zhang-xiaogang-family21

මෙම දශකයේ ආරම්භයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඇති වූ බෙදීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ – පළමුවෙන් – ජන අරගල ව්‍යාපාරය සහ – දෙවනුව – පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු මෑත කාලීන ලාංකික වාම දේශපාලනයේ වැදගත් කඩ ඉමක් යන්න කිසිවෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත. පෙ.ස.ප යේ බිහිවීමෙන් පසුව මෙරට වාම සංවාදයේ සිටි බුද්ධිමය උනන්දුවක් ඇති බොහෝ පිරිස් සමග එහි කුමන හෝ ආකාරයක ගණුදෙනුවක් ආරම්භ වූ අතර මෙය ජනතා විමුක්ති පෙරමුණේ – අවම වශයෙන් 1990 න් පසු අප අත්දුටු ජ.වි.පෙ – භාවිතයෙන් කැපී පෙනෙන වෙනසක් විය.

‘න්‍යායික සංවාදය’ යනු මාක්ස්වාදය, සංවිධානය වීමේ මූලධර්මයක් ලෙස භාවිතා වූ විසි වෙනි සියවසේ වාමාංශික ව්‍යාපාරයේ කේන්ද්‍රීය ලක්ෂණයක් වීනම්, ජ.වි.පෙ යනු මෙම ලක්ෂණයෙන් බොහෝ දුරස් වූ ව්‍යාපාරයක් ලෙස වර්ධනය වූවකි. පෙ.ස.ප ය විසින් බිඳ දැමීමට උත්සාහ කළ ප්‍රධාන අභියෝගයක් වූයේ ඔවුනගේ අතීත භාවිතාවේ තිබූ මෙම සීමාවයි.

මේ ආකාරයට ජ.වි.පෙ තුළ සිටි න්‍යායික-බුද්ධිමය උනන්දුවක් තිබූ බහුතරයකගේ වෙන්වීමත් සමග ජ.වි.පෙ හි ඒ වනවිටත් අතිශය සීමිත පැවැත්මක් වූ න්‍යායික සංවාදය අද වන විට මුළුමනින් ම වාගේ නතර වී තිබෙනා අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ පවත්නා පාලනයේ අවභාවිතාවන් හෙළි කරනා ප්‍රශ්න විචාරකයෙක් සහ මැතිවරණ අවස්ථාවන් වලදී තීරණාත්මක මැදිහත්වීමක් කළ හැකි බලවේගයක් යන භූමිකාවන් දෙකට පමණක් පණ පොවන බව නිරීක්ෂණය කළ හැකිය. මෙහි චිර පැවැත්ම කුමක්ද කියා නිශ්චිත ලෙස පුරෝකථනය කිරීමට නොහැකි වුවත්, එය ඉතාම අපහසු පිහිටුමක් වන බව පැහැදිළි වේ.

දේශපාලනය තුළ අතිශය වැදගත් සාධකයක් වන අහම්බයේ භූමිකාව ඇතුලත්ව කරනා තක්සේරුවකට අනුව වුවත් පෙනෙන අනාගතය තුළ රාජ්‍ය බලය ලබා ගැනීමේ හැකියාවක් ජ.වි.පෙ. සතුව නොමැති බව බොහෝ දෙනෙකු පිළිගනු ඇත. එනිසා, එවැනි බලාපොරොත්තුවකින් තොරව එහි චාලක එන්ජිම වන තරුණ පිරිස එයට එකතු කර ගන්නේ කෙසේද යන සාංදෘෂ්ඨික අභියෝගයට එම පක්ෂය මේ වන විට මුහුණ දෙමින් සිටියි. වමේ දේශපාලනයේ අනාගතය සම්බන්ධයෙන් සිදු කෙරෙනා න්‍යායික-බුද්ධිමය සංවාදය පිළිබඳව උනන්දුවක් දැක්වීමේ එක් වැදගත් කමක් වන්නේ මේ තරුණ පිරිස අතර තිබෙන්නා වූ උද්‍යෝගය අකණ්ඩව තබා ගැනීමයි. මිනිස් වර්ගයාගේ සාමූහික අනාගතය සකස් විය යුත්තේ කෙසේද කියන කරුණ සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් නොමැති කෙනෙක් හට පිටතින් එන ප්‍රචණ්ඩ දේශපාලන-සංස්කෘතික සුළඟට මුහුණ දීමට දිගු කාලීනව හැකි වන්නේ නැත. මේ සඳහා පුද්ගලත්වය, යථාර්ථය, නවීනත්වය, වෙනස් වීම ආදී අතිමූලික කරුණු පිළිබඳව සමකාලීන ලෝකයේ පවත්නා සංවාද සමග ගණුදෙනුවක් නොමැති වන්නේනම් එතැන අවසානයේදී ඉතිරි වන්නේ ‘වෙළඳපොල’ සහ ‘ජාතිය’ පමණි. මෙම කරුණු සම්බන්ධයෙන් යහපත් අවබෝධයක් ලැබීමට සෝවියට් සමාජවාදයේ ප්‍රචාරණය සඳහා ලියැවී ඇති හැඳින්වීමේ ග්‍රන්ථ ප්‍රමාණාත්මක වේ කියා කවුරුන් හෝ සිතනවානම් ඒ ගැන කණගාටු වනවා හැර කළ හැකි දෙයක් අපටනම් නොමැති වේ.

