979a082726369c39a0a3fc0c11427b97

1917 ඔක්තොම්බර් විප්ලවය යනු විසිවන සියවසේ දී මානව ඉතිහාසයට එක් වූ ලොව ශ්‍රේෂ්ඨතම දේශපාලනික සිදුවීම යනුවෙන් හැදින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔක්තොම්බර් විප්ලවයෙන් ගොඩනැගුණු සෝවියට් දේශය වසර 74කට පසුව එනම් 1991 දී බිද වැටෙන්නේ ලොව පුරා සටන් වදිමින් සිටි ජනතාවට දැඩි දුෂ්කරතා මෙන්ම ශෝකාලාපයන් ද ඉතිරි කරමිනි. මෙම සිදුවීම ලොවම මවිතයෙන් මවිතයට පත්කරන්නට සමත් එකක් වුණි.
ඔක්තොම්බර් විප්ලවයෙන් ඇරඹි සමාජවාදි මාවත, බොහෝ දේශයන් සදහා මග කියන පහන් ටැඹ විය. 1917 රුසියානු සමාජවාදි සමාජ විප්ලවයෙන් අනතුරුව එය සෝවියට් සමාජවාදි සමූහාණ්ඩු සංගමය ( USSR) බවට පත් විය. මින් අනතුරුව මොංගෝලියාව (1924), යුගෝස්ලාවියාව (1943), ඇල්බේනියාව (1944), පෝලන්තය (1945) බල්ගේරියාව (1946) රුමේනියාව (1947), චෙකෝස්ලොවැකියාව (1948-1950), හංගේරියාව (1946), චිනය (1949), කියුබාව (1959), දකුණු යේමනය (1967), ඉතියෝපියාව (1974), වියට්නාමය (1945-1975), ලා ඕසය (1975), ඇෆ්ගනිස්ථානය (1978), කම්පුචියාව (1979), ග්‍රෙනෙඩාව (1979) යන රටවල්  සමාජවාදි රාජ්‍යන් බවට පත් වූයේ ය. වෙනත් ආකාරයට කියන්නේනම් සෝවියට් දේශය යනු, මුළු මහත් පෘථීවි තලයේ භූමි ප‍්‍රමාණයෙන් හයෙන් එකක් විය. එමෙන්ම ජනගහණය සතුව ද බැලූවිට අනෙක් රටවලට සාපේක්ෂව සමාජවාදි රාජ්‍ය පද්දතිය සුවිශාලය. එ් වගේම සමාජවාදි චීනය ලෝක ජනගහනයෙන් ඉහළ ම අගය දරන රටයි. ලතින් ඇමරිකානු රටවල් වන එල්සැල්වදෝරය, ග්වතමාලාව, චිලිය, බොලිවියාව වැනි රටවල් විප්ලවීය අරගලයන්හි යෙදී සිටි අතරම ආසියාවේ ද බොහෝ රටවල වාමාංශික අරගලයන් සදහා නායකත්වය දෙමින් ජවය සැපවූයේ ය. අධිරාජ්‍ය විරෝධි සටන් ඇවිලෙමින් පැවතුණි. ධනවාදි රටවල පවා කොමියුනිස්ට්වාදී පක්ෂ පැවතුණි. මේ නිසා කොමියුනිස්ට්වාදි ප‍්‍රමුඛ අධිරාජ්‍ය විරෝධි කදවුර යනු ධනවාදයට එරෙහි මරු පහර විය. ‍හෛඩගරියානු අර්ථයෙන් කියන්නේනම් ධනපති පංතියේ මූලික ප‍්‍රතිවිරෝධාත්මක අභියෝගය වන්නේ නිර්දන පංතිය නැමැති ඉදිරිපිට පැවැත්මයි. පැවැත්ම පිළිබඳ ගැටලූවේදී නිර්දන පංතියට ප‍්‍රතිසංස්කරණවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සම්පූර්ණ නිදහස නොවේ. ඒ වෙනුවට දිනාගත යුත්තේ ඇත්ත නිදහසකි. එවන් අර්තයකට මූලිකවම අපිට එකගවිය හැක්කේ අන්තර් විනිවිද යාමකින් ය.

සමාජවාදය යටතේ ලැබූ ජයග‍්‍රහණයන්…

රුසියාවේ සමාජවාදය තුළ අත්පත්කරගත් ජයග‍්‍රහණ විමසීමට මත්තෙන් විප්ලවයට පෙර තත්වය මද පමණකින් හෝ සටහන් කිරීම වැදගත් ය. 1894 සිට 1917 දක්වා රුසියාවේ රාජ්‍ය පාලනයේ කළේ දෙවන නිකලස් රජු ය. එ සමයේ රුසියාවේ ඉඩම්වලින් තුනෙන් දෙකක්  රජ පවුල, පල්ලිය, රදළ ඉඩම් හිමියන් හා කුලාකයින් වන උසස් පංතීන් අයත් කරගෙන තිබුණේ ය. රුසියාවේ ජනතාවගෙන් සියයට අසු දෙකකට වැඩි ප‍්‍රමාණයක් 1913 වන විට ග‍්‍රාමීය ජනතාව විය. 1897 වන විට ලිවීමේ හා කියවීමේ හැකියාව  හෙවත් සාක්ෂරතාවය 24% කි. එය ඉතා පහත් මට්ටමකි. ධනපති ක‍්‍රමය උපත ලබමින් තිබියදී  වුවද ඉඩම් හිමියන් යටතේ ප‍්‍රවේණි දාසයන් සිටියෝ ය. වෙනත් අකාරයට කියන්නේනම් මෙම තත්වය රුසියානු ලේඛක ගොගොල් තම “මළ මිනිස්සු” නම් නවකතාව තුළින් මනාව කියා පෑවේ  එකල මළ මිනිසුන් පවා විකුණා මිනිසුන් ජීවත් වූ බව ය. විප්ලවයට පෙර ත්තවය එසේ ය. එමෙන්ම එකල ගොවීන් අන්ත දුගී මෙන්ම නූගත් විය. ලී නගුල වැනි නොදියුණු ශ‍්‍රම උපකරණ භාවිතා කෙරුවේ ය. තාක්ෂණය හා කර්මාන්ත ඉතා නොදියුණු තත්වයක පැවතියේය. රුසියාව පැවතියේ මෙවැනි නොදියුණු ස්ථානයකය.

