Green and Purple Painting with Blue Disc : May 1960 1960 by Patrick Heron 1920-1999

දෙමළ ජාතික අරගලය සම්බන්ධයෙන් නලින් ද සිල්වා ඉදිරිපත් කර තිබෙන ප්‍රවාදය යනු එම අරගලයට විරුද්ධ, සිංහල-බෞද්ධ ජාතිකවාදය නියෝජනය කරන දේශපාලන කුලකයේ සිටිනා, බුද්ධිමය උනන්දුවක් ඇති අය අතර වඩාත්ම ජනප්‍රිය ප්‍රවාදයයි. දෙමළ ජාතික අරගලය වෙනුවෙන් පෙනී සිටිනා සහ, අවම වශයෙන්, දෙමළ ජාතික අරගලය අතරමැදි සම්මුතියකින් විසඳිය යුතුයැයි විශ්වාස කරනා පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් කළ යුතු එක කාර්යභාරයක් ලෙස හඳුනා ගත හැක්කේ මෙම ප්‍රවාදයේ තිබෙනා අර්බුධය පෙන්වා දීමයි. මෙම කෙටි මැදිහත්වීම මගින් උත්සාහ කරන්නේ එම කර්තව්‍යය වෙත දායකත්වයක් ලබා දීමටයි.

පළමුවෙන්, ඉතාම සංක්ෂිප්ත ව, නලින් ද සිල්වා ගේ ප්‍රවාදය කුමක්ද කියා අපි බලමු.

