tony-bevan-trunk

පහතින් තිබෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ රූපවාහිණි සාකච්ඡාවක සිංහල අනුවාදයයි (එහි මුල් වීඩියෝව මෙම සටහනේ අවසානයේ දැක්වේ). මෙය සිංහලට දැමීමේ මූලික අරමුණ වන්නේ අප ජීවත් වන මොහොත පිළිබඳව කිසියම් සංවාදයක් ඇති කිරීමයි. විශේෂයෙන්ම, එක පැත්තකින් ‘යහපාලන ආණ්ඩුව’ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනා වත්මන් පාලන තන්ත්‍රය පිළිබඳවත්, අනෙක් අතින් රුසියානු විප්ලවයේ සියවස් සැමරුම හා සමගාමීව විමුක්ති දේශපාලනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන උනන්දුවත් යන කරුණු දෙකම සලකා බැලූ විට මෙවැනි සංවාදයක් ඇති වීමේ අවශ්‍යතාවයක් තිබෙනා බව පැහැදිළි වේ.

පොදුවේ ගත්විට මෙරට වාමාංශික සංවාදයේ තිබෙනා එක මූලික අඩුපාඩුවක් වන්නේ ඒ මගින් ප්‍රශ්නයේ එක පැත්තක් පමණක් ආවරණය කිරීමයි. අවම වශයෙන්, මෙම සංවාදයේදී වැඩිපුර අවධානය යොමු වන්නේ මෙම පැත්ත සම්බන්ධයෙන් පමණක් බව පැවසුවහොත් එයට බොහෝ දෙනා එකඟ වීමට ඉඩ තිබේ. ඒ තමයි පවත්නා ක්‍රමය මේ ආකාරයටම පැවතිය නොහැකි වේ කියනා ඉතාම පැහැදිළි සත්‍යය. මේ කරුණ සම්බන්ධයෙන් පහතින් දැක්වෙන ඉදිරිපත් කිරීම තුළ ජිජැක් ගේ අදහස් සමග අප කිසිවෙකුට විශාල මත ගැටුමක් තිබේයැයි සිතිය නොහැක.

නමුත් අපට මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගෙන ආ යුතු වන්නේ ජිජැක් මෙහිදී පෙන්වා දෙන ප්‍රශ්නයේ අනෙක් පැත්තයි. ඒ තමයි අප සිටින්නේ මේ ක්‍රමයට විකල්පය විය යුත්තේ කුමක්ද කියන ගැටලුවට කිසිදු ආකාරයක විසඳුමක් පිළිබඳ අදහසක් නොමැති තැනක පමණක් නොව එවැනි ගැටලුවක් සොයා ගැනීමට හැකි වේද යන්නත් අවිනිශ්චිත වූ තත්වයක යන්නයි. මෙම කතාවේ අවසානයේදී ජිජැක් කියා සිටින පරිදි, එවැනි විසඳුමක් ලබා ගැනීම වෙනුවට – අනාගත ලෝකය ගැන තිබෙනා හොලිවුඩ් ප්‍රබන්ධ වල මෙන් – ලෝකය විශාල දරිද්‍රතාවයන්ගේ කළාපයන්ගෙන් සකස් වීමේ හැකියාව පවා අපට ප්‍රතික්ෂේප කළ හැකි නොවේ.

අනෙක් අතට ජිජැක් – සහ තවත් බොහෝ අය – අපට නිරන්තරයෙන් මතක් කරනා මූලික අදහස වන්නේ ‘විසිවැනි සියවස අවසන්’ වේ යන්නයි. මෙරට වමේ සංවාදයේ තිබෙනා කේන්ද්‍රීය දුර්වලතාවයක් වන්නේ මෙන්න මේ නිශ්චිත ප්‍රශ්නය ඉලක්ක කරමින් ගොඩ නැගී ඇති අදහස් ප්‍රමාණාත්මක නොවීමයි. සත්‍ය වශයෙන්ම ගත්විට මේ කරුණ සම්බන්ධයෙන් මෙරට සංවාදයක් නොමැති වන තරම් කියා කෙනෙකු පැවසුවත් එය මුළුමනින් වැරදි නොවේ.

