screen-shot-2017-01-16-at-7-20-30-am

සමාජ මාධ්‍ය හරහා මේ වනවිටත් බොහෝ දෙනෙකු දැක තිබීමට ඉඩ තිබෙනා එක්තරා රූපයක මෙවැනි සටහනක් විය:

‘කැපිටලිසම් කියන එක ලෝකෙට හඳුන්වා දෙන්නේ කාල් මාක්ස්. ඒ එයාගේ දාස් කැපිටාල් කියන ෆික්ෂන් එක ඇතුළේ. සොෂලිසම් කියන සුපර් හීරෝව හදන්න එයා කැපිටලිසම් කියන සුපර් විලන්ව නිර්මාණය කරනවා. එහෙම නැතුව කැපිටලිසම් කියල එකක් ලෝකේ කොහේවත් පැවතුනා නෙමෙයි.

ශිෂ්ටාචාරේ පටන් ගත්ත තැන ඉඳන් මිනිස්සු ජීවත් වුණු සාමාන්‍ය විදිහ මාක්ස් කැපිටලිසම් කියල ප්‍රබන්ධගත කරනවා. ඒකට ලෝකේ වටේම ෆෑන්ස්ලා හැදෙනවා. විප්ලවය කියන්නේ ඒකෙ මාකටින් කැම්පේන් එක.’

චින්තන ධර්මදාස විසින් ලියා තිබූ මේ සටහන පළ වීමත් සමගම එම සමාජ මාධ්‍ය හරහාම කුඩා කලබැගෑනියක් ඇති වී තිබේ. බොහෝ දෙනෙකුගෙන් මෙයට එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙයට හේතුව තේරුම් ගැනීම ද එතරම් අපහසු නොවේ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ රටවල් වලට එරෙහිව බලවත් මතවාදී ව්‍යාපෘතියක් ගෙන යන – සිසිල් යුධ – සමයේ හෝ මේ ආකාරයේ කතාවක් කිසිවෙක් පැවසුවේ නැත. ඇමරිකානු මතවාද ප්‍රචාරණය කරන්නන් ගේ පවා අදහස වූයේ ධනවාදය යනු යහපත් – අවම වශයෙන්, ප්‍රායෝගිකව ළඟා විය හැකි යහපත්ම – සමාජ ආර්ථික ක්‍රමයක් වන බව මිස, එවැනි දෙයක් ‘ලෝකේ කොහෙවත් නොපවතින’ බව නොවේ. එම අරුතින් ගත්විට චින්තන ගේ මෙම අදහස, අදහාගත නොහැකි ආකාරයේ මෝඩ කතාවක් බව කණගාටුවෙන් වුවත් කිව යුතු වේ. උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා මට්ටමේ හෝ දැනුමක් තිබෙනා කෙනෙක් හට එය එසේ වන බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ.

නමුත්, මෙයට වඩා තරමක් වැදගත් වන්නේ මේ ආකාරයේ අදහස් සමග එකඟ වන්නා වූ පිරිසක් ද සිටි බව හඳුනා ගැනීමට මෙම සිදුවීම මගින් අපට ඉඩ විවර වීමයි. කිසිදු සැලකිල්ලක් නොදැක්විය යුතු ආකාරයේ නොවැදගත් ප්‍රකාශයක් ලෙස පෙනී යන මෙම කුඩා සිදුවීමෙන් අපට වැදගත් යමක් ඉගෙන ගැනීමට තිබෙන්නේනම්, එය තිබෙන්නේ මෙම දෙවැනි වර්ගයේ ප්‍රතිචාර සලකා බැලීමෙන් පමණි. මෙයට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වූ පිරිස අතරේ මෙරට විකල්ප කලාව වෙනුවෙන් පෙනී සිටිනා අය මෙන්ම, පොදුවේ ගත්විට, ‘විකල්ප අදහස්’ යනුවෙන් – තාවකාලිකව – නම් කළ හැකි දෙය වෙනුවෙන් පෙනී සිටිනා පුද්ගලයෝ ද සිටියෝය. සමාජ මාධ්‍යවල පළ වන අදහස් වලට කැමැත්ත දැක්වීම මගින් එම අදහස් වලට මුළුමනින්ම එකඟ වන බවක් උපකල්පනය කළ නොහැකි බව මෙහිදී කෙනෙකු පැවසීමට ඉඩ තිබේ. මෙවැනි ‘කැමැත්ත දැක්වීම්’ වලින් බොහෝ විට ඉඟි කරන්නේ එම මුල් අදහස් දක්වන පුද්ගලයා වෙත තවකෙකු දක්වන කැමැත්ත, උනන්දුව වැනි දේ විය හැක. සමහරවිට, චින්තන ධර්මදාස ගේ මෙම අදහසට කැමැත්ත පළ කළ බොහෝ දෙනෙක් ද අයත් වන්නේ මෙම වර්ගයට වීමේ ඉඩක් තිබේ. ඔවුන් විසින්, සමහරවිට, පැවසීමට ඉඩ ඇත්තේ මෙවැනි කතාවකි: ‘අපි චින්තන ගේ මෙම නිශ්චිත අදහස සමග එතරම් එකඟ නොවේ. නමුත් ඔහුගේ අප කැමති වෙනත් අදහස් තිබෙනා නිසා අපි මේ වගේ දේවල් වලටත් නිෂ්ක්‍රීය ලෙස සහය පළ කරමු’.

