ලයනල් වෙන්ඩ්ට්, දැරණියගල, ක්ලේසන්, කීට්, බීලිං වැනි තවත් කලාත්මක චරිතවලින් සමන්විත වූ ශාස්ත්‍රාලීය කලා සංවාදය තුළ අමතක කළ නොහැකි “43 කණ්ඩායම”, මේ පොළවෙහි වියුක්ත චිත්‍ර කලාව පිළිබද සංවාද වල දී අමතක කළ නොහැකි එච්.ඒ.කරුණාරත්න වැනි චරිත, එලෙස ම තවදුරටත් යාම තුළ හමුවන ජගත් වීරසිංහ, 1992 දි කළ කාංසාව නම් ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනය, චන්ද්‍රගුප්ත තේනුවර, ටී.ශනාතනන් එ් වගේම බන්දු මනම්පේරි, අනෝලි, පාල පොතුපිටිය වැනි කලාත්මක චරිත, කලා නිර්මාණ, කලා ප්‍රදර්ශන ආදි ලෙස තවදුරටත් එකි නොකී කලාව හා නොවෙන්වුණ භාවය තුළ ඉදිවුණ කලා සංධිස්ථාන පසුකරමින් එන පරිසරයකි. මෙන් ම දීර්ඝ කාලයක සිට විවිධ ශානරවල කලාත්මක නිර්මාණ, ප්‍රදර්ශන පැවැත්වෙන තීර්ථ රෙඩ් ඩොට් ගැලරිය, සස්කියා ෆර්නෑන්ඩු ගැලරිය, බෙයාෆූට් ගැලරිය, ලයනල් වෙන්ඩ්ට් ගැලරිය, ජේ.ඩී.ඒ ගැලරිය, සපුමල් පදනම වැනි ගැලරි අවකාශ පවතින සන්දර්භයක් තුළ දී බුද්ධිමය සංවාදය සදහා වන දිශානතික නොවෙන්කරන සුළු සාධක, කාරණා නිර්මාණය වේ. අවම ලෙස සහෘද පැවැත්මක් වන මටවත් බුද්ධිමය කතිකාව තුළදී මෙම කලාත්මක සාධක මගහැර යා නොහැකි තරමටම දිශානතිගතවත් වෙන්කළ නොහැකිසුළු ලක්ෂණ ආරෝපණය සිදුවීම තවදුරටත් වන දෙයකි .

15748349_1274639292616822_951999311_o

ඒ ආකාරයට සහෘදයකු ලෙස කළ ඉතා කෙටි මෙන් ම සරල විස්තර කිරීමෙන් අනතුරුව මේ පොළවෙහි සිදුවුණු කලාත්මක සිදුවීමක් කතා නොකොට යා නොහැක. එනම් හෙවත් මේ දෙසැම්බරයේ විසි වන දිනයෙන් අවසන් වුණු දේශීය මෙන් ම විදේශීය කලාව කෙරෙහි ආසක්තිත ජන ප්‍රජාවක් කොළඹ නගරය වෙත කේන්ද්‍ර ගත කළ “කලම්බො ආට් බියනාලේ 2016” (Colombo Art Biennale 2016) නම් කලාත්මක සිදුවීම් මාලාවයි. විදේශීය රටවල ජනතාවත් කුතුහලයෙන් කියවගන්නා ප්‍රදර්ශනයක් වන මෙ ආට් බියනාලේ වසර දෙකකට වරක් පැවැත්වෙන්නකි. මේ වසරේම “කම්පාලා ආට් බියනාලේ” ත් පැවැත්වුණ අතර එය ඔක්තෝබරයේ දි නිම විය. ඒ වගේම “සිංගප්පූරු ආට් බියනාලේ” ත් එලෙස එවැනි තවත් විශ්වීය ලෙස කලාව කෙරෙහි නොවෙන්කරනසුළු ලෙස ජනතාවට වැදගත් ප්‍රදර්ශන වලට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේ ආකාරයට සිව්වන වරටත් පැවැත්වූ කලම්බො ආට් බියනාලේ කලා ප්‍රදර්ශනයෙහි චිත්‍ර, මූර්ති, ස්ථාපිත කලා නිර්මාණ, ශබ්ද කලා නිර්මාණ, නිරූපණ කලා නිර්මාණ, වාස්තු නිර්මාණ, ග්‍රාෆික චිත්‍ර වගේම කලාව පිළිබදව අධ්‍යයන කව ආදි ලෙස විවිධ දේශීය විදේශීය කලාකරුවන් 73 දෙනෙකුගෙ නිර්මාණ වලින්  යුක්ත ව සිදුකළ මේ ප්‍රදර්ශන මාලාව කලාව වෙත ආසක්තිත ජනතාවට වැදගත් මෙන් ම හොද අත්දැකීම් බොහොමයක් ලබාදුන් සිදුවීම් මාලාවක් ලෙස දැක්විය හැක.

