book-cover1ලාංකිකත්වය තුල දර්ශනය යනු උත්කර්ෂයට නැංවුණු අදහසක් නොවන බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. නමුත් දර්ශනය යන්න බුදු දහමට ඌනනය කිරීම තුලින් දර්ශනය පිලිබඳ ලාංකීය හිඩැස සම්පූර්ණ කිරීමට මෙරට ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි බොහෝ විද්වතුන් උත්සහ ගනිමින් සිටියි. නමුත් දර්ශනය යනු ම ආගමේ ප‍්‍රතිපක්ෂය බව දර්ශනය පිලිබඳ සැබෑ සහ සරල අදහසක් ඇත්තෝ දනිති. වෙනත් ආකරයට කියන්නේ නම් ආගම විසින් සිදු කරන ජීවිතය හා ලෝකය කියාදීම නැතිනම් සත්‍ය සෙවීමේ ආඥාදායකත්වයට ප‍්‍රතිවිරුද්ධව, තාර්කික ව ජීවිතය හා ලෝකය පිලිබඳ සත්‍ය සොයා යෑම දර්ශනය තුලින් සිදු වේ.

මෙරට දර්ශනය පිලිබඳ සාහිත්‍ය ඉතිහාසයේ පුරෝගාමීන් වන්නේ පේරාදෙණිය ගුරු කුලයයි. වෙනත් ආකාරයට කියන්නේ නම් සරච්චන්ද්‍රලාගේ බුද්ධිමය ව්‍යාපාරයයි. නමුත් සරච්චන්ද්‍රලාගේ සියලූ ප‍්‍රවේශයන් අවසානයේ බුදු දහම හා භාෂාව ඔස්සේ කලාව තුල විතැන් වී ඇති බව ඔවුන්ගේ සාහිත්‍ය චාරිකාව විමසා බැලූවෙකුට අවබෝධ කරගන්නට බැරෑරුම් දාර්ශනික කියවීමක් අවශ්‍ය වන්නේ නැත. අද දවසේ මෙරට බටහිර දර්ශනයේ සාරය මුල් බැස නොගැනීමට ප‍්‍රධාන සාධකයක් ලෙස මෙය සඳහන් කිරීමට අප දෙවරක් නොසිතුවත්, සරච්චන්ද්‍ර ව අල්ලා කුරුසයේ ඇන ගැසීමට ඉක්මන් නොවන්නේ, එසේ සිදු වූයේ ඔහුගේ ගෝල බාලයන් වෙනත් රැඩිකල් ප‍්‍රවේශයක් නොගැනීම නිසා මිස සරච්චන්ද්‍රගේ වරදින්ම නොවන නිසයි.

මෙරට දර්ශනය හා සමාජය අතර පරතරය වැඩි වීමට බලපාන තවත් ප‍්‍රබල හේතුවක් ලෙස දර්ශනය පිලිබඳ සාහිත්‍යයේ ඇති සන්නිවේදන ශක්‍යතාවේ දුර්වලතාව හැදින්විය හැකිය. ඉතාම සරල ලෙස කියන්නේ නම් අනවශ්‍ය පාණ්ඩිත්‍යයක් පෙන්වන්නට යාම තුලින් නොතේරෙන වල්පල් දර්ශනය ලෙස මෙරට දාර්ශනික සාහිත්‍ය පුරාවට දක්නට ලැබීම යැයි කිව හැකිය.