‘දෙමළ ජනයා මෙරටට පළමුවෙන් ගෙන එන්නේ ලන්දේසි පාලන සමය තුළ, උතුරු නැගෙනහිර දුම්කොළ වගාව සඳහා කෘෂි කම්කරුවන් ලෙසයි. රාජ්‍ය වෙනත් ආකාරයකට කියන්නේනම්, ඔවුන් මෙරට ඓතිහාසික පදිංචිකරුවන් නොවේ. එනිසා ම මෙරට රාජ්‍ය පාලනයේ අයිතියක්, ඓතිහාසික අරුතින් ගත්විට, ඔවුනට නොමැති වේ. අනෙක් අතට සිංහල ජනයා යනු මේ රටේ සමස්ත ලිඛිත ඉතිහාසය පුරා හඳුනා ගත හැකි, මේ රටෙන් ම සම්භව වූ, මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගු ජාතිය වෙයි. එම අරුතින් ඔවුන් ‘ජාතිය’ නම් දේශපාලන සාමූහිකය ලෝකයේ ප්‍රථම වරට නිර්මාණය කළ සමාජයන් වලින් එකකි. යුරෝපීය ජාතිකයන් විසින් බලයෙන් අත්පත් කරගන්නේ සිංහල ජාතිය විසින් ගොඩනැගු රාජ්‍යයයි.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 19 වන සියවසේ ඔවුනට ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයක් ලබා දීමේ දී දෙමළ සහ සිංහල ප්‍රජාවන් දෙකේ ඉතිහාසය සිතා මතා අමතක කරයි. මෙම රටට ඓතිහාසික සම්බන්ධයක් නොමැති දෙමළ ජනයාටත්, මෙරටෙහි ඓතිහාසික රාජ්‍යය ගොඩ නැගූ සිංහල ජනයාටත් බ්‍රිතාන්‍යයන් විසින් ලබා දෙනු ලබන්නේ සම ස්ථානයකි. මෙයට ආසන්න හේතුව වන්නේ මෙරට ස්වදේශීය ජනයා බෙදා පාලනය කිරීමේ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියයි. විශේෂයෙන් 1818 කැරැල්ල නිසා මෙරට බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රතිරෝධයක් ජනනය විය හැක්කේ සිංහල ජනයාගෙන් නිසා ඔවුන්ට එරෙහිව වෙනත් ජනවර්ගයක් වෙත මෙරට රාජ්‍ය පාලනයේ හවුල්කාරකම ප්‍රදානය කිරීමේ අවශ්‍යතාවයක් යටත් විජිත පාලකයන්ට ඇති විය. අඩුවැඩි වශයෙන් අඛණ්ඩ ව වර්ධනය වූ මෙම ප්‍රවනතාවය, ප්‍රථම වරට අභියෝගයට ලක්වන්නේ විසිවෙනි සියවසේ සර්ව ජන ඡන්ද බලය ලබා දීමත් සමගයි. එය පරිසමාප්තියට පත්වන්නේ බ්‍රිතාන්‍යය මෙරට ඍජු පාලනයෙන් ඉවත් වීමත් සමග වේ. මෙයට ආසන්න කාලයක් වන තුරු මෙරට දෙමළ දේශපාලන නායකත්වයෙහි අරමුණ වූයේ බ්‍රිතාන්‍යයන්ගෙන් පසුව ලාංකික රාජ්‍යයේ දේශපාලන බලය ලබා ගැනීමයි. නමුත් 1938 වන විට චෙල්වනායගම් වැනි බුද්ධිමත් දෙමළ දේශපාලන නායකයන් වටහා ගෙන තිබුනේ සිංහල බහුතරයක් සිටිනා සමාජයක කෙදිනකවත් දෙමළ දේශපාලනඥයන් හට – මධ්‍යයේ – රාජ්‍ය බලය හිමි නොවන බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් ගේ ඍජු, දෘශ්‍යමාන පාලනය තුළ දෙමළ ප්‍රභූන් අත්විඳි බලය ඔවුන්ගෙන් ගිලිහී යාම අනිවාර්ය විය. මෙයට විසඳුම ලෙස, මේ අනුව, ගෙන එනු ලැබුවේ උතුරු නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ඇති කිරීමේ දේශපාලන යෝජනාවයි. එවිට, නැවතත්, ප්‍රභූ දෙමළ නායකයන් සතු වූ බලතල ඔවුනට හිමි වනු ඇත. ස්වයං පාලනයක් ඉල්ලා උතුරේ ජනයා මහපාරට බැස්සුවේත්, පසුව දෙමළ තරුණයන් අතට ආයුධ ලබා දුන්නෙත් මෙම ප්‍රභූ නායකයන් ගේ උනන්දු කරවීම සහ උසි ගැන්වීම මගිනි. නමුත් සත්‍ය වශයෙන්ම සාමාන්‍ය දෙමළ මිනිසුන්ට ප්‍රශ්නයක් – දෙමළ වීම නිසාම ඇති ව තිබෙන විශේෂ ප්‍රශ්නයක් – නොමැති විය. ප්‍රශ්නය තිබුනේ දෙමළ ප්‍රභූ නායකත්වයට තමන්ට හිමිව තිබූ දේශපාලන බලය අහිමි වීමේ වේදනාවයි. නමුත් එය අසාධාරණ අහිමි වීමක් නොවීය. සිදු වූයේ මෙරට ඉතිහාසයට අනුව රටේ නියම උරුමක්කරුවන් වූ සිංහලයන්ට එහි පාලනය – අර්ධ වශයෙන් හෝ – හිමි වීමයි. එනිසා මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසාම කිසිදු ප්‍රශ්නයක් නොමැති වේ.

මේ අනුව දෙමළ ජනයා කුපිත කරවා, පාරට බස්සවා – අතීතයේදී ඔවුන් අතට ආයුධ ලබා දී – ඔවුනට නොමැති ප්‍රශ්නයක් තිබෙනා බව හඟවා තිබෙන්නේ දෙමළ ප්‍රභූ නායකත්වයයි. මෙයට අවශ්‍ය සහය අතීතයේදී ලබා දුන්නෙත්, අද ලබා දෙන්නෙත් බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර ලෝකයයි. මෙයට හේතුව වන්නේ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය බිඳ වැට්ටවීමයි, විනාශ කිරීමයි. බටහිර නූතනවාදයේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදයට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ මේ සිංහල බුද්ධාගම ඇතුළු ථේරවාද බෞද්ධ සංස්කෘතීන් වේ. ලෝක දේශපාලනයේ ‘විශාල සිතියම’ වන්නේ මෙම බටහිර නූතනත්වය සහ එයට අභියෝග ලෙස එල්ල වන විකල්ප සංස්කෘතික අභියෝගයන්ය. දෙමළ ජාතික අරගලය යනු මෙම ලොකු සිතියම තුළ සිටිනා එක් පාර්ශවයක් – බටහිර නූතනත්වය – විසින් තවත් පාර්ශවයක් – සිංහල බෞද්ධ සංස්කෘතිය – දුර්වල කිරීමට යොදා ගන්නා ඉත්තෙක් පමණි. අප දෙමළ ජාතික අරගලය පැරදවිය යුත්තේ මේ විශාල සිතියම සිහියේ තබාගෙන වේ.’

