jean-luc-moulene_blownknot-1

පහතින් පළ වෙන්නේ ‘ධනවාදය පිළිබඳ මාක්ස් ගේ ප්‍රවාදය කුමක්ද?’ යන්න සම්බන්ධයෙන් මෙහි පළ කිරීමට නියමිත ලිපි මාලාවක පළමු කොටසයි. මෙම ලිපි මාලාව සකස් කිරීමට ආසන්න හේතුව වූයේ චින්තන ධර්මදාස විසින් මාක්ස්වාදය සම්බන්ධයෙන් කරන ලද කුඩා අදහස් දැක්වීමකි. නමුත් අපගේ මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණ වන්නේ ‘චින්තනට පිළිතුරු දීම’ නොවේ. එවැනි දෙයක් කළ නොහැකි වන්නේ සංවාදයක් කිරීම සඳහා අවශ්‍ය අවම කොන්දේසි චින්තනගෙන් පාර්ශවයෙන් දක්නට නොලැබීමයි. ඔහු යෝජනා කරන්නේ ‘ප්‍රාග්ධනය’ කෘතිය හෝ – වෙනත් පොත් පත් – කියවීම නවත්වන ලෙසයි. ‘ප්‍රාග්ධනය’ කෘතිය කියවන්නේ නොමැතිව මාක්ස් හරිද වැරදිද කියා තීරණය කරන්නේ කෙසේද? මේ ආකාරයේ විකාරසහගත අදහස් පළ කරන්නන් සමග සංවාද කිරීම කළ නොහැකි වන්නේ එම නිසාය.

මෙයට පෙර දැමූ සටහනකදී පැහැදිළි කළ ආකාරයට, අප උත්සාහ කරන්නේ චින්තන ධර්මදාස වැනි අය අපේ රටේ ‘විකල්ප බුද්ධිමතුන්’ වීමේ ඓතිහාසික තත්වයන් පරිවර්තනය කිරීමට කුඩා දායකත්වයක් ලබා දීමටයි. මේ සඳහා අත්‍යවශ්‍ය එක් දෙයක් වන්නේ සමකාලීන ලෝකයේ බුද්ධිමය සංවාදය සඳහා අවශ්‍ය මූලික පසුබිම් කරුණු පිළිබඳව අපේ රටේ – ‘දේශීය’ – සාහිත්‍යයක් බිහි කිරීමයි. එම අර්ථයෙන් ගත්විට, මාක්ස් ගේ මෙම ප්‍රවාදය තරම් කේන්ද්‍රීය වන්නා වූ වෙනත් අදහස් පද්ධතීන් තිබෙන්නේ අතලොස්සකි. මේ පිළිබඳව, හැකිතාක් ක්‍රමවත්ව ලියවුනු සරල සිංහල හැඳින්වීමක අවශ්‍යතාවයක් තිබෙන්නේ මේ නිසාය. මේ ලිපි මාලාවේ නිශ්චිත ඉලක්කය වන්නේ මෙම අඩුව පිරවීම සඳහා එක පියවරක් තැබීමයි.

මේ ආකාරයේ ලිපි මාලාවක වාසි මෙන්ම අවාසි ද තිබෙනා බව අපි දනිමු. වාසිය වන්නේ මාක්ස් ගේ ප්‍රවාදය සම්බන්ධයෙන් පොදු හැඳින්වීමක් ලබා ගැනීමට කෙනෙකු හට අවස්ථාව ලැබීම බව පැහැදිළිය. ඒ මගින් සමකාලීන ලෝකයේ දේශපාලන සංවාද වලට එකතු වීමට අවශ්‍ය මූලික පසුබිම ලබා ගැනීමට හැකි වේ. මේ ආකාරයේ හැඳින්වීමේ ආකෘතියෙන් ලියවෙන දේ කියවන පිරිස ගණනින් වැඩි විය හැකි නිසා එය සමස්ත දේශපාලන සංවාදයේ ගුණාත්මකබව වැඩි කිරීමට ඉඩ ලබා දෙනු ඇත.

