3-gary-hume-stripes-2013-detail

රටක් පාලනය කරන්නේ පාලක පන්තියක් විසිනි. එහෙත් පාලක පන්තියටද ඉහළින් සිටින පාලක පන්තිය ද ඇතුළු සියලුම මිනිසුන් පාලනය කළ හැකි අතිවිශාල බලවේගයක් ඇත. එනම් ආගමයි. අප ජීවත් වන්නේ මෙම ආගම නැමැති අදිසි හස්තය යටතේ පාලනය වෙමින් ය. උපතේ සිට මරණය දක්වා මෙම අදිසි හස්තය විසින් අපගේ ජීවිතයට අතිවිශාල බලපෑමක් ඇති කරයි. ලෝකය පුරා මිනිසුන් අදහන ආගම් 4000ක් පමණ ඇත. මිනිසා බිහි වීමේ සිට මේ දක්වා කාලය තුළ ආගම විසින් මිනිසාට ඇති කළ බලපෑම අතිමහත් ය. ආගම් නිසා ඇති වූ යුද්ධ වලින් මහා මනුෂ්‍ය සංහාර ඇතිවී ඇති අතර මේ මොහොතේ ද ඇති වෙමින් පවතී. ආගම නැමැති දෙය මෙතරම් බලවත් වූයේ කෙසේද?

මිනිසා යනු සෑමවිටම පැවැත්ම පිලිබඳ ගැටලුවක් ඇති අයෙකි. තමා යනු කවුද?, ලෝකය යනු කුමක්ද?, අපි මේ ලෝකයට ආවේ කොහොමද?, මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නේ ඇයි? යනු ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුව පවතින ආකාර කිහිපයකි. මිනිසා යනු නිරන්තරයෙන් මෙවැනි ප්‍රශ්න තුළ ජීවත් වන අයෙකි. කායිකව, මානසිකව, තාක්ෂණිකව කෙතරම් දියුනු වූවත් මිනිසාට ලෝකය පිළිබඳ ඇති දැනුම ඉතා අල්ප ය. එම දැනුම වුවද ඉතා පහසුවෙන් වෙනස් විය හැක. එම නිසා ලෝකය යනු කුමක්ද, තමා යනු කවුද වැනි ගැටලු සෑමවිටම මිනිසා සමඟ පවතී. සාමාන්‍යයෙන් මිනිසා එදිනෙදා ජීවිතයකට හුරු වී සිටින්නෙකි. නමුත් ලෝකය යනු නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. මෙම වෙනස්වීම් හමුවේ මිනිසාගේ එදිනෙදා ජීවිතයද වෙනස් වෙයි. ඉහත සඳහන් කළ ආකාරයේ ගැටලු මිනිසාට අභිමුඛ වන්නේ මෙවැනි වෙනස්වීම් නිසා ය.” ඇයි මට මෙහෙම වුණේ?” යනු අප එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු වලදී අපගෙන්ම අසාගන්න ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය තුළ ගැබ් වී ඇත්තේ ද ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුවමය.

ආගම බිහි වන්නේ මෙම ගැටලු වලට පිළිතුරක් ලෙසිනි. සෑම ආගමකම ඇත්තේ ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුවට විසඳුම් ය. එය, නිර්වාණය, ස්වර්ගය, දෙවියන්, සංසාරය, කර්මය, නිරය ආදී ලෙස විවිධ ආගම් වල විවිධ ස්වරූප වලින් හඳුන්වා දෙයි. නමුත් මෙම විසඳුම් ඇත්තේ මිනිසාට නොපෙනෙන මානයක ය. එම විසඳුම් හඳුන්වාදෙන්නේ යම්කිසි ආගමක කතෘවරයෙකු හෝ නියෝජිතයෙකු විසින් ය. ඔවුන් නියෝජනය කරන පරම සත්‍යයක් පවතී. පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නයට විසඳුම ඒ ඒ ආගම තුළ ඉගැන්වෙන පරම සත්‍යය තුල පවතී. එවිට, “ඇයි මට මෙහෙම වුණේ?” වැනි ප්‍රශ්න වලට ‘කර්මය’ හෝ ‘දේව කැමත්ත’ වැනි පිළිතුරු ආගම තුළ ඇත. මිනිසාට සිදුවන්නේ මෙම පිළිතුරු තර්ක කිරීමකින් තොරව පිළිගැනීමට ය. එවිට ඒ ඒ ආගම තුළ ඉගැන්වෙන පරම සත්‍යය ඇදහීමක් බවට පත්වේ. නමුත් මෙවිට සිදුවන්නේ ‘පැවැත්ම යනු කුමක්ද?’ යන සැබෑ ප්‍රශ්නය මිනිසාට මගහැරී යාමයි.

.

මේ ආකාරයට ලොව පුරා මනුෂ්‍ය කණ්ඩායම් තුළ විවිධාකාර ආගම් බිහි විය. ඒ හරහා විවිධාකාර සංස්කෘතීන්, ජාතීන්, චාරිත්‍ර වාරිත්‍ර බිහි වී ඇත. ඒවා මිනිසුන්ගේ සංක්‍රමණයන්, ආක්‍රමණයන් නිසා ලොව පුරා ව්‍යාප්ත විය. මවගේත් පියාගේත් ආගම දරුවන්ට උරුම වේ. එවිට ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුවට ඒ ඒ ආගමට අනුව සූදානම් කළ විසඳුම් කුඩා කළ සිටම උගන්වනු ලැබේ. එවිට ජීවිතයේ ඇතිවන ඕනෑම ප්‍රශ්නයකදී අප යොමුවන්නේ අප අදහන ආගමේ ඉගැන්වෙන පරම සත්‍ය වෙතට ය. පිරිත්, දෙව මෙහෙය, පෙරහැර, බිලි පූජා, බෝධි පූජා වැනි දේ ඇතිවන්නේද මේ නිසා ය.