‘විසිවෙනි සියවස අවසන් වේ’ යන්නෙහි අර්ථය කුමක්ද? ඉතාමත් සරල ආකාරයෙන් ගත්විට, මෙහි මූලික අර්ථය වන්නේ විසි වෙනි සියවසේ අප අත්දුටු, වාමාංශික ව්‍යාපාරය සඳහා තිබූ, මූලික දේශපාලනික ක්‍රමෝපායන් සියල්ලෙහි ප්‍රායෝගික අවසානය වෙත අප පැමිණ තිබෙනා බවයි. ඉතාමත් පැහැදිළි දෙය වන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ තිබූ – ‘සැබැවින්ම පැවති සමාජවාදය’ – ආකාරයේ පාලනයක් වෙත අපට නැවත යා නොහැකි බවයි. අනෙක් අතට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තිබූ බලාපොරොත්තුවද සාර්ථක විකල්පයක් නොවන බව පැහැදිළි වේ. මෙවැනි තත්වයක් යටතේ අප ප්‍රායෝගිකව සිටින්නේ ‘වමේ’ සංවිධානයක් සකස් කරන්නේ කුමන නිශ්චිත ඉලක්කයක් වෙත ළඟා වෙන්නද, එවැනි සංවිධානයක ආකෘතිය කුමක්ද ආදී අති මූලික ප්‍රශ්න වලට පවා පිළිතුරක් නොමැතිවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි අය විවේචනය කරන්නන්ගේ තාර්කික ප්‍රවේශයේ ඇති එක් දුර්වලතාවයක් අපට හමු වන්නේ මෙම නිශ්චිත මන්සන්ධියේදීය. ‘යහපාලන ආණ්ඩුව’ යනුවෙන් හැඳිවෙන වත්මන් පාලන තන්ත්‍රය විවේචනය කිරීම සහ ඒ සමග එයට සහය දීම වෙනුවෙන් පෙනී සිටිය අය විවේචනය කිරීම එතරම් අපහසු දෙයක් නොවේ. නමුත් එයට වඩා තරමක් අපහසු දෙය වන්නේ එම තලය තුළ, එනම් රාජ්‍ය බලය තීරණය කරන ජාතික තලය තුළ, අපිට මේ සඳහා තිබෙනා විකල්පය කුමක්ද යන්න විමසා බැලීමයි. අවම වශයෙන් මේ මොහොත තුළ ඒ සඳහා එවැනි විකල්පයක් අපට නොමැති බව ඉතාමත්ම පැහැදිළි වන්නකි. ජිජැක් ගේ මෙම කතාවේ දී අවධාරණය කරනා මූලික කරුණක් වන්නේ මෙයයි. මෙම තලයේදී අපට ‘මහින්ද – මෛත්‍රී’ ප්‍රතිපක්ෂයටම විකල්ප වූ විසඳුමක් යෝජනා කළ හැකි නොවේ. ‘උනුත් එකයි – මුනුත් එකයි’ කියන සටන් පාඨය ප්‍රයෝජනවත් එකක් වන්නේ උනුත් නොවන, මුනුත් නොවන ‘තෙවැනි එකෙක්’ අපට පෙන්වා දිය හැකිනම් පමණි.

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ’ අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව අපට අමතකව තිබේදැයි කියා කෙනෙකු ප්‍රශ්නයක් මතු කිරීමට හැකිය. නමුත් මෙහිදී මතු කරනා මූලික අදහස සඳහා මෙම කරුණෙන් හානියක් සිදු වන්නේ නැත. අප කියන්නේ ‘මහින්ද-මෛත්‍රී’ අතර බල පෙරළිය සිදු වන තලය තුළ, එයට සමාන වෙනත් විකල්පයක් අපට නොමැති බවයි. ‘පෙ.ස.ප’ අපේක්ෂකයාට අමතරව එහි තවත් අපේක්ෂකයන් ඉදිරිපත් විය. එමෙන්ම, එහිදී පෙ.ස.ප අපේක්ෂකයා ට, අංක ගණිතය අනුව ගත්විට පවා, හිමි වූයේ තෙවැනි තැන නොව නම වැනි තැනයි. ඒ.එස්.පී. ලියනගේ නම් වූ ව්‍යාපාරිකයා පවා එම මැතිවරණයෙන් පෙ.ස.ප අපේක්ෂකයාට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණි. පෙ.ස.ප. අපේක්ෂකයා හට සහය දීමෙන් අපේක්ෂා කළේ ඔහු ගේ ජයග්‍රහණය නොව, වෙනත් දෙයක් බව – විකල්පයක් පිළිබඳ අදහස සඳහා ඉඩක් වෙන් කර ගැනීම, නවීනත්වයේ ලක්ෂ්‍යයක් ගොඩ නැගීම ආදී ලෙස – අපට කිව හැකි බව සත්‍යයකි. ඒවා මුළුමනින් වැරදි අදහස් ද නොවේ. නමුත් ඒ මගින් අප මෙහිදී මතු කරන තර්කයට හානියක් වන්නේ නැත. ඇත්තටම සිදු වන්නේ එමගින් එම තර්කය තවත් තහවුරු වීමයි. මෛත්‍රිපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂ හෝ එම මැතිවරණයට ඉදිරිපත් වූයේ මේ ආකාරයේ ‘වෙනත් දෙයක්’ වෙනුවෙන් නොවේ. ඔවුන් දෙදෙනාගේම අරමුණ වූයේ, සරලවම, මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සහ ඒ මගින් ලැබෙනා රාජ්‍යය බලය හැසිරවීමේ හිමිකම ලබා ගැනීමයි. ඔවුන් ක්‍රියාත්මක වූ ‘තලය’ වන්නේ එයයි. අනෙක් අතට, දුමින්ද නාගමුව හෝ සිරිතුංග ජයසූරිය හෝ මෙම මැතිවරණයට තරඟ කළේ එම තලය තුළ නොවෙයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ කිසිවෙක් එවැනි අරමුණකින් වැඩ කරා කියා අපි නොසිතමු – අපි ප්‍රාර්ථනා කරමු!

