” නව ” එහෙම නැත්තම් අලුත්, යන්නම ඌනනය වන්නේ පරණ යන්නට බව මගේ අදහසයි. එසේ වන්නේ කිසිවකුට කිසිම මොහොතක “නව” ලෙසට යමක් කීමට, අදහස් ප්‍රකාශකිරීමට නොහැකි නිසාය. විශේෂයෙන්ම “නව වසරක්” කියනා විටම එහි පරණ බවක් ඇත. එය අතීත අංශූන් සමඟ අනිවාර්යය සම්බන්ධයක් ඇත. මම මෙම අදහස උපන්දිනයට උදාහරණ කොට දක්වන්නම්. එහිදී  අලුත් උපන්දිනයක් කියා දෙයක් නොමැත. අපි ගෙවමින් ඉන්නෙම අප සතුව පවත්නා වටපිටා බව පමණි. ඒ සමඟම අපි ලෝකය සමඟ සහ – සම්බන්ධයක් පවත්වා ගනී. මේ සියලු සම්බන්ධතා නවතා දැමීමට අප සකස් කරගෙන ඇත්තේ – මිනිසාගේ දැනුමෙන් – මරණය කියනා වචනයක් පමණි. එය ද යම් ආකාරයකට නව දෙයක් නොවේ. එසේ වන්නේ එහි “නව” බව අප නොදන්නා නිසාය. ඒ අනුව බලන විට නව යන්න අප ඉදිරිපිට සිටිනා වෘක්ෂයක් නොවන බව අපට වැටහිය යුතුය. එය පැරණි දෙය සමඟ අනිවාර්ය සම්බන්ධයකට යනු ඇත.

31dalipersistenceofmemory
නමුත් මෙහි පරස්පරය වන්නේ මිනිසා සෑම විටම නව දෙය සමඟ අත්‍යන්තයෙන් බැඳී සිටිමයි. විද්‍යාව නව ලොවක් සොයා යන අතර දර්ශනය නව දැනුමක් සොයා යයි. නමුත් මෙම ආකාරයට කාලය පිළිබඳව සිතීම එක්තරා ආකාරයකට ජූලියස් සීසර් ගොඩනැඟූ ලෝකය හා සම්බන්ධ වීමක් – යුද්ධය සඳහා දින ගැනීමක් – මිසක් වෙන කුමක් ද යන ප්‍රශ්නය අපට ඇසිය හැකිය. මෙය වෙනත් වචන වලින් කියන්නේ නම් කැලැන්ඩර් කාලය යනු කාලය පිළිබඳම වූ බොරුවකි. නමුත් මෙම ඒකාකාර වූ කාලය පිළිබඳ අත්දැකීම අද අත්දැකීමක් පමණක් නොවෙයි. එය ලෝකය මෙහෙයවන බල සමතුලිතයකි. එසේ වන්නේ එය විසින් ගොඩනැඟූ අන් දෙයයි.

මා මෙහිදී “අන් දෙය” ලෙස දක්වන්නේ මෙම සීසරියානු කැලැන්ඩරයෙන් අද දවසේ දාර්ශනිකයාට පවා මිඳීමට නොහැකි ලෙස බල පවත්නා ආධිපත්‍යයි. ග්‍රිනිච් කියා රේඛාවක් අප දැක නැතත් අප එම රේඛාවට අනුව අපේ ජීවිතය හැඩ ගස්වා ගත යුතූය. උදේ 8ට කාර්යාලයට යා යුතුය. උදේ 7.30 ට පාසලට යා යුතුය. ජනවාරි 01 නව අවුරුද්දක් ලෙස බාර ගත යුතුය. මෙහි අධිපතිධාරීත්වය කෙතරම් ද ලෝකයේ සියලු අනුක්‍රමයන් ඔස්සේ මෙම කාලය පිළිබඳ රේඛීය අදහස ගලා ඒමයි. අප දැනටමත් දන්නා පරිදි  සාම්ප්‍රධායික සමාජයෙන් නූතන සමාජයට සුසමාදර්ශී කණ්ඩනයක් වන විට බොහෝ දෑ වෙනස් විය. කලාව, සංස්කෘතීන්, භාෂාව, තාක්ෂණය ආදී සියල්ල වෙනස් විය. තවත් සරලව කියන්නේ නම් දෙවියන් පවා වෙනස් විය. දෙවියන් ගැන හිතන ආකාරය විවිධ ගුරුකුල වලට බෙදීමක් සහ එය  සංශෝධනය වීම සිදු විය. නමුත් නොවෙනස් වූ එකම දෙය නම් ” කාලය ” පිළිබඳව වූ අදහසයි.

