tony-bevan-tree-no-1-2011

පහතින් පළ වන්නේ පසුගිය දා “බව” හී පළවූ ලිපියක් සම්බන්ධයෙන් අප මිත්‍ර සුමිත් චාමින්ද විසින් දෙන ලද ප්‍රතිචාරයකි. එම මුල් ලිපියේද අප සඳහන් කර තිබෙනා ආකාරයට අපගේ අරමුණ වන්නේ විවාද තරඟයකින් ජයගැනීම වැනි දෙයක් නොවන නිසා මේ සම්බන්ධයෙන් තිබෙනා විවිධ ආස්ථාන මෙවැනි අවකාශයක එකතු වීම අපට බෙහෙවින් වැදගත් වෙයි. අනාගත තෝරාගැනීම් ඉදිරියේ අප එළඹිය යුතු තීරණ සම්බන්ධයෙන් හරවත් සංවාදයක් ඇති විය හැක්කේ මේ ආකාරයේ සංවාද ගොණුවකින් පමණි. සුමිත් මතු කර ඇති සමහර කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඉදිරියේදී පළ කරමු. නමුත් එයට සුමිත් ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම්, එම ප්‍රතිචාරය මේ සාකච්ඡාවේ අවසන් කොටස ලෙස මෙහි පළ කරමින් අපි මෙම සංවාදය අවසන් කරන්නෙමු (මෙය වෙනස් වනු ඇත්තේ මෙයට තෙවන පාර්ශවයක් මැදිහත් වන්නේනම් පමණි).

අප ඉතා දැඩි සේ විශ්වාස කරන ආචාර ධර්මයක් වන්නේ සංවාද වල මුඛ්‍ය අරමුණ බවට සියලු දෙනා එකම මතයකට ගෙන ඒම තබා ගත යුතු නැති බවයි. ඒ, තම තමන්ගේ මත දැරීමට තමන්ට තිබෙනා අයිතිය සම්බන්ධයෙන් ඇති ලිබරල් නිදහස්වාදයක් නිසා නොව වෙනස් මත අතර මිත්‍රශීලී සංවාදයක් පවත්වා ගැනීම විකල්ප දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනා අයගේ දැවෙන ඉලක්කයක් විය යුතුයැයි අප විශ්වාස කරනා නිසාය. යහපත් බුද්ධිමය සංවාදයක් ඇති කිරීමේ පූර්ව කොන්දේසියක් වන්නේ එවැනි දේ කළ හැකි සීමිත පිරිස අතර එකිනෙකා ගේ අදහස් කියවන, ඒවාට බුද්ධිමය ප්‍රතිචාර දක්වන ‘සංස්කෘතියක්’ ඇති කිරීමයි. අන් සියල්ලට වඩා “බව” වෙත අවශ්‍ය වන්නේ මේ සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමටයි.

පහතින් දැක්වෙන සුමිත් ගේ මැදිහත්වීම මේ සඳහා යහපත් ආරම්භයක් කියා අපි සිතමු.

***

ලංකාවේ “ජනවාරි 08 විප්ලවය” තුළ ඇතැම් වාම-ලිබරල් බුද්ධිමතුන් විසින් ගන්නා ලද ස්ථාවරය එක්සත් ජනපද ජනපතිවරණය සම්බන්ධයෙන් නෝම් චොම්ස්කි, ස්ලෙවොයි ශිෂෙක් වැනි බුද්ධිමතුන් විසින් පළ කෙරුණු ප්‍රකාශ ඔස්සේ
සාධාරණීකරණය කළ හැකිද? මේ ප්‍රශ්නය තවමත් මතු කෙරෙමින් පවතින බැවින් ඒ පිලිබඳ මගේ අදහස ඉදිරියේදී පිළිවෙලකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. දැනට කෙටියෙන් මේ පිලිබඳ සංක්ෂිප්ත නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරන්නේ මෙවර ප්‍රශ්නය (අනියමින්) මතුකොට ඇත්තේ සමකාලීන ලාංකීය විවේචක න්‍යායට අමිල දායකත්වයක් දක්වමින් සිටින “බව” වෙබ් අඩවිය විසින් බැවිනි. “බව” සහ “අක්ෂය” වාම න්‍යායික කතිකා කෙරෙහි තරුණ ආකර්ෂණය තවමත් නොසිඳී ඇති බවට අප ඉදිරියේ බලාපොරොත්තු දනවන මැදිහත්වීම්ය.

(1) යම් යම් න්‍යායවේදීන් මහජන පරිමණ්ඩලය තුළ ඉදිරිපත් කරන මත දැක්වීම් (opinions) සහ ඔවුනගේ න්‍යායික සංකීර්ණයන් තුළින් තාර්කිකව එළැඹ ගත හැකි නිගමන අතර වෙනස බරපතල ලෙස සැලකිල්ලට ගන්නා (අල්තුසර් විසින් මාක්ස් සම්බන්ධයෙන් යෝජනා කළ ආකාරයේ) කියැවීමක් සමකාලීන රැඩිකල් න්‍යාය සම්බන්ධයෙන්ද කළ යුතු යැයි මම විශ්වාස කරමි.

