exam_painting_1_by_maxwell_heza

A / L විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම අපිට හමුවෙන සුලභ තත්වයක් තමයි විශිෂ්ටත ම ප්‍රතිඵල ලැබීම නිසා සිදු කරන ඇගයීම් ටික. නමුත් තමන් ලැබූ ප්‍රතිඵල වල තත්වය දැකලා දැඩි ලෙස කම්පාවට පත් වෙන අයත් ඉන්න බව අපි දන්නවා. මේ විදියට විභාගය අසමත් වීමත්, ලැබූ ප්‍රතිඵලය තමන් බලාපොරොත්තු වූ පරිදි නොලැබීමත් යන කරුණු නිසා මේ වෙද්දි අපේ නව යොවුන් තාරුණ්‍යය දැඩි ලෙස කම්පාවට පත් වෙනවා. ඒ වගේ ම කලකිරෙනවා.

ඇත්තටම සෑම ශිෂ්‍යයෙක් ම පාසැල් අධ්‍යාපනය ලබා ගත යුතුයි යන්න අයිතිවාසියකමක් ලෙස පේන්න තිබුනට ඒක එහෙම්ම ම නෙවෙයි. සිදු වෙන්නෙ ඒ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දරුවන්ගෙ භාරකාරත්වය යොමු කිරීමක්. නමුත් මේ තත්වය මිනිසුන් වන අප විසින් පිලිපැදිය යුතු අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒ වගේ ම ඒක ලමයෙකු විසින් කරන නිදහස් තෝරාගැනීමකුත් නෙවෙයි .

මේ ගත වෙන්නෙ පාසැල් අධ්‍යාපනය තුලින් ඉහළ සාමාර්ථ ගත් විශිෂ්ටයන් බිහි වීම ගැන අපේ රටේ තිබෙන අධ්‍යාපන ක්ෂේස්ත්රය සෑහෙන සතුටක් ලබන අවධියක්. ඔය අතරේ දී අඩු ප්‍රතිඵල ගත් අය හැකි උපරිමයෙන් තමන් ගැන වැළපෙමින්, කලකිරෙමින් සිටිද්දී ඒ ගැනත් විශාල සතුටක් මේ අධ්‍යාපන ක්ශේස්ත්රය විසින් ලබා ගන්නවා. ලංකාවේ වත්මන් පාසැල් ක්‍රමය ආරම්භ වූ කාලයේ ඉඳන් ම මේ ශෝකාන්තමය හැඟීම අපේ නව යොවුන් තාරුණ්‍ය වෙත ප්‍රදාන කිරීමත් අධ්‍යාපන ක්ෂේස්ත්රයේ නිල කාර්ය භාරයක්. ඒ නිසාම අපිට අහන්න පුලුවන්, බය නැතුවම අහන්න. ඇත්තටම අධ්‍යාපනය කියන්නෙ ඒවගේ දෙයක් ද කියලා.

ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුල බිහි වෙන විශිෂ්ටත ම ශිෂ්‍යයන් බිහි වෙන්නෙ ඔහු ඉගෙන ගන්න අදාල පද්ධතිය තුල විතරයි. නමුත් උසස් පෙල සමත් ඉහල ම සිසුවා කියන්නෙ විශිෂ්ටතමයෙක් නෙවෙයි. ඔහු මේ අධ්‍යාපන පද්ධතියේ සාර්ථක නිර්මාණයක් පමණයි. ඒ කියන්නෙ ඔහු හෝ ඇය කරන්නේ තමන්ගේ දෙන ලද විෂය නිර්දේශය තුල තමන්ව විශිෂ්ටත්වයට පමුණුවාගැනීමයි. ඒ නිසා පාසැල් අධ්‍යාපනයේ දී ලබන අසමත්කම් දක්වන සිසුවෙකු, අර විශිෂ්ටයන් සමග තමන්ව සසැඳීමිට යාම මේ වෙලාවේ බහුල මානසික පුරුද්දක්. නමුත් ඇත්තටම වෙන්නෙ අනෙකෙකුගේ පුංචි දක්ෂතාවයක් සමග තමන් තුල තියෙන අනෙකුත් සුවිශාල විභවයන් (විය හැකියාවන්) අනවශ්‍ය ලෙස පටලවා ගැනීමයි.

කලින් කිව්වා වගේ මේ පාසැල් අධ්‍යාපනයේ සමත් අසමත්භාවයන් කියන්නේ ඒ තරම් තීරණාත්මක දේවල් නෙවෙයි. ලෝකය පුරා මේ වෙද්දි දියත් වෙමින් තියෙන අති සංකීර්ණ අධ්‍යාපන පද්ධතියයෙන් බිහි කරපු විශිෂ්ටයෙකුගෙන් උගත යුතු විශේෂ අලුත් යමක් නැහැ. ඒ වගේ ම ඒ වගේ සංකීර්ණත්වයට අනවශ්‍ය ලෙස තමන්ව බිලි දිය යුතුත් නැහැ. දැනට මේ තියෙන අධ්‍යාපනයේ තියෙන සුපිරිම එල්ලය තමයි වඩාත්ම සුවපහසු ජීවිතය තෝරා ගැනීම වෙනුවෙන් වන තරඟයේ විශිෂ්ටත්වය පැමිණීම.