මෙය කිසි ලෙසකින් අපගේ අභ්‍යන්තර බල සමතුලිතයක් නොවනවා පමණක් නොව අපට ඒත්තු නොයන තර්කයක් ද වෙයි. තාක්ෂණිකව වෙනස් වූ එකම දේ වූයේ කටු ඔරලෝසුවෙන් ඩිජිටල් ඔරලෝසුවට හුවමාරු වීම පමණි. විශේෂයෙන්ම අපට මෙම ඔරලෝසු කාලයෙන් තොර ජීවිතයක් අද දවසේ සිතා ගත නොහැක. සියලු පක්ෂ – අද වාමාංශය පවා ඡන්දය පවත්නා වසර දක්වා කල් මරති. කාලය ලෙසට අප වටහා ගන්නේ දින සති ගෙවා දැමීම නම් එය පූර්ණ ධනේශ්වර දෘෂ්ටිවාදයක් මිස අන් යමක් නොවන බව අප වටහා ගත යුතුය. විශේෂයෙන්ම කොමියුනිස්ට්වාදය යනු කාලය පිළිබඳව රේඛීය අර්ථකථනයක් නොවේ. එසේ වන්නේ එහි පවත්නා කණ්ඩනීය ස්වරූපය නිසාය. පැහැදිලි ලෙසටම කොමියුනිස්ට්වාදය අපට මේ පවතින රේඛීය සමාජය, දේශපාලනය කණ්ඩණයකට ලක් කොට අර්ථ දක්වයි. සිනමාපටයක කාලය තීරණය කරන්නේ ඔරලෝසුවේ කාලයෙනි.

කාලය පිළිබඳ සීසරියානු අදහසත් එනම් ඔරලෝසුවත් කැලැන්ඩරයත් අපට ලැබුණේ එක්තරා ආකාරයකට යටත්විජිතකරණය සමඟ යැයි කිව හැකිය. විශේෂයෙන් පෙරදිග වැසියා ( මා මෙහිදී ලෝකය පෙර – අපර දිග ලෙස බෙදීමට විරුද්ධ බව ප්‍රකාශ කරමි. මෙය අර්ථය වටහා ගැනීම සඳහා පමණි ) තුළ තිබුණේ කාලය පිළිබඳ වෙනත් අදහසකි. එය ඌනනය වූයේ දෛනික ජීවිතය සමඟය. ළමයකු ඉපදුන විට, මරණය සම්බන්ධව මෙහිදී කාලය භාවිත විය. එය හිරු මත පදනම් වුවත් එය සැමට සමාන වූවක් නොවේ යැයි කිව හැකිය. ” පෙරදිග වැසියා අලසයි ” වශයෙන් වූ ඒකාකෘතික අදහස් නිර්මාණය වූයේ මෙම යටත්විජිත මානසිකත්වයෙන් මෙම කලාපයේ කාලය පිළිබඳවය. නමුත් අප දැනටමත් දන්නා පරිදි යුරෝපයේ මායාකාරියන් දඩයම ( witch Hunt) නම් කාල පරිච්ඡේදයේත් කාලය පිළිබඳව තිබුණේ විකල්ප අදහසකි. එහිදී රාත්‍රී කාලය යනු යක්ෂයාගේ කාලය යැයි දෘෂ්ටිවාදය නම් කලත් සැබෑ ලෙසටම රාත්‍රී කාලය යනු දැනුමේ කාලය බවට පත් වී තිබුණි.