(2) එක්සත් ජනපද අත්දැකීම මෙන්ම ලාංකීය අත්දැකීමද විග්‍රහ කළ යුත්තේ සමකාලීන ගෝලීය දේශපාලන ආර්ථික ප්‍රවණතාවල සංධර්භය තුළ පිහිටුවමින් බව පුනරුච්චාරණය කරන්නට සිදුව තිබේ. ‘දේශපාලන ආර්ථිකයෙන් තොර දේශපාලන විග්‍රහයන්’ දැන් මෝස්තරයක් බවට පත්ව ඇති සෙයකි. මා යෝජනා කරන්නේ දැනට මතුව ඇති සමාන්තර සහ ප්‍රතිමුඛ ධනවාදී හෙජමොනික ව්‍යාපෘතීන් අතර අරගලයේ ක්ෂේත්‍රය තුළ මෙම විග්‍රහයන් ස්ථානගත කළ යුතු බවයි.

(3) “කළ හැකි අන්යමක් නොවූ බැවින්” යම් පාලන තන්ත්‍රයක් පෙරළා දැමීමත් නව පාලන තන්ත්‍රයෙහි අත්‍යන්ත හරයාත්මක අඩංගුවක් විශ්වාස කිරීම නිසා එය බලයට පත් කිරීමත් (පල-විපාකවාදය -consequentialism- අනුව කෙසේ වෙතත්) න්‍යායිකව වෙනස් ස්ථාවර දෙකකි. පළමුවැන්න තුළ අදාළ දෙය සාධනීයකරණය කරනු ලබන්නේ නිශේධනීය තර්කනයක් මගින් වන අතර දෙවැන්නේදී එය සාධනීයව සාධනීයකරණය කරනු ලැබේ. “ජනවාරි 08 විප්ලවයක්” වන්නේ දෙවන ප්‍රවේශයට අනුවය. මුල පටන්ම අපගේ විවේචනය කේන්ද්‍රගත වූයේ (නැත්නම් එය කේන්ද්‍රගත කරන්නට අපට අවශ්‍යවූයේ) එතැනය.

(4) “ජනවාරි විප්ලවය” සංකල්පගත කරනු ලබන්නේද යුක්ති-යුක්ත කරනු ලබන්නේද ලිබරල් සමාජ සම්මුති න්‍යායික පැරඩයිමය තුළය. මගේ නිරීක්ෂණය නම් සමාජ සම්මුතිවාදය ලාංකීය පොදු ජන අවබෝධය තුළ වඩාත්ම තහවුරු කළ මැතිවරණය 2015 ජනපතිවරණයයි. මීට වෙනස්ව, චොම්ස්කි කෙසේ වෙතත් ශිෂෙක් තම මත දැක්වීම් ඉදිරිපත් කරනුයේ මාක්ස්වාදී පංති-අරගල න්‍යායික පැරඩයිමය තුළය. (ඔවුන් කවරෙකුවත් එක්සත් ජනපදයේ ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ දෙකේ මැතිවරණ රැළි වල සිටිනු අප දැක නැත). එකම ප්‍රකාශයක් වුවත් වෙනස් පැරඩයිමයක් තුළ අත් පත් කරගන්නේ වෙනස් අරුත් බැව් සිහි තබාගෙන මෙම න්‍යායවේදීන්ගේ ප්‍රකාශ කියැවිය යුතුය.

(5) අපගේ විවේචනයේ එල්ලය “ජනවාරි විප්ලවයට” දායක වූ සියල්ලන් උපහාසයට ලක් කිරීම නොවේ. එම පහසු කාර්යය ඉදිරි තෙවසර (හෝ බොහෝ විට ඊට අඩු කාලයක්) මහින්දවාදී බුද්ධිමතුන් විසින් කරනු ඇත. අපට වුවමනා වන්නේ 2015 ආණ්ඩු මාරුව සමග හෙජමොනික තත්වයක් අත් පත් කරගත් කතිකාමය සැකසුමක් වන ලිබරල්
සමාජ සම්මුතිවාදයට (ආර්ථිකය නිර්-දේශපාලනීකරණය කිරීම සහ දේශපාලනය ජාතික සංධර්භයක් තුළ පමණක් තේරුම් කිරීම එහි මුඛ්‍ය ලක්ෂණය) ප්‍රතිමුඛව සමාජ විමුක්ති දේශපාලන කතිකාව ස්ථාපිත කිරීමය.

-සුමිත් චාමින්ද-

Advertisements