15841094_240795289681902_1104760214_n

අප සාමාන්‍යයෙන් ‘කාලය’ යන්න තේරුම් ගන්නේ අකණ්ඩ ව, සරල රේඛාවක් දිගේ ඉදිරියට යන මොහොතවල් වල එකතුවක් ලෙසයි. ඒ අනුව කාලය යනු ‘මේ දැන්’ (‘now’) ලෙස හඳුනා ගන්නා නිමේෂයන්වල එකතුවකි. එය අතීතය, වර්තමානය සහ අනාගතය යනුවෙන් කොටස් තුනකට වෙන් කළ හැකි වේ. අතීතය මේ වන විටත් අවසන්ව තිබෙනා ‘මේ දැන්’ ඒවා ගොඩක් වන නිසා එහි සැබෑ බවක් නොමැති අතර අනාගතය යනු තවමත් යථාභූතනොවූ ‘මේ දැන්’ ඒවා එකතුවක් නිසා එහිද සැබෑ බවක් නොමැත. එනිසා, කාලය පිළිබඳ වූ මෙම ජනප්‍රිය අර්ථකථනයට අනුව, වටිනාකමක් තිබෙනා එකම කාල මානය වන්නේ වර්තමානයයි. ‘මේ දැන්’ යන්න සත්‍ය වශයෙන්ම ‘මේ දැන්’ වන්නේ වර්තමානයේදී පමණි – වර්තමානයේ තියුණු ම ලක්ෂ්‍යයේදී පමණි. ඉතිරි සියල්ල මේ වනවිටත් අවසන්ව තිබෙනා සහ තවමත් අප ඉදිරියට පැමිණ නොමැති අභව්‍ය කාල මානයන් වේ.

තරමක් කල්පනා කර බැලූ විට කාලය පිළිබඳ මෙම සාමාන්‍ය අදහස බරපතල ලෙස සීමාකාරී වන බව පෙනී යයි. පුද්ගලයෙකුගේ වර්තමාන පැවැත්ම කුමක්ද යන්න තීරණය වීමේදී ඔහු හෝ ඇය හෝ අතීතයේ පැවති ආකාරය තීරණාත්මක වන බව අපි දනිමු. අප ඉපදෙන පරිසරය, චින්තන සම්ප්‍රදායන්, ඇදහිළි ක්‍රම ආදිය මගින් අපගේ වර්තමානය සකස් වී තිබේ. මේ අනුව අතීතයේ කළ කී දෑ, ගත් තීරණ, උරුම වූ සමාජ පසුබිම ආදියෙන් පූර්ණ ලෙස විනිර්මුක්ත වූ වර්තමාන පැවැත්මක් මිනිසෙක් වෙත කෙදිනකවත් උරුම නොවේ.

අනෙක් අතට අපගේ වර්තමානය ගත කිරීමේදී අපගේ පැවැත්මේ වියහැකි අනාගතයන් අප විසින් ප්‍රක්ෂේපණය කරනා ආකාරය ද මේ තරම් ම තීරණාත්මක වන්නක් බව පැහැදිළි වේ. අප සෑම කෙනෙකු හට ම අපගේ අනාගතය කුමන ආකාරයක් වනු ඇති ද කියා කිසියම් ආකාරයක අදහසක් තිබේ. අනාගතයේදී අපට මේ මේ ආකාරයේ පුද්ගලයන් වීමට, මේ මේ අරමුණු සඵල කර ගැනීමට හැකි වේයැයි අපි සිතමු. අපගේ වර්තමානය තීරණය කිරීමේදී අපගේ ම අනාගත හැකියාවන් පිළිබඳ මෙම තක්සේරුවට තිබෙන්නේ අති විශාල භූමිකාවකි. අප වර්තමානයේදී නියැලෙන ක්‍රියාකාරකම්, ඇසුරු කිරීමට තෝරා ගන්නා මිනිසුන්, අප උනන්දු වන විෂය කරුණු ආදිය තීරණය වන්නේ මෙම අනාගත පැවැත්ම පිළිබඳව තිබෙනා තක්සේරුවන් අනුවයි. තරමක් සරල ආකාරයකට කියන්නේනම් අපි දැන් කරන දේ තීරණය වන්නේ අප අනාගතයේදී වෙන්න හිතන් ඉන්න දේවල් වලට සාපේක්ෂවයි. අනෙක් අතට, එලෙස ‘වෙන්න හිතන් ඉන්න දේවල්’ අනාගතයේ පවතින්නේ අපගේ පැවැත්ම යනු සෑම විට වියහැකි පැවැත්මක් (our being is a being-possible) වන නිසාය. අපගේ පැවැත්ම යනු මේ මොහොතේ – ‘මේ දැන්’ – තිබෙනා සියලු දේවල එකතුව පමණක් නොවේ. එය අනාගතයේ තිබිය හැකි- ‘වියහැකි’ – දේවල් වලින්ද සමන්විත වේ.