නමුත් මේ ආකාරයට මෙම ප්‍රතිචාරයන් වල තීව්‍රතාවය අඩු කළ හැකිද? තරමක් කල්පනා කර බැලූ විට මෙහිදී සිදු වන්නේ මෙහි අනෙක් පැත්ත බව පැහැදිළි විය යුතුය. මේ ආකාරයේ ප්‍රකාශයක් කරනා කෙනෙක් විසින් අපට වක්‍ර ආකාරයකින් කියා සිටින්නේ ඔහු හෝ ඇය හෝ චින්තන ධර්මදාස වැනි කෙනෙක් ‘බැරෑරුම් විචාරකයෙක්/බුද්ධිමතෙක්’ ලෙස බාර ගන්නා බවයි. නමුත් – ප්‍රශ්නය තීව්‍ර වන්නේ මෙතැනදීය – බැරෑරුම් බුද්ධිමතෙක් අතින් මේ ආකාරයේ ඇදහිය නොහැකි මට්ටමේ මෝඩ කතාවක් කියවෙනු ඇතිද? චින්තන ධර්මදාස වැනි කෙනෙක් මෙරට විකල්ප සමාජ කතිකාවේ සිටිනා අයගේ කැමැත්ත දිනා ගත් මත පළ කරන්නෙක් බවට පත් වූයේ කෙසේද? එසේත් නැතිනම්, ඉහත ආකාරයේ, ඇස් අදහාගත නොහැකි ආකාරයේ මෝඩ කතා ලෙස පමණක් අර්ථකථනය කළ හැකි අදහස් ප්‍රකාශ කර සිටිනා පුද්ගලයෙක් මෙරට බුද්ධිමය සංවාදයේ සිටිනා ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ කෙසේද? අප සියලු දෙනාහට වගකීම පැවරෙන ආකාරයට ප්‍රශ්නය පෙරළා ගත හැක්කේ මේ ආකාරයට එය නැවත ලියන්නේනම් පමණි.

මෙය තේරුම් ගැනීම සඳහා අප උපමා කතාවක් යොදා ගමු. වීදියක, ටෙනිස් බෝලයකින් ක්‍රිකට් ගසමින් සිටිනා අවුරුදු 20 පමණ තරුණයෙක් සිටිනවා කියා සිතන්න. මේ තරුණයා කෙදිනකවත් විධිමත් පුහුණුවක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලබා නොමැති අතර, වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකු බිහි වීම සඳහා සාමාන්‍යයෙන් යා යුතු පද්ධතිය – 13 පහළ පාසල් කණ්ඩායමේ සිට පළමු පෙළ කණ්ඩායමක් දක්වා – හරහා ගමන් කර නොමැත. දැන්, හදිසියේම මොහුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් කර දකුණු අප්‍රිකාවේ වැනි ඉතාම අභියෝගාත්මක තරඟාවලියකට ඉදිරිපත් කළහොත් සිදු විය හැක්කේ කුමක්ද? ඉතාමත් අහම්බයකින් හැර එවැනි අවස්ථාවකදී සිදුවීමේ ඉහළ සම්භාවිතාවයක් තිබෙන්නේ එවැනි කෙනෙකු විකටසහගත ලෙස අසාර්ථක වීම බව අපි දනිමු. එයට හේතුව වන්නේ ටෙනිස් බෝලයෙන් කරනා වීදි ක්‍රිකට් වල සහ ලෙදර් බෝලයෙන් ක්‍රීඩා කරනා ටෙස්ට් ක්‍රිකට් අතර තිබෙන්නා වූ අතිවිශාල පරතරය බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි වේ.