සමාජවාදය තුළ අධ්‍යාපනය

1918 දී සෝවියට් සංගමයට අයත් විවිධ ජාතිකත්වයන් සදහා තම මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව රජය විසින් පිළිගනු ලැබීය. එමෙන්ම ලිඛිත භාෂා නොමැති එක් එක් ජන කොටස් සදහා ලිඛිත අක්ෂර හදුන්වා දුණි. අධ්‍යාපනය ලබා දිම පූර්ණ වශයෙන් රජයේ වගකීමක් විය. මිලියනයකට වැඩි සාක්ෂරතාවය නොදත් ජනතාවට පක්ෂ සාමාජිකයින් විශේෂ පාසල් පැවැත්වීම මගින් සාක්ෂරතාවය ලබා දුණි. එමෙන්ම සාර් යුගයේ කසකස්ථානය, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය වැනි රටවල සාක්ෂරතාවය 02%ක් පමණ විය. නමුත් වසර 40කට පසුව එම රටවල සාක්ෂරතාවය 98% ක් විය. අප කවුරුත් අසා ඇති කිර්ගීසියාව විප්ලවයට පෙර ජීවත් වූයේ තැන තැන ඇවිදිමිනි. වෙනත් ආකරයට කියන්නේනම් ඔවුන් සංචාරක ජනතාවක් බවට පත් වී සිටි යුගයකි එම යුගය. 1960 වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තම මව් භාෂාවෙන් ලබා ගන්නා තත්වයකට උසස් කිරීම රජයේ වගකීමක් විය. 1960 දී පමණ විශ්වවද්‍යාල වලින් ඉංජිනේරුවන් 1,080,000ක් බිහිකර තිබුණු අතර ඒ වන ඇමරිකාවේ ඉංජිනේරුවරුන් සිටියේ 32500 ක් පමණ ය. නමුත් පූර්ව සමාජවාදී යුගයේ දී ඉංජිනේරුවරුන් කාර්මික ශිල්පීන් වෛද්‍යවරු හා ගුරුවරුන් සිටියේ 410000ක් පමණි.
අධ්‍යාපනය සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලැබීම හේතුවෙන් සෝවියට් දේශය තුළ පොත පතින් ද සගරා හා විවිධ ප‍්‍රකාශන ද සහිත රටක් බවට පත්ව තිබූ අතර මේ නිසාම බස් රථයක ගමන් කිරීමේ දී වුව ද පොතක් කියවමින් යන ජනතාවක් බවට එකල පත්ව තිබුණි.
සමාජවාදී චීනය සම්බන්ධයෙන් වුවද අධ්‍යාපනය පිළිබඳ විමසා බැලීම වටී. 1949 චීන විප්ලවය වන කාලයේදී  චීන ජනතාවගේ සාක්ෂරතාවය 20% පමණය. නමුත් සමාජවාදය යටතේ දී චීනය 2000 වසර වන විටත් චීන ජනතාවගේ සාක්ෂරතාවය 98. 9%ක් දක්වා වර්ධනය කර තිබේ. අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික ප‍්‍රමුඛතාවයක් ලබා දීමට 2007 දී සැලසුම් කර තිබුණි. 2007- 2009 කාලයේදී චීනය ශිෂ්‍යත්වයන් සඳහා රාජ්‍ය අයවැයෙන් පෙර තිබූ තත්වයට වඩා තුන් ගණයකින් වියදම වැඩි කිරීමට එකග විය. එලෙසම 2007 වන විට චීනයේ ප‍්‍රාථමික පාසල් 396567 ක් දක්වා වර්ධනය කර තිබුණි. තවද ද්වීතීක පාසල් ප‍්‍රමාණය 94116 ක් දක්වා ඉහළ දමා තිබුණි. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන 2236ක් දක්වා ඉහළ දමා අධ්‍යාපනය වර්ධනය සඳහා කටයුතු සම්පාදනය කර තිබුණි. ෂැංහයි නගරයේ ගණිතය හා විද්‍යාව විෂයන් සම්බන්ධයෙන් ලෝකයේ හොඳම සාක්ෂරතාවය පවතින බව 2009 දී EISA නම් වැඩසටහනට අනුව ුවුරුදු 15 සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සමීක්ෂණයෙන් හෙළි විය.
සමාජවාදී කියුබාව 1959 වන විට සාක්ෂරතාවයෙන් අපොහොසත් රාජ්‍යක් විය. ඒ වන විට කියුබාවේ  අවුරුදු 15ට වඩා වැඩිමහල් වූවන්ගෙ සාක්ෂරතාවය වූයේ 22%ක් පමණය. ඒ් ප‍්‍රමාණයෙන් වුවද 66%ක් ම තුන් වන ශ්‍රේණියට ඉගෙන ගත් අය විය. සමාජවාදී විප්ලයෙන් පසු රජය සාක්ෂරතාවය වෙනුවෙන් අතිශය වෙහෙසක් දරමින් අධ්‍යපනික පෙරළියක් ඇති කිිරිමට සමත් වූයේ අක්ෂර කියවීම හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 817 ක් අපේ‍්‍රල් මාසයේ ඇරඹීමෙණි. මේ සඳහා ස්වෙච්ඡා සේවිකාවන් 280000 ක් සහභාගි කරවා ගත්හ. අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට කියුබාව රාජ්‍ය ආදයමෙන් 13% වෙන් කරයි. ඒ වගේම ජනගනයට සාපේක්ෂව ගුරුවරුන් වැඩිම ප‍්‍රමාණයකට හිමිකම් කියන්නේ කියුබාවයි. දැනට කියුබාවේ ලක්ෂ 07ක් විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන අතර ශිෂ්‍යත්ව මගින් විදෙස් සිසුන් විශාල ප‍්‍රමාණයකට අධ්‍යාපනය සලසයි. 3432 ක් මේ වන විට කියුබාවේ වෛද්‍යවරු ලෙස විදේශික සිසුන් ලෙස ඉගෙන ගනිමින් සිටියි. ඒ සඳහා විවිධ ජාතීන්ට අයත් සිසුන් සිටින අතර මෙවැනි ශිෂ්‍යත්ව සඳහා කියුබාව ආසියානුවන් අප‍්‍රිකානුවන් හා ලතින් ඇමරිකානුවන්ට වැඩි ඉඩකඩක් වෙන් කරයි.

