edith-konrad

කියවීම යන්න අද දවසේ අපට ‘පොත්’ කියවීම යන්නට පමණක් භාවිත කළ නොහැක. එසේ වන්නේ අද දවසේ කියවීම යනු ස්වභාවික භාෂාවන් ගේ අකුරු හරහා දක්නට නොමැති දේවල් ලෙස පවා පුළුල් වී ඇති නිසාය. එක්තරා ආකාරයකට මෙම අදහස ‘පශ්චාත් නූතනවාදය’ ලෙස ජනප්‍රිය වූ දාර්ශනික සම්ප්‍රදාය මඟින් ජනිත කළ අදහසක් ලෙස හැඟී ගිය ද එයට ප්‍රථමයෙනුත් මෙම අදහස පැවතින. එසේ වන්නේ නිර් – වාග්මය ලෝකය තුළ යම් ආකාරයකට පොත් නොමැති ලෝකයක් කියවීමේ අදහස් ඇති නිසාය. කෙසේ වෙතත් මේ සම්බන්ධව විශාල දායකත්වයක් ‘සංඥාව’ නම් සංකල්පය විසින් සිදු කළ අතර සංඥා කියවීම අපගේ කියවීම වඩා පුළුල් කරවන්නකි. යම් කිසි ආකාරයකට සංඥා පිළිබඳව කරන අධ්‍යයනය ‘සංඥාර්ථවේදය’ ලෙසට අපට ලිවිය හැකිය. මේ සඳහා අපට සංඥා අධ්‍යයනයේ ඉතිහාසය පිරික්සිය හැකි අතර එහිදී අපට සංඥා අධ්‍යයනය ශාස්ත්‍රාලීය මට්ටමට ගෙන ඒමේ ගෞරවය ෆර්ඩිනැන්ඩි ඩි ශෝෂියර්ට ලබා දීමට සිදු වේ. ඔහුගේ Course in General Linguistics නම් ග්‍රන්ථය තුළින් මෙම මූලික අදහස ගෙන එනු ලබයි. ඔහුට අනුව සංඥාව ද්විත්ව ප්‍රවේශයකින් යුක්ත වන අතර එය හැඟවුම සහ හැඟවුම්කාරකය ලෙසට අපට අවශ්‍යය නම් සිංහලෙන් භාවිත කළ හැකිය. සරලව මෙම අදහස වටහා ගන්නවා නම් මෙසේය,  අපට මෙහිදී බල්ලා නම් අදහස හැඟවුම ලෙසත් බල්ලා නම් අකුරු කිහිපය හැඟවුම්කාරකය ලෙසත් වටහාගත හැකිය.

නමුත් මෙහිදී අප බල්ලා ගැන කතා කිරීමට අවශ්‍ය මූලික කොන්දේසිය වන්නේ එය අනෙක් වචන වලින් වෙනස් වීමයි. වෙනත් වචන වලින් කියන්නේ නම් අප බල්ලා කියන වචනය,  සංඥාවෙන් අපට එම සතා අදහස් කළ හැක්කේ ඒ සංඥාව ස්වභාවිකව තිබෙන නිසා නොව අනිත් දෑ වලින් වෙනස් වන නිසාය. ශෝෂියර් මෙම වෙනස අනිවාර්ය ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව අපට  පැහැදිලි කරගත හැකි කාරණා කිහිපයක් මෙහිදී මතු වේ. එනම් සංඥාව සහ අර්ථය අතර සම්බන්ධය  පෞද්ගලික නැත. එය ස්වභාවික නැත. එසේම එය අත්භූත ද නැත. එය තුළ පවතින්නේ හිතුමතික ස්වභාවයක් යැයි වර නැඟීම සාධාරණයය. නමුත් යම් අයකුට Onomatopoeia වලදී මෙයට වෙනස් ප්‍රශ්නයක් ඇසිය හැකිය. එනම් සංඥාව සහ අර්ථය අතර කිසියම් හෝ සම්බන්ධයක් පවතින බවයි. නමුත් පුළුල්ව මෙම ප්‍රශ්නය දෙස බලන කළ අපට පෙනී යන්නේ භාෂාව සහ අර්ථය අතර සම්බන්ධය තුළ යම් ස්වභාවික  සම්බන්ධයක්  තිබෙන තැන් වල පවා ඇත්තටම එය ස්වභාවික නොවන බවයි. අපට මෙය උදාහරණයකින් පැහැදිලි කරගත හැකිය. Onomatopoeia එකක් සඳහා නිදර්ශනයක් ලෙස වෙඩි හඬක් වැනි ශබ්දයක් ලිවීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ යොදා ගැනෙන්නේ ‘bang!’ වැනි හැඟවුම්කාරයකයකි. බැලූ බැල්මට මෙය වෙඩි හඬේ ශබ්දය අකුරු වලින් අනුකරණය කිරීමකි. එය සැබැවින්ම එසේ වන්නේනම්, එය සිංහලෙන්ද එසේම විය යුතු වේ යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සිංහල භාෂාවෙන් අපි එය ‘බෑන්ග්’ කියා ලියන්නේ නැත. හැමෝම දන්නා පරිදි අපි එය ලියන්නේ ‘ඩෝන්ග්’ කියාය. අර්ථය සෑම විටකම මනුෂ්‍යය මනස විසින් හැඟවුම්කාරකයක් වෙත පවරා දෙන ලද එකකි. එය හැඟවුම්කාරකය තුළ තිබෙන දෙයක් නොවේ.