නමුත් මේ ආකාරයේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපට අත්දකින්න නොමැති වන්නේ ඇයි? ඒ, මෙරට ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුලත් කරගන්නා ක්‍රමයක් ඓතිහාසිකව ගොඩ නැගී තිබෙනා නිසා බව අපි දනිමු. එම ක්‍රමය, සමහරවිට, ඕස්ට්‍රේලියාවේ හෝ දකුණු අප්‍රිකාවේ හෝ දැකිය හැකි ආකාරයේ ඉතාම කාර්යක්ෂම ක්‍රමයක් නොවුනද, ඒ මගින් අපගේ උපමා කතාවේ වැනි දේවල් සිදු නොවේ. අවම මට්ටමේ හෝ හැකියාවක් නොමැති ක්‍රීඩකයෙක් හට ජාතික කණ්ඩායමට ඇතුලත් වීමට එමගින් ඉඩ තබන්නේ නැත.

අපි දැන් මේ ආකාරයට මෙරට බුද්ධිමය සංවාදය දෙස හැරී බැලුවොත් පසුගිය දශකයක පමණ කාලය තුළ එහි හඳුනා ගත හැකි මූලික ප්‍රවණතාවයන් වන්නේ මොනවාද? එවැනි සංවාදයකට දායක විය හැකි මට්ටමේ බුද්ධිමතුන් අතීතයේදී උත්පාද වූ විශ්ව විද්‍යාල, වාමාංශික දේශපාලනය සහ විකල්ප කලා භාවිතයන් වල ක්‍රමික කඩා වැටීමක් ඇති වී තිබෙනා බව පහසුවෙන් හඳුනාගත හැකිය. වෙනත් ආකාරයකට කියන්නේනම්, මෙරට සිදු වී තිබෙන්නේ එවැනි බුද්ධිමතුන් නිර්මාණය වීමට තිබූ පද්ධතිය අකණ්ඩව පරිහාණියට පත්වීමයි. මෙහි ප්‍රායෝගික ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් දවසේ ජීවිතයේ වැඩි කාලයක් ඉගෙන ගැනීමට, කියවීමට, පර්යේෂණ කිරීමට කැප කරනා මිනිසුන් අපට දක්නට ලැබෙන්නේ ඉතාම අවම වශයෙනි. මේ සඳහා සාක්ෂි අවශ්‍ය කෙනෙක් විසින් කළ යුතු වන්නේ මෙරට බුද්ධිමය සංවාද තිබෙනා සාහිත්‍ය පරීක්ෂා කර බැලීමයි. අලුත් අදහස්, අලුත් අර්ථකථන, අලුත් ප්‍රවේශයන් හඳුන්වා දෙන ආකාරයේ සාහිත්‍යයක් සමකාලීන සිංහල කතා කරන ලෝකයේ තිබෙන්නේද? සමාජය, දේශපාලනය, කලාව, දර්ශනය ආදිය සම්බන්ධයෙන් මෑත කාලීනව බිහි වූ සාහිත්‍යයක් හඳුනා ගත හැකිද?