වියට්නාමාය සම්බන්ධයෙන් වුවද කතා කිරීමේදී අධ්‍යාපනයට වැඩි ඉඩකඩක් වෙන් කරන රාජ්‍යක් ලෙස හඳුනාගත හැකිය. සමාජවාදී වියට්නාමායේ සෑම ගමකම ප්‍රාථමික පාසලක් ඇත. එම ගම්මානවලින් 95%ක ද්වීතීක පාසලක් අනිවාර්යයෙන් පිහිටා ඇත. වියට්නාමය සහ මුලින්ම එරට තුළ අකුරු ලිවීමේ නොහැකියාව දුරු කළේ 2000 වසර තුළදී ය. 2010 වන විට එය ප‍්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීම ද සම්පූර්ණ කළේ ය. වියට්නාමය 1986 දී අධ්‍යාපනය සම්බන්ධයෙන් අයවැයෙන් වෙන් කරන ලද්දේ 10% කි. නමුත් 2000 වන එය 15%ක් දක්වා වර්ධනය කළේ ය. 2009 වන විට 20%ක් දක්වා එය වර්ධනය කර ඇත.මේ වන විට වියට්නාම් ජනතාවගෙන් 25% ක් අන්තර්ජාලය භාවිත කරයි.
සමාජවාදය තුළදී අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කරන අතර නූගත් භාවය සහමුලින්ම මුලිනුපුටා දැමීම මගින් ජනතාව ඉහළ මට්ටමකට ඔසවා තබයි. රටක ප‍්‍රධාන ම සම්පත ජනතාව වන හෙයින් සමාජවාදය තුළදී එය මනාව වටහා ගෙන නිෂ්පාදන කාර්ය සඳහා ජනතාවගේ අධ්‍යාපනික මට්ටම ඉහළ දැමීම ප‍්‍රමුඛ අරමුණ කරගනියි.

ක‍්‍රීඩා ජයග‍්‍රහණ

රටක දියුණුව, සංවර්ධනය ප‍්‍රකාශමාන කරන්නාවූ ප‍්‍රබල එක් ඉසව්වක් වන්නේ ක‍්‍රීඩාවයි. අද වන විට ලෝකයේ රටවල් බලය පෙන්වන ප‍්‍රදාන පෙළේ ඉසව්වක් වන්නේ ක‍්‍රීඩාවයි. සමාජවාදය යටතේදී මොනයම් හෝ ඉසව්වක් වෙන් වන්නේ මානව වර්ගයාගේ මිලේචිඡත්වයට  නොව මානවයාගේ සුබ සිද්ධිය සඳහා ය. සමාජවාදය තුළ ක‍්‍රීඩාව වෙන් වන්නේ මුදල් උපයන ව්‍යාපාරයක් ලෙස නොව ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මෙන්ම යහපත් මනුස්සයෙකු බිහිකිරීමටය.