මෙහි තිබෙනා ප්‍රධාන අවාසිය වන්නේ අර්ථකථනය කිරීමේදී තරමක් සමීප අවධානයක් දිය යුතු සමහර කරුණු මෙවැනි ප්‍රවේශයකදී මග හැරී යාමයි. මෙයට තිබෙනා එක ප්‍රතිකර්මයක් වන්නේ මෙහි තවදුරටත් සාකච්ඡා විය යුතුයැයි හැඟී යන කරුණු පෙන්වා දීමෙන් සහ අප අතින් වන වැරදි තිබේනම් ඒවා නිවැරදි කර ගැනීමට අපට උදව් කිරීමෙනි.

මෙය ලිවීම මගින් අප ‘මාක්ස්වාදය පාරප්‍රාප්ත කර ඇති’ බවක් අදහස් නොවේ. අප සිතනා පරිදි, ලංකාවේ, ඓතිහාසිකව, සංකීර්ණ මාක්ස් අර්ථකථනකරුවන් බිහි වී නොමැත. නමුත් අපේ රටේ ‘වමේ ව්‍යාපාරයට’, අවශ්‍යනම්, මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කිරීමේ සහ එවැනි දේ සඳහා අවශ්‍ය අවකාශයක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඉතා පැහැදිළිව තිබේ. මහේක්ෂ දේශපාලනය තුළ අපට ඇති සීමිත උපක්‍රමික තෝරා ගැනීම් වෙනුවෙන් මහන්සි වන අතරතුර, අපට දිගු කාලීනව නියැලිය හැකි ප්‍රධාන ප්‍රායෝගික වැඩක් වන්නේ මෙයයි. මාක්ස්වාදය, මනෝවිශ්ලේෂණය සහ දර්ශනය යන මේ මූලික ක්ෂේස්ත්‍ර තුන සම්බන්ධයෙන් පුළුල් සාහිත්‍යයක් බිහි කිරීම, ඒවා පිළිබඳව ගැඹුරු කතා බහක් ඇති කරගැනීම, අපට කළ හැකි දෘෂ්ඨිවාදී අරගලයේ අති මූලික අංගයකි. වාර්ගික අන්තවාදයට සහ පරිභෝජනවාදයට – සමකාලීන පසුගාමිත්වයේ නිවුන් සහෝදරයන් වන්නේ මේවාය – එරෙහි වන්නා වූ විචාරාත්මක අක්ෂයක් ගොඩ නැගෙනු ඇත්තේ එවිට පමණි.

මෙය ලිපි මාලාවක් වන බැවින් මෙය මුල සිට අගට පිලිවෙලින් කියවන්නේ නොමැති වන්නේනම් එය වටහා ගැනීම එතරම් පහසු නොවනු ඇත. එනිසා මෙය අංක පිළිවෙලට කියවන ලෙස ඉල්ලා සිටිමු. මෙම ලිපි මාලාව ‘ධනවාදය පිළිබඳ මාක්ස් ගේ ප්‍රවාදය කුමක්ද?’ යන ටැග් (tag) එක හරහා සර්ච් කිරීමෙන් පහසුවෙන් සොයා ගත හැකි ආකාරයකට මෙහි පළ වනු ඇත. එයට අමතරව ලිපිය ආරම්භයේදී එහි අදාළ අංකය කුමක්ද කියා සටහන් කරමු.

අවසන් වශයෙන්, තමන් සමග අමනාප වූ සමීප ඥාතීන් ගේ වැරදි කියා කියා රට වටේ යන මිනිසුන් සේ අපේ ඇදයක් පෙන්වීමට සහ එය ෆේස්බුක් එකේ විවිධ තැන් වල කොපි-පේස්ට් කිරීමට බලා සිටිනා අතීත මිතුරන් ට කියන්නට ඇත්තේ අපේ ඇඟිල්ල දෙස නොව එමගින් ඔබට පෙන්වීමට තැත් කරන සඳ දෙස බලන ලෙසයි.

***

1

පාරිභෝගික භාණ්ඩයක් කියන්නේ කුමක්ද?