කිසියම් අදහසක්, එය ප්‍රායෝගිකව පරීක්ෂා කර බැලිය හැකි මට්ටමින්, එහි තාර්කික අවසානය වෙත රැගෙන යාමට කෙරෙනා උත්සහයක් එවැනි සාහිත්‍යයක දැක ගැනීමට හැකි විය යුතුය. යහපත් බුද්ධිමය සංවාදයක් ඇති විය හැක්කේ මේ ආකාරයේ සාහිත්‍යයක් ගොඩ නැගීමට කැප වී සිටිනා පිරිසක් අතරෙහි සහ එවැනි සාහිත්‍යයක් සංවාදයට බඳුන් කිරීමට කැමති පාඨක පිරිසක් අතරේ පමණි. අප හොඳින් දන්නා පරිදි අපේ රටේ ඓතිහාසිකව සිදු වී තිබෙන්නේ මේ ආකාරයේ සාහිත්‍යයක් බිහිවීම අකණ්ඩව පරිහාණියට පත්වීමයි.

ඒ වෙනුවට, අද වන විට ලංකාවේ දක්නට ලැබෙන්නේ, ඉඳ හිට පුවත් පත් ලිපියකටත්, බොහෝ විට සමාජ මාධ්‍ය මගින් බෙදා ගැනෙනා කුඩා සටහනකටත් සීමා වී ඇති බුද්ධිමය සංවාදයකි. ගැටලුව වන්නේ මෙවැනි ආකෘතීන් වලින් සංවාද කිරීමට කෙනෙක් හට එතරම් ගැඹුරු ආකාරයේ බුද්ධිමය පුහුණු වීමක් අවශ්‍ය නොවීමයි. සාමාන්‍ය මට්ටමින් ලියන්න, කියන්න හැකියාවක් තිබෙනා කෙනෙක් හට එතරම් අපහසුවකින් තොරව මේ ආකාරයේ ‘අදහස් දක්වන්නෙක්’ බවට පත්වීමට එතරම් අපහසු නොවේ. අපගේ ක්‍රිකට් උපමාව වෙත නැවත යන්නේනම් අද සිදු වී තිබෙන්නේ හදිසියේම මෙරට පාසල් සහ පළමු පෙළ ක්‍රිකට් පද්ධතිය අතුරුදහන් වී, ‘ජාතික කණ්ඩායමක්’ පමණක් නාමිකව ඉතුරු වන්නේනම් ඇති විය හැකි ආකාරයේ තත්වයකි. අතීතයේදී කීර්ති බාලසූරිය, නිව්ටන් ගුණසිංහ, කුමාරි ජයවර්ධන, සුචරිත ගම්ලත්, සුගතපාල ද සිල්වා වැනි අය විසින් පණ පොවන ලද ‘විකල්ප බුද්ධිමතා’ නම් භූමිකාවට චින්තන ධර්මදාස වැනි පුද්ගලයන් ආදේශ වීමේ ඓතිහාසික සන්දර්භය වන්නේ මෙය නොවේද? මේ සඳහා අප චින්තන වැනි අයට දොස් නැගීමෙන් ප්‍රයෝජනයක් ඇති නොවන්නේ එම නිසාය. එවැනි අයගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ට හිමිව තිබෙන්නේ වටිනා අවස්ථාවකි. වීදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ජාතික කණ්ඩායමට ඇතුලත් වන්නේනම් එතැන වැරැද්ද තිබෙන්නේ එම ක්‍රීඩකයාගේ නොව, ජාතික කණ්ඩායම තේරීම සිදු විය යුතු පද්ධතිය තුළයි. මෙම කුඩා කලබගෑනිය මගින් අප මත අතහැර තිබෙනා සැබෑ අභියෝගය වන්නේ එයයි.

එනිසා, චින්තන ධර්මදාස විසින් ආරම්භ කරන ලද මෙම සිදුවීම ප්‍රයෝජනවත් අන්තයක් වෙත යොමු කරවන්නට අපි උත්සාහ කරන්නෙමු. ඒ සඳහා මාක්ස්ට අනුව ධනවාදය කියන්නේ කුමක්ද යන්න – මෙවැනි මාධ්‍යයක් තුළින් කළ හැකි උපරිම විස්තරාත්මක ලෙස – දීර්ඝ ලෙස පැහැදිළි කරන ලිපි මාලාවක් මෙහි ඉදිරි කාලයේදී පළ කරන්නෙමු. චින්තන ගේ අදහසට එල්ල වූ විවේචන වලට එරෙහිව සමහර දෙනෙකු ලබා දුන් ප්‍රතිචාරයක් වූයේ ධනවාදය පිළිබඳ මාක්සියානු විග්‍රහය කිසිවෙකු විසින් නිවැරදි ලෙස ඉදිරිපත් නොකිරීමේ ගැටලුවයි. තරමක් කල් ගත වන මෙවැනි ආකාරයේ වැඩක් සඳහා අත ගැසීමට කෙනෙක් දෙවරක් සිතා බැලිය හැකි බව අපි දනිමු. නමුත්, අවසන් අරුතින් ගත්විට, මෙම අභියෝගයට පිළිතුරු ලබා දිය හැකි වෙනත් ආකාරයක් නොමැති වේ.