ලෝකයේ ප‍්‍රමුඛ තරගාවලිය ලෙස ඔලිම්පික්  උළෙල හඳුනාගත හැක. සෝවියට් දේශය බිඳ වැටීමට ප‍්‍රථම අඛන්ඩව ඉදිරි පෙළ සිටීමට ඔවුහු වරම් ලැබූ අතර ඔවුන් ඒ සඳහා මහත් වෙහෙසක් දැරීය. සෝවියට් දේශය ප‍්‍රථම වතාවට ඔලිම්පික් තරගාවලියකට සහභාගි වන්නේ 1952 වසරේදී ය. 1952 දී හෙල්සින්ස්කි පැවැත්වූ තරගාවලියේදී ඔවුහු  රන් පදක්කම් 22 ක් ද රිදී 30 ක්ද ලෝකඩ 19ක්ද ලබාගත්හ. ඔවුන්ගේ ස්ථානය වූයේ 02කය. 1956 දී මෙල්බෝන් හි පැවති තරගාවලියේ දී රන් පදක්කම් 37 ක් රිදී 29 ක් හා ලෝකඩ 32 ක් ලබාගෙන තරගාවලියේ පළමු ස්ථානය දිනාගත්හ. 1960 දී රෝමයේ පැවති තරගාවලියේ දී රන් 30 ක් ද රිදී 29 ක් හා ලෝකඩ 31 සමගින් ප‍්‍රථම ස්ථානය දිනාගත්හ. 1964 දී ටෝකියෝ පැවති ඔලිම්පික උළෙලේ දී ඔවුහු රන් 30 ක් ද රිදී 31 ක් ද ලෝකඩ 35 ක්ද සමගින් දෙවන ස්ථානය ලබාගත්තෝ ය. 1968 මෙක්සිකෝවේ පැවති තරගාවලියේ දී රන් 29 ක් රිදී 32 ක් මෙන්ම ලෝකඩ 30 ක්ද ඇතුළුව ලබාගත් ස්ථානය වූයේ දෙවන ස්ථානයයි. 1972 දී මියුනිච් හි පැවති තරගාවලියේදී රන් 50 ක් ද රිදී 27 ක් ද ලෝකඩ 22 ක් ද සමගින් තරගාවලියේ පළමු ස්ථානයට සුදුසුකම් කීවෝය. 1976 දී මොන්ටි‍්‍රයෙල් නගරයේ පැවති තරගාවලියේ දී රන් 49 ක් රිදී 41 ක් හා ලෝකඩ 35ක් සමගින් සමස්ථ තරගාවලියේ පළමු ස්ථානය වෙන් කර ගත්හ. එමෙන්ම 1980 දී මොස්කව් හි පැවති තරගාවලියේදී රන් 80 ක් ද රිදී 69 ක්ද ලෝකඩ 46 ක් ද සමගින් ප‍්‍රථම ස්ථානය දිනාගත් හ. 1984 දී ලොස් ඇන්ජලීස් හා පැවති ඔලිම්පික් තරගාවලියට සෝවියට් දේශය සහභාගි නොවූයේ 1980 පැවති මොස්කව් තරගය ඇමරිකා එක්සත් ජනපදය වර්ජනය කළ හෙයිනි. 1988 දී සියොල් නගරයේ  පැවති තරගයේ දී ද සෝවියට් දේශය පළමු ස්ථානය ලබා ගත්තේ රන් 55ක් රිදී 31 ක් හා ලෝකඩ 46 ක් සමගිනි. සෝවියට් දේශයේ දී පාසල්, කම්හල් හා වැඩබිම්වලදී පවා නිරෝගිමත් සෞඛ්‍ය ජීවිතයක් වෙනුවෙන් ක‍්‍රීිඩාව හා ව්‍යායාම්  ජනතාව සඳහා ලබා දුන්හ.
සමාජවාදය යටතේ කියුබාව ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාවය ලබා දී ඇත්තේ ‘‘සියලූ දෙනාටම කී‍්‍රඩාව’’ යන තේමාව ඔස්සේයි. රටවල් 50කට පමණ ක‍්‍රීඩා පුහුණුකරරුවන් ලෙස යොදවා තිබේ. එමෙන්ම කියුබාව 2012 වසරේ පැවති ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී 16 වැනි ස්ථානය හිමිකර ගත්තේ කෝටි 122 ක ජනගහණයකින් යුත් ඉන්දියාව 55 වැනි ස්ථානයට ඇද දමමිනි. මෙම තරගාවලියට රටවල් 200 ක් සහභාගි විය. එහිදී ඔවුහු රන් 05 ක් ද රිදී 03ක් ද ලෝකඩ 07 ක් ද යනාදි ලෙස පදක්කම් ලබාගත්හ. සමස්ත වශයෙන් පදක්කම් 15ක් ඔවුන් සතු විය. 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ දී කෝටි 20.5 ක ජනතාවක් වොසන බ‍්‍රසීලය පදක්කම් සටහනේ 22 ස්ථානය ලබා ගත් අතර කියුබාව එහිදී රන් 5ක් රිදී 02ක් මෙන්ම ලෝකඩ 11 ක් සමගින් 18 වන ස්ථානය ලබාගත්තේ ය. ලෝකයේ ජනගහනයට සාපේකෂව බලන විට (ඒක පුද්ගල) ඔලිම්පික් පදක්කම් ලැබීම අතින් දෙවැනි ස්ථානයේ සිටින්නේ කියුබාවයි. ඒ වගේම ජනගහනයට සාපේක්ෂව ඒක පුද්ගල අන්තර් ජාතිික මට්ටමේදී පදක්කම් ලැබීමේ වැඩිම රට කියුබාවයි. එමෙන් ම කියුබාව මුදලට තරග පාවා නොදෙන මුදලට නොවිකෙනෙන ඉතා හොඳ ක‍්‍රීඩා සදාචාරයක් ඇති රටක් ලෙස ඉදිරියෙන්ම පවතී.

මේ අනුව  පෙනී යන්නේ සමාජවාදය යටතේ ක‍්‍රීඩාව තුළින් නිරෝගිමත් ජනතාවක් මෙන්ම විශිෂ්ට ගනයේ මිනිසුන් බිහිකරමින් මානව වර්ගයාගේ සතුට විනෝදය හා සෞඛ්‍ය සම්පන්න බව පෙරටු කරගත් එකක් බවයි.

සමාජවාදය තුළ කෘෂිකර්මය

රුසියාව තුළ සමාජවාදී විප්ලවයට ප‍්‍රථම කෘෂිකර්මය පැවතියේ ඉතාම නොදියුණු තත්වයකය. ඒ වන විට සී සෑම කළේ නගුලෙනි. 1920 න් පසුව ට‍්‍රැක්ටර් හා කෘෂි යන්ත‍්‍ර සූත‍්‍ර ග‍්‍රාමීය ප‍්‍රදේශ වලට ලැබුන ද ඊට පෙර එවැනි තත්වයක් නොවීය. සාර් යුගයේ දී සාමාන්‍ය ගොවීන් තුන්සිය දෙනෙකුගේ ඉඩම් ප‍්‍රමාණය එක් ඉඩම් හිමියෙක්ට අයිති වූවේය.සෝවියට් දේශය කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප‍්‍රමුඛ කාර්යභාර්යයන් කීපයක් කළේය. ඒ අතරින් කෘෂිකර්මාන්තය රජයේ ප‍්‍රමුඛ කටයුත්තක් සේ සලකා කටයුතු කිරීම, ඉහළ තාක්ෂණය මගින් කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම, තාක්ෂණික උපකරණ දියුණු බීජ වර්ග හා පොහොර කෘෂි රසායනික දාව්‍ය උපයෝගි කරගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීම, පර්යේෂණ ආයතන ඇති කිරීම ද මේ අතරින වඩා වැදගත් වේ. කුඩා පරිමාණයේ ගොවියන් සමූහ ගොවිපළ ක‍්‍රමයන් සඳහා යොදා ගැනීම ද සිදු කළේ ය. ඒවාට තාක්ෂණික දැනුම ලබා දුන්නේ ය. මෙවැනි හේතු නිසා සෝවියට් දේශයේ කෘෂිකර්මය ඉහළට ඔසවා තබන්නට මාර්ගය සකස් කළේ ය. 1947 දී කෘෂිපර්යේෂණායතන 111ක් ඉදිකළ අතර ඊට අමතරව ශාඛා ද ඇරඹීය. 1963 වන විට එම ආයතන ප‍්‍රමාණය 177 දක්වා වර්ධනය කර තිබිණි. 1974 වන විට එය 222ක් දක්වා වර්ධනය කර තිබුණේ ය. මෙම ආයතන වල 35000ක් පර්යේෂණ සේවකයෝ සේවය කළෝ ය. මේ සඳහා ආචාර්ය උපාධිධාරීන් 850 ක් සේවය කළෝ  ය. මෙයින් ඔවුන් කෘෂිකර්මාන්තය සඳහා දැක්වූ සැලකිල්ල පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගැනීමට හැකි ය.