එනයින් බලන කල මෙම “කාලය” නම් අදහස නොව කාලය නම් යාන්ත්‍රික ක්‍රියාවලිය යටත්විජිත ව්‍යාපෘතියකි. එහි දිගුව වන්නේ අප රටේ කාර්යාල සේවකයන් පිරිසක් බිහිකොට අපගේ ජීවිත බිත්ති හතරකට කොටු කිරීමයි. සිදු වූයේ අප ඔවුනගේ ඔරලෝසු මාෆියාවට නතු වීම මිස අන් යමක් නොවේ. විශේෂයෙන්ම ජාතක කතාව අප රටේ තිබූ සාහිත්‍ය ශානරයක් වන අතර අපට යටත්විජිතකරණය සමඟ “නවකතාව” නම් ශානරය ලැබුණි. අප හොඳින්ම දන්නා කරුණක් වන්නේ ජාතක කතාවේ පවතින්නේ කාලය පිළිබඳ කාටිසියානු අර්ථය නොවන බවයි. එහි කාලය අපට ඔරලෝසුවෙන් මැනිය නොහැක.

විශේෂයෙන්ම අද දවසේ දැනුම පවා සකස් වී ඇත්තේ වෙනත් දෙයකට නොව කාලයට සේවය කිරීමටය. විශ්ව විද්‍යාල සෙමෙස්තරකරණය වීම නිමිති කොටගෙන අද බටහිර සාහිත්‍ය පිළිබඳ හෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව ඉගැන්වීම පැය වලින් මනින්නට අප පුරුදුව සිටිමු. අද දවසේ “අදහස”  තීරණය කරන්නේ කාලයෙනි. එහි ආන්තික උදාහරණය වන්නේ අද දවසේ වෙළඳ දැන්වීම් බවට කිසිදු විවාදයක් නැත. වෙළඳ දැන්වීම් අපට අපගේ රෝග සඳහා කිනම් බෙහෙත් ගත යුතු ද කියා තත්පර ගණනකින් කියා දෙන අතර නමුත් විශේෂ්ඥ වෛද්‍යවරයකුට ඒ සඳහා විශාල කාලයක් ගත වීම මෙහි ඇති නාටකීය බවයි. දැනුම සහ දෘශ්‍ය බවේ ශක්‍යතාවය අද සේවය කරන්නේ කුමන රෙජීමයට දැයි මෙමඟින් අපට තීරණය කළ හැක. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අද මහා විශාල ඔරලෝසුවකට යට වී ඇති බව අසත්‍ය නොවේ යැයි සිතමි.