අපගේ දෛනික ජීවිතය තුළදී අප ‘ධනවතෙක්’ යන්න හඳුනා ගන්නේ කෙසේද? මේ සඳහා දිය හැකි එක් පිළිතුරක් වන්නේ ධනවතෙක් යනු පාරිභෝගික භාණ්ඩ විශාල ප්‍රමාණයක් අයිති කරගෙන සිටිනා පුද්ගලයෙකි යන්නයි. ඔහු සතුව මිල අධික වාහන කීපයක් තිබෙනු ඇත. ඔහු ජීවත් වනු ඇත්තේ විශාල මූල්‍යමය වටිනාකමක් ඇති නිවසකයි. ඔහුට අයත් වන තවත් ඉඩම්, කොටස්, මුදල් තැන්පතු, රත්තරන් ආදිය තිබෙනු ඇත. ඔහු ආහාර ගැනීමට යන්නේ මිල අධික බොජුන් හල් වලටයි. ඔහු පාවිච්චි කරන්නේ මිල අධික සුවඳ විලවුම්, ඔරලෝසු, ජනප්‍රිය විලාසිතා නිර්මාපකයන් විසින් නිපදවන ලද ඇඳුම් පැළඳුම් වේ. ඔහු වසරකට වරක් ලෝකයේ වෙනත් රටකට නිවාඩුවක් ගත කිරීමට යන අතර ඔහු සෑම විටම මිලට ගන්නේ ‘ව්‍යාපාරික පන්තියේ’ ටිකට් පතකි. සමස්තයක් ලෙස ගත්විට ඔහු ගේ මෙම ධනය සමන්විත වන්නේ වෙළඳපොලේ මිලට ගැනීමට සහ විකිණීමට ඇති පාරිභෝගික භාණ්ඩ එකතුවකින් බව අපට පැහැදිළි වේ. එනිසා අප ජීවත් වන ආර්ථික ක්‍රමය කුමක්ද යන්න වටහා ගැනීම ආරම්භ කිරීම සඳහා මේ ආකාරයේ පාරිභෝගික භාණ්ඩයක් (commodity) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිළි කරගැනීම සුදුසු වන බව පෙනී යයි.

මේ වන විටත් අපට පාරිභෝගික භාණ්ඩයක් අර්ථකථනය කිරීම සඳහා පළමු නිර්වචනයක් ඉදිරිපත් කළ හැකි වේ: පාරිභෝගික භාණ්ඩයක් යනු වෙළඳපොළ තුළ හුවමාරු කරගත හැකි භාණ්ඩයකි. මේ ආකාරයට වෙළඳපොළ තුළ හුවමාරු වූ භාණ්ඩ මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා ඈත කාලයේ සිට පැවතී බව අපි දනිමු. බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතා වල පවා අපට වෙළෙන්දන් කේන්ද්‍ර කරගත් කතා හමු වී තිබේ. නමුත් එවැනි අතීත සමාජයන් වලින් අපගේ වර්තමාන සමාජය වෙනස් වන්නේ අපගේ අවශ්‍යතාවයන් වලින් සාතිශය බහුතරයක් ඉටු කිරීමේ කාර්යය මෙම පාරිභෝගික භාණ්ඩ වලට පැවරෙන නිසාය. අතීත සමාජයන් වල මිනිසුන් ගේ දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා බොහෝ දුරට ඉටු වූයේ වෙළඳපොළ හරහා හුවමාරු වන භාණ්ඩ හා සේවාවන් වලින් නොවේ. එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාර පාන, ගෙවල් දොරවල් වැනි දේ එවැනි සමාජයන් වලදී නිෂ්පාදනය වූයේ වෙළඳපොළ හුවමාරුවෙන් පරිබාහිරවයි. සත්‍ය වශයෙන්ම, එම අතීත සමාජ වලදී වෙළඳාම හරහා හුවමාරු කරගත් භාණ්ඩ යනු, බොහෝ දුරට, මෙම දෛනික අවශ්‍යතා ඉක්මවා ගිය අතිරේක දේවල් විය. පාරිභෝගික භාණ්ඩ යනු එකළ ‘සාමාන්‍ය’ ධනය නොව විශේෂ ‘ව්‍යතිරේකී’ ධනයක් විය.

දැන් අපට ධනවාදී සමාජයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීම සඳහා ද ඉතාම සරල, පළමු, නිර්වචනයක් ලබා දිය හැකි වේ: ධනවාදී සමාජයක් යනු පාරිභෝගික භාණ්ඩ වලින් සමාජයේ ධනය සකස් වී තිබෙනා සමාජයකි. එවැනි සමාජයක ධනයේ මූලික ආකෘතිය ලෙස පාරිභෝගික භාණ්ඩය සැලකිය හැකි වේ.