විසිවෙනි සියවස පුරා ක්‍රමිකව වර්ධනය වූ දෙමළ ජාතික අරගලය තේරුම් කර දීම සඳහා මෙම ප්‍රවාදය අපට සුදුසු සංකල්පීය රාමුවක් ලබා දෙන්නේද? මෙම රචනය මගින් පෙන්වා දීමට උත්සාහ කරන්නේ එය එසේ නොවන බවයි. නමුත් අප මෙහිදී උනන්දු වන්නේ මෙම ප්‍රවාදයේ තිබෙනා සීමාව නලින් ද සිල්වාගේම අවශේෂ අදහස් ඇසුරින් විමසා බැලූ විට ඒ පිළිබඳව පැමිණි හැකි තක්සේරුව වන්නේ කුමක්ද යන්න සොයා බැලීමටයි. වෙනත් ආකාරයකට කියන්නේනම්, නලින් ද සිල්වාගේ දාර්ශනික අදහස් මත සිට දෙමළ ජාතික අරගලය පිළිබඳ ඔහුගේ ප්‍රවාදය විමසා බැලූ විට අපට පැමිණි හැකි නිගමනය වන්නේ කුමක්ද? අප වඩාත් උනන්දු වන ප්‍රශ්නය වන්නේ මෙයයි.

‘පට්ටපල් බොරු’ පිළිබඳ නලින් ද සිල්වා ගේ ජනප්‍රිය අදහස දැන සිටිනා ඕනෑම කෙනෙක් හට මෙම සම්බන්ධය වටහා ගැනීම එතරම් අපහසු නොවේ. එයට අනුව අපට සාමාන්‍යයෙන් ලෝකය යනුවෙන් හඳුනා ගන්නා දේ පිළිබඳ තිබෙනා සියලුම ආකාරයේ දැනුම බොරු දේවල් වේ. මා ඉදිරියේ වතුර බෝතලයක් තිබෙනවා කියා මට සිතීම දැනුමක් ලෙස ගන්නේනම්, එවැන්නක් මගේ මනසින් පරිබාහිරව – සැබවින්ම – නොපවතින නිසා එය බොරුවකි. නමුත් විද්‍යාත්මක ප්‍රවාදයන් සම්බන්ධයෙන් ගත්විට තත්වය මෙයට වඩා සංකීර්ණ වෙයි. පොල් ගසකින් ගෙඩියක් කැඩී බිමට වැටෙන්නේ ඇයි කියනා ප්‍රශ්නයට විද්‍යාව මගින් ලබා දෙන පිළිතුර වන්නේ එය ගුරුත්වාකර්ෂණය නිසා සිදු වන බවයි. නමුත් මා ඉදිරියේ ඇති වතුර බෝතලය මෙන් නොව ගුරුත්වාකර්ෂණය මට දැකගත හැකි දෙයක් නොවේ. එය පදනම් වන්නේ පොල් ගෙඩි පොළොවට වැටීම පිළිබඳ අපට පෙනෙන්නට ඇති අත්දැකීම ගණනය කිරීමට ගත් උත්සාහයක් මතයි. එවිට පොල් වැටෙන්නේ නොමැතිනම් ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් පවත්නා බව ඔප්පු කිරීමට අපට නොහැකි වේ. එය පොල් වැටෙනා ආකාරය පැහැදිළි කිරීමට අප විසින් ගොඩ නගා ඇති වියුක්ත කතන්දරයක් පමණි. එනිසාම, එය වතුර බෝතලය තරම්වත් අපට නිශ්චිත නොවන්නා වූ දෙයකි. එනිසා වතුර බෝතලය පිළිබඳ මට ඇති දැනුම බොරුවක්නම්, ගුරුත්වාකර්ෂණය පිළිබඳ මට ඇති දැනුම ‘පට්ටපල් බොරුවක්’ වන්නේ එම නිසාය.