ලෙනින් පිළිබඳව මා අසා තිබෙනා කතාවක් මෙයට හොඳ උදාහරණයක් වේ යැයි සිතමි. ලෙනින් විසින් විප්ලවයට පෙර මුද්‍රණය කළ පුවත්පතක් හෝ පොතක් මුද්‍රණය කරන්නට සිය සඟයාට ලබා දෙන අවස්ථාවේ කියා සිටි දෙයක් වන්නේ ඉක්මනට මුද්‍රණය කරන්න සමහර විට ඉතින් මුද්‍රණයට පිටවන විට මම නැති වෙයිනේ. ආදී ලෙසයි. මෙම ප්‍රකාශය තුළ දේශපාලනය, වම , විමුක්තිය සියල්ල තිබෙන බව සැබෑය. නමුත් මා අදහස් කරන පරිදි මෙහි සැඟවුණ සමස්ත්‍යාර්ථය වන්නේ “ලෙනින්ගේ මරණය” යි. මෙහිදී ඔහු සිය මරණය පිළිබඳව කිසිවක් සිතන්නේ නැත. මේ අනුව “මරණය” ඔරලෝසු කාලය සමඟ සම්බන්ධ කරන්නේ කෙසේ ද යන්න විශාල අර්බුදයකි. එවිට වයස 100ක් වූ විට ඉතින් සාමාන්‍යයෙන් මැරෙනවා යන කියමන් හි වලංගුතාවය අපට පිරික්සිය හැක. සැබෑ ලෙසටම මෙහි ඇත්තේ පූර්ණ වියහැකි බවක් පමණි. එය ඌනනය වන්නේ දේවල් සම්බන්ධව තිබෙන අවබෝධය වෙතයි. එනම් පැවැත්ම ප්‍රශ්න කරමින් පැවැත්ම අවබෝධ කරගැනීමයි. අවබෝධය යනු පයිතගරස් ප්‍රමේය අවබෝධ කරගැනීම නොවන අතර එය ඊට වඩා සරල සහ ප්‍රාථමික වූවකි. වෙනත් ආකාරයකින් සටහන් කරන්නේ නම් මා ඊළඟ මොහොතේ ජීවත් වන ආකාරය කිසිවකු මට උගන්වන්නේ නැත. එනම් එය අප සෑම විටත් ඒවන විටත් දැන සිටිනා දෙයකි. මෙහි මූලික කොන්දේසිය වන්නේ පූර්ණ වියහැකි භාවයයි. මේ අනුව සලකා බලන විට වැටහෙන්නේ අප සෑම විටම අවබෝධයකින් ඉන්නා බවයි. මෙම අවබෝධය සමඟම ඇති ඊලඟ භාවිතයට හැකි පැවැත්මවල් සමඟ සෘජු සම්බන්ධයක් ඇත. අප ජීවත් වන්නේ උපකරණ සහ අනෙකන් සමඟ වීම අනිවාර්යතාවයකි. ඒ අනුව මම මේ මොහොතේ මෙම සියල්ල සමඟ අපවතින්නේ අනාගත පැවැත්ම වෙනුවෙන් යැයි කිව හැකිය. ඒ අනුව දැන් අපට වැටහෙන්නේ අපගේ අනාගත පැවැත්ම තීරණය කරන්නේ ඔරලෝසුව නොව අපගේ මේ මොහොතේ ඇති භාවිතයට ගත හැකි පැවැත්මවල් ( උපකරණ + අනෙකන්) විසින් බවය.

දැන් නැවත අපගේ ප්‍රස්තුතයට පැමිණිය හැකිය. අප බොහෝ විට සිදු කරන්නේ කාලය පිළිබඳව කාටිසියානු ලෝකයෙන් බැලීමක් වන අතර එහිදී අපගෙන් ඉවත් වී යන්නේ අප මේ මොහොතේ උපකරණමය සමස්තයක් සමඟ ඉන්නා බවයි. අප අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙය සලකා බලන්නේ නම් අප ජීවිතය සැලසුම් කරන්නේ අපගේ විභවතාවයන් අනුව නොව දෙන ලද ඒකාකාරී ඔරලෝසු අරුත් සමඟය. සාමාන්‍ය පෙළ කරනවා. උසස් පෙළ සමත් වී රස්සාවක් ගන්නවා.  එක්කෝ කැම්පස් යනවා. විවාහ වෙනවා ආදී වශයෙන් ලඝු වන මෙම ලෝකය සම්බන්ධ වන්නේ එක්තරා ආකාරයකින් ඇරිස්ටෝටලියානු කතා විශ්වය සමඟයි. ඒ නිසා අප මෙම රෙඛීය කණ්ඩනය කරන්නන් සමාජ විරෝධී පුද්ගලයන් බවට ඌනනය කරන්නෙමු. රැකියාවක් කිරීම අනිවාර්ය කොන්දේසියක් වීමෙන් ද වයස වුරුදු 30 පමණ වන විට විවාහ වීම සමාජ සිරිතක් වී තිබීමෙන් ද වයස 55 හෝ 60 විශ්‍රාම යෑමෙන් ද මෙම අදහස අපට පැහදිලි කරගත හැකිය. වැඩ කිරීමේ හැකියාව, ලිංගික ශක්තිය, කායික හා මානසික ශක්තිය කුඩා කටු 2ක් ඇති ඔරලෝසුවක් තීරණය කරන්නේ කෙසේ ද යන්න විශාල ප්‍රශ්නයකි. නමුත් මෙම බලාධිකාරයේ ඔරලෝසුව හුදකලා උපකරණයක් නොවන බවත් ඒ හා සමඟ දේශපාලනය, වෙළඳපොළ සූක්ෂමව සම්බන්ධ බව සිහිපත් කළ යුතුමය.

