවාදයේ ස්වයං-කඩාවැටීම පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදයේ විශ්වාසය එලෙසින්ම බාර ගැනීම කළ නොහැකි වනවා යනු ධනවාදය පිළිබඳ ප්‍රශ්නය මුළුමනින් අමතක කර දැමිය හැකි වනවා යන්න නොවේ.

එනිසා, බදියූ ගේ වචන වලින්ම කියන්නේනම්, කොමියුනිස්ට් ව්‍යාපාරයේ බිඳ වැටීමෙන් පසුව ඉපිද සිටිනා ‘නව ඓතිහාසික තාරුණ්‍යය’ සමග ධනවාදය සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනා “බව” අපට පැහැදිළි වේ. අප නියැළී සිටිනා අනෙකුත් දාර්ශනික සංවාද සඳහා පොළොවක් – ‘අධෝ-ව්‍යූහයක්’ – නිර්මාණය වනු ඇත්තේ ඒ මගින් පමණි.

බදියූ ගේ සමස්ත දේශනයේ පී.ඩී.එෆ් ගොණුව

***

Advertisements