ඒ අනුව පෙ.ස.ප. අපේක්ෂකයාට සහය දුන් ඕනෑම කෙනෙක් එසේ කළේ මහින්ද හෝ මෛත්‍රී හෝ මෙම මැතිවරණය ජයගන්නා බව දැනගනිමින්ය. එවිට ගැටලුව වන්නේ මේ දෙදෙනාගෙන් ජයගන්නා කෙනා කවුද කියනා එක වැදගත් වන්නේද නැතිද යන්නයි. අපද ඇතුළු යම් පිරිසකගේ අදහස වූයේ මහින්ද දිනනවාට වඩා මෛත්‍රී ගේ ජයග්‍රහණය මගින් තීරණාත්මක වෙනසක් ඇති වනු ඇති බවයි. මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි ජිජැක් ගේම තවත් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් වෙත යමු. ඒ තමයි පසුගියදා පැවතී ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජිජැක් විසින් ට්‍රම්ප් ට සහය දෙන බවට කළ ප්‍රකාශය.

මෙම තීරණයට කෙනෙක් එකඟ වන්නේද නැතිද යන්න මෙහිදී වැදගත් නොවේ. අපට පෙන්වා දීමට අවශ්‍ය වන්නේ වෙනත් කරුණකි. පළමුවෙන්, ජිජැක් මෙහිදී ‘තෙවැනි පාර්ශවයක්’ තෝරා ගන්නේ නොමැති වීමයි. ඔහු කියන්නේ අප ට්‍රම්ප්-හිලරි වෙනුවට ‘සැබෑ වමේ විකල්පයකට’ චන්දය දෙමු යන්න නොවේ. මෙයට හේතුව වන්නේ එම මැතිවරණය ක්‍රියාත්මක වූ තලය තුළ එයට වෙනත් විකල්පයක් නොවූ බව යන්න ඉතාම හොඳින් පැහැදිළි වේ. ඔහු ගේ සිතා බැලීමේ පදනම වන්නේ මෙම තෝරා ගැනීම් අතරින් වමේ දේශපාලනයේ වර්ධනය වෙනුවෙන් උපක්‍රමිකව වඩා ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද යන්නයි. නැවතත් කිව යුතු වන්නේ මෙයට කෙනෙක් එකඟ වනවාද යන්න අප මතු කිරීමට උත්සාහ කරනා මූලික අදහසට වැදගත් නොවන බවයි. අප මතු කරන්නේ මෙයයි: ජිජැක් උත්සාහ කරන්නේ සැබෑ විකල්පයක් බිහි වීමට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ මෙම අපේක්ෂකයන් දෙදෙනාගෙන් කාගේ ජයග්‍රහණයද යන්න විමසා බැලීමයි. නමුත් එය එසේ වන්නේ මේ දෙදෙනාගෙන් කෙනෙකුගේ ජයග්‍රහණය මගින් පමණක් වේ යන්න ඔහු සැක කරන්නේ නැත. මැතිවරණයේ තලය තුළදී අපට තිබෙනා තෝරා ගැනීම වන්නේ එය පමණයි.

මෙයටත් වඩා වැදගත් දෙවැනි කරුණ වන්නේ, මේ අපේක්ෂකයන් දෙදෙනා අතරින් ට්‍රම්ප් ට ජිජැක් ගේ සහය දීමට තිබෙනා එක ප්‍රධාන හේතුවක් ලෙස ඔහු දක්වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ‘ඒකාධිපති රාජ්‍යයක්’ නොවීමයි. ට්‍රම්ප් කෙතරම් ජුගුප්සාජනක පුද්ගලයෙක් වුවත්, ඇමරිකාව වැනි රටක තිබෙනා ආයතන ව්‍යූහය පිළිබඳව – ජිජැක් ට අනුව – කෙනෙකුට විශ්වාසයක් තැබිය හැකිය. ඒවා එක පුද්ගලයෙක්ට වෙනස් කිරීම පහසු නොවේ. නැවතත් කිව යුත්තේ ජිජැක් ගේ මෙම තක්සේරුව නිවැරදිද යන්න වැදගත් නොවන බවයි. වැදගත් වන්නේ ඔහුගේ තක්සේරුව අනුව ඇමරිකාව ඒකාධිපති රටක් වීමේ ඉඩක් නොමැති නිසා – එහි රාජ්‍යය තුළ තිබෙනා ආයතන ව්‍යූහය ශක්තිමත් නිසා – පමණක් ඔහු ට්‍රම්ප් ට සහය දීමට කැමති වීමයි. මෙහි අදහස කුමක්ද කියා ඉතාම පැහැදිළි වේ. එවැනි ආකාරයේ රාජ්‍යයක් නොවන, ඉක්මනින් ඒකාධිපතිවාදයන් වලට ගමන් කිරීමේ දැඩි ඉඩක් තිබෙනා රාජ්‍යයක දී නම් ජිජැක් එම තීරණය ගන්නේ නැත.

මෙයින් උත්සාහ කරන්නේ ජිජැක් කියන සෑම දෙයකටම අප එකඟ විය යුතු බව යෝජනා කිරීමට නොවේ. කිසි සේත් එය එසේ නොවේ. නමුත් මේ කාරණයේදී ජිජැක් ට එකඟ නොවනා කෙනෙකු හට ඔහු විසින් මෙහිදී මතු කර තිබෙනා විකල්පය පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට සිදු වේ. මෙවැනි මැතිවරණ වලදී ජිජැක් නොදකිනා තුන්වැනි විකල්පයක් අපට තිබේද? එවැනි කෙනෙක් පළමුවෙන් අපට පෙන්වා දිය යුතු වන්නේ මෙයයි.