‘කාලය’ පිළිබඳ ප්‍රශ්නය පොදුජන සංස්කෘතිය තුළ මෙතරම් උත්කර්ෂයට නැංවෙන්නේ මෙලෙසඅපගේ පැවැත්ම වටහා ගත හැකි ආකෘතිය, පසුබිම, සිතිජය වන්නේ එය වීම නිසාය. ‘නව වසරක් උදා වීම’ යනුවෙන් පොදුවේ හඳුනා ගන්නා සාමූහික ක්‍රියාකාරකමේ දාර්ශනික පදනමක් ලෙස මෙය හඳුනා ගත හැකිය. එවැනි දේ මගින් අපට අපගේ අතීත උරුමය දෙස නැවත – අපට සාපේක්ෂ ලෙස – සිතා බැලීමේ අවස්ථාව මෙන්ම අපගේ අනාගත වියහැකිභාවයන් පිළිබඳව යළි තක්සේරු කිරීමේ අවස්ථාවක්ද ලබා දෙයි.

මෙම අර්ථයෙන් 2017 වසර වෙත අප රැගෙන යන අතීත උරුමයන් මෙන්ම එම වසර වෙත අප ප්‍රක්ෂේපණය කරනා අනාගත හැකියාවන් පිළිබඳ සාකච්ඡාවක් ඇති වීම නරක දෙයක් නොවේ. ගෝලීය-දේශපාලනික සන්දර්භයක සිට බැලූ විට මේවා අතරින් ඉතාමත් තීරණාත්මක දෙයක් වන්නේ 2017 යනු ‘ඔක්තෝම්බර් විප්ලවයේ’ සියවස් සැමරුම් වර්ෂය වීමයි. එයිනුත්, වඩාත් ම තීරණාත්මක වන්නේ මෙය සැමරීම සඳහා අප විසින් තෝරා ගන්නා ක්‍රමවේදය කුමක්ද යන්නයි. මේ සඳහා තිබෙනා ජනප්‍රිය තෝරා ගැනීම් දෙක මගින්ම ‘ඔක්තෝම්බරයේ’ උරුමය සහ එනයින් අපගේ අනාගත හැකියාවන් සඳහා ලබා දෙන්නේ එතරම් යහපත් පැවැත්මක් නොවේ.