1980 වන විට සෝවියට් දේශයේ කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ සේවය කළ ජනතාව මිලියන 26 කි.  සෝවියට් දේශය ලෝකයේ විශාලත ම ධාන්‍ය නිෂිපාදකයා  වූ අතර 1976-1977 කාලයේදී මෙටි‍්‍රක් ටොන් මිලියන 10.3 ක් ධාන්‍ය නිපදවා තිබුණේ ය. එය 1977-1978 වන විට මෙටි‍්‍රක් ටොන් මිලියන 18.4 කි. 1978-1979 වන විට මෙටි‍්‍රක් ටොන් මිලියන 15.1 ක් ද 1979-1980 වන විට මෙටි‍්‍රක් ටොන් 30.4 ක් ද 1980- 1981 වන විට මෙටි‍්‍රක් ටොන් මිලියන 34 ක් ද වූ අතර 1981-1982 වන විට මෙටි‍්‍රක් ටොන් මිලියන 45ක් විය. 1982- 1983 කාලයේ දී මෙටි‍්‍රක් ටොන් මිලියන 46ක් නිපදවා තිබුණි.

සෝවියට් දේශය නිසර බිම් ලෙස අත්හරින ලද භූමි ප‍්‍රමාණයන් රාශියක් සරුබිම් කරමින් කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක‍්‍රියා කළේ ය. කසකස්ථානය ධාන්‍ය වගාව මැනවින් ඉටු කළ අතර වැඩිම අස්වැන්නක් එයින් නෙළාගැනීමට හැකි විය. මේ නිසාම කසකස්ථානය ‘‘සෝවියට් දේශයේ ධාන්‍යාගාරය’’ ලෙසින් විරුධාවලි ලබන්නට විය. සෝවියට් දේශය මැදිහත් වීමට ප‍්‍රථම කසකස්ථානයේ ධාන්‍ය අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 1600- 1900 ක් වූ අතර සෝවියට් මැදිහත් වීමෙන් වාර්ෂිකව ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 16 දක්වා වර්ධනය විය.

සමාජවාදය යටතේ කර්මාන්ත කරණය

1917 වන විටත් රුසියාවේ කර්මාන්තකරණය ඉතා නොදියුණු මට්ටමක පැවත් අතර ජර්මන්, ප‍්‍රංශ, බි‍්‍රතාන්‍යන් හා ස්වීඩන් ජාතික ධනවත් පුද්ගලයන් රුසියාවේ ගල් අගුරු ආකර, බැංකු පාලනය මෙන්ම තෙල් ආකර පාලනය කරමින් සිටියෝය. රුසියාවේ සම්පත් කොල්කමින් අධිරාජ්‍යවාදය හිස ඔසවමින් සිටියේ ය. මෙම නිසා 1917 න් පසු රුසියාව සංවර්ධනය කිරීමට කර්මාන්තකරණය කිරීමට සිදු විය.

1918 සිට 1958දක්වාම  සෝවියට් දේශය කර්මාන්ත සංවර්ධන වේගය 10% වර්ධන අගයක් පවත්වාගෙන තිබුණි. බි‍්‍රතාන්‍යන් ඒ වන විට කාර්මික සංවර්ධන වේගව පවත්වා ගෙන තිබුණේ 1.9% කි.අමරිකාව කර්මාන්ත සංවර්ධනය පවත්වා තිබුණේ 3.2% කි. ප‍්‍රංශයේද එය 3.2% කි. සමස්ත රුසියාවම විද්‍යුත්කරණය කිරීමට ලෙනින් වෑයම් කළ අතර සමාජවාදය ආරක්ෂා කර ගැනීම සඳහා එය පිටිහවලක් වන බව ඔහු සිතුවේය. 1920 වන විට ලෙනින්ගේ යෝජනාවකට අනුව ලෙනින්ම අවුරුදු 10 ක් ඇතුළත විදුලිය කිලෝ වොට් කෝටි 9000 ක් නිපදවීමට සැලසුමු දියත් කරමින් සිටියේ ය. මෙම කරුණ එකල එච්. ජී.වේල්ස් නම් විද්‍යා ප‍්‍රබන්ධකරුවා විසින් සැලකූයේ ලෙනින් සිහින දකින්නෙක් ලෙසිනි. එම නිසා ඔහු ලෙනින්ට ‘‘ක්‍රෙම්ලීනයේ සිහින දකින්නා’’ යනුවෙන් පැවසී ය. නමුත් ඔහුගේ එම වදන් පුස්සක් කරමින් එම ඉලක්කම සාර්ථකය සම්පූර්ණ කෙරුවේ ය. 1930 දී සෝවියට් දේශය සතුවවිදුලිය  කිලෝ වොට් 48000 ක් සැපයීමට හැකි විදුලි බලාගාර තිබුණේ ය. 1958 වන විට එය කිලෝ වොට් කෝටි 233000 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය. එය 1965 වන විට කිලෝ වොට් කෝටි 502000 ක් දක්වා වරධනය කර තිබුණි. මේ නිසා සෝවියට් දේශයේ  තාක්ෂණය මෙන්ම කාර්මීකරණය කිරීමට වේගවත් අඩිතාලමක් ඇති විය.