ඒ අනුව අපට පෙනෙන දෙයක් වන්නේ මෙහි අර්ථය අප විසින්  පොදු එකඟතාවයකට අනුව සකසා ගන්නා බවයි. එසේම එය අනෙක් දෑ වලින් වෙනස් වීමත් එයටම අදාළ වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉහළ මහලේ සිටින අයකුගෙන් කොහෙද ඉන්නේ යැයි යමෙකු ඇසුවහොත් ඔහු “උඩ” කියා කීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. නමුත් මෙහිදී මෙම උඩ යන්න සංඥාවක් වන අතර එය අර්ථ ගැන්වෙන්නේ යට යන්නෙන් වෙනස් නිසා බව දැන් අපට වටහා ගත හැකිය. ඒ අනුව සංඥා අධ්‍යයනය යම් ලෙසකට කියවීම යන්නට වෙනත් මානයක් එකතු කර ඇත. සාමාන්‍යයෙන් අපි භාෂාව  හඳුනා ගන්නේ විවිධ දේවල් නම් කිරීමටත් එම දේවල් වල තොරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කරගැනීමටත් ඇති උපකරණයක් ලෙසයි. මෙම අදහසට අනුව අපට ලෝකය කොටස් දෙකකට බෙදිය හැකි අතර එනම් සැබෑ ලෝකය සහ භාෂාත්මක ලෝකයයි. ශෝෂියර් රැඩිකල් ලෙස ප්‍රතික්ෂේප කරන්නේ භාෂාව පිළිබඳ මෙම සාමාන්‍ය අදහසයි. ඔහුට අනුඅව අප භාෂාව වටහා ගත යුත්තේ වචන සහ සැබෑ දේවල් ලෙස නොව ශබ්ද රටා සහ සංකල්ප ලෙසයි. මේ අනුව සංඥාවක් යනු මෙවැනි ශබ්ද රටාවක් විසින් ඇති කරන මානසික දැනීමක් හා බැඳුනු සංකල්පයක් ලෙස අපට වටහා ගත හැකිය. එය ශෝෂරියානු අර්ථයෙන් කියන්නේ නම් හැඟවුම්කාරකයක් සහ හැඟවුමක් අතර සම්බන්ධයකි. නමුත් භාෂාවේ දී අප මුලින් සඳහන් කළ පරිදි  වචනයේ – සංඥාවෙ – අවසාන අර්ථය තීරණය කරන්නේ හැඟවුම නොව එම සංඥාව හා බැඳුනු අනෙකුත් සංඥා එකතුවයි. ශෝෂරියානු ව්‍යුහවාදයේ ගැඹුරුම අන්තර්ඥාණය වන්නේ මෙයයි.

මෙය සරල නිදර්ශන වලින් පැහැදිලි කරගත හැකිය. බල්ලා යන්න ඉංග්‍රීසියෙන් Dog ලෙස ලියූවත් එය සිංහලෙන් ලියන විට විවිධාර්ථ මතු වේ. එයින් ප්‍රකාශ වන්නේ යම් ආකාරයකට පහත් හැඟීමකි. “බලු වැඩ”, බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන් නෑ” වැනි අදහස් එයට කදිම උදාහරණ වේ. නමුත් ඉංග්‍රීසි භාෂා ලෝකයේ Dog යන්න තුළ ආදරණීය සුරතල් නාමයක් ලෙස භාවිත වේ. එය යම් විටෙක මිනිසාගේ හොඳම මිතුරා Man’s Best Friend  ලෙස කියැවෙන ආකාරය බොහෝ ඉංග්‍රීසි චිත්‍රපට වල අපට පෙනෙන්නකි. මේ අනුව ඩෙරීඩියානු අර්ථයෙන් මෙහි අවසානයේ අපට වැටහෙන්නේ මෙයයි: භාෂාව මඟින් අපිට පරිබාහිර ලෝකය – යථාර්ථය – පිළිබඳව දැනුමක් ලබා දෙන්නේ නොමැති අතර ; භාෂාවේ වචන වල වටිනාකම තීරණය වන්නේ භාෂාවේ අභ්‍යන්තර සම්බන්ධතා මතයි. ශෝෂියර් දුටුවා  හැඟවුම්කාරකයක අර්ථය තීරණය කරනා වටිනාකම අඩංගු වන්නේ එහි සැබවින්ම  හඳුනාගත හැකි ලක්ෂණයක් තුළ නොව එහි සැබවින්ම නොමැති ලක්ෂණයක් මත බව.වෙනත් වචනවලින් කියන්නේ නම්  බල්ලා යන්නෙහි වටිනාකම රඳාපවතින්නේ බ-ල්-ලා යන ශබ්දයේ නොවෙයි. මෙතනදී නූතන ලෝකය උඩුයටිකුරු කළ ප්‍රධාන වචනය ඩෙරීඩා විසින් සටහන් කරන අතර එනම් ” වෙනසයි Differance “.

