Water Painting 1999 by Gary Hume born 1962

පහතින් පළ වන්නේ නලින් ද සිල්වා විසින් රචනා කරන ලද ‘බොරු සහ පට්ටපල් බොරු’ නම් ලිපියයි. කාලය වෙබ් අඩවියේ මුල් වරට පළ වූ මෙම ලිපිය යළි මෙහි පළ කළ යුතුයැයි සිතුවේ ‘නලින් ට එරෙහිව නලින්’ නමින් “බව” හී පළ වූ ලිපියකට ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගැනීමත් සමගයි. මේ ආකාරයේ මැදිහත්වීම් වලට ලැබෙන ප්‍රතිචාර අතර අනිවාර්යයක් වන ‘අනෙකා පීචං කිරීම’ සඳහා වන අපහාසාත්මක වදන් අතර තිබුණු එකම වැදගත් ප්‍රශ්නය බව අපට පෙනී ගියේ ‘පට්ටපල් බොරු’ පිළිබඳ එහි දී අප කර තිබූ අර්ථකථනය පිළිබඳ විවේචනයයි. එම අර්ථකථනයේ වැරැද්ද කුමක්ද කියා පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියත් එම ප්‍රතියෝජකයන් අතින් එයනම් තවමත් සිදු වූයේ නැත.

තතු එසේ වුවත් මේ පිළිබඳව තව එක් වරක් පැහැදිළි කිරීමට උත්සාහ කිරීම කාලය හා ශ්‍රමය අපතේ යැවීමක් කියා අප සිතන්නේ නැත. දෙමළ ජාතික අරගලය පිළිබඳව සිංහල සමාජයේ ඇති වන කතා බහ සඳහා 2017 වසර බොහෝ දුරට තීරණාත්මක වනු ඇත. නමුත්, ඉතාමත්ම වේගයෙන් සිය දේශපාලනික සුජාතභාවය අහෝසි කරගෙන යන වික්‍රමසිංහ-සිරිසේන පාලනය අතින් දෙමළ ජාතික අරගලය දෙස වෙනත් ආකාරයකට බලන්නට සිංහල සමාජය තුළ ඉඩක් වෙන් වීම සඳහා තිබෙන්නේ ඉතාම අඩු ශක්‍යතාවයකි. එවැන්නක් කළ හැකි වනු ඇත්තේ එම පාලනයෙන් බාහිරව සිටිනා ක්‍රියාකාරීන් ගේ පොදු මහන්සියකින් පමණි.

ලබන මස පළමුදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවැනි ජාතික සමුළුව දා ‘ලංකාවේ ජාතික ගැටලුවට ඇති නිර්ධන පාන්තික විසඳුම’ යනුවෙන් මේ ප්‍රශ්නය සම්බන්ධ ලියවිල්ලක් එළි දැක්වීමට නියමිතව තිබේ. මේ සියලු දේ මගින් දෙමළ ජාතික අරගලය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වන්නේනම් එය යහපතක් වනු ඇත. සිංහල සමාජය තුළ මෙහිදී තීරණාත්මක වන්නේ මේ සම්බන්ධයෙන් ඇති නලින් ද සිල්වා ගේ ප්‍රවාදය සඳහා විකල්පයක් ගොඩ නැගීමයි.

එවැනි අරමුණක් වෙනුවෙන් අප විසින් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න රාශියක් තිබේ. මේ සඳහා නිව්ටන් ගුණසිංහ ගේ ඓතිහාසික පැහැදිළි කිරීම ප්‍රමාණාත්මක වේද? සිංහල-දෙමළ පසමිතුරුතාවය සඳහා සම්භාව්‍ය මාක්ස්වාදී විසඳුමක් යෝජනා කළ හැකිද? මෙයට විසඳුමක් යෝජනා කිරීමේදී දෙමළ ජාතිකවාදයේ දේශපාලන ඉල්ලීම අප සලකා බැලිය යුත්තේ කෙසේද? ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හමුවේ අප ගත යුතු ස්ථාවරය කුමක්ද? මේවා බැරෑරුම් ප්‍රශ්න බව ඉතාමත් පැහැදිළිය. නමුත් මේ කිසිදු විසඳුමක් පිළිබඳව සංවාදයක් කිරීමට ඉඩක් නොමැති වන්නේ විසඳන්නට ප්‍රශ්නයක් දෙමළ මිනිසාට නොමැති වේ කියා සිතනා සිංහල බහුතරයක් සිටිනා සමාජයක අප තවමත් සිටිනා බැවිනි. මෙම කුඩා මැදිහත්වීම අදාළ වන ප්‍රශ්නයේ තලය වන්නේ මෙයයි.

මේ මැදිහත්වීමට නලින් ද සිල්වා ගේ ‘බොරු’ සහ ‘පට්ටපල් බොරු’ අතර වෙනස තීරණාත්මක වන බැවින් ඔහුගේ මෙම ලිපිය කියවීම මෙහිලා අතිශයින් වැදගත් වේ. මේ ඇසුරින් අප මතු කළ තර්කය පිළිබඳ පැහැදිළි කිරීමක් ඉදිරියේදී පළ කරමු.

***

බොරු හා පට්ටපල් බොරු

අප දැනුම නිර්මාණය කරන්නේ, එනම් සංස්කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා. මෙහි අවිද්‍යාව කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම නොදැනීම. මුළු ලොව ම අපේ නිර්මාණයක්. එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස්. මගේ ලෝකය නිර්මාණය කෙරෙන්නේ මා විසින්. එනම් නැති මා කෙනකු විසින්. නැති මා ඇති මා කෙනකු කිරීම තමයි පළමු නිර්මාණය. ඒ මගේ අවිද්‍යාව. මෙහි කාට හරි හිතෙන්න පුළුවන් අවිද්‍යාව නම් හේතුව නිසා දැනුම සංස්කරණය කරනවා කියා. එහෙත් මෙය කිව යුත්තේ අවිද්‍යාව වේ නම් සංස්කාර හටගනී ලෙස. අවිද්‍යාව නැත්නම් සංස්කාර හටගන්නේ නැහැ. අවිජ්ජා පච්චයා සංකාරා යන්න නැති මා සංස්කරණය කරන්නේ එලෙසයි.

අපට අපේ දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් දැනුම ලබාදෙනවා කියලා අප හිතනවා. ඒත් ඒ අය කියන දැනුම අප ලබාගන්නේ අපට ම ආවේණික ආකාරයකට. අප ලබාගන්නේ අප නිර්මාණය කරන දැනුමක් මිස වෙනත් අය ලබාදෙන දැනුමක් නො වෙයි. මා නිර්මාණය කරන දැනුම මට සාපේක්‍ෂයි. එනම් මගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංූස්කෘතියට සාපේක්‍ෂයි. මගේ මනසත් ඉන්ද්‍රිය පද්ධතියත් සංසාර ගමනෙන් ලුබුණු දේ. ගුරුවරුන් උගන්වන දේ අප ලබාගන්නේ, නිර්මාණය කරන්නේ සංසාකරණය කරන්නේ අපට සාපේක්‍ෂව. අප සියළු දෙනාම එකම දෙයක් නිර්මාණය කරගන්නේ නැහැ, එනම් සාමාන්‍යයෙන් කියන විධියට ලබාගන්නේ නැහැ. ගෝලයන් හැමදෙනාම ගුරුවරයා කියන දේ එකම විධියට ලබාගන්නේ නැහැ.

මේ දැනුම අප අසා ලබාගන්නවා විය හැකියි. එසේ නැත්නම් පොතකින් පතකින් ලබාගන්නවා විය හැකියි. පරම්පරාවෙන් ලබාගන්නවා විය හැකියි. මේ මොන ලබාගැනීමත් සංස්කරණ, එනම් නිර්මාණ. ඒ අපේ සංස්කරණ. මේ අතර තර්ක කිරීමෙනුත් දැනුම ලබාගන්නවා. තර්ක කරන්නේ මොනවා හරි පදනම් කරගෙන. මෙසේ කරන්නේ බොහෝ විට අප නිරීක්‍ෂණය කරන දේ තේරුම් ගැනීමට කියලා අප කියනවා. අප යම්කිසි දෙයක් උපකල්පනය කරලා යම් යම් නීති ටිකක් උපකල්පනය කරලා අනුමාන ලබාගන්නවා. ඒ ලබාගන්නා අනුමාන අර නිරීක්‍ෂණය කරන දේ සමග සංගත වෙනවා කියලා හිතනවිට, පේනවිට, අප කියනවා අප උපකල්පනය කරපු දේ හරි කියලා. මේ දැනුම අනුමානයෙන් ලබාගන්නා, එනම් සංස්කරණය කරන දැනුම.

ඒක එතරම් නරක නැහැ. ඒත් අර උපකල්පනය බොරුවක්. අර කලින් කී දැනුම් ද බොරු. අප සංස්කරණය කරන දේ බොරු. මා කියන සංකල්පයත් බොරු. ඒත් ඒ බොරු හා මේ අනුමාන බොරුව අතර වෙනසක් තියෙනවා. අනුමාන බොරුව කතන්දරයක් පමණයි.  අනුමාන බොරුවත් පංචෙන්ද්‍රියවලට ගෝචර නම් ඒකත් එච්චර ප්‍රශ්නයක් නොවෙයි.  ලංකාවේ හැමෝම වගේ මේ කතන්දර, නැත්නම් බොරු ගොතනවා. ආවා කල්ලිය කියා එකක් නිරීක්‍ෂණය කරලා තියෙනවා. ඒ ගැන එක එක්කෙනා විවිධ කතන්දර හදනවා. රාජිත වගේ ඇමතිවරුත් කතන්දර හදනවා. දේශපාලනඥයන් තමයි වැඩියෙන් ම කතන්දර හදන්නෙ. ඒත් මේ කතන්දරත් පංචේන්ද්‍රිය ගෝචරයි. රාජිතගෙ  කතන්දරේ එන ගෝඨාභය එනම් හිටපු ආරක්‍ෂක ලේකම් පංචෙන්ද්‍රිය ගෝචරයි. සමහර කතන්දර මනසෙන් මවාගන්න පුළුවන්. සිංහලයන්ට එවැනි කතන්දරත් හදන්න පුළුවන්. අපි අපාය ගැන දිව්‍ය ලෝකය ගැන කතන්දර දන්නවා. එවැනි කතන්දර අපට ප්‍රත්‍යක්‍ෂ නැහැ.

මේ හැම කතන්දරයක් ම බොරුවක්. මා කියලා කෙනකු ඉන්නවා කියනවා වගේ ම බොරුවක්. ඉන් සමහර ඒවා ප්‍රත්‍යක්‍ෂ. තවත් ඒවා, දිව්‍ය ලෝකය වගේ ඒවා, අපට මනසෙන් මවාගන්න පුළුවන්. ඒවා ප්‍රත්‍යක්‍ෂ නොවෙයි. හැබැයි සමහරුන්ට, ආධ්‍යාාත්මික ව දියුණු අයට ඒවත් මනසින් දකින්න පුළුවන්. ඒවා ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ. ප්‍රත්‍යක්‍ෂ වුනත් නැතත් ඒ සියල්ල අපේ නිර්මාණ, සංස්කරණ. මේ සියල්ල සංයුක්ත කතන්දර. සංයුක්ත බොරු. අවිද්‍යාව ඇති විට හටගන්න බොරු.

මේ සංයුක්ත සංකල්පවලට, කතන්දරවලට අමතරව තවත් සංකල්ප ප්‍රවාද තියෙනවා මනසින් මවාගන්න බැරි. අනන්තය අපට මනසින් මවාගන්න බැහැ. ඇතැම් දෙවිවරුන්ට, භූතයන්ට ඒ හැකිවෙන්න පුළුවන්. ඒත් කිසිම මිනිසකුට බැහැ. ඒ කිට්ටුවට ආවා නම් ඒ රාමනුජන් විතරයි. ඒ නමක්කාල් දෙවඟනගෙ පිහිටෙන්. රාමනුජන් බටහිර අර්ථයෙන් ගණිතඥයෙක් නොවෙයි. අනන්තය තියා සරල රේඛා ඛණ්ඩයක්වත් අපට මනසින් මවාගන්න බැහැ. පුළුවන් නම් දිගක් පමණක් ඇති සරල රේඛා ඛණ්ඩයක් මනසින් මවාගන්න. මේවා වියුක්ත සංකල්ප. ඒවත් අපේ නිර්මාණ පමණයි. ඒවා පට්ටපල් බොරු.

සියළු කපුටන් මනසින් මවාගන්න පුළුවන් ද? ඒත් අප සියළු කපුටන් කළුපාට කියා කියනවා. ඒ අගත අනගත සියළු කපුටන් ගැන. සියළු වස්තු ගැන කතාකරන විට උද්ගමනයක් වෙනවා. උද්ගමනයට ඉංගිරිසියෙන් ඉන්ඩක්ෂන් කියලා කියනවා දැන් මේ මනසින් මවාගන්න බැරි .වියුක්ත දේ තේරුම් ගන්න අපි වියුක්ත කතන්දර ගොතනවා. ඒවත් පට්ටපල් බොරු. දුටු නොදුටු සියළු වස්තු පොළොවට වැටෙනවා කියලා උද්ගමනයක් හදාගෙන ඊට පස්සෙ අපි ඒක තේරුම් ගන්න කියලා ගුරුත්වාකර්ෂණය කියලා පංචෙන්ද්‍රිය ගෝචර නැති මනසින් මවාගන්න බැරි කතන්දරයක් ගොතනවා. ඒක පට්ටපල් බොරුවක් කිව්වම තරහෙන් වෙන වෙන කතන්දර ගොතනවා.  ඒ විතරක් නොවෙයි සියළු වස්තු පොළොවට වැටෙන්න හේතුව ගුරුත්වාකර්ෂණය කියලත් කියනවා. ඒත් හේතුව කියන සංකල්පයත් මනසින් තනාගත් එකක් බව අමතක කරනවා. හේතු හොයන එක බටහිරයන්ගෙ වැඩක්. මේ ඊනියා හේතු සංස්කරණය කරන්නෙ  අනපෝහනයෙන්. ඒකට ඉංගිරිසියෙන් ඇබ්ඩක්ෂන් කියලා කියනවා. සංයුක්ත හේතු බොරු. වියුක්ත හේතු පට්ටපල් බොරු. බුදුදහමේ කියන්නෙ ඒ ඇත්නම් මේ හටගනී ඒ නැත්නම් මේ හට නොගනී කියලයි. එච්චරයි.

නලින් ද සිල්වා

මුල් ලිපිය උපුටාගත් ‘කාලය’ වෙබ් අඩවියට මෙතැනින්

Advertisements