සාතිශය බහුතරයක් අයත් වන මෙයින් පළමු තෝරාගැනීම වනු ඇත්තේ ‘1917 ඔක්තෝම්බරය’ යනුවෙන් සිදුවීමක් ලෝකයේ ඇති නොවූ ලෙස, ඒ පිළිබඳව පූර්ණ අඥාන බවකින් යුතුව සිටීමේ ප්‍රවේශයයි. එයට අනුව ඔක්තෝම්බරය යනු ඉතිහාසයේ වූ සුළු අත්වැරදීමකි, පීළි පැනීමකි, විකෘතියකි. මිළියන ගණනක ජීවිත වන්දියක් ගෙවා හෝ එම ඓතිහාසික වැරැද්ද නිවැරදි කරගැනීමට හැකි වීම මානව සංහතිය ලැබූ යහපත් ජයග්‍රහණයකි. එම ජයග්‍රහණයෙන් පසුව ‘ඉතිහාසය’ අවසන්ව තිබෙනා අතර, එනිසා ම, අපගේ අනාගත සාමූහික පැවැත්මේ වියහැකිභාවයන් යනු තවදුරටත් විවෘත වන්නා වූ දෙයක් නොවේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, මිනිසාගේ සාමූහික පැවැත්මට සාපේක්ෂව ගත්විට, අපට තවදුරටත් වියහැකිභාවයන් කියා දෙයක් නොමැත. එම අර්ථයෙන් අපට, සාමූහික ලෙස, අතීතයක් හෝ අනාගතයක් හෝ නොමැති වන අතර අප අනවතර ‘මේ දැන්’ එකතුවකට පමණක් හසුවී තිබේ. දේශපාලනය යනුවෙන් හඳුනා ගත හැක්කේ මේ දැන් තිබෙනා ක්‍රමය එලෙසෙ ම තිබෙනා අතර, ඉඳ හිට එම ක්‍රමයට නායකත්වය දෙන පුද්ගලයන් මාරු කිරීමේ ක්‍රියාවලියකට සහභාගී වීම පමණක් වේ. මෙවන් සන්දර්භයක සිට අප කළ යුතුව තිබෙන්නේ ‘ඔක්තෝම්බරය’ හැකිතාක් ඉක්මනින් අමතක කර, ඉතිහාසයේ කුණු බක්කියට දමා, එයට ඉහළින් කොන්ක්‍රීට් බැම්මක් දැමීම වේ. සමාජ දේහයේ රුධිර නාල විනිවිද ගොස් ඇති නවලිබරල්වාදී දෘෂ්ඨිවාදය විසින් මෙම කාර්යභාරය ඉතාම හොඳින් ඉටු කිරීමේ වගකීම බාරගෙන තිබේ. එයට අනුව මිනිසත්බවේ එකම අරමුණ වන්නේ ‘නිදහස්’ වෙළඳපොල ගණුදෙනුව තුළ ශ්‍රමිකයෙක් ලෙස සහ වෙළෙන්දෙක් ලෙස මැදිහත්වී ලාභයක් ජනනය කිරීම සහ ඒ හරහා හැකිතාක් භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරීමයි. ‘ඔක්තෝම්බරය’ යනු මෙම මිනිසාගේ පැවැත්මේ කාලයට අයත් වන්නා වූ දෙයක් නොවේ.

‘ඔක්තෝම්බරය’ පිළිබඳ වූ දෙවැනි සහ සංඛ්‍යාත්මකව ගත්විට ඉතාම සුළුතරයක් වූ පිරිසකගේ තෝරාගැනීම වන දෙවැනි ප්‍රවේශයේ තිබෙන්නේ මෙහි පරිපූර්ණ ප්‍රතිපක්ෂයයි. එයට අනුව ‘ඔක්තෝම්බරය’ දේශපාලනිකව අවසන් වී නොමැති වේ. එහි පැවැත්මේ කිසිදු ආකාරයක ඓතිහාසික කණ්ඩනයක් සිදු වී නොමැත. සිදුවී තිබෙන්නේ කරුණුමය අතින් පමණක් වූ අත්වැරදීම්, වැරදි තීරණ නිසා එය තාවකාලිකව පසුබැසීම පමණි. නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිත, සහ සද්භාවවේදී නියතියක් වූ, ධනවාදයේ ස්වයං-කඩාවැටීමෙන් පසුව නැවතත්‘ඔක්තෝම්බරයේ’ වැඩසටහන වෙත අපට යාමට හැකි වේ. ඔක්තෝම්බරය මගින් බිහි වූ සමාජ ක්‍රමය යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොමැති වූ, ප්‍රචණ්ඩ ලෙස මර්ධනකාරී වූ, විවිධ මත දැරීමේ සහ අදහස් වර්ධනය කිරීමේ නිදහස අහිමි වූ සමාජයක් වූයේ ඉතාම පහසුවෙන් වෙනස් විය හැකිව තිබූ කරුණුමය තත්වයන් නිසා මිස ‘ඔක්තෝම්බරයට’ නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයේ තිබූ ව්‍යූහාත්මක සීමාවන් නිසා නොවේ. එනිසා අලුත් වන කරුණුමය තත්වයන් යටතේ එලෙස තාවකාලිකව පසුබැසීමකට ලක් වූ දේශපාලන ව්‍යූහයන් අළු මතින් නැගී සිටිනා ෆීනික්ස් කුරුල්ලෙකු සේ හිස ඔසවනු ඇත. ‘ඔක්තෝම්බරය’ දෙස විවේචනාත්මක වීමේ අවශ්‍යතාවයක් නොමැති වීමට හේතුව වන්නේ මෙයයි. කළ යුතු වන්නේ එය කොන්දේසි විරහිතව උත්කර්ෂයට නැංවීමයි.