ගුරුත්වාකර්ශනය පිළිබඳ ප්‍රවාදය ඇසුරින් අපට යම් යම් දේ පැහැදිළි කරගැනීමට හැකි වුවත්, එය එලෙසම තිබීම සඳහා අපට හේතුවක් පෙන්වා දිය නොහැකිය. හදිසියේම පොල් පොළොවට වැටීම වෙනුවට අහසේ පාවී යාම – එය විය හැක්කේ කෙසේද කියා සිතා ගත නොහැකි වුවත් – අපට තාර්කිකව පිළිගත හැකි තත්වයකි. වෙනත් ආකාරයකට කියන්නේනම්, පොල් පොළොවට නොවැටී අහසේ පාවී යාම අපගේ අත්දැකීම් වලට සාපේක්ෂව ගත්විට අසංගත වන්න වූ දෙයක් නොවේ. සමහර දේ අහසේ පාවී යාමේ හැකියාවෙන් සමන්විත වන බව අපි දනිමු. එනිසා පොල් – හෝ ඇපල් හෝ – පමණක් එලෙස නොවීමට අපට පරම හේතුවක් දැක්විය නොහැකිය. අප කළ යුතු වන්නේ එවැනි තත්වයක් ඇති වුවහොත් ඒ සඳහා හේතුව වන්නේ මෙයයි කියා අලුතෙන් ප්‍රවාදයක් – නිදර්ශනයක් ලෙස පෘථිවියේ ඇති වන සංකීර්ණ පාරිසරික විපර්යාසයක් නිසා පොල් ගෙඩි වල බර හොඳටම සැහැල්ලු වී යාම සහ එයට සාපේක්ෂව වාතයේ බර වැඩි වීම – ගොඩ නැගීම පමණි. නමුත් මෙවැනි තත්වයක සිට බැලූ විට ගුරුත්වාකර්ෂණය පිළිබඳ ප්‍රවාදය සඳහා කිසිදු ආකාරයක කේන්ද්‍රීයබවක් ලබා දීමට නොහැකි බව පැහැදිළි වේ. එය, උපරිම වශයෙන්, ඉතාම සීමිත වැඩ කොටසක් කර ගැනීමට අප විසින් නිපදවන ලද කතාවකට වැඩිමනක් නොවේ.

මෙම ලියවිල්ලේ සන්දර්භයේ සිට ගත්විට මෙමගින් ඉදිරිපත් කරනා අදහසේ දාර්ශනික සාරය වන්නේ මෙයයි: කිසියම් ප්‍රවාදයක් මගින් ඉදිරිපත් කරනා හේතු-ඵල සම්බන්ධතා පරම ලෙස නිවැරදි වන බව අපට සාධනය කළ හැකි නොවේ. අපට කළ හැක්කේ එම ප්‍රවාදය සහ අපට නිරීක්ෂණය කළ හැකි දේ අතර ඇති එකඟතාවය පෙන්වා දීම පමණි. මේ එකඟතාවය බිඳ වැටුණු පසු අපට තවදුරටත් එම ප්‍රවාදය විසින් යෝජනා කරන ලද හේතු-ඵල සම්බන්ධය පවත්වා ගැනීමට කිසිදු සාධාරණය තර්කයක් නොමැති වන අතර එනිසා එම ප්‍රවාදය මුළුමනින් ඉවත ලෑමට සිදු වේ.