සයිබීරියාව සාර් සමයේ යොදා ගත්තේ සිරකරුවන් පිටුවහල් කිරීම සඳහා ය. නමුත් එය සමාජවාදය යටතේ දී කර්මාන්ත පුරයක් බවට පත් කරල ලදී. ඒ තුළින් 1965 වන විට රුසියාවේ භාවිත යකඩ ප‍්‍රමාණයෙන් 44% ක් ද වානේ වලින් 48% ක් ද ගල් අගුරු වලින් 50% ක් ද තෙල් වලින් 30% ක්  මෙන් ම විදුලියෙන් 46% ක් ද නිපදවා තිබුණි. ඒ වගේම දැව නිෂ්පාදනයෙන් 45% ක් ද නිපදවා තිබුණි.
ඒ වගේම සෝවියට් දේශය නිසා එක් එක් රටවලට කර්මාන්ත ප‍්‍රදානය ද කෙරුවේ ය. එම කර්මාන්ත සඳහා තාක්ෂණික මගපෙන්වීම ද ඔවුන විසින් කරනු ලැබුවේ ය.සෝවියට් දේශයෙන් ඔරුවල වානේ, කැලනි ටයර්, තුල්හිරිය පෙහෙ කම්හල, ගිංතොට තුනී ලෑලි, කන්තලේ සීනි, වාලච්චේනෙ කඩදාසි යනාදී තර්මාන්ත මෙරටට ලැබුණු අතර ඒවා මේ වන විට පාඩු ලබන ආයතන දක්වා පල්ලම් බැස යාමට දී විකුණුමින් සිටියි.

සමාජවාදය යටතේ අභ්‍යවකාශ ජයග‍්‍රහණ

1930 වන විට සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය සඳහා ගවේෂණ කටයුතු ආරම්භ කළේ ය. වෙනත් ආකාරයට කියන්නේ නම් ලෝක ඉතිහාසයට සීතල යුද්ධය ආරම්භ වන්නේ ද මෙම අභ්‍යවකාශ තරණය නිසා ය. සෝවියට් දේශයට විප්ලයයේ 40 වැන් වසර සැමරීමට කටුයුතු කළේ ස්පුට්නික් 01 නම් කෘතිම චන්දාිකාව කක්ෂ ගත කිරීමෙනි. ඒ 1957 ඔක්තොම්බර් 04 වන දිනය. අභ්‍යවකාශ සමාරම්භක දිනය වූයේ එදිනයි. ඉන් අනතුරුව සෝවියට් දේශය ස්පුට්නික් 02 චන්ද්‍රිකාව මගින් ‘‘ලයිකා’’ නැමති බැල්ල අභ්‍යවකාශ ගත කිරීම මගින් ලෝකයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කළේ ය. එය ලෝක ඉතිහාසයට එකතු වන්නේ පෘථිවියේ ජීවියෙකු ප‍්‍රථම වරට අභ්‍යවකාශගත වීම නිසා ය. 1957 නොවැම්බර් මාසයේ 01 වැනි දින එම ඓතිහාසික දිනය විය. මින් අනතුරුව යූරි ගගාරීන්  ‘‘වොස්ටොක් 01’’ නම් අභ්‍යවකාශ යානය  මගින් අභ්‍යවකාශගත වන්නේ 1961 වසරේදී යි. එමෙන්ම ලෝකයේ ප‍්‍රථම වතාවට කාන්තාවක් අභ්‍යවකාශගත කළේ ද සෝවියට් දේශය යි. ඒ වැලැන්ටිනා තෙරෙස්කෝවා ය.  මෙය සිදු වූයේ 1963 දී වොස්ටොක් 06 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ කිරීමත් සමගය. සෝවයට් දේශය විසින් ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිසුන් රහිත යානයක් අභ්‍යවකාශගත කරන ලදී. ඒ ‘‘ලූනා 02’’ යානය මගිනි. එපමණක් නොව සෝවියට් දේශය ප‍්‍රථම වතාවට මිනිසකු රහිත යානයක් සඳ මත ගොඩබස්වනු ලැබුවේය.