අපි හැඟවුම්කාරකයක් තුළ හඳුනාගන්නේ එය නොවන බවත් අප හඳුනාගන්නේ, එහි වෙනස බවත් ඩෙරීඩා පෙන්වා දෙනු ලබනවා. මෙය කිසියම් දේවල් දෙකක් අතර පවතින වෙනසක් නොවන අතර  එය ඌනනය කළ හැක්කේ වෙනස යන්නටමයි. එය ඉන්ද්‍රීයගෝචර නොවේ.මෙම වෙනස භෞතික හෝ මානසික වස්තුවක් නොවේ. වෙනස යනු වචනයක් හෝ සංකල්පයක් නොවේ යැයි ඩෙරීඩා සටහන් කරන්නේ එම නිසාය. එක්තරා ලෙසකට වෙනස යන්න සාරයක් ඇති බව ඌනනය කිරීමට රැඩිකල් ලෙස විරුද්ධ වේ. එම නිසා අප ඉදිරියට පැමිණෙන, තිබෙනවා යැයි සිතෙන සාරය බිඳ වැටේ. ඩෙර්‍රීඩා – ශෝෂියර් අතර සම්බන්ධය සහ විවේචනය අප අධ්‍යයනය කළ යුත්තේ එබැවිනි.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ සමලිංගික, සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ ප්‍රශ්නය එක්තරා ආකාරයකට මේ අර්ථයෙන් අපට වටහාගත හැකිය. විවාහය යන්න එක්තරා ආකාරයකට අධිපතිධාරී අදහසකි. එය යම් කිසි ලෙසකට සාරයක් බවට පත් වී ඇත්තේ පිරිමි – ගැහැණු ලෙසට ගොඩනැන්වීමෙන් පමණි. සමලිංගිකයන්ගෙන් මෙයට විකල්පයක් යෝජනා වන අතර එය අධිපති කතිකාවට අද විශාල ගැටුමක් නිර්මාණය කර ඇත. යම් ලෙසකට සමකාමීත්වය විවාහය යන්නට විරුද්ධ වන්නේ ද නැත. මෙහි දෛවෝපගත පරස්පරය වන්නේ එයයි. සමකාමීන් කියා සිටින්නේ ඔවුනට නිදහසේ ඔවුනගේ හැඟීම් විඳගන්නට ඉඩ දෙන්න කියාය. නමුත් ‘විවාහය”, “පවුල” මෙයට ඉඩ නොඳීම තුළ ඇත්තේ විශාල පීඩිත ස්වභාවයකි. නමුත් යම්කිසි ආකාරයකට සමකාමීත්වය තුළින් ගැහැණිය – පිරිමියා යන සාරයන් අහෝසි වී යයි. ඒ අනුව සමාජයේ බලධූරාවලිගත සංඥා විශාල අභියෝගයකට ලක් වේ. සන්ලයිග්ට් සබන් දැන්වීම් සඳහා තරුණියන් යොදා ගැනීමත් ලයිග්ට් බෝයි සබන් සඳහා මස් පිඩු ඇති පිරිමින් යොදා ගැනීම අහෝසි වනු ඇත. එසේ වන්නේ සමකාමීත්වය වෙනුවෙන් සංඥා පද්ධතියක් තවමත් ක්‍රියාත්මක වී නොමැති නිසාය. ඒ අනුව සමකාමීත්වයට විරුද්ධ වන්නේ පවත්නා සංඥා පද්ධතියම යැයි යම් කෙනෙකු පවසන්නේ නම් අපිට එය සිතන්න පොළඹවන කාරණයකි.