අප විසින් ඉදිරිපත් කරන මෙම බොහෝ ඌනතාවන්වලට පිලිතුරක් හා නිවැරදි ප‍්‍රවේශයක් ලෙස වංගීස සුමනසේකරගේ ආත්මීයත්වය හා භෞතික ලෝකය කෘතිය හැඳින්විය හැකිය. මෙම කෘතිය තුලින් ගෙන එන්නේ රෙනේ ඩෙකාට් නම් බටහිර දර්ශනයේ ඓතිහාසික සළකුණක් සනිටුහන් කළ Meditations on First Philosophy කෘතිය නැවත සිංහලෙන් ප‍්‍රතිනිර්මාණය කිරීමකි. වෙනත් ආකරයට කියන්නේ නම් අපට අතට අසුවන මානයේ උදාහරණ දක්වමින් ඩෙකාට්ගේ මතය යලි අර්ථකතනය කිරීමයි. කතුවරයාගේ වචනයෙන් කියන්නේ නම් කාටිසියානු ප‍්‍රවාදයේ ප‍්‍රතිනිර්මාණයකි. බටහිර දර්ශනයේ බොහෝ ප‍්‍රවේශයන් හි ආරම්භය මෙම කෘතිය තුලින් ආරම්භ වී ඇත. සද්භාවවේදය, කාන්ටියානු දර්ශනය ඇතුළු බොහෝ දාර්ශනික ගුරු කුලයන් හා මනෝ විශ්ලේෂණයට මූල බීජය මෙයයි. අප උත්සහ ගන්නේ මෙම කෘතිය හා එය ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ හරහා මෙරට දාර්ශනික සාහිත්‍යය ගමන් කළ යුතු මාර්ගය යෝජනා කිරීමටයි.

අපගේ දුප්පත් දාර්ශනික සාහිත්‍ය කලාපය පරික්ෂා කළ විට හැගෙන ප‍්‍රධාන ම විවේචනය වන්නේ ඒවා බොහොමයක් නොතේරෙන සිංහලෙන් ලියා තිබීමයි. ඒ සඳහා මීට පෙර ලියවුණු බොහෝ කෘතීන් මෙන්ම මෙම කතුවරයාගේ ම මුල් කෘති පවා එක්තරා අරුතකින් විවේචනය කළ හැකිය. පුළුල් බුද්ධිමය ව්‍යාපාරයක් මෙහයවීමට නම් අප වහාම කළ යුත්තේ සාමාන්‍ය සමාජයට මෙම බුද්ධිමය අවකාශය විවෘත කර දීමයි. වෙනත් ආකාරයට කියන්නේ නම් බුද්ධිමය ව්‍යාපාරයක් යනු සමාජ කල්ලියක් නිර්මාණය කිරීම නොව සමස්ථ සමාජයම එම ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි. එසේනම් පළමු ව අපගේ දාර්ශනික කෘතීන් නිරාවරණය කර දිය යුත්තේ ඔවුන්ටයි. නමුත් මෙතෙක් සිදු වී ඇත්තේ කුමක්ද ?

නැවතත් අපගේ මූලික ප‍්‍රවේශය වෙත ගියොත් ලාංකික දාර්ශනික සාහිත්‍යයේ ඇති දැරිය නොහැකි හා ඇතැම් විට නිරවද්‍ය ද නොවන දාර්ශනික පැහැදිලිකිරීම්වල ඇති ගැටළුව පැන නගින්නේ කොතනින්ද ? ඊට ප‍්‍රධාන සාධක කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය.
–    අප දන්නා මහා සම්ප‍්‍රදායට (ඩෙකාට්, කාන්ට්, ෙහෙඩගර්, හෙගල් වැනි) අයත් කෘති පරිවර්තනයේදී එහි මුල්ම කෘතියෙන් පරිවර්තනය නොකට එය පිලිබඳ ලියැවුණු වෙනත් උපකාරක කෘතියකින් එය පරිවර්තනය කිරීම දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ෙහෙඩගර්ගේ Being and Time කෘතිය පරිවර්තනයේදී එය පිලිබඳ ලියැවුණු වෙනත් ලේඛකයෙකුගේ කෘතියකින් පරිවර්තනයක් කිරීම.

–    පරිවර්තන දෝෂ.