සමාජවාදය යටතේ සෞඛ්‍ය

රටක් සංවර්ධනයේදී වඩාත් වැදගත් අංශයක් වන්නේ සෞඛ්‍යයයි. එහිදී සමජවාදී රටවල් අන් රටවලට සාපේක්ෂව ඉදිරියෙන්ම සිටියි. සෞඛ්‍ය මත රටෙහි ආර්ථිකය තීරණය වෙයි. මේ සඳහා හොඳම නිදර්ශනය වන්නේ කියුබාවයි.
කියුබාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය පිළිබඳ වර්තමානයේ  ඕනෑම රටක් සැලකිල්ලට බඳුන් කරනු නොවනුමානයි. සෝවියට් දේශයේ ආධාර මත මුලින්ම කියුබාව සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය වර්ධනය කරගත්තා වුවද අද වන විට ඔවුන් එය ස්වාධීනව ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වයි. සෞඛ්‍ය සඳහා නියුබාව රාජ්‍ය ආදායමෙන් 7.3% ක් වෙන් කරනු ලබයි. විප්ලවයට පෙර කියුබානු ජනතාවගේ ආයු අපේක්ෂාව වූයේ අවුරුදු 58කි. නමුත් වර්තමානය වන විට එය අවුරුදු 78 ක් දක්වා වර්ධනය කර ඇති අතර එය පිරිමියෙක් නම් අවුරුදු 78 ක් වන අතර ගැහැනියෙකු නම් අවුරුදු 80 ක් වේ. 1959 වන විට කියුබාවේ ළදරු මරණ අනුපාතය තිබුණේ 1000 කට 93.9 ත් ලෙසයි. නමුත් එය වර්තමානය වන විට 1000 කට 4.2 දක්වා අඩු කර තිබේ. ඒ අනුව ලෝකයේ අඩුම ළදරු මරණ අනුපාතයෙන් තුන්වන ස්ථානයේ සිටියි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ළදරු මරණ අනුපාතය 1000 කට 7 ක් වේ. එමෙන්ම කියුබාව 1959 වන විට ලක්ෂයක් වූ ජනතාවට වෛද්‍යවරු හා දන්ත වෛද්‍යවරු සිටියේ 128 ක් තරම් සුළු පිරිිසකි. නමුත් වර්තමානය වන විට ජනගනය ලක්ෂයකට වෛද්‍යවරු 627 ක් සිටී. දන්ත වෛද්‍යවරු 94 ක් සිටී. කියුබාවේ එසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරු සිටින්නේ ලක්ෂයක් වූ ජනතාවට 225 ක් තරම් සුළු අගයකි. එමෙන්ම දන්ත වෛද්‍යවරු 54 කි. ලෝකයේ වෛද්‍යවරු වැඩිම රට වන්නේ කියුබාවයි. කියුබාව තුළ වෛද්‍යවරු 85000 ක් සිටී. මෙයිනුත් කියුබාව වෛද්‍යවරු 15400ක් ජාත්‍යන්තර යුතුකම වෙනුවෙන් රටවල් 66 ක සේවය කරයි. මේ වන විට කියුබාව ඒඞ්ස් රෝගයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගෙන් එම වෛරසය බිළිදාට බෝ නොවන්නට තරම් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉදිරියට පැමිණ ඇත. 2003 දී කියුබාව තුළ සිටි ඒඩ්ස් රෝගින් වූයේ ජනගහනයෙන් 0.05%කි. නමුත් වෙනත් කැරිබියානු රටවල එය 1% ත් 4% ත් ප‍්‍රමාණයක පසුවෙයි. වසංගත රෝග පාලනයෙන් ද කියුබාව ඉදිරියෙන් ම පසුවෙයි. ඩෙංගු සහමුලින්ම මැඩ පැවැත්වීමට කියුබාව සමත් වී ඇත. කියුබාවේ සෞඛ්‍ය කෙෂ්ත‍්‍රයේ වර්ධනය ලෝකයම පිළිගන්නා අතර ඊඊක්‍ ආයතනය විසින් විශිෂ්ටතම මහජන සේවය පවතින රට ලෙස කියුබාව හඳුන්වයි. මීට අමතරව සමාජවාදී උතුරු කොරියාව ද සෞඛ්‍ය වෙනුවෙන් කර්මාන්ත ශාලා වල මෙන්ම පතල් බිම් තුළ පවා රෝහල් පිහිටුවමින් තිබේ. ඒ වගේම වියට්නාමය ද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වර්ධනයක් අත්පත් කරගනිමින් සිටියි. 1995 දී වියට්නාම් වරුන්ගේ වයස අවුරුදු 05ට අඩු දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නන් සිටියේ 51% ක් වූ අතර 2010 වන විට එය 18% ක් දක්වා අඩු කර ගැනීමට හැකි විය. 1990 වන විට ළදරු මරණ අනුපාතිකය වූයේ උපත් 1000කට මරණ 81 ක් වශයෙනි. නමුත් එය 2008 වන විට උපත් 1000කට මරණ 20 දක්වා පහත හෙළීමට සමත් වී තිබේ. මාතෘ මරණ සංඛ්‍යාව 1990 දී උපත් ලක්ෂයකට 223 කි. නමුත් 2007 වන විට එය ලක්ෂයකට 56 කි. 1990 වන විට වියට්නාම් වරුන්ගේ ආයු අපේක්ෂාව වූයේ අවුරුදු 62 කි. නමුත් 2007 වන විට එය අවුරුදු 72  දක්වා වර්ධනය කර තිබේ.