දෙමළ ජාතික අරගලය සම්බන්ධයෙන් නලින් ද සිල්වා ගේ ප්‍රවාදය සඳහා අප මෙම තර්කය යොදා ගත්විට සිදු වන්නේ කුමක්ද? එම ප්‍රවාදය තුළ – සෑම වියුක්ත ප්‍රවාදයක ම මෙන් – හේතුඵල සම්බන්ධයන් ගණනාවක් තිබෙනා බව අපි දනිමු. අපි මේ අතරින් එක් තීරණාත්මක හේතුඵල සම්බන්ධයක් පමණක් සලකා බලමු. එනම්:

  • ස්වයං පාලනයක් ඉල්ලා සිටිනා දේශපාලනයක් වෙත දෙමළ ජනයා රැගෙනවිත් තිබෙන්නේ දෙමළ ප්‍රභූ නායකයන් ගේ ඉල්ලීම නිසාය. හේතුව : දෙමළ ප්‍රභූ අභිලාෂයන් → ඵලය : සාමාන්‍ය දෙමළ ජනයාගේ උද්ඝෝෂණ සහ සටන්.

නලින් ද සිල්වා ගේ ‘පට්ටපල් බොරු’ ප්‍රවාදය ඇසුරින් අප මෙම හේතු ඵල සම්බන්ධය විමසා බලමු.

නලින් ද සිල්වා ට අනුව සිංහල සහ දෙමළ සමාජයන් අතර තිබෙනා වෙනසක් වන්නේ සිංහල සමාජය පහළ සිට ඉහළට මෙහෙයවීමත්, දෙමළ සමාජය ඉහළ සිට පහළට මෙයහවීමත්වය. වෙනත් ආකාරයකට කියන්නේනම් මේ ප්‍රජාවන් දෙක තුළ හේතුඵල සම්බන්ධය ක්‍රියාත්මක වන්නේ දිශානතීන් දෙකකටයි. සිංහල දේශපාලන නායකයන් විසින් ක්‍රියාවට නගන අදහස්, පුළුල් අර්ථයෙන්, දීර්ඝ කාලීනව ගත්විට, උත්පාද වන්නේ සාමාන්‍ය සිංහල ජනයා තුලිනි. නායකයන් කරන්නේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීමයි. නමුත් දෙමළ ප්‍රජාව තුළ, නලින් ද සිල්වාට අනුව, දක්නට ලැබෙන්නේ මෙහි ප්‍රතිපක්ෂයයි. එහිදී සාමාන්‍ය දෙමළ ජනයා ක්‍රියාවට නගන්නේ නායකයන් විසින් ඔවුන් මත පටවා තිබෙනා දේශපාලන මතවාදයන් වේ.

දැන්, මේ අනුව කෙනෙකු විසින් ඇසිය යුතු ස්වභාවික ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට දිශානතීන් දෙකකට දේශපාලන අභිලාෂයන් ගමන් කිරීමේ හේතුව කුමක්ද යන්නයි. නමුත් නලින් ද සිල්වා ගේ ප්‍රවාදයේ තිබෙනා කේන්ද්‍රීය දුර්වලතාවයක් අපට පැහැදිළි වන්නේ මෙම නිශ්චිත ලක්ෂ්‍යයේදීය. දෙමළ ජනයා මේ ආකාරයට ‘ඉහළ සිට පහළට’ මෙහෙයවීමේ ඓතිහාසික හේතුව කුමක්ද? දෙමළ ජනයා වසර තිහක යුද්ධයක් කර, අති විශාල ජීවිත පරිත්‍යාගයන් කර තිබෙන්නේ මේ නායකයන් ගේ හඬට කන් දී, එය විශ්වාස කර, එයට රැවටුණු නිසාද? මේ සා විශාල අවධානමක් ගැනීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ ඔවුනට සත්‍ය වශයෙන්ම කිසිදු ආකාරයකට අදාළ නොවන, ඔවුන්ගේ නායකයන්ට පමණක් අදාළ වන ප්‍රශ්නයක්, ඔවුන්ගේ ප්‍රශ්නයක් ලෙස වරදවා වටහා ගැනීම නිසාද? එම යුද්ධය ප්‍රචණ්ඩ ආකාරයෙන් මර්ධනය කර පරාජය වූ පසු නැවතත් මේ වසරේ ඔවුන් නිදහස ඉල්ලා දස දහස් ගණනින් මහ පාරට පැමිණ තිබෙන්නේ මේ රැවටීම නිසාද? සාමාන්‍ය දෙමළ මිනිසුන් යනු ළදරුවන්ද?