අනෙක් අතට මැතිවරණ වලදී අපගේ තෝරා ගැනීම් යනු අපගේ දේශපාලනයේ අවසාන සිතිජය විය යුතු දේ නොවේ. නව ආකෘතියක වමේ සංවිධානගත වීමක් ගොඩ නැගීම සඳහා අරගලය දැනට තිබෙන්නේ මෙම මැතිවරණ වලින් බාහිරවයි. පහත කතාවේදී ජිජැක් පෙන්වා දෙන්නේ මෙන්න මෙම ලක්ෂ්‍යයේදී අප සිටින්නේ කොතරම් දුර්වල තැනකද යන්නයි. මේ පිළිබඳව විවෘතව සංවාද කිරීම, මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් විවේචනය කිරීමට වඩා ඉතාම අපහසු වේ. මක්නිසාද යත් මේ සඳහා අපට ආදර්ශයට ගත හැකි මොඩලය කුමක්ද යන්න සඳහා කිසිදු විශ්වසනීය අදහසක් අප හමුවේ නැත. අවම වශයෙන්, ස්ලැවෝයි ජිජැක් නම් ඒ කුමක්ද කියා නොදන්නා බව පවසා සිටියි.

අපගේ වමේ සහෘදයන් මෙයට දක්වන ප්‍රතිචාරය කුමක්ද කියා අපි බලා සිටිමු. අපට අවශ්‍ය වන්නේ ‘වාදයෙන් දිනීමට’ නොවේ, ‘වැඩේ කර ගැනීමයි’.

අපි දැන් ජිජැක් ගේ අදහස කියවමු.

***

‘සෑම ෆැසිස්ට්වාදයකම පැන නැගීම පසුපස තිබෙන්නේ අසාර්ථක වූ විප්ලවයකි’ කියා කිවූ, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයට සමීපව සිටි චින්තකයක් වන වෝල්ටර් බෙන්යාමින් ගේ කියමන සමග මම තවමත් එකඟයි. අපි උපායමාර්ගිකව පමණක් හෝ – මට මේ ගැන පූර්ණ විශ්වාසයක් නොමැත – ඉස්ලාමීය මූලධර්මවාදය හැඳින්වීම සඳහා ‘ඉස්ලාමීය ෆැසිස්ට්වාදය’ නම් වචනය පිළිගන්නේනම්, මෙහි නැග ඒම මුළුමනින්ම ඉස්ලාමීය වමාංශයේ බිඳ වැටීම සමග සහසම්බන්ධිත වන්නක් බව පැහැදිළි වේ. 1950-60 දශක වල මෙම වාමාංශය සාපේක්ෂ ශක්තියකින් තිබූනත් එය ඉන් පසුව බිඳ වැටෙන්න පටන් ගන්නවා. එනිසා, මම හිතනවා අපි මේ ප්‍රපංචය ගැන අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. ඒ වෙනුවට අපි ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ ‘වමට මොකද වුනේ’ කියන ප්‍රශ්නය. දක්ෂිණාංශික ජනප්‍රියවාදය කියන්නේ ඉතා පැහැදිලිවම කිසියම් දෙයක් සිදු නොවීමේ ඵලයක්. ඒවා නිකන්ම ඇති වූ දේවල් නෙමෙයි. ඒවා ඇති වුනේ, වෙනත් දෙයක් ඇති නොවුණු නිසයි. ඒ තමයි වමට නිවැරදි පිළිතුරක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම. මට අනුව අද දවසේ තිබෙනා සැබෑ ශෝකාන්තය වන්නේ මෙයයි.

එක අතකින් අප ඇතුලත් වෙමින් ඉන්නේ – ඇත්තටම අපි දැන් මෙයට ඇතුලත් වෙලා අවුරුදු දහයකටත් වැඩී – කෝපය, අතෘප්තිය සෑම තැනකම පුපුරා යන යුගයකට. මෙය බටහිර රටවල් වලටත් අදාළයි. Occupy Wall Street (වෝල් වීදියේ උද්ගෝෂණ), ප්‍රංශයේ, ග්‍රීසියේ ඇති වූ උද්ගෝෂණ ආදිය මගින් අපිට හෙළි කරන්නේ මෙයයි. අනෙක් අතට, මෙම පොදුජන විරෝධයේ ශක්තිය වමට අවශෝෂණය කර ගැනීමට පුළුවන් වූ විට පවා – මෙය සෑම විටම සාර්ථක නොවුනත්, සාර්ථක වූ අවස්ථාවන් තියනවා – මිලියන ගණනක් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට පමණක් නෙමෙයි එය තුළම අභ්‍යන්තර සංගත බවක් ඇති නව දේශපාලන මොඩලයක් ලබා දීමට හෝ වමට නොහැකි වුණා.

මම මෙයින් අදහස් කරන්නේ මෙහෙම දෙයක්. යුරෝපය තුළ, අප තවමත් විසිවෙනි සියවස ඉවරයි කියන එක හරියට තේරුම් අරගෙන නැහැ. මොකද්ද මේකේ තේරුම: විසිවෙනි සියවසේ වමට තිබුනා මූලික ප්‍රවේශයන් තුනක්.