–    කෘතිය පරිවර්තනය කිරීමේ අරමුණ.
සත්‍ය වශයෙන්ම ගත් විට සියවස් තුනහමාරකට පෙර ලියැවුණු මේ ඉපැරණි ලියවිල්ල, ජීවිතයේ කුඩා මොහොතක අවශ්‍යතාවයක් වෙනුවෙන් කපා කොටා, සකස් කිරීම මෙහි අරමුණ නොවීය. ඒ වෙනුවට ඉතිහාස සෙලවූ සිතීමක නිමේශයක් අපගේ වර්තමානය වෙත යළි ගෙන ඒමට ගත් මහන්සියක් ඔබට මෙහි හමුවනු ඇත. ජීවිතයේ සහ ලෝකයේ අර්ථය සොයා යන දිගු ගමනක පළමු පියවර මෙය වේ නම්, එම මහන්සිය අපතේ නොයනු ඇත.
මේ උපුටා ගැනීම අප මෙහි සඳහන් කළ කෘතියේ පසු පිට කවරයේ ඇති සඳහනයි. ඛේදවාචකය නම් මෙරට බොහෝ මෙවන් ශාස්ත‍්‍රීය කෘතීන් ලියවී ඇත්තේ ඔවුන්ගේ උපාධි නිබන්ධන (ජීවිතයේ කුඩා මොහොතක) ලෙසින් නැතිනම් ඔහුගේ යම් සුදුසුකමක් සපුරා ගැනීමේ අදහසින්ය. නැතිනම් ඔහුගේ සමකාලීන ප‍්‍රතිවාදියෙකු විවේචනය කිරීමේ අදහසින්ය. තරමක් ග‍්‍රාම්‍ය ලෙස නමුත් සියල්ලන්ටම වැටහෙන ලෙස කියන්නේ නම් ඔහුගේ දාර්ශනික පොරත්වය විදහා පෑමටය. මේ සියල්ලෙන්ම ඔවුනට මග හැරී තිබෙන්නේ සැබෑ දර්ශනයේ අර්ථය හා එම කෘතිය ලියූ මහා මිනිසාගේ අරමුණයි. දර්ශනය යනු සත්‍ය කුමක්ද යන්න තාර්කිකව සොයා යෑම නම් ඉහත අවශ්‍යතා අතර කිසිදු සම්බන්ධයක් නැත. උපාධි නිබන්ධන ප‍්‍රකාශ පත් කිරීම අත හැරිය යුතු බව අප යෝජනා කරන්නේ නැත. නමුත් උපාධි නිබන්ධනයක භාෂාව හා එහි ආකෘතිය, හැඩරුව මහාචාර්යවරයෙකු වෙනුවෙන් ලියූ ඒවා මිස අපගේ පොදු පාඨකයා අරමුණු කරගත් ආකාරයේ අඛ්‍යානයකින් ලියවී ඇති අවස්ථා ඉතා අල්පය.

තවත් උපුටා ගැනීමටක්…
ඩෙකාට් මෙම ප‍්‍රවාදය ගොඩ නැගුවේ මනෝ විද්‍යාව, සිනමා න්‍යාය, කලා විචාරය, දේශපාලන විද්‍යාව ආදිය ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන් සඳහා කියවීමට පමණක් නොවේ. එවැනි දේ ඉගෙන ගන්නා අය මෙම ප‍්‍රවාදයේ තිබෙන සාර්ථකත්වයේ අතුරු ඵලයක් මිස, එය ගොඩ නැගීමේ මූලික අරමුණ හා සමපාත නොවන්නකි. ඩෙකාට් විසින් මෙම කෘතිය රචනා කරන ලද්දේ අවසාන අරුතින් ගත්විට ලෝකයේ සත්‍ය කුමක්ද යන්නත්, එය අවබෝධ කරගත් පසු අප ජීවත් විය යුතු ආකාරය කුමක්ද යන්නත් විමර්ෂණය කිරීම සඳහායි.

කතුවරයා කියන්නා සේ ජීවිතයේ එක් කුඩා මොහොතක අවශ්‍යතාවයන් සඳහා දාර්ශනික සාහිත්‍යයක් බිහි කිරීම කළ නොහැකි දෙයකි. අපගේ ඉතිහාසය දෙස හැරී බැලූ විට පෙනෙන්නේ දාර්ශනික බලූ පොරයන් හා උපාධි නිබන්ධන ගොන්නකි. බටහිර දැනුම ඉතා සෙමින් ආනයනය වන රටක වෙසෙන අහිංසක ජනතාවගේ හිස අතගාමින් දර්ශනය උගන්වන, ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටීමක් කරන නිර්මාණාත්මක දාර්ශනික සාහිත්‍යයක් අපට අවශ්‍යව ඇත. වංගීස සුමනසේකරගේ කෘතිය ඊට අගනා ප‍්‍රවිශ්ටයක් වන්නේ නූතන බටහිර දර්ශනයේ ආරම්භය සනිටුහන් කරන කෘතිය මෙලෙස තරමක් නාට්‍යමය ලෙස කියන්නේ නම් ආච්චි අම්මාට තේරෙන ලෙස ලියා තැබීම නිසාය.