සත්‍ය වශයෙන්ම ගත්විට අප මෙතනදී මතු කළ යුතු ප්‍රශ්නය මූලික වශයෙන් දෙආකාර වේ. එක අතකින් අප ඇසිය යුත්තේ මේ ආකාරයේ හේතුඵල සම්බන්ධයක්, එනම්, දෙමළ ප්‍රභූන් නිසා රැවටී/මංමුලා වී සිටිනා දෙමළ ජනයා පිළිබඳ අදහස, සාධනය කිරීම සඳහා ඇති සාක්ෂි මොනවාද යන්නයි. මෙය පළමු, අනුභූතික ප්‍රශ්නය ලෙස අපට සැලකිය හැකිය. නමුත් එයට වඩා ප්‍රාථමික, න්‍යායික ප්‍රශ්නය වන්නේ මෙයයි: දෙමළ නායකයන් සහ දෙමළ ජනයා අතර මෙම ‘ඉහළ සිට පහළට’ හේතුඵල සම්බන්ධය ‘පට්ටපල් බොරුවක්’ නොවේද?

අප දුටු පරිදි, නලින් ද සිල්වා ට අනුව ‘පට්ටපල් බොරු’ සහ නිකන්ම නිකන් බොරු අතර වෙනස වන්නේ මේ දෙවැනි වර්ගය අපට ප්‍රත්‍යක්ෂයෙන් දැක ගත නොහැකි වීමයි. මා ඉදිරියේ ඇති වතුර බෝතලය මට ප්‍රත්‍යක්ෂයෙන් දැක ගත හැකිය. එය – නලින් ද සිල්වා ගේ අදහස් වලට අනුව – මට අනිත්‍ය, දුක්ක අනාත්ම නොතේරෙන බැවින් ඇති වන ව්‍යාජ දැනුමක්, එනිසා ම ‘බොරුවක්’ විය හැකිය. නමුත් එය ‘විශ්වසනීය බොරුවකි’. එම බොරුව විශ්වාස කිරීමෙන් අපට වෙනත් වැඩ කර ගැනීම – පිපාසය සංසිඳවා ගැනීම වැනි – පහසු විය හැකිය. නමුත් ගුරුත්වාකර්ෂණය වැනි සංකල්පයක් අපට මේ ආකාරයට හෝ දැක ගත හැකි එකක් නොවේ. අනෙක් අතට එම සංකල්පය ඉතාම රැඩිකල් ලෙස වෙනස් වන්නා වූ ආකාරයන් වලට අර්ථකථනය වීමේ ඉතිහාසයක් තිබේ. මෙවැනි සන්දර්භයක් තුළ එම සංකල්පය අපට දැක්විය හැක්කේ නිකන්ම නිකන් බොරුවක් ලෙස නොව පට්ටපල් බොරුවක් ලෙස පමණි.