පලවෙනි එක ස්ටාලින්වාදී කොමියුනිස්ට්වාදය – මේක ඉවරයි. මේක ඉවරයි විතරක් නෙමෙයි, ලස්සන උත්ප්‍රාසයක් ලෙස, මේ හිටපු කොමියුනිස්ට්වාදීන් බලයේ සිටිනා තැන්වල, නවලිබරල් ගෝලීය ධනවාදයේ ඉතාම කාර්යක්ෂම සහ කුරිරු ඒජන්තනයන් වී ඉන්නෙත් ඔවුන්. ඔබට තේරෙනවා නේද? මේ කාලයේ ඔබට සාර්ථක ධනපතියෙක් වෙන්න ඕනෙනම්, බටහිරට යන්න එපා. යන්න චීනෙට. ඕන චීන ජාතිකයෙක් මේක කියයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ ස්වාධීන වෘත්තීය සමිති, කම්කරු ව්‍යාපාර බිහිවීම නවත්වන එක. කම්කරුවන් දැඩි පාලනයකට යටත්ව තබා ගැනීම.වියෙට්නාමය වගේ රටවල් ගත්තත් තිබෙන්නේ මේ තත්වයමයි. ඉතින්, පැරණි ස්ටාලින්වාදය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අවාසනාවට, වෙනස් වූ ආර්ථික තත්වයන් ආදිය නිසා, අපිට නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ශුභසාධන රාජ්‍යය පිළිබඳ අර්ථයෙන් ගත්විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අයත් වන්නේ පැරණි යුගයකට. එය රැඩිකල් ආකාරයකට ප්‍රතිනිර්මාණය කළ යුතුව තිබුනා. එය සිදු වුනේ නැහැ. එනිසා තමයි, අවාසනාවට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, එය තිබෙන තැන්වල, අද ලෝකයේ ඇති ප්‍රභල ම සම්ප්‍රදායවාදී බලවේගය කියලා නම් කරන දක්ෂිණාංශික අර්ථකථනකරුවන්, එක්තරා ආකාරයකට, නිවැරදි වෙන්නේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තිබෙනා සියලුම අරගල මගින් උත්සාහ කරන්නේ පැරණි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට. එහි අරමුණ වෙන්නේ මෙයට වසර 30 – 40 ට පෙර දිනා ගත් – නොමිලේ සෞඛ්‍ය රක්ෂණ වැනි – අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. මම මේ අරමුණු වලට විරුද්ධ නැහැ, කිසිසේත්ම.

නමුත් බොහෝ දේවල් අද සිදු වෙමින් පවතිනවා. ඩිජිටල් කරණය, නව විද්‍යාත්මක වර්ධනයන්, ලිබරල් ධනවාදයේ නව ස්වරූපයන් ආදී බොහෝ වෙනස්කම් මධ්‍යයේ ඔබ දන්නවද අපගේ ජීවිත මොන තරම් ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙනවද කියන එක? මේ තත්වයන් යටතේ පැරණි ප්‍රජාතන්ත්‍රවාදී ශුභ සාධන රාජ්‍යය වෙත ආපසු යාමක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

විසිවෙනි සියවසේ වමට තිබුණු තුන්වැනි, එතරම් ප්‍රසිද්ධ නැති, ප්‍රවේශය තමයි විශාල රාජ්‍යය යාන්ත්‍රණය තුළ නියෝජනය වීම, දේශපාලන පක්ෂ, රාජ්‍යය බලය ආදිය ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රාදේශීය ජන සමූහයන් විසින් ඔවුන්වම පාලනය කරනා, ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදයන් යෝජනා කිරීම. මම හිතනවා මේ සිහිනය අප අත් හැරිය යුතුයි. ඒක හරියන එකක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් නරක දෙයක් නෙමෙයි. නමුත් අද දවසේ අපි මුහුණ දෙන ගැටලු කියන්නේ ඉතා රැඩිකල් අර්ථයකින් ගෝලීය ගැටලු.

ධනවාදය තුළ අද වෙන දේ හිතලා බලන්න. මම දන්නවා යුරෝපය තුළ, අඩුම තරමින්, ජනප්‍රිය අදහස් තියෙනවා ජෙරමි රිෆ්කින්, පෝල් මේසන් වගේ අයගේ අදහස්. සමහරවිට ඔවුන් එය අවධාරණය කරන තරම ටිකක් වැඩි වුනත් මේ අදහස් ඉතාම වැදගත්. අද ඩිජිටල්කරණය, ජෛවතාක්ෂණය වැනි දේවල් වල සිදු වෙන දේ බලන්න. මේක හරියට ඉතාම සම්ප්‍රදායික පන්නයේ මාක්ස්වාදය සඳහා ඉතාම ලස්සන නිදර්ශනයක් වගේ. ඔබ දන්නවා, නිෂ්පාදන බලවේග වල වර්ධනය සමග පැරණි නිෂ්පාදන සම්බන්ධතා වලට එය දරා ගන්න බැරි වීම පිළිබඳ විග්‍රහය. අද දවසේ වෙන්නේ මේක නෙමෙයිද? අද හැමෝම මේක කියනවා. අර ටෙස්ලා මෝටර්ස් ව්‍යාපාරයේ අයිතිකාරයා, එලොන් මස්ක්, එයත් මේක ළඟදී කිව්වා: පුද්ගලික දේපොළ තවදුරටත් ක්‍රියාත්මක වෙන එකක් නැහැ, අපිට සිද්ධ වෙයි පුරවැසියන් ගේ පොදු ආදායම් ක්‍රමයක් ඇති කරන්න. ආණ්ඩුවට සිද්ධ වෙයි ඒක ගෙවන්න. සියලු දෙනා මේක දන්නවා. ධනවාදය එය අපි හඳුනාගෙන තිබෙන ආකාරයකට, එහි සීමාව වෙත පැමිණෙමින් තියෙනවා.