අවාසනාවකට, මේ නිශ්චිත කරුණේදීනම් ජ.වි.පෙ යනු ඓතිහාසිකව අසමත් වන්නා වූ සංවිධානයක් බව අපි දනිමු. 1990 දශකයෙන් පසුව මෙරට ඇති වූ බුද්ධිමය-න්‍යායික සංවාදය සමග, සමස්තයක් ලෙස ගත්විට, ජ.වි.පෙ ට කිසිදු ගණුදෙනුවක් නොතිබිණි. තරමක් නාටකීය නිදර්ශනයක් ඇසුරින් කියන්නේනම්, අනුර කුමාර දිසානායක, ස්ලැවෝයි ජිජැක් උපුටා දැක්වීම අපට දැන් තිබෙන තත්වයන් යටතේ කිසිසේත් සිතා ගත නොහැකි දෙයක් බවට පත්ව තිබේ. වාමාංශික දේශපාලනය ට පක්ෂපාතීව සිටිනා ගෝලීය බුද්ධිමය සංවාදයට මුළුමනින් පරිබාහිරව තිබෙනා ව්‍යාපාරයක් ලෙස එහි අනාගතය සුභවාදී වන්නේ කෙසේද යන කාරණය අපටනම් වැටහෙන්නේ නැත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සම්බන්ධයෙන් ඉතා ඉදිරිගාමී ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත වීමට උත්සාහ ගත් බව අපි දනිමු. ඔවුන් ආරම්භයේ සිටම උත්සාහ කළේ ජ.වි.පෙන් පරිබාහිරව වර්ධනය වූ විකල්ප දේශපාලන සංවාදය සමග බුද්ධිමය ගණුදෙනුවක් කිරීමටයි. එනිසාම ඔවුන්ට දේශපාලනයේ තෝරාගැනීම් සිදු කිරීම – යම් යම් තල වලදී – ජ.වි.පෙ ට සාපේක්ෂව වඩා අපහසු විය. විමුක්ති දේශපාලනයේ වත්මන් මොහොත පිළිබඳව වඩා අපහසු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වන්නේ මෙම සංවාදයේ පාර්ශවකරුවෙක් වන කෙනෙකුටයි. එවැනි සංවාදයක සිට මහේක්ෂ දේශපාලනයට ප්‍රතිචාර දැක්වීම ඉතාම අපහසු වන බවත් අපි දනිමු. නමුත් මේ අපහසුව මගහැර යාම වෙනුවට එයට ඍජුව මුහුණ දීමට පෙ.ස.ප ය ගත් උත්සාය ඉතා සාධනීය වන්නක් වෙයි. රට පුරා ව්‍යාප්ත වූ සාමාජිකයන් පිරිසක් නඩත්තු කිරීමට උත්සාහ කරන ගමන් මෙම බුද්ධිමය සංවාදය සමග සම්බන්ධ වීම ජයගැනීමට ඉතාම අපහසු අභියෝගයකි.

මේ උත්සාහය තුළ අසාර්ථක වීම් මෙන්ම, අපට එකඟ විය නොහැකි තීරණද තිබීම තේරුම් ගත හැකි යථාර්ථයක් වන්නේ එම නිසාය. පසුගිය ජනාධිපතිවරණ මොහොතේදී, ප්‍රායෝගිකව ගත්විට, රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ සටනට එරෙහි වන්නා වූ ඔවුන්ගේ තීරණයේ සිට ‘දේශපාලන පක්ෂය’ පිළිබඳ ඔවුන් දරනා ලෙනින්වාදී ස්ථාවරය දක්වා බොහෝ කරුණු වලදී ඔවුන් සමග අපට නොඑකඟතා තිබේ. එසේ වුවත් මෙරට විකල්ප දේශපාලනයේ න්‍යායික-බුද්ධිමය සංවාදයට, පුළුල් දේශපාලන සංවිධානයක් ලෙස, ඔවුන් දක්වන උනන්දුව යහපත් වන බව මෙමගින් ප්‍රතික්ෂේප නොවේ.

දේශපාලනය සඳහා සංවිධානය වීමේ සහ සංවිධානය කිරීමේ ගැටලුව මග හැරිය නොහැක. එම කරුණේදී පෙ.ස.ප යේ මෙන්ම ජ.වි.පෙ යේද අපහසු මහන්සියට අපි ගරු කරමු. නමුත් මේ සංවිධානගතවීම සමග තිබිය යුතු අනාගතය පිළිබඳ පුළුල් අවබෝධය වර්ධනය කර ගැනීමට අවශ්‍ය වන බුද්ධිමය විවෘතබව – අවම මට්ටමින් හෝ – පෙන්වා තිබෙන්නේ ඉහත සංවිධාන දෙක අතරින් පළමුවැන්න පමණි. මෙම සංවිධාන වලින් ඉතාම අපහසුවෙන් එකට එකතු කරගෙන සිටිනා තරුණ පරම්පරාව අතින් නව දේශපාලන නිර්මාණශීලිත්වයන් උත්පාද වීම සඳහා මෙම බුද්ධිමය විවෘතබව ඉතාම තීරණාත්මක වෙයි. එනිසා, 2017 පෙබරවාරි මස 1 දා පැවැත්වෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවැනි ජාතික සමුළුව වෙනුවෙන් දායකත්වයක් ලබා දිය හැකිනම් එය විකල්ප දේශපාලනය වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාට වැදගත් වන බව අපි සිතමු.

මේ සටහන, ඒ සඳහා අපේ කුඩා දායකත්වයකි.

fsp

Advertisements