වෙළුම් කීපයක් පුරා පැතිරුණු මාක්ස් ගේ මෙම – සම්පූර්ණ නොකරන ලද – ප්‍රවාදය, බ්ලොග් මාධ්‍යයට ගෙන ඒම අතිශය අභියෝගාත්මක දෙයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එනිසා මෙහි සාර්ථකත්වය රැඳී තිබෙනු ඇත්තේ මෙයට ලැබෙනා සහයෝගය මත පමණි. හැකිතාක් පිරිසක් අතරට මෙය රැගෙන යාමට ‘වමේ සහෝදරත්වය’ මැදිහත් වන්නේනම් එය මහත් සේ අගය කරමු. පුද්ගලික දේපළ මගින් බිහි කර ඇති බිහිසුණු අසමානතාවයන් අහෝසි කිරීමේ අරමුණ වෙනුවෙන් නිර්මාණය වූ මෙම ප්‍රවාදය සඳහා “බව” වෙත පුද්ගලික හිමිකාරිත්වයක් අවශ්‍ය නොවේ. නමුත් මෙහි තිබෙනා අර්ථකථන සම්බන්ධයෙන් වග කියන්නටත්, එහිදී සිදු වන වරදක් තිබේනම් එය නිවැරදි කර ගැනීමටත් අප ඕනෑම අවස්ථාවක විවෘත වේ.

අපගේ අවශ්‍යතාවය වන්නේ මෙරට බුද්ධිමය සංවාදය එවැන්නක් වෙත තිබිය යුතු අවම කොන්දේසි වෙත නැවත රැගෙන ඒමට දායකත්වයක් ලබා දීමයි. මාක්ස් ධනවාදය ගැන කියූ දෙය ගැන ‘මත පළ කරන්නට’ පෙර, ඔහු කියා තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් දේවල් කොතරම් නරක තත්වයට පත්ව තිබෙන්නේදැයි අපට පැහැදිළි වන්නේ මේ ගැන මත පළ කරන අය අතරින් කී දෙනෙක් මේ අවම කොන්දේසිය ඉටු කර තිබේදැයි කියා පරීක්ෂා කර බලන විටයි. ‘චින්තන ධර්මදාස’ යනු මෙම පූර්ණ පරිහාණියේ ජනප්‍රිය සංකේතය නොවන්නේද?

චින්තන ගේ ‘රසිකයන්’ අප සමග අමනාප වීමට ඉඩ ඇති බවත්, කිසියම් අදහසක් පිළිවෙලකට ඉගෙන ගැනීමට තරම් හික්මීමක් නැති අය මෙම ලිපි මාලාව කියවීමට මහන්සි නොවන බවත් අපි දනිමු. සත්‍යය දැන ගැනීමට අවංකකමක් සහ උනන්දුවක් තිබෙනා කුඩා පිරිස පමණක් අප සමග ඉතිරි වනු ඇත. නමුත්, අප හොඳින්ම දන්නා පරිදි, අනාගතයේ සිදු විය හැකි සමාජ පරිවර්තනයකට බුද්ධිමය නායකත්වය දෙනු ඇත්තේ මෙම කුඩා කණ්ඩායම පමණි.

‘ධනවාදය පිළිබඳ මාක්ස් ගේ ප්‍රවාදය කුමක්ද?’ ලිපි මාලාවේ පළමු ලිපිය බලාපොරොත්තු වෙන්න.

Advertisements