එක අතකින් ඊනියා-සමාගම් වල පොදු දේපළ (cooperative commons), නිදහස් සංසරණය ආදිය මගින් අපිට පැහැදිළියි, වෙළඳපොළ ආර්ථිකය එහි සීමාවට පැමිණෙන බව. මේවා යළි පුද්ගලීකරණය කිරීමේ උත්සාහයන් තියෙනවා. ඉතාමත් සාර්ථක උත්සාහයන් තියෙනවා. නිදර්ශනයක් ලෙස අන්තර්ජාලය ගන්න. මේක සාමූහික දේපලක් සඳහා ඉතාම විශිෂ්ට නිදර්ශනයක්. අපි හැමෝම මේක මගින් සන්නිවේදනය කරනවා. නමුත් ඔබ දන්නව, ෆේස්බුක් වගේ දේවල් මගින් අපේ පුද්ගලික සන්නිවේදනය පාලනය කරන ආකාරය. පොත් මිලට ගන්න ඕනනම්, මේවා සියල්ල පාලනය කරන්නේ amazon.com වෙබ් අඩවිය, මයික්‍රොසොෆ්ට් එක මගින් මෘදුකාංග පාලනය කරනවා. මේ සියල්ල තවමත් සිදු වෙනවා.

නමුත්, මේ සියල්ල තිබියදී පවා අපිට පැහැදිලි වෙනවා ධනවාදය එක්තරා ආකාරයක සීමාවක් වෙත පැමිණෙන බව. නමුත් මේ තමයි කේන්ද්‍රයකින් පාලනය වෙන්නේ නැති, ස්වයං-සංවිධානගතවීමක් වගේ කියලා කියන සරල අදහස මට පිළිගන්න බැහැ. මට හිතෙන විදියට අද තියෙන ලොකුම අභියෝගය තමයි මහා පරිමාණ, ශක්තිමත් සමාජ දේශපාලන ඒජන්තයන්, ශක්තිමත් අධිකාරියක් තියෙන ව්‍යූහයන් ඇති කිරීම. නිකමට හිතලා බලන්න අද දවසේ ජෛවතාක්ෂණය තුළ සිදු වෙන දේ. එහි අති විශාල දේවල් සිදු වෙනවා. අපි අද ඇත්තටම පැමිණ තියෙන්නේ ජෛව තාක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීම හරහා නව මිනිහෙක් නිර්මාණය කිරීමේ අද්දරට. ප්‍රශ්නේ තමයි මේක පාලනය කරන්නේ කවුද කියන එක. මේවා පුද්ගලීකරණය වෙන්න ඕනද?

ගන්න බුද්ධිමය දේපළ. හැමෝම දන්නවා මේක ලොකු අවුලක්. විශාල සමාගම් මේක පාලනය කරන්න ගන්න උත්සාහය පුදුම සහගතයි. පරිසර අර්බුධය ගන්න. මේක තවදුරටත් පුද්ගලිකව, තනි තනියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේ තනි තනි විසඳුමට ලොකු සමාගම් සහය දෙනවා. මම හිතනවා ඔබ දන්නවා කියලා හිතනවා. මේකෙන් වෙන්නේ අපි ප්‍රශ්නය අල්ල ගන්න ඕන විදිය සම්පූර්ණයෙන් වෙනස් කරන එක. ඒකෙන් අපිට කියන්නේ ‘වගකිවයුතු පුද්ගලයන් වෙන්න’ කියන එක. අපි හිතමු මෙහෙම, ඔබ ගිහින් විශාල සමාගම් විසින් කරන පරිසර දූෂණය ට විරෝධය දක්වනවා. අද දවසේ දෘෂ්ඨිවාදියෙක් ඔබගෙන් අසනු ඇත්තේ මෙහෙම දෙයක්: ‘නමුත් ඔබ කුමක්ද කලේ? ඔබ ඔබගේ කැලිකසල නිවැරදි ලෙස ප්‍රතිචක්‍රීකරණය කලාද?’. මේ උපක්‍රමය හොඳට වැඩ කරනවා. එක පැත්තකින් මේකෙන් ඔබට වැරදිකාරී හැඟීමක් දෙනවා. අනිත් පැත්තෙන් මේකෙන් ඔබට පහසු ගැලවීමේ ක්‍රමයක් දෙනවා. ඒකෙන් කියන්නේ මෙහෙම දෙයක්: “ඔබ ප්‍රතිචක්‍රීකරණය කරන්න, කෘෂි රසායන නොමැති ආහාර ගන්න. එතකොට ඔබට හොඳ මිනිහෙක් ලෙස ඔය ඉන්න විදියටම ඉන්න පුළුවන්”.