මෙම අරුතින් ගත්විට පාරිභෝගික භාණ්ඩයක් සඳහා තිබෙනා වටිනාකම දෙආකාර වන බව අපට පෙනී යයි. එක් අතකින්, මිනිස් අවශ්‍යතාවයක් ඉටු කිරීමට නිෂ්පාදනය වන ඕනෑම භාණ්ඩයක් සේම, පාරිභෝගික භාණ්ඩයක් සඳහා ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබේ. මා ඉදිරියේ තිබෙන පරිඝණකය මගින් මට යම් අවශ්‍යතා ඉටු කරගත හැකි වේ – ලිපි ටයිප් කිරීම, පොත් කියවීම, අන්තර්ජාලයට සම්බන්ධ වීම, චිත්‍රපට බැලීම, සංගීතයට සවන් දීම ආදී ලෙස අපට ඒවා පහසුවෙන් හඳුනා ගත හැකිය. අනෙක් අතට, මෙම පරිඝණකය, පාරිභෝගික භාණ්ඩයක් ලෙස ගත්විට එයට මේ ආකාරයේ ප්‍රයෝජ්‍ය වටිනාකම් වලට අමතර හුවමාරු වටිනාකමක් තිබේ. මෙයින් අදහස් කරන්නේ මෙය වෙළඳපොළ තුළ හුවමාරු කරගන්නා විට එයට හිමි වන වටිනාකමයි. මෙම පරිඝණකය සඳහා තිබෙනා මිල යනුවෙන් අප හඳුන්වන්නේ එම දෙවැනි වටිනාකම වේ. එයට අනුව මේ පරිඝණකය හා සමාන වටිනාකම් තිබෙනා වෙනත් දේ තිබෙනා බව අපට පෙනී යයි. වාහන රක්ෂණ ගිවිසුමක්, චිත්‍රයක්, රන් ආභරණයක් වැනි එකිනෙකට බොහෝ වෙනස් වූ ප්‍රයෝජ්‍ය වටිනාකම් තිබෙනා භාණ්ඩ වලට තිබෙන්නේ මේ හා සමාන මිලක් වන අතර එනිසාම මේ හා සමාන හුවමාරු වටිනාකමකි.

මේ අනුව අනුව අපට පැහැදිළි වන්නේ ‘ප්‍රයෝජ්‍ය වටිනාකම’ සහ ‘හුවමාරු වටිනාකම’ යනු එකිනෙකින් වෙන් වූ වටිනාකම් ප්‍රවර්ග දෙකක් බවයි. භාණ්ඩයක ප්‍රයෝජ්‍ය වටිනාකම සඳහා එය හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් හුවමාරු වටිනාකමක් එයට ලැබෙන්නේ එය වෙළඳපොළ තුළ හුවමාරු කරගන්නා විට පමණි. අනෙක් අතට ප්‍රයෝජ්‍ය වටිනාකම බොහෝ ලෙස වෙනස් වන්නා වූ භාණ්ඩ වල හුවමාරු වටිනාකම එක සමාන විය හැකිය. ප්‍රයෝජ්‍ය වටිනාකම භාණ්ඩයක් තුළ නෛසර්ගිකව තිබෙනා ගුණයක්නම්, හුවමාරු වටිනාකම යනු එයට ලැබෙන සමාජීය වටිනාකමකි. එනිසාම හුවමාරු වටිනාකම තීරණය වන්නේ සමාජයේ භාණ්ඩ හුවමාරුව සකස් වී ඇති ව්‍යූහය අනුව බව අපට තවදුරටත් පවසා සිටිය හැකිය. මේ අනුව අපට ඕනෑම භාණ්ඩයක් ආකෘති දෙකක් යටතේ තේරුම් ගැනීමේ අවස්ථාව තිබේ. පළමු ආකෘතිය වන එහි ‘ස්වභාවික ආකෘතිය’ (natural form) සකස් වී තිබෙන්නේ එහි ඇති ප්‍රයෝජ්‍ය වටිනාකමෙන් වන අතර දෙවැන්න වන ‘සමාජීය ආකෘතිය’ (social form) සැදී තිබෙන්නේ එහි ඇති හුවමාරු වටිනාකම අනුවයි.