අනාගත විය හැකි බව වර්තමාන පැවැත්මේ කොටසක් ලෙසට අප වටහාගත යුතු වන්නේ එම නිසාය. ඒ අනුව ලෝකය පිළිබඳ සමස්තය තීරණය කරන්නේ මෙම රේඛීය කාලය බව අපට වටහාගත හැකිය. අද දවසේ අපට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ කාලය යන්න ඉදිරිපිට වස්තුවක් බවට ඌනනය කිරීමයි. මා ඔරලෝසුවෙන් බලන වෙලාව කාලය නොවන අතර එය මිම්මක් ලෙසට අපට අප අකමැති වුවත් වටහා ගැනීමට සිදුව් වේ. නමුත් අද දවසේ කාලය යන්නට විකල්ප අදහසක් නැත. ඒ සඳහා විකල්ප අදහසක් සෙවීමට නම් අප යා යුත්තේ කාටිසියානු ලෝකය පිළිබඳව හෙයිඩෙගරියානු විවේචනය වෙතටයි. එවිට අපට ඔරලෝසුවෙන් අපගේ ජීවිත ගලවා ගත හැකිය. විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටෙයි චිත්‍රපටයත්, ටෙරන්ස් මලික්ගේ සිනමාවත්,  සැල්වඩොර් ඩාලී ගේ දෘශ්‍ය කලාවත් අපට යම් යතුරක් ලබා දී තිබෙනවා ඔරලෝසුව මහා ප්‍රපාතයකට විසිකර දැමීම කළ හැකි බව පවසමින්.

අවසානයේ මම ඇල්බෙයා කැමූගේ පිටස්තරා’හි මර්සෝ ඔහුගේ ජීවිතයේ අවසානයේ දක්වන අදහසක් වෙත යොමු වෙනවා. ඔහු සිපිරිගෙහි සිටිය දී දේවගැතිවරයාගේ පැමිණීම තුළ ඔහු මෙසේ ප්‍රකාශ කරයි. දේවගැති වරයා පැමිනෙන්නේ මර්සෝගේ අවසාන මොහොතට යාඥා
කිරීමටය.

” මගේ වර්තමාන ජීවිතය සිහි කරන්ඩ පුළුවන් එකක්. මේක මට මහ කන්දොස්කිරියාවක්. මං හයියෙන් කෑ ගහල කිව්ව – ආයෙ ඔහු හැදුවෙ දෙවියන් ගැන කතා කරන්ඩ. මම ඔහු වෙතට ඇදුණ – ඇදිල කිව්ව – මට තියෙන්නෙ තව ටික
වෙලාවයි – මේ ටික වෙලාවෙ මං දෙයියන් වෙනුවෙන් නාස්ති කරන්ඩ කැමති නෑ”
(පිටස්තරයා පි 134-135)

නමුත් මම හිතනවා ඔහුට මෙම [ටික වෙලාව]අප ඔරලෝසු වේලාව සුණුවිසුණු කොට කල්පනා කරන්නේ නම් එය ඔහුම අත් විඳි [මහා වෙලාවක්] බව අපට වටහාගත හැකිය.

එරන්ද මහගමගේ

Advertisements