ශ්‍රී ලංකාවේත් පුත්තලම, යාපනය, ගම්පහ ආදි ලෙස විවිධ ප්‍රදේශවලින් පැමිණි කලාකරුවන්ගේත් එ වගේම රටවල් විසි තුනකගෙන් පැමිණි කලාකරුවන් සහභාගිත්වයක් තිබුණු මෙවර කලම්බො ආට් බියනාලේ ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ, ගෘහ නිර්මාණාත්මක ව වැදගත්, ඉදි වෙමින් පවතින එලෙස ම ගරාවැටෙන්න නියමිත ස්ථාන, හෝටල්වල ඒ ආකාරයට විවිධත්වයකින් යුක්ත ස්ථානයන්හි මෙය පැවැත්වුණි. සිව්වැනි වරටත් පැවැත්වුණු මෙහි කලාත්මක පැත්තහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ “අනුශ්කා හෙම්පෙල්” (Annoushka Hempel) ය. එ් වගේම මෙ කලා ප්‍රදර්ශනයෙහි ප්‍රධාන අභිරක්ෂක (lead curator) ලෙස කටයුතු කළෙ අල්නූර් මිතා (Alnoor Mitha) ය .මීට සහභාගි වුණ කලාරුවන් ගැන කෙටියෙන් කතා කරද්දි ජපන් චිත්‍රවල ආභාශයක්, ලා පැහැයන් භාවිතකර ඇතියුරු දක්නට ලැබෙන චිත්‍ර දක්වා තිබූ පකිස්ථානයේ සයිමා රශීද් (Saima Rasheed), එ් වගේම එක්සත් ජනපදයෙන් පැමිණි ශයිලා කුමාරි බර්මන් (Chila Kumari Burman), හර්දීප් පන්ඩල් (Hardeep Pandhal) තවත් එක්සත් ජනපදයෙන් පැමිණි කලාත්මක චරිත පැමිණ තිබුණි. ශයිලාගෙ මිශ්‍ර මාධ්‍යෙන් කර තිබුණු කලා නිර්මාණය දෘශ්‍ය කලා විශ්ව විද්‍යාලයෙ පිහිටි ජේ ඩී ඒ පෙරේරා ගැලරියෙ ප්‍රදර්ශනය කර තිබුණි. එමෙන් ම හර්දීප් ගෙ ග්‍රාෆික චිත්‍ර (Graffiti arts) ප්‍රානා ලෝන්ජ් (Prana Lounge) එකේ ප්‍රදර්ශනය කර තිබුණි.එවගෙම විවිධ ශබ්ද කලා නිර්මාන,ස්ථාපිත කලා නිර්මාණ (installation artworks) මෙන්ම ප්‍රතිබිම්බ කලානිර්මාණ (image arts), බන්ගලාදේශයෙ සිට පැමිණි සම්සුල් අලාම් (Samsul Alam) වැනි අයගෙ ඡායාරූප, රීනා කල්ලට් (Reena Kallat), මිතූ සෙන් (Mithu Sen) පුෂ්පමාලා වැනි ඉන්දීය කලාකරුවන් ගෙ කලානිර්මාන,ක්‍රිස්ටිනා රොද්‍රිගෝස් (Cristina Rodrigues) වැනි පෘතුගාලයෙන් පැමිනි කලාකරුවා ගෙ යම් ආගමික අරුතක් ජනනය කරන බවක් කියවෙන කලානිර්මාන, ඇගේ කලා නිර්මානණය කතා ඩ්‍රල් පල්ලියෙ ප්‍රදර්ශනය කෙරුණි. ෆින්ලන්තයෙන් පැම්ණි ක්‍රිස්ටිනා සද්ලරෝවා (Kristina Sedlerova) ඉතාලිය සිට ආ ලින්ඩා ජැස්මින් (Linda Jasmin) වැනි එකි නොකී  තවත් විදෙශීය කලාකරුවන්ගෙ කලා නිර්මාණවලින් ද  ශ්‍රි ලංකාවේ අනෝලි පෙරේරා වැනි මෙහි ලංකාවේ කලා ඉතිහාසයෙ පවා කියවෙන චරිත මෙන් ම පූර්නිමා ජයසිංහ, චින්තක තේනුවර, ප්‍රදීප් තල්වත්ත, යාපනයෙන් ආ සවේසන් නල්ලයියා, පුශ්පකාන්තන්, විජිතරන් වැනි එකී නොකී තවත් ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ කලානිර්මාණ, තීර්ථ නිරූපණ කලා නිර්මාණ, ගෘහ නිර්මාන අධ්‍යයන කව ද විවිධ ස්ථාන වල කල්ම්බො ආට් බියනාලේ ප්‍රදර්ශන මාලාව තුළ සති කීපයක් පුරාවට කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වුණි.