යට කී සියල්ලෙන් පෙනෙන කාරණය නම් සෝවියට් දේශයේ සමාජවාදය මගින් අධ්‍යාපනය, සාහිත්‍යය, කලාව, ක‍්‍රීඩාව, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, තාක්ෂණය යන බොහෝ ඉසව් ජය ගෙන ඇත්තේ මානවවාදී ගුණය නිසා ය යන්න ය. සෝවියට් දේශය නොමැති තත්වයක දී වුව ද අනෙකුත් සමාජවාදී රටවල් මිනිසා වෙනුවෙන් ජයග‍්‍රහණ ලබමින් පවතියි. සරල උදාහරණයක් කියන්නේ නම් කියුබාව අද වන විට ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂාව අතින් ඉදිරියෙන්ම සිටියි. සම්බාධක හමුවේ වුව ද කියුබාව සමාජවාදය ආරක්ෂා කරගෙන සිටීමම ජයග‍්‍රණයකි. සෝවියට් දේශය බිඳ වැටුන ද ඔවුන් එය ආරක්ෂා කර ගත්තේ සමාජවාදය නැත්තම් මරණය නම් උදාර වැකිය සිත් තුළ තැනපත් කරගෙන ය.
සමාජවාදය යටතේ නව මිනිසෙකු ගොඩ නැංවෙම්න් තිබේ. සෝවියට් දේශය නව මිනිසා සම්බන්ධයෙන් අනන්ත කැප කිරීම් පරිත්‍යාගයන්ගෙන් ගහණ සමාජයක් වූවේ ය. සරල උදාහරණයක් කියන්නේ නම් සෝවියට් දේශය විසින් බිහිකරන ලද පිහිනුම් ශූරයෙක් වූ ෂවර්ස් කරපෙත්යාන් වසර කීපයකදී පිහිනුම් ලෝක වාර්තා 17 ක් පිහිට වූ අයෙකි. ඔහු ලෝක ශූරතා 11 ක් ලබා තිබේ. ඔහු 1976. 09. 16 වන දින ඔහුගේ සහෝදරයා සමග ෂවාර්ස් කර්පෙත්යාන් යෙරෙවාන් ජලාශය අසල පුහුණුවීම් සඳහා දුවමින් සිටි අතර ඒ වන විටත් ඔහුකිලෝමීටර් 20 ක් සමුපූර්ණ කර තිබුණු මොහොතක බස් රථයක් ජලාශයට පෙරලීමෙන් එහි සිටි මගීන් 52 ක් බේරා ගැනීමට දියට පැනීමට දෙවරක් සිතුවේ නැත. විනාඩි 20 ක් ඇතුළත ඔහු ජීවිත 20 ක් බේරා තිබේ. ඔහු තමාගේ ක‍්‍රීඩාව වෙනුවට ඒ මොහොතේ කළ යුතු හොඳම දේ කෙරුවේ ය. බසයේ සිරවී සිටි මිනිසුන් බේරා ගැනීමේ දී බස් රථයේ පසුපස වීදුරුව පා පහරකින් බිඳීමට සිදු විය. ඔහුගේ පාදය තුවාල වී ලේ ගලමින් තිබිය දී හා ජලය ඉතා අධික සීතලකින් යුක්ත වීම නිසාත් ඔහුගේ පුහුණුවීම් නිසා ශරීරය උණුසුම් වී තිබීම නිසාත් ඔහු අවසානයේ කලාන්ත තත්වයකට පත්ව තිබුණි. ඔහු ජීවිත බේරා ගත්තේ ඒ අයුරිනි. එමෙන් ම 1985 පෙබරවාරී 19 වන දා ගින්නකට හසු වූ ගොඩනැගිල්ලක සිටි මිනිසුන් බේරා ගැනීමට ද ඔහු සමත් විය. ගොඩනැගිල්ල ගිනිබත් වෙමින් පවතිද් දී වුව ද ඔහු ඒ ඇතුළට පැන ජීවිත ආරක්ෂා කළ අතර එහි දී ද ඔහුගේ සිරුර පිළිස්සී තිබුණි. සමාජවාදය යටතේ එම ක‍්‍රීඩකයා ජීවිතය පරදුවට තබා මිනිසුන් වෙනුවෙන් කැප වූයේ එලසිනි. සෝවියට් දේශය යනු එවැනි කැපකිරීම් කළ තෝතැන්නකි.

සෝවියට් දේශයෙන් ඔබ්බට වුවද ගොස් බලන විට පෙනී යන්නේ සමාජවාදී රටවල මානව හිතවාදීත්වයයී. වෙනත් ආකාරයට කියන්නේනම් අද වන විට ක‍්‍රීඩාව මුදල් පසුපස හඹා යන්නක් වී තිබේ. මුදල් මත  ඕනෑම පහත් තත්වයට ක‍්‍රීඩකයන් පත්වේ. ශ‍්‍රී ලංකාවේ වුව ද මේවාට උදාහරණ ඇත. එහෙත් සමාජවාදය යටතේ මිනිසත්කම වෙනුවෙන් එවැනි දෑ ප‍්‍රතික්ෂේප වේ. කියුබාවේ ඉතාම ප‍්‍රකට මෙන්ම දක්ෂ බොක්ෂින් සූරයෙක් වූයේ ටියෝෆිලෝ ස්ටීවන්සන් ය. වරක් ඔහුට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් 65000කට ක‍්‍රීඩා කිරීමට එරටට පැමිණෙන ලෙස ආරධනා ලැබී ය. නමුත් ටියෝෆිලෝගේ ප‍්‍රතිචාරය වූයේ ‘‘ඇමරිකානු ඩොලර් 65000ට වඩා මිලියන දෙකක් වූ කියුබානු ජනතාවගේ ආදරය මට වටිනවා’’ යන්නය. සමාජවාදය යටතේ දාර්ශනික සුබවාදීත්වයක් ඇත. එමෙන්ම සාමූහික ජයග‍්‍රණ අපේක්ෂා කරයි. සමාජ සංවර්ධනය උදෙසා කලාව සාහිත්‍යය යොදා ගනියි. මේනිසා සෝවියට් දේශය තුළ ගෝර්කි, අයිත්මාතව්, ෂෝලහොව් වැනි කලා කරුවන් බිහි විය.

අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් වුවද සමාජවාදය යටතේ ලැබූ ජයග‍්‍රහණ මෙන්ම සමාජවාදය යටතේ පවත්නා මානව බැඳීම ධනවාදයේ අහලකවත් නොමැති බවය. එමෙන් ම සෝවියට් දේශය බිඳ වැටීමෙන් තෘප්තිමත් වූ හා තෘප්තිමත් වන අයගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ. එනම්, සමාජ සංවර්ධනයේ දී මාතෘ මූලික සමාජයේ සිට වහල්, වැඩවසම්, ධනවාදය දක්වා සමාජය ධනවාදයෙන් ම අවසන් වනවාද?  යන්නය. එය තවත් සරලව අසන්නේ නම් අතිරික්ත වටිනාකම් උපදවන සමාජයක, ධනවාදය අවසන් සමාජ ක‍්‍රමය විය හැකි ද? හෛඩගරීයානු අර්ථයෙන් කියන්නේ නම් ලෝකය තුළ පැවැත්ම සඳහා කාලය විසින්  ඇති නැති පරතරය අහෝසි කිරිමට මොනතරම් විභවයක් උසුලාවිද යන්නයි.

ධනංජය බණ්ඩාර

Advertisements