16244297_250578832036881_649923059_n

මෙම ලිපිය 2017-01- 20 දින ‘ඉරුදින’ පුවත්පතේ පළ විය.

ස්වර්ණා – සිංහල සිනමාවේ ගැහැණිය – ලෙසට නම් කළ දැන්වීම් කිහිපයක්ම පසුගිය දිනවල දැකගැනීමට අවස්ථාව ලැබුණි. එසේම ස්වර්ණා මල්ලවාආරච්චිගේ සිනමාවට 50 වසරක් පිරීම නිමිතිකොට ගෙන මෙම තේමාව ඔස්සේ ඇයව සැමරීමකට ලක් කිරීම අතිශය වැදගත් සහ එය අගය කළ යුතු බව මූලිකවම මතක් කරමු. සිංහල සිනමාවේ 60, 70, 80 යන දශක දෙස  අවධානය යොමු කරන්නකුට පෙනී යන මූලික කරුණක් වන්නේ එම යුගයන්හි මෙරට පැවති සුවිශේෂී වාතාවරණය සිනමාවට පමණක් ඌනනය කළ නොහැකි බවයි. එසේ වන්නේ ශ‍්‍රී ලංකා ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය , සමාජය විශාල වෙනස්කම් රාශිකයට මෙම කාල වකවානුව තුළ මුහුණ පෑ නිසාය. විශේෂයෙන් විවෘත ආර්ථිකය, 80 වැඩවර්ජනය, 83 ජූලි කලබලය, 88, 89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල ඒ සඳහා පෙන්වා දිය හැකි විශේෂිතම අවස්ථා වේ. නමුත් මෙහිදී අප රටