probably_valentin_de_boulogne_-_saint_paul_writing_his_epistles_-_google_art_project

පසුගියදා දෙරණ රූපවාහිණියේ ‘අළුත් පාර්ලිමේන්තුව’ වැඩටසහනට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ සම සභාපති කරූ පරණවිතාන තරමක් පැරණි අදහසක් නැවතත් සිහිපත් කළේය. ඒ තමයි මාක්ස්වාදය මගින් යෝජනා කරන කොමියුනිස්ට් සමාජය පිළිබඳ අදහස සහ බයිබලයේ පරණ ගිවිසුමේ එන පොරොන්දු දේශය අතර සම්බන්ධය. පරණවිතාන මෙම අදහස ප්‍රකාශ කරන්නේ මාක්ස්වාදය සහ ක්‍රිස්තියානි ධර්මය සංකීර්ණ ලෙස අධ්‍යනය කිරීමෙන් පසුව පැමිණි නිගමනයක් ලෙසද කියා අපිට නිශ්චිතව පැවසිය නොහැකිය. නමුත් එවැනි අධ්‍යනයන් කරනා මිනිසුන් හඳුනා ගැනීමට තිබෙනා එකම නිර්ණායකය වන්නේ සිය හැදෑරීම් විධිමත්ව, අන් අයට පරීක්ෂා කර බැලිය හැකි වන සේ, මූලාශ්‍ර දක්වමින්, ලියා තැබීමයි. පරණවිතාන අතින් එවැන්නක් සිදු වී නොමැති බවනම් අපි හොඳින් දනිමු. එනිසා මේ ‘කොමියුනිස්ට් සමාජය’ සහ ‘පොරොන්දු දේශය’ අතර සිදු කරන මෙම ජනප්‍රිය සමානකරණය එතරම් හොඳින් සොයා බැලූ අදහසක් නොව එහෙන් මෙහෙන් අහුලාගෙන ‘ඔන්න ඔහේ නිකන්ම කියා දමන’ ලද අදහසක් කියා අප පැවසුවොත් එය අසාධාරණ නොවේයැයි සිතමු.

අඩුම තරමින් පරණවිතාන විසින් මෙම පොරොන්දු දේශය පිළිබඳ අදහස කිතු ඉතිහාසයේ සිටිනා සංකීර්ණතම සහ රැඩිකල්ම න්‍යායවේදියා වන ශාන්ත පාවුළු අතින් අර්ථකථනය වන ආකාරය අධ්‍යනය කරන්නේනම් මෙම සරල, ජනප්‍රිය කතාවේ තිබෙනා බරපතල සීමාව අවබෝධ කරගනු ඇත. පාවුළු ගේ මෙම අර්ථකථනය විසින් අපට මෙම යල් පැන ගිය විවේචනය වෙත විකල්ප ප්‍රතිචාරයක් ගොණු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. ‘කොමියුනිස්ට් සමාජය කියන්නේ හලෝ පොරොන්දු දේශය පිළිබඳ බයිබල් කතාව විශ්වාස කරන මිනිහෙක් ගේ මනෝ විකාරයක්’ කියන චෝදනාව ඇසූ සැනින් සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් ලැබුණු ප්‍රතිචාරය වූයේ එය එසේ නොවන බව පෙන්වා දීමට උත්සාහ කිරීමයි. නමුත් පාවුළු ගේ අර්ථකථනය ඇසුරින් අපිට මෙයටත් වඩා සරල, සහ එනිසාම සංකීර්ණ, ප්‍රතිචාරයක් මෙයට ලබා දීමට ඉඩ ලැබේ. ඒ තමයි මාක්ස් ගේ කොමියුනිස්ට් සමාජය යනු පරණ ගිවිසුමේ එන පොරොන්දු දේශය නොවනවා පමණක් නොව, ක්‍රිස්තියානි දහමේ එන පොරොන්දු දේශයත් පරණ ගිවිසුමේ එන පොරොන්දු දේශය නොවනවා යන්නයි.

පොරොන්දු දේශය යනුවෙන් අදහස් කරන්නේ මැවුම්කාර දෙවියන් විසින් එම්බ්‍රහම් ට – සහ ඔහුගේ දරු මුණුබුරන්ට – පොරොන්දු වී පසුව මෝසස් ඇතුළු ඊශ්‍රායල් වාර්ගිකයන් හට ලබා දුන් දේශයයි. යුදෙව් ජනයා ලෙස සම්ප්‍රදායිකව හඳුනා ගන්නේ මෙලෙස පොරොන්දු දේශය වෙත ලඟා වූ ජනයාගෙන් පැවත එන්නන් වෙයි. ජේසුන් ගේ මරණයෙන් පසුව ශාන්ත පීතර ඇතුළු ඔහුගේ නිල අනුගාමිකයන් අතින් සිදු වූයේ ක්‍රිස්තියානි ආගම මෙන්න මේ යුදෙව් ජනයාගේ නිල ආගමික විශ්වාසය බව තහවුරු කිරීමට උත්සාහ කිරීමයි. ශාන්ත පාවුළු විසින් උඩු යටිකුරු කරන ලද්දේ මෙම විශ්වාසයයි. ජේසුන් පුද්ගලිකව ඇසුරු කර නොමැති, ඓතිහාසික ජේසුන් හට පුද්ගලික සම්බන්ධයක් නොමැති, මෙම බාහිරින් පැමිණි පුද්ගලයා පෙනී සිටියේ එකම එක – ඔහුට සාපේක්ෂව – ‘සත්‍යයක්’ වෙනුවෙනි: ක්‍රිස්තූන් උත්තානය විය. මෙම රැඩිකල් අර්ථකථනයට අනුව ජේසුන් ගේ ජීවිතය, ඉගැන්වීම් සහ එයට පෙර අතීත විශ්වාසයන් කිසිවක් තීරණාත්මක නොවීය.

ක්‍රිස්තූන් උත්තානය  සමග සියල්ල වෙනස් වී තිබේ. එනිසාම, එයට පෙර තිබූ ලෝකයේ කිසිවක් තවදුරටත් තබා ගැනීම සඳහා තර්කයක් නොමැති වේ. සමාජ නීතිය මගින් බෙදා වෙන් කර තිබූ අනන්‍යතාවයන් මෙම නව සත්‍යය හමුවේ අරුත්සුන් දේ බවට පත්ව තිබේ. පාවුළු ගේ කිතු දහම, ඉතාම සංක්ෂිප්ත ලෙස දක්වන්නේනම්, එසේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පොරොන්දු දේශය යනු තවදුරටත් ඊශ්‍රායලය කේන්ද්‍ර කරගත් දෙයක් නොවීය. එය තෝරාගත් විශේෂ ප්‍රජාවක් වෙනුවෙන් තිබෙන්නා වූ වරප්‍රසාදිත භූමියක් නොව මුළු ලෝකයම – විශ්වයම – ඇතුලත් වන්නකි – එනිසාම එය කිසිදු භූගෝලීය පොළොවක් නොවන්නකි. පාවුළු ගේ ජනප්‍රිය සූත්‍රගත කිරීම අනුව කියන්නේනම්, තවදුරටත් යුදෙව්වන් මෙන්ම අනෙක් ජාතීන්ද, වහලුන් මෙන්ම නිදහස් මිනිසුන්ද, පිරිමින් මෙන්ම ගැහැණුන් ද නොමැති වේ. මන්ද ජේසුස් ක්‍රිස්තූන් තුළ මේ සියල්ල එක හා සමාන වේ. ඔබ ක්‍රිස්තූන් ට අයත් වන්නේනම්, ඔබ එබ්‍රහම් ගෙන් පැවත එන්නෙක් වන අතරම ඔහුට ලබා දුන් පොරොන්දුවේ උරුමක්කාරයෙක් වෙයි. මේ සඳහා ඔබ ට ඓතිහාසික ඒබ්‍රහම් වෙත ලේ ඥාතීත්වයක් – ‘ඒබ්‍රහම්ගේ ලේ’ – අවශ්‍ය නොවේ.

වෙනත් ආකාරයකට කියන්නේනම්, පාවුළු විසින් කරන්නේ විශ්වීයත්වයේ සාමූහිකයක් තැනීමේ න්‍යායික කොන්දේසි විමසා බැලීමයි. ඇලේන් බදියූ ගේ “Saint Paul – The Foundation of Universalim” කෘතියේ මූලික තිසීසය වන්නේ මෙයයි. මේ ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම විශිෂ්ට ලියවිල්ල කියවීමේ අභ්‍යාසය මග හැර යා නොහැක. නමුත් මෙමගින් බදියූ පෙන්වා දීමට තැත් කරනා මූලික අත්දැකීම විකල්ප දේශපාලනය සමග අභිමුඛ වී තිබෙනා ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. මෙම අත්දැකීමේ ඉතිහාසය තුළ බොහෝ විට පුද්ගලික පරිවර්තනයක් සිදු වූ මොහොතක් හඳුනා ගත හැකිය. අපගේ තරුණ වියේ එක් මොහොතක කිසියම් පුද්ගලයෙකු විසින්, අහඹු හමුවක් විසින්, අපව මෙම විකල්ප ලෝකය වෙත අතහැර දමා තිබේ. එය සොයා යාමටත්, එම ලෝකය පිළිබඳව තොරතුරු දැන ගැනීමටත් අප උත්සාහ කළේ මෙම හැරවුම් ලක්ෂ්‍යය නිසාය. එමගින් අපට සමාජ පිළිවෙල මගින් හඳුන්වා දෙන සම්බන්ධතාවයන් වලට විකල්ප වූ වෙනත් සම්බන්ධතා ලෝකයක් ගොඩ නැගීමට හැකි විය.

එම ලෝකයේ වටිනාකම එයින් බාහිරව සිටිනා කෙනෙක් හට පහදා දීම එතරම් පහසු නොවේ. නමුත් එහි අභ්‍යන්තරත්වය තුළ සිට බැලූ විට එහි නිරවද්‍යතාවය පිළිබඳව සැකයක් ඇති නොවේ. සියලු වෙනස්කම් ඉක්මවමින් ගොඩ නගන එම සාමූහිකත්වය සමාජයේ පිළිගත් ජීවන ඉලක්ක – මුදල් හම්බ කිරීම, ජනප්‍රිය වීම ආදී ලෙස – මගින් නඩත්තු කරනා දෙයක් නොවේ. එය නඩත්තු වන්නේ එයට වඩා බැරෑරුම් ‘දෙයක්’ මගිනි – බදියූ විසින් සත්‍යය යනුවෙන් නම් කරන්නේ මෙයයි.

පාවුළු යනු, බදියූ ට අනුව, මෙම විශ්වීයත්වය ප්‍රථම වරට න්‍යායගත කළ චින්තකයාය. මේ මගින් අපට කොමියුනිස්ට් සමාජය සහ පොරොන්දු දේශය අතර ගොඩ නගන අති සරල සම්බන්ධය පිළිබඳව තරමක් වෙනස් කතාවක් කියන්නට ඉඩ ලැබේ. ඔව්, ක්‍රිස්තියානි පොරොන්දු දේශය සහ කොමියුනිස්ට් සමාජය අතර සම්බන්ධයක් තිබේ. එපමණක් නොව එම පොරොන්දු දේශය සහ ප්‍රේමවන්තයින් යුවලකගේ ආදරය, රැඩිකල් කලා ව්‍යාපෘතියක් සමාජයේ පිහිටුවීමට ගන්නා මහන්සිය මෙන්ම විද්‍යාත්මක චින්තනයේ ඇති අනාගතවාදය අතරත් සම්බන්ධයක් තිබේ. නමුත් ඒ ඔබලා කියන අදහසින් නොවේ. ඔබලාට අනුව කොමියුනිස්ට් සමාජය පිළිබඳ අදහස පොරොන්දු දේශය පිළිබඳ ආගමික අදහසට යා කිරීමෙන් සිදු වන්නේ එය ‘මිත්‍යා විශ්වාසයක්’ දක්වා පහතට හෙළීමයි. නමුත් පාවුළු විසින් සිදු කරන්නේ මිත්‍යා විශ්වාසයක් ලෙස තිබූ අදහසක් නිරාගමික වූ සත්‍යයන් ගේ විශ්වීය පදනම ලෙස යළි අර්ථකථනය කළ හැකි ආකාරය පෙන්වා දීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම් ‘පොරොන්දු දේශය’ සහ ‘කොමියුනිස්ට් සමාජය’ අතර සම්බන්ධයක් තිබෙන්නේ, ඉන් පළමුවැන්න රැඩිකල් ලෙස නිරාගමික ලෙස අර්ථකථනය කළ හැකි වන නිසාය. එම අර්ථකථනයට අනුව ‘පොරොන්දු දේශය’ කිසිදු ආකාරයකට ජේසූන් ගේ ඉගැන්වීම් සමග හෝ යුදෙව් ආගම සමග හෝ සම්බන්ධ කළ හැකි දෙයක් නොවේ. එය සම්බන්ධ වෙන්නේ ජීවිතය වෙනස් කරනා සිදුවීම් සමගයි. මුණගැසීම් සමගයි. ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් සමගයි. සමහරවිට පරණවිතානට තමන්ගේ අතීතය දෙස හැරී බැලීමෙන් මෙම අදහස අවබෝධ කරගත හැකි වනු ඇත.

පාවුළු ගේ ඉමහත් ජනප්‍රිය වැකියේ සංකීර්ණත්වය එහිදී ඔහුට වැටහෙනු ඇත: දෙවියන්ගේ ලෝකය ඔබ වෙත පැමිණෙනු ඇත්තේ රාත්‍රියේ නිවසට ඇතුළු වන සොරෙකු සේය. නිහඬවම. හදිසියේම. බලාපොරොත්තු නොවන මොහොතකදී.

එනිසා, පාවුළු වෙනුවෙන්, නිරාගමිකයන් ලෙස, මෙසේ කිව යුතුව තිබේ: ඔබ සැමට සුභ නත්තලක්!

Advertisements