දැන්, දෙමළ නායකයන් විසින් දෙමළ ජනයා මත සිදු කර ඇති බලපෑම ද මේ ආකාරයට අපට දැක ගත හැකි එකක් නොවේ. එම ‘බලපෑම’ ගෝචර වෙන ඉන්ද්‍රීයයක් නොමැති බව අපි දනිමු. නමුත් දෙමළ ජාතික අරගලය සම්බන්ධයෙන් නලින් ද සිල්වා ගේ ප්‍රවාදයට මෙම අදහස අතිශයින් කේන්ද්‍රීය වන්නකි. එම ප්‍රවාදයට අනුව දෙමළ ජාතික අරගලයට හේතුව වන්නේ යටත්විජිත පාලකයන් යටතේ දෙමළ ප්‍රභූන්ට උරුම වූ වරප්‍රසාද අහිමි වීමයි. මේ මගින් ඇති කරන අලුත් ගැටලුව වන්නේ දෙමළ ජාතික අරගලයට සාමාන්‍ය දෙමළ ජනයාගේ සහය ලබා ගැනීමේ හැකියාව පැහැදිළි කිරීමයි. දෙමළ ප්‍රභූන්ගේ වරප්‍රසාද දිනා ගැනීමට සාමාන්‍ය දෙමළ මිනිසා මරාගෙන මැරෙන්න ඉදිරිපත් වන්නේ ඇයි? ‘ඉහළ සිට පහළට’ තර්කය ගොඩ නැගෙන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. නමුත්, සත්‍යය වශයෙන්ම, එමගින් සිදු කරන්නේ සමස්ත ප්‍රවාදය මගින් ආවරණය නොවන ස්ථානයක් තිබෙනා බව අපෙන් වසා දැමීම මිස වෙන දෙයක් නොවේ.

එම අර්ථයෙන් ගත්විට එය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සිය දහස් ගුණයකින් දුර්වල වන්නක් බව පැහැදිළි වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් – පැරණි නිව්ටන් ගේ ප්‍රවාදයෙන් පවා – අපට යම් යම් ප්‍රයෝජනවත් දේ කර ගැනීමේ ඉඩ ලබා දෙන බව නලින් ද සිල්වා විසින් අපට නිතර මතක් කර දෙනු ලබන කරුණකි. එම අර්ථයෙන් එහි කුමන හෝ ආකාරයක ප්‍රයෝජනයක් තිබේ. නමුත් ‘ඉහළ සිට පහළට’ ක්‍රියාත්මක වන දෙමළ දේශපාලනය සම්බන්ධයෙන් ඇති අදහස අපට මෙවැනි ආකාරයේ හෝ ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන්නක් නොවේ. එය එසේ වන බව පිළිගැනීම සඳහා අපට ඇත්තේ ඉතාම අපහසු කොන්දේසි ගණනකි. එක්කෝ සාමාන්‍ය දෙමළ මිනිසා යනු කිසිදු ආකාරයක දේශපාලන සවිඥානයක් නොමැති ළදරුවන් වැනි පිරිසක් විය යුතුය. එසේත් නැතිනම් ඔවුන් සිතක් පපුවක් නැති, අර්ථ විරහිත හිංසනයට ප්‍රිය කරන කුරිරු මිනිසුන් සමූහයකි. එම දෙවැනි අර්ථයෙන් ඔවුන් සමාන වන්නේ බැට්මෑන් චිත්‍රපටි වල සිටිනා ‘ජෝකර්’ වැනි චරිතයකටයි. එනිසා නලින් ද සිල්වාගේ ප්‍රාවාදය පිළිගත හැකි කොන්දේසිය වන්නේ සාමාන්‍ය දෙමළ මිනිසා කිසිවක් නොදත් ළදරුවෙක් ලෙස හෝ සුපිරි දුෂ්ඨයෙක් (super villain) ලෙස හෝ හඳුනා ගැනීමයි.

ගුරුත්වාකර්ෂණය ප්‍රවාදය වැනි දේ පට්ටපල් බොරු වන්නේනම්, එවැනි ආකාරයේ හෝ විශ්වසනීය බවක් නොමැති වන්නා වූ දෙමළ ජනයාගේ ‘ඉහළ සිට පහළට’ පාලනය වීමේ අදහස අප අර්ථ ගැන්විය යුත්තේ කෙසේද? සමහරවිට, අපට ‘සුපිරි දුෂ්ඨයා’ පිළිබඳ අදහසින් මෙයට උපකාරයක් ගැනීමට හැකිය.

අප මේ අත්දකින්නේ ‘සුපිරි පට්ටපල් බොරුවක්’ මගින් සිංහල දේශපාලනය හැසිරවීමේ සරදම්කාරී දෛවය නොවේද?

Advertisements