මෙලෙස පැවැත්වුණ කලම්බො ආට් බියනාලේ 2016 වන මෙවර ප්‍රදර්ශනයට ඔවුන් ගෙන ආ තේමාව වන්නේ “අවකාශය” කේන්ද්‍රගත ව ය. නමුත් ඔවුන් බැරෑරුම් ලෙස සංවාදය ට නොගෙන මගහැරීයන කාරණාව ලෙස ද අවකාශය පිළිබද සාධකය දැක ගත හැකි වේ. ප්‍රකාශමානී තලය තුළදි යම් කෙනෙකුට ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ නිදසුන් ලෙස රජ්නි පෙරේරා ගේ ස්ථාපිත කලා නිර්මාණය තිබුණු පිටකොටුවේ පරණ ටවුන්හෝල් එක වැනි ස්ථානවල හා විවිධත්වයකින් යුතු වෙනත් ස්ථානවල මෙවර ආට් බියනාලේ ප්‍රදර්ශනය සිදු කිරීම යන්න ගැන කිව හැකි වුද, කලම්බො ආර්ට් බියනාලේ හි කිසිවෙකුටත් අවකාශය නම් කාරණය පිළිබද වන සංකීර්ණ හා පුළුල් දාර්ශනික කතිකාව පිළිබද හෝ බැරෑරුම් දාර්ශනික කාරණා ගෙන නො ඒම දරුණු මගහැරීයාමක් හෝ මගහැරීමක් ලෙස දැක්විය හැක. පුළුල් ලෙස දර්ශනයෙ ඉතිහාස ගලා ඒම තුළ සංවාදයන්හි සන්දර්භය වූ අවකාශය පිළිබදව දාර්ශනික සාකච්ඡාවන් හරහා ම බරපතල ප්‍රවේශයක් ලබගැනීමට හොද අවකාශයක් තිබුන ද එය සිදු නොවුණි.

අවකාශය නම් කාරණය තේමාවක් වීම තුළ කාටිසියානු දර්ශනය තුළින් ද පුළුල් ප්‍රවේශයක් ගැනීමෙ හැකියාව තිබුණි. රෙනේ ඩෙකාට් (Rene Descartes [1596-1650]) නම් නූතන බටහිර දර්ශනයේ ආරම්භක චින්තකයා ලෙස දැක්වෙන ඔහු විසින් අවකාශය පිළිබදව ගොඩනගන පාඨකයකුට ද නිදසුනක් ලෙස දැක්විය හැක. රෙනේ ඩෙකාට් ගෙන එන ඔහුගේ දර්ශනය තුළ ප්‍රධාන මූලික දේවල් තුනක් ඔහු දක්වනු ලැබුවා, එනම් “දෙවියන්” හෙවත් අපරිමිත දෙය (Infinite thing), පාරිශුද්ධ පැවැත්ම, “කොජිටෝ” (Cogito) හෙවත් සිතනා දෙය (thinking thing) සහ “භෞතික දෙය” හෙවත් ව්‍යාප්තිත දෙය කියන මූලික හරයන් ත්‍රිත්වය වේ. ඩෙකාට් ගෙ “Meditations on First Philosophy” නම් කෘතිය තුළින් මේ කාටිසියානු හරයන් ත්‍රිත්වය පිළිබද සංකීර්ණ ලෙස බුද්ධිමය සංවාදයට ගනී. (සරලව දැක්වීමෙ දි වැරදි ලෙස පාඨකයකුට අල්වාගැනීමෙ වියහැකියාවය ද සමන්විත වේ) එහිදී ඩෙකාට් ගෙ දාර්ශනික රචනා තුළ අවකාශය පිළිබද කියවෙනයුරු සරල ව දක්වනවා නම් වස්තූන්ගෙන් පිරුණු හිස් ඉඩක් වැනි අරුතක් කියවේ, මෙය ඉතා පුළුල් කතිකාවක් තුළ තිබෙන්නකි, යමෙකුට ඒ ආකාරයෙ දාර්ශනික ප්‍රවේශයක් ඔස්සේ ද එලබීමේ ඉඩ කඩ තිබේ.