–    දාර්ශනිකයින් හඳුන්වා දීමේ ලාලසාව හා ඔවුන් අයිති කර ගැනීමේ ආශාව.

–    දාර්ශනික ප‍්‍රවේශය ගැඹුරින් අවබෝධ කර නොගෙන පරිවර්තනය කිරීම.

ඔබ යමක් පිළිබඳ පරතෙරට අවබෝධ කරගෙන ඇත්නම්, නැතිනම් ඔබට ඒ දෙය පිලිබඳ සැබෑ අරුතින්ම වැටහීමක් ඇත්නම් ඔබට ඒ දෙය යමෙකුට ඉතා සරලව පැහැදිලි කර දිය හැකිය. නමුත් අපගේ පසුගිය දාර්ශනික කෘතිවල දක්නට ලැබෙන්නේ හිසරදය මතුවන භාෂා විප‍්‍රකාරයන්ය. ඒ තුලින් කියා සිටින්නේ කතුවරයා එම දාර්ශනික සංකල්පයන් ගැඹුරින් වටහා ගෙන නොමැති බව නොවේද ? මාක්ස්වාදය, කාන්ටියානු දර්ශනය, ඇරිස්ටෝටලියානු දර්ශනය වැනි දාර්ශනික ප‍්‍රවේශයන් මෙන්ම මනෝ විශ්ලේෂණය ද මෙරට පාඨකයාගෙන් දුරස් කර තිබෙන්නේ එම කතුවරුන් සතු නිර්මාණශීලීත්වයේ දුර්වලතාවය නොවේද ?

–    එම දාර්ශනික පරිවර්තන කියවන කවයන් තුලින් බිහි නොවීම.
ප්ලේටෝගේ ඉතිහාසයේ සිට අද දක්වා දාර්ශනික මතවාදවල ආරම්භය, කියවන කව මෙරටට අලූත් අත්දැකීමක් විය හැකිය. කෘතියක් ලිවීමට පෙර එම කෘතිය සාකච්ඡුා කොට තම ශිෂ්‍යයන් හෝ සමකාලීනයන් සම`ග එය බෙදා ගැනීම, දාර්ශනික කෘතියක් ප‍්‍රකාශනයට පෙර කළ යුතුම දෙයකි. කියවන කවයක් තුලින් විවිධ අදහස් මත, පෙරන ලද සාරයක් ඉවතට ඇදී එන්නේ එවිටය. වෙනත් ආකරයට කියන්නේ නම් කියවන කව යනුම දාර්ශනික සාහිත්‍යයේ මූලාරම්භය විය යුතුය. කුඩා කාමරයක මේසයක් මතට වී දාර්ශනික කෘතියක් නිර්මාණය කිරීම තුලින් එය පොදු පාඨකයා ආමන්ත‍්‍රණය කිරීමේ ශක්‍යතාව කියවන කවයක් තුලින් බිහිවන කෘතියක් හා ඇත්තේ අඩු තීව‍්‍රතාවයකි. එම නිසා කියවන කව නොමැති රටක දාර්ශනික සාහිත්‍යයක් බිහි වීම හෝ විසරණය වීම සිදු වන්නේ නැත. අපගේ ඉතිහාස තුල අධ්‍යයන කව හෝ කියවන කව විශ්වවිද්‍යාල ආශ‍්‍රිතව පැවතිය ද දාර්ශනික සාහිත්‍යයක් බිහි කිරීමේ අදහසින් ඒවා පවත්වා ගියේද යන්න සැක සහිතය. නමුත් අප මෙහි සඳහන් කරන කෘතිය කියවන කවයක් තුලින් බිහි වූවක් වන අතර එහි ඇති සරල සුමට හා ඊට නොදැවිණි ගැඹුර ඒ බව මනාව පසක් කරයි.