මේ අනුව ගත් විට අපගේ සංඥා පද්ධතියම අභියෝගයකට යන ආකාරය ඔබට පෙනෙනු ඇත. නගරයේ ඇති වැසිකිලි වල ත්‍රිකෝණ හැඩයට හුරු රූපය අපට සිහි කරන්නේ එය ‘ස්ත්‍රී’ වැසිකිලියක් බවයි. එසේම ‘සමචතුරශ්‍රාකාර’ ලෙස සටහන් වූ රූපය අපට පිරිමි හැඟවුමක් ලබා දෙයි. නමුත් සමකාමීත්වය, සංක්‍රාන්ති ලිංගිකත්වය විසින් මෙම බෝඩ් ලෑලි විසි කර දමා අපට කියන්නේ ‘ ලිංගිකත්වය යනු ඔබ රඟ දක්වනු ලබන දේය ‘ යන බට්ලරියානු ප්‍රවාදය යැයි අපට පැහැදිලිව පෙන්වා දිය හැකිය. අශෝක හඳගමගේ ‘ තනිතටුවෙන් පියාඹන්න ‘ චිත්‍රපටය තුළ ඔහු විශාල වශයෙන් එදා අරගල කරනු ලැබුවේ මේ කාරණය ලංකාවට වටහා දීමටයි. එහිදී අපට හමුවන්නේ යම් ලෙසකට ජීව විද්‍යාවේ ස්ත්‍රිය සමාජය තුළ පිරිමියකු වීමයි. තරුණ බව සහ සබන් අතර පවතින සම්බන්ධය කුමක් ද ? ස්ත්‍රිය පිළිබඳව වන මේ සුන්දර බව, අහිංසක, දුර්වල, ශක්තිමත් නොවන ආකාරයේ හැඟවුම් සියල්ල සහ පිරිමියා ලෙස ගොඩනඟන ලද එඩිතරබව, ශක්තිය, බලය වැනි සංඥා සියල්ල  මේ මඟින් අභියෝගයකට ලක් වේ.

ඒ අනුව ගත් විට අප විරුද්ධ විය යුත්තේ අප වෙත බලෙන් පටවා ඇති එසේම හෙජමෝනික ලෙස අප ඒ තුළම ජීවත් වන සංඥා පද්ධතියටය. ශෝෂියර්ගේ අර්ථයෙන් මෙම වෙනස එතිහාසික වන නමුත් ඩෙරීඩා සදහන් කරන්නේ මෙම වෙනසට ආරම්භයක් නොපවතින බවයි. එනම් ඩෙරීඩියානු වෙනස යනු සෑම – විටම – ඒ – වන විටත් තිබෙන දෙයකි. වෙනස යනු වෙනත් වචන වලින් කියන්නෙ නම් අපි ඉදිරියේ හිඳින/ තිබෙන දෙයක් නොවේ. ඒ අනුව ස්ත්‍රිය / පුරුෂයා අතර වෙනසට ආරම්භයක් නොපවතී. එය එක්තරා ලෙසකට රඟ දක්වන දෙයක් ලෙස අපට සැලකිය හැකිය. එවිට අප විවාහය යන්න එතිහාසික අර්ථයෙන් විග්‍රහ කිරීම අර්ථ නිෂ්පල කාර්යයකි. ලිංගිකත්වය එතිහාසිකව පැවති ආකෘතීන්ගෙන් විග්‍රහ කිරීමෙන් අපට කිසිවක් හමු නොවේ. එසේ වන්නේ එය සෑම විටම ඒ වන විටත් පවතින්නක් වන නිසාය. විසාකේස චන්ද්‍රසේකරම් විසින් ‘සයපෙති කුසුම’ තුළින් ගෙන එන්නේ එම සංවාදයයි. සමකාමී අරගලය අද දවසේ වඩාත් දේශපාලනික අර්ථයෙන් ඉසමතු වන්නේ එම නිසාය. එමඟින් අපගේ ධූරාවලිගත සංඥා පද්ධතිය මුලුමනින්ම උඩුයටිකුරු කරනු ලබයි. ඒ නිසා පිරිමියා නිල් පාටටත් ගැහැණිය රෝසපාටටත් ඌනනනය වූ ලෝකය විශාල පාට සංඛ්‍යාවක් සහිත පුළුල් වූ ලෝකයක් වෙත දිශානත වී ඇත. ලිංගිකත්වයේ අවසානය සමකාමීත්වය නොවන අතර එය ඊටත් වඩා ඉදිරියට යනු ඇත. ඒ නිසා සෑම විටම වර්තමානය ගොඩනැගෙන්නේ වර්තමානය නොවන්න සමඟින් බව අප සිහිතබා ගත යුතුය.

-එරන්ද මහගමගේ-

Advertisements