එසේත් නොවේ නම් අවකාශය නම් කාරණය සංකීර්ණ තර්ක ගොන්නකට බදුන් වන දර්ශනයක් ගොඩනැගූ දාර්ශනිකයකු ලෙස එනම් දාර්ශනික අර්ථයෙන් කිසිවිටෙක බැහැර කිරීමකට ලක් නොකළ හැකි විසිවන සියවසේ ශ්‍රේෂ්ඨතම චින්තකයා ලෙස හදුන්වාගන්නා “මාටින් හෛදෙගර්” ( Martin Heidegger[1889-1976]) නම් චින්තකයා ව දැක්විය හැකිය. ඔහු විසින් රචනා කරන ලද දාර්ශනික ඉතිහාසය තුළ ප්‍රධාන “Being & Time” (පැවැත්ම සහ කාලය) නම් කෘතිය, මෙවන් බුද්ධිමය සංවාද තුළ දි කිසිවිටක අමතක කර යා නොහැක. මේ “Being & Time” කෘතියෙ හි හෛදෙගර් විසින් පවතිනවා, තියෙනව, ඉන්නවා යන්න තුළ සැගවුන “පැවැත්ම “ කියන කාරණය දරුණු ලෙස බුද්ධිමය ප්‍රශ්න කිරීමකට ලක් කරයි. එහිදී ඉතා දීර්ඝ ලෙස පැවැත්ම, තම පැවැත්ම ප්‍රශ්නකාරි වූ හෙවත් සාංදෘෂ්ටිකත්වය  (Existence) අයත්වන පැවැත්ම වන හෛදෙගර් ගෙන එන “ඩාසයින්” නම් සංකල්පය (Da -ඔතන Sein-පැවැත්ම ,මෙය ජර්මන් වචනයක් වුද හෛදෙගර් විසින් ඊට බැරෑරුම් දාර්ශනික බරක් ගර්භිත කරයි), එලෙස ම ඩාසයින් යන්න අනිවාර්යයෙන් ම කාටිසියානු අරුත් ඉක්මවා යන, වෛශිකත්වය ඉක්මවා යන ලෝකයක් තුළ පවතින බව, හෛදෙගරියානු දර්ශනයහි දක්වන පරිදි දැනුම ලබාගැනීමට නම් එලෙස ලෝකයක් තුළ පැවතිය යුතුය. ඒ ආකාරයට වාස්තවික නොවන ලෝකයක් තුළ පැවතීමෙ දි අභිමුඛවීම් සිදුවීම සහ ඒ සදහා ඩාසයින්ට ඇති දිශානතික බව නොවෙන්කරනසුළු බව ආදි මානයන්ට අසුනොවන මාවත් ඔහු සද්භාවවේදි තර්ක කිරීමට ලක් කරන අතර එහිදි එතුලින් දාර්ශනික සංකල්ප නිර්මානය වීම, ඉතා පුළුල් ව අවකාශය යන්න කියවීමකට ද ලක්වීම සිදුවේ. එලෙස සද්භාවවේදි සුත්‍රගතකිරීම් තර්කනයන් තුළ අවකාශියත්වය (Spatiality), ඩාසයින් ගෙ අවකාශියත්වය (Dasein’s Spatiality), අවකාශය (space) ආදි කාරණා ඉතා දීර්ඝ ලෙස දාර්ශනික විමර්ශනයට ලක් කිරීම හෛදෙගර් විසින් ඔහුගේ බැරෑරුම් ගවේශනය තුළ දී සිදුකරනු ලබයි, එය ඔහු ලියූ දාර්ශනික රචනා වලින් පැහැදිලි වන්නකි. හෛදෙගරියානු දර්ශනය තුළ දි කාටිසියානු අවකාශය පිළිබද අදහස ඉක්මවන දාර්ශනික සුත්‍රගතකිරීමක් තුළ අවකාශය යන්න සුත්‍රගතකරනු ලබයි. හෛදෙගර් ගෙ අවකාශය පිළිබද අදහස රැඩිකල් ලෙස කිසිසේත්ම ඩෙකාට්ගෙ අවකාශය යන්න නොවේ. රැඩිකල් ලෙස කෙටි කර මෙලෙස දැක්වීම් සිදු කළ ද පුළුල් ව මෙම දාර්ශනික කාරණා ඔස්සේ යා යුතු මෙන්ම යා හැකි තරමටම සූක්ශම ය.

මෙලෙස මෙම පුළුල් දාර්ශනිකයන් හා දාර්ශනික කෘති පිළිබද ව මෙලෙස කෙටියෙන් සරලව දාර්ශනික රචනාවන්හි ඉතා ස්වල්පයක් දක්වනු ලැබුවෙ එ ඔස්සේ අවකාශය නම් වූ කාරණය දාර්ශනික කියවීමකට ලක්කිරීමෙ විශාල අවකාශයක් සදහා බැරෑරුම් ප්‍රවේශයන් පවතින බව අභිමුඛ කිරීමට ය. ඒ ආකාරයට අවකාශය යන්නම කේන්ද්‍රීය කොටගෙන සිදුකළ කලම්බො ආට් බියනාලේ හි බැරෑරුම් ප්‍රශ්න බැරෑරුම් ව නොගැනීම තුළ නිරුත්සාහකව ම අඩුවක් නිර්මාණය වීම නොවැළැක්විය හැක.

– ප්‍රබුද්ධ දික්වත්ත.

Advertisements