.

මේ ආකාරයට බිහිවන ආගම් මිනිසාගෙන් වෙන් කිරීම ඉතාම අපහසු වන්නේ එය ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුවට විසඳුම ලෙස මිනිසා සමඟ පවතින නිසා ය. එය කෙතරම් මිනිසාට බැඳී ඇතිදැයි කියන්නේ නම් අවසානයේ මිනිසා තමන් අදහන පරම සත්‍යය තුල අන්තවාදී වෙයි. සෑමවිටම මිනිසා සිතන්නේ පරම සත්‍යය ඇත්තේ දෙමාපියන්ගෙන් තමාට උරුම වූ ආගම තුළ පමණක් වන බව ය. මෙහි ප්‍රතිඵලය වන්නේ තලේබාන්, ISIS,බොදු බල සේනා වැනි ආගමික ත්‍රස්තවාදයන් බිහි වීමයි. තමන් අදහන ආගම විසින්  තමන්වම කෙතරම් පීඩාවට පත් කළද මිනිසාට එය අත්හැර යා නොහැක. එවිට බිහිවන්නේ ආගම විසින් පාලනය කරන වහලෙකි. අප අඳින පළඳින, කන බොන දේ සිට රාජ්‍ය පාලනය දක්වා සියලුම දෙ ආගමට තීරණය කිරීමේ හැකියාව ඇත. එය එතරම් බලවත් වන්නේ මෙම තීරණ, මිනිසාට නොපෙනෙන මානයක තිබෙන පරම සත්‍යයක් තුළින් පැමිනෙන නිසා ය. එය විමසීමකින් තොරව පිළිගැනීම හැර වෙනත් විකල්පයක් මිනිසාට නැත.  විවිධ ආගම් වලින් මිනිසාට කරන මෙම බලපෑම විවිධාකාර ය. නමුත් ඕනෑම ආගමක් මගින් අඩු වැඩි වශයෙන් මෙය සිදුවේ.

නිරාගමික වීම මිනිසාට කළ හැකි දෙයකි. නමුත් අප කුඩා කල සිට හුරු කළ ආගමට අප කෙතරම් බැඳී ඇත්දැ’යි පැහැදිලි වන්නේ ජීවිතයේ ඇතිවන ප්‍රශ්න හමුවේදී ය. එවැනි අවස්ථා වලදී අප නිරායාසයෙන්ම අප හුරු කළ ඉගැන්වීම් වලට යොමු වේ. අපගේ ගැටලුවට විසඳුම ඇත්තේ එතැන බව අපට සිතෙයි. “මට මෙහෙම වුණේ ඇයි?” යනුවෙන් අප අසන විට “එය සිදු වූයේ කර්මය නිසා” හෝ “එය සිදු වූයේ දේව කැමැත්ත නිසා” වැනි පිළිතුරක් ආගම විසින් ලබා දෙයි. කෙතරම් කටුක වුවද එයින් අපට සැනසීමක් ලබාගත හැකිය. නිරාගමික වූ විට සෑමවිටම ‘පැවැත්ම යනු කුමක්ද’ යන ගැටලුව අප සමඟ ඉතිරි වේ. නමුත් මිනිසා සතු සැබෑ ප්‍රශ්නය එයයි.මිනිසාට මිනිසාගේ නියම පැවැත්ම සොයාගතහැකි වන්නෙ එවිට ය. මිනිසාට මිනිසා ම බවට පත් විය හැක්කේ එවිට ය. මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමට මාර්ගයක් වේ නම් ඒ දර්ශනයයි.

අපට මග හැරිය නොහැකි අලුත් ප්‍රශ්නයක් මුණ ගැසෙන්නේ මෙතැනදීය. ‘දර්ශනය’ ඉගෙන ගැනීම යනු ‘ආගම’ ඉගෙන ගැනීම හා සමාන ලෙස සියලු දෙනාට පහසුවෙන් ළඟා විය හැකි අවකාශයක් නොවේ. ආගම අප හැමගේ උරුමයක්නම්, දර්ශනය යනු සුළුතරයකගේ වරප්‍රසාදයකි. එසේනම් මෙයට කළ යුත්තේ කුමක්ද? ‘දේශපාලනය’ නම් වූ අලුත් ප්‍රශ්නයක් අපට මග හැරිය නොහැකි ලෙස මුණ ගැසෙන්නේ මෙතනදීය. නමුත් මේ ගැන කතා කරන්න සුදුසු අවකාශය හෝ තැන හෝ මෙය නොවේ. අපි දැනට, ඇලේන් බදියූ ගේ පහත උපුටනයෙන් මෙය අවසන් කරමු:

“සමානාත්මතාවයේ දිශාව වෙත මිනිස් සාමූහිකයක් ගමන් කරන්නේ කොතැනද, සෑම කෙනෙකුටම දාර්ශනිකයෙකු වීමේ කොන්දේසි එවැනි තැනකදී ඇති වනු ඇත” (wherever a human collective is working in the direction of equality, the conditions are met for everyone to be a philosopher’).

.- දිනිත් සුමනසේකර –

Advertisements