කොහොම හරි, නැවතත් අපේ මූලික කතාවට ආවොත්, අපි අද පැමිණෙමින් තිබෙන්නේ ඉතාම තීරණාත්මක තැනකට කියන එක හොඳටම පැහැදිලියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වමත් එක්ක. ඇත්තටම මේක තමයි වමට ඉතාම වාසිදායක මොහොතක් විය යුතු එක. මේ වගේ අවස්ථා වල තමයි වම ඉස්සරට එන්නේ.

නමුත් අපි අවංක වෙමු. වමට මේ සඳහා උත්තරයක් නැහැ. මේ සඳහා මම හැම තිස්සෙම පාවිච්චි කරන උපමා කතාවක් කියන්නම්. මම හිතනවා ඔබ බොහෝ දෙනෙක් දැකල ඇති මීට අවුරුදු දහයකට පමණ පෙර තිරගත වුණු  “V for Vandetta” චිත්‍රපටිය. මම ඒකෙ කතාව මොකද්ද කියලා කියන්න යන්නේ නැහැ. මට කියන්න ඕන දේ තමයි ඒකෙ අවසානයේදී එංගලන්තය තුළ විප්ලවයක් සිද්ධ වෙනවා. මහජනතාව පොලිස් බැරැක්ක කඩාගෙන ගොස් පාර්ලිමේන්තුවට ඇතුල් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? චිත්‍රපටිය ඉවර වෙනවා!

මගේ අදහස මෙහෙම එකක් – මේ ටිකක් ග්‍රාම්‍ය කතාවට සමාවෙන්න – මම සූදානම් මගේ අම්මව වහල් සේවයට විකුණන්න, කවුරු හරි “V for Vandetta 2” කියලා චිත්‍රපටියක් හදනවානම්! ජනතාව බලය ගත්තා, හරි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොමද ඒගොල්ලෝ නැවත ප්‍රතිසංවිධානගත වෙන්නේ? තියෙන රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද?

මේ පරතරය අපිට හොඳටම දැනුනු තැන තමයි සිරීසා පාලනය තුළ සිදු වුන දේ. ලොකු ජනප්‍රියවාදී පෙරළියක් සිදු වුනා, ඔවුන් ජනමතවිචාරණය ජයගත්තා. නමුත් අපි දන්නවා ඊළඟ දවසේ – පදානුගත අර්ථයෙන්ම ඊළඟ දවසේ – ඔවුන් යටත් වුනා. ඔවුන් යුරෝපා සංගමය සමග ගිවිසුමකට එළඹුනා. මම කියන්නේ ඔවුන් විවේචනය කරන එක නෙමෙයි. ඔවුන් පාවාදෙන්නන් ලෙස විවේචනය කරන එක හරිම ලේසි වැඩක්. අපි ඇත්තටම අහන්න ඕන වෙන ප්‍රශ්නයක්: ඔවුන්ට කළ හැකිව තිබුනේ මොකද්ද?

අපිට අවශ්‍ය ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය’, ‘මහජන හඬට කන් දීම’ වැනි හිස් වචන නැතුව මට නිශ්චිත උත්තරයක් දෙන්න. මේ වචන වල කිසි තේරුමක් නැහැ. මෙතනදී මම තරමක් මුදු ලෙස මගේ හොඳ මිතුරෙක් වන යානිස් වරුෆාකිස් ගේ යුරෝපය ප්‍රජාතන්ත්‍රකරණය කිරීමේ අදහසට විරුද්ධ වෙනවා. මම එයාට නිතර කියන එකක් තමයි අපි සිරීසා රජයට යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වපු ආකාරය සහ සංක්‍රමණිකයන් ගේ ප්‍රශ්නය කියන දෙක සලකා බලන්න කියන එක. යුරෝපා සංගමය බහුතරයේ මතයට අනුව වැඩ කරන්න ඕන කියන අදහස අපි එහි තාර්කික අවසානය වෙත අරන් ගියොත් සංක්‍රමණිකයන්ට බොහොම නරක ප්‍රතිචාරයක් තමයි ලැබෙන්න තිබුනේ. අද යුරෝපයේ ඉන්න පැහැදිළි බහුතරයක් අලුතෙන් සංක්‍රමණිකයන් එනවට විරුද්ධයි. ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මර්කල් ට එරෙහි ඉතා සාර්ථක දක්ෂිණාංශික විවේචනයක් තමයි ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදී අක්තපත්‍රය ප්‍රශ්න කිරීම. ඇය සංක්‍රමණිකයන් මිලියනකයට ජර්මනියට එන්න ඉඩ දුන්නා. මෙයට අවසර දුන්නේ කවුද? මම ඉන්නේ ඇගේ පැත්තේ, හැබැයි ඉතාම නිශ්චිත අර්ථයකින්. අපි මේ වේදනාකාරී පණිවුඩය පිළිගන්න ඕන – බහුතරය ස්වභාවයෙන්ම නිවැරදි වෙන්නේ නැහැ.