දැන්, මෙම හුවමාරු වටිනාකම යනු පොදුවේ නිෂ්පාදනය වන දේවල් වලින් ඉතාම සීමිත භාණ්ඩ ප්‍රමාණයකට පමණක් ලැබෙන්නා වූ ආකෘතියක් පමණක් වන්නේනම් එම වටිනාකම තීරණය වනු ඇත්තේ එතරම් ක්‍රමවත් ආකාරයකට නොව භාණ්ඩ හුවමාරු කරගන්නා පුද්ගලයන්ගේ පුද්ගලික කැමැත්ත අනුවයි. නමුත්, අප දුටු පරිදි, මිනිස් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ මූලිකම ආකාරය බවට භාණ්ඩ හුවමාරුව පත් වූ පසු එම හුවමාරුව කිසියම් නිශ්චිත ක්‍රමවේදයකට ඇතුලත් කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වේ. මෙවැනි ක්‍රමවේදයක් නොමැති වන්නේනම්, එක්තරා නිශ්චිත මොහොතකට පසුව හුවමාරුවේ සුමට ක්‍රියාකාරිත්වය අර්බුධයට යනු ඇත.

අපි නිදර්ශනයක් ඇසුරින් මෙය වටහා ගැනීමට උත්සාහ කරමු. එක රත්තරන් වළල්ලක හුවමාරු වටිනාකම පරිඝණක දෙකකට හෝ ජංගම දුරකථන හතරකට හෝ සමාන වන බව සිතන්න. දැන්, මේ අනුව පරිඝණක දෙකක වටිනාකම, ජංගම දුරකථන හතරක වටිනාකමත් එක සමාන විය යුතු බව අපට පෙනී යයි. එසේ නොමැතිව, නිදර්ශනයක් ලෙස, පරිඝණක දෙකක වටිනාකම ජංගම දුරකථන දෙකක වටිනාකම හා සමාන විය නොහැකිය. එසේ වන්නේනම්, තරමක් කල්පනාකාරී පුද්ගලයෙකුට මෙතනට මැදිහත් වී විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබේ. ඔහු කළ යුත්තේ,  ජංගම දුරකථන දෙකකට පරිඝණක දෙකක් ලබාගෙන, එය රත්‍රන් වළල්ලකට හුවමාරු කරගැනීම සහ එම රත්‍රන් වළල්ල නැවත ජංගම දුරකථන හතරකට හුවමාරු කර ගැනීමයි. මේ ආකාරයේ ගණුදෙනුවකින් පමණක් කෙනෙකුට සිය ධනය දෙගුණ කරගැනීමේ අවස්ථාව හිමි වේ. මේ ගණුදෙනුව එක දිගටම කරගෙන යාමෙන් රත්‍රන් වළලු සහ පරිඝණක ලබා ගන්නා පුද්ගලයන්ට සිදු වන්නේ සිය ධනය අඩු වී යාමක් බව පැහැදිළි වේ. එනිසා, මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ හුවමාරුවෙන් අනෙක් පාර්ශවය ඉවත් වීමයි.

හුවමාරු ක්‍රියාවලිය කිසියම් ආකාරයකට විධිමත් කිරීමේ සහ එහිදී එක් එක් භාණ්ඩයකට ලැබෙනා හුවමාරු වටිනාකම කිසියම් ආකාරයකට ගැලපීමේ අවශ්‍යතාවය පැන නගින්නේ මෙම හේතුව නිසාය. තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් අපට ඇති වන්නේ මෙම අවස්ථාවේදීය. භාණ්ඩයකට නිශ්චිත හුවමාරු වටිනාකමක් ලැබෙන්නේ කෙසේද? රත්තරන් වළල්ලක් සහ පරිඝණකයක් යනු, ප්‍රයෝජ්‍ය වටිනාකම අතින් ගත්විට, මුළුමනින් වෙනස් වන්නා වූ භාණ්ඩ බව අපි දනිමු. එසේනම්, ‘පරිඝණක 2 = රත්තරන් වළලු 1’ ලෙස අප සමීකරණයක් ගොඩ නගන්නේ කෙසේද?

තරමක් වියුක්ත ආකාරයකින් මෙය නැවත ලියූ විට අපට හමු වන්නේ මෙම ප්‍රශ්නයයි: වටිනාකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එය භාණ්ඩයක් වෙත ලැබෙන්නේ කෙසේද?

මීළඟ කොටසින් මේ පිළිබඳව සාකච්ඡා කරමු.

Advertisements