මෙම ප්‍රවේශයන් දෙකේ තිබෙනා මහා පොදු සාධකය වන්නේ මේ දෙකම කාලය පිළිබඳ ඉහතින් සඳහන් කළ ‘සාමාන්‍ය’, ‘සරල’ අදහස මත පදනම් වීමයි. ඒ දෙකටම අනුව, අවසන් අර්ථයෙන් ගත්විට, අනාගත වියහැකිභාවයන් වල පූර්ණ අවසානයක් සලකුණු වීමට නියමිත වේ. එකකට අනුව ‘ඔක්තෝම්බරය’ විසින් නියෝජනය කරනු ලබන්නේ මිනිසාගේ ස්වභාවික දෛවයේ විකෘතියක් වන අතර අනෙකට අනුව එමගින් නියෝජනය වන්නේ මිනිසාගේ ස්වභාවික දෛවයේ පරම අනිවාර්යතාවයයි. මේ දෙක මගින්ම, මේ අනුව, ප්‍රතික්ෂේප කරන්නේ රැඩිකල්- පරම- වියහැකිභාවය යනු මිනිසාගේ පැවැත්මේ අත්‍යන්ත කොටසක් වන බවයි.

එම දාර්ශනික පදනම මත සිට අපට ‘ඔක්තෝම්බරය’ සැමරීමට හැකි වනු ඇතිද? දේශපාලනිකව ගත්විට වියහැකි අනාගතයන් බහුලව තිබෙනා 2017 වර්ෂයේ මුවදොරේ සිට අප විසින් මතු කිරීමට කැමති ප්‍රශ්නය වන්නේ මෙයයි. මේ සඳහා පහසු පිළිතුරුනම් නොමැති බව ඉතාම පැහැදිළි වේ.

2017 වසරේ ඔක්තෝම්බර් මාසයට තව මාස දහයක කාලයක් ඉතිරිව තිබේ. අධික වේගයෙන් චලනය වන බල දේශපාලනයේ ලෝකය තුළ මාස දහයක් යනු බොහෝ දේ සිදු විය හැකි කාලයකි. එයට සාපේක්ෂව “බව” විසින් යෝජනා කරන්නේ අපගේ අදහස් වල මූලයන් වලට ගොස්, කරුණු විමසා බලා, අපගේ අති මූලික විශ්වාසයන් යළි අර්ථකථනය කිරීමේ උත්සාහයකි. බල දේශපාලනයේ උණුසුම් ප්‍රවේගයට සාපේක්ෂව ගත්විට මෙම මහන්සිය මන්දගාමී සැහැල්ලුවක් ලෙස දැකීමේ අනතුරක් තිබුනත් ‘ඔක්තෝම්බරය’ පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බැලීමට හැකි වන්නේ මෙවැනි ප්‍රවේශයක් මගින් පමණක් වේ කියා අපි සිතමු.

නවලිබරල්වාදයේ දේශපාලන කළ එලි දැක්ම ඇති වන්නේ 1970 දශකයේ අගභාගයේ වුවත් හැයෙක් ගේ The Road to Serfdom කෘතිය ලියවුනේ 1940 දශකයේ මුල් භාගයේදීය. හැයෙක් සහ මිල්ටන් ෆ්‍රීඩ්මන්- සහ, අප අමතක නොකළ යුතුයි, කාල් පොපර් – ඇතුළු පිරිස ‘මොන්ට් පෙලෙරින් සමාජය’ (the Mont Pelerin Society) ආරම්භ කළේ 1947 වසරේදීය. ඒ, මාගරට් තැචර් සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පළමු වරට තේරී පත්වීමට ද වසර දහයකට පමණ පෙරයි. එකළ, නවලිබරල්වාදය යනු මෙම කුඩා කණ්ඩායම විසින් පමණක්, අඩු වැඩි වශයෙන්, නියෝජනය කළ ‘අදහසක්’ පමණක් විය.

දේශපාලනයේදී බුද්ධිමත් ප්‍රතිවාදීන්ගෙන් ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කළේ අන් කවරකු හෝ නොව ‘ඔක්තෝම්බරයට’ නායකත්වය දුන් ලෙනින් ය.

ඔබට 2017 සටන්කාමී සහ විපර්යාසකාරී වසරක් වේවා!

– “බව” සංස්කාරක මණ්ඩලය

Advertisements