දැන්වත් කෘතිය වෙත පැමිණියොත්, කාටිසියානු දර්ශනය යනු අදටත් ලෝකයේ ප‍්‍රධාන පෙළේ දාර්ශනික සම්ප‍්‍රදායකි. ඩෙකාට් ගේ ඇති විශේෂත්වය වන්නේ ඔහු විසින් ඉතා සාධාරණ ලෙස හා තර්කානුකූලව ගෙන එන කොජිටෝව නම් අදහස අද දවස වන විටත් බිඳ හෙළිය නොහැකි දාර්ශනික ආස්ථානයක් වීමයි. ඔහු මේ සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය, කෘතිය තුල මනාව ගෙන හැර දක්වයි. කොජිටෝව යන්න ඉතාම සරල හා සංෂිප්ත ලෙස සඳහන් කරන්නේ නම් අප මේ මොහොතේ සිතමින් ඉන්නවා නැතිනම් සිතනා-දෙය යන්න අප ප‍්‍රශ්න කළ නොහැකි ප‍්‍රාථමික පැවැත්මක් බවට හඳුනා ගැනීමයි. වෙනත් ආකාරයට කියන්නේ නම් කොජිටෝව යනු සිතනා-දෙය වෙනත් කිසිදු බලපෑමක් නොමැති හරයාත්මක පැවැත්මක් ලෙස පැවතීමයි. ඩෙකාට් ජීවත් වන යුගයේ දෙවියන් පිලිබඳ අදහස යුරෝපය තුල මුල් බැස ගත් අදහසකි. එයත් සම`ග තාර්කිකව සම්බන්ධ වීමට ඩෙකාට් උත්සහ කරන්නේ ගැලීලියෝ විද්‍යාවෙන් කළ සටන හා සාපෙක්ෂ රැුඩිකල් හා පරෙස්සම්සහගත ප‍්‍රවේශයක සිටිය.

අවසාන වශයෙන් අප යෝජනා කරන්නේ අප අලූත් මාවතකින් දාර්ශනික සාහිත්‍යයක් ගොඩ නැගිය යුතු බවයි. ඒ සඳහා අත්‍යවශ්‍ය ක‍්‍රියාමාර්ගය වන්නේ දාර්ශනික කෘති සිංහලෙන් පළ කිරීමයි. ඒ සඳහා කළ යුතු වන්නේ ඒවා ඒ අයුරින් පිටපත් කිරීම නොව පාඨකයා හඳුනාගෙන එම කෘති නිර්මාණශීලී ලෙස නැවත ප‍්‍රතිනිර්මාණය කිරීම තුලින් ගැඹුරු දාර්ශනික සංකල්ප ගෙන ඒමයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් දාර්ශනික කෘති අපට සමීප කර විය හැක්කේ ප‍්‍රංශයේ හෝ ජර්මනියේ උදාහරණ ලෙස ගැනෙන සංස්කෘතික අංග හා ඔවුන්ගේ ආප්තෝපදේශ, උපමා, ජනකතා තුලින් නොව ඒවාට ලාංකික උදාහරණ සපයමින් නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමෙන් බවයි. අනෙක් කරුණ නම් කියවන කව තුල අප දකින මෙම සාමූහික සාහිත්‍යයක් බිහි කිරීමේ කලාව සියලූ දාර්ශනික සාහිත්‍යකරුවන් අත්හදා බැලිය යුතු යැයි අප යෝජනා කරමු. ඒ සඳහා ආත්මීයත්වය හා භෞතික ලෝකය කෘතිය ආදර්ශයක් කරගන්නා ලෙස යෝජනා කිරීමට අපට සිදු වන්නේ එම කලාව අත්හදා බැලීම එම කෘතිය තුලින් මනාව සිදු ඇති නිසාය.

රංග මනුප්‍රිය

Advertisements