මම කියන්නේ මෙයට විරුද්ධව සෑම විටම නිවැරදි වෙන කොමියුනිස්ට් පක්ෂයක් තියෙන්න ඕන කියන එක නෙමෙයි. නමුත් බහුතරයේ කැමැත්ත ගැන තරමක් කල්පනාකාරී වීම මට අනුවනම් ඉතාම සාධාරණයි. මිනිස්සු, බොහෝ අවස්ථාවන් වලදී, නිවැරදි නැහැ. මම හිතන්නේ ඇන්ජෙලා මර්කල් කළේ සියලු ශ්‍රේෂ්ට දේශපාලනඥයන් කරනා දෙයක්. බහුතරය අකමැති බව දැන දැනම ඔබ යමක් ක්‍රියාවකට නගනවා. ඔබ බලාපොරොත්තු වෙන්නේ, මෙය ක්‍රියාවට නැංවීමට හැකි වුනොත්, එහි සාර්ථකත්වය මගින්, එය බහුතරයේ මතය බවට පසුව පෙරලන බවයි. නමුත් ඔබ මේ අවධානම ගන්න ඕන.

නැවතත් මගේ මූලික ප්‍රශ්නයට පැමිණියහොත්, මම හිතන්නේ මේ සියලු ජනප්‍රියවාදයන් ගේ ගැඹුරුම මූල හේතුව තමයි අපි ජීවත් වෙන්නේ විශාල ජන විරෝධයන්, කලකිරීම් තියෙන යුගයක. නමුත් වමට මේ සඳහා විසඳුමක් නැහැ. අපිට තියෙන්නේ හිස් ප්‍රලාප විතරයි. අපි නිකන් ‘මහජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දෙන්න ඕන’ වගේ කතා කියනවා. අපි මොකද්ද කරන්නේ? කොහොමද රාජ්‍යා යළි-සංවිධානය කරන්නේ?

අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පරණ ෆුකුයාමා ගේ ප්‍රශ්නය. අද ෆුකුයාමා ව ගොඩක් අයට අමතකයි. මම ඔහුට එකඟ වෙන්නෙත් නැහැ. නමුත් ඔහු කියපු දෙය තුළ යමක් තිබුනා. අද වන විටත්, වාමාංශිකයන් ඇතුළු දේශපාලනඥයන් බහුතරයක් ෆුකුයාමාවාදීන්. මොකද්ද මේකේ තේරුම? ඒ තමයි ඒගොල්ලෝ හිතනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය තමයි තියෙන එකම ආකෘතිය. අපිට කරන්න පුළුවන් වෙන්නේ, මේකේ සුළු සුළු වෙනස්කම් කරන එක – තව සෞඛ්‍ය පහසුකම් දෙන එක, සුලුවාර්ගික අයිතීන් තව පිළිගැනීම, ශුභසාධනය වැඩි කිරීම වගේ දේවල්. නමුත් මූලික මොඩලය පිළිගන්නවා. අද කවුරුත් මීට අවුරුදු 40-50ට ඉස්සර අහපු ප්‍රශ්න අහන්නේ නැහැ. ධනවාදය අවසාන උත්තරේද? රාජ්‍යයෙන් ඔබ්බෙහි වූ සමාජ සංවිධානගත වීමක් අපට හිතා ගන්න පුලුවන්ද? අපි කියමු මේකට ‘ප්‍රබුද්ධ-සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී-ෆුකුයාමාවාදය’ කියලා. හරියට එක්සත් රාජධානිය තුළ ටෝනි බ්ලෙයාර් පෙනී සිටිය දෙය වැනි දෙයක්.

ප්‍රශ්නේ තමයි, අද දවසේ මෙය ප්‍රමාණවත් ද? එහෙමත් නැතිනම් මෙයට වඩා දෙයක් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුද? මම හිතන්නේ ඔව්. මෙයට වඩා දෙයකට අප පෙනී සිටිය යුතුයි. මේකෙන් අදහස් කරන්නේ මම කොමියුනිස්ට් විප්ලවයක් වගේ එකක් ගැන විශ්වාස කරනවා කියන එක නෙමෙයි. නමුත් අපි මුහුණ දෙන ප්‍රශ්න මේ පවත්නා රාමුව තුළ විසඳන්න බැහැ.

ඉතින්, මේක තමයි මගේ කණගාටුදායක පුරෝකථනය. එක්කෝ වමේ නව ආකෘතියක් ඇති කරගත යුතු වෙනවා. එහෙම නැතිනම් – මේක තමයි මම ආස කරන සරල උත්තරය – හොලිවුඩ් චිත්‍රපට දිහා බලන්න! මම හැමදාමත් හොලිවුඩ් විශ්වාස කරනවා. හොලිවුඩ් එක අපිට නිතර ම අනතුරු ඇඟවීම් කරනවා – ‘Hunger Games’, ‘Elysium’ වගේ චිත්‍රපටි හරහා. අපි ලං වෙමින් තියෙන සමාජය ඒකයි. ජනගහණයෙන් 20% පමණ වරප්‍රසාදිත කළාපයක් තුළ ජීවත් වෙයි. ඉතිරි 80% කියන්නේ එයින් එළියට විසිවෙන ජීවිත.

***

ජිජැක් ගේ මුල් කතාවේ වීඩියෝව

Advertisements