ඒත් එහෙම සුවපහසු ජීවිතයක් තියෙනව යැයි සිතීම සෑහෙන සුවිශාල මිත්‍යාවක්. මේ වෙලාවේ කිසිම ජීවිතයක් මොනම ආකාරයකින්වත් සුවපහසු එකක් වෙන්නෙ නැති බව අපි දන්නවා. ඔවුන්ට තම අධ්‍යාපනය ලැබීම නිසා අත් පත් කරගත් ජීවිතය අඛණ්ඩව නඩත්තු කළ යුතු වෙනවා. නිරන්තරවම එවන් ශිෂ්‍යයෙකු විසින් නිම නොවන ආතතිකර නඩත්තුවක් තමන් අනාගතයේ දිනෙක, මිය යන තුරාවට සිදු කළ යුතුයි. එබැවින් අසමත්වන්නන් දැන ගත යුත්තේ එයයි.

ඒ වගේ ම අසමත් වන්නන් දැන ගත යුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි විශිෂ්ටයන් යනු නිරන්තරයෙන්ම තෝරා ගත්තන් වීම. උදාහරණයක් විදියට බොහෝ විට රාජ්‍යයක් තුල දී ඔවුන්ගේ දෛවය විසඳෙන්නෙ සෑහෙන තරමක් බලය හිමි නිලධාරී තනතුරකට නිතැතින්ම පත් වීමෙන්. නැත්තනම් සමාගමක විධායක බලාධිකාරයේ තනතුරක් දක්වා ගොස් තමන්ගේ විශිෂ්ටත්වයන් පාවා දෙන්න. එලෙස සුවිශාල වැටුප් සහ දීමනා සමග ඇති රැකියාවන් මගින් විශිෂ්ටයන්ව දඩයම් කිරීම මෙහි උපරිම ස්වභාවය වෙනවා. ඉතින් තවදුරටත් විභාගය නිසාවෙන් කලකිරෙන, කම්පාවට පත් වෙන අසමත් වූ සිසුවෙකු සිටීම කියන්නේ විහිලුවක් නොවේද ? මම වැඩි දුරටත් හිතනවා අසමත් සිසුවොන්ගේ කන් තවමත් දිග් වී නැති බව.

ඒ නිසා කියන්න වෙනවා මේ වෙලාවේ අසමත් සිසුවා කියන්නෙ බරපතල බිඳ හෙලිය නොහැකි දක්ෂතාවයක් කියල. අධ්‍යාපනය ලැබීම මගින් විශිෂ්ටයෙකු පත් වීමට වඩා ඔවුන් විසින් සිදු කර ඇත්තේ වඩාත් අපහසු ම මාර්ගය තෝරා ගැනීමට ඉඩ ගැනීමයි. එබැවින් ඔවුන්ගේ අසමර්ථභාවයට හේතුව මැන බැලීමට මේ පවත්වන විභාග ක්‍රම දුර්වල නොවේද ? ලෝකයේ කොහේවත් විශිෂ්ට විභාග යනුවෙන් දෙයක් තිබේද ?

ඕනෑම විභාගයක දී ඉතුරුව ඇත්තේ ඊට විශිෂ්ට ලෙස මුහුණ දීම පමණයි. එ බැවින් සිසුවෙකු එයට අසමත් ලෙස මුහුණ දීම කියන්නේ විභාගවල තියෙන දෝෂයක් නිරාවරණය වීමක්. නමුත් මේ දෝෂයට අර කියපු විශිෂ්ටත්වයට පත් වූවන්ව උත්කර්ෂයට ලක් කරමින් විභාගය මාර දෙයක් බවට පත් කරවනවා.

ඒ නිසා විභාග කියන්නෙ සුළුතරයකට පමණක් හැම විටම මුණ ගැසෙන, ඔවුන් ලබන සාර්ථක ප්‍රතිඵල ඒ සුළුතරය අතරේ පමණක් හුවමාරු වෙන නිරන්තර තරඟයක් විදියට හැඳින්විය හැකියි. ඒ අනුව අසමත්භාවය කියන්නේ විභාගයට මූණ දීම විශිෂ්ට ලෙස ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා නොවේද ? මන්ද ඒ ශිෂ්‍යයාගේ දක්ෂතාවන් ගැන සොයා බැලීමට පාසැල් අධ්‍යාපනය ඇතුලෙ නිර්ණායකන් නැති නිසා.

ඒ අනුව පාසැල් දහසක් වැසුවොත් හිර ගෙවල් කිහිපයක් වැසිය හැකියි කිව්වට මෙතනදි වරදක් නැහැ. මොකද පාසැල් අධ්‍යාපනය තුල තරම් ශිෂ්‍යයන්ව හීනමානයට පත් කරවන, ආත්ම ශක්තිය හීන කරවන, ජාතිවාදය, ආගම්වාදය පතුරවන පංති භේදය කුලමානය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් විකෘති කරමින් අපේ ජීවිතවලට එතරම් සුපිරි අත්දැකීමක් ලබා දෙන ආයතනයක් තවත් නොමැති නිසා. ඒ නිසා මේ විභාගවලින් අසමත් වීම සහ සමත් වීම කියන්නේ අප බලාපොරොත්තු වෙන අනාගත විශිෂ්ටත්වය හමුවේ විශේෂයෙන් සැලකිය යුතු දේවල් නොවන බව අවසාන වශයෙන් කියන්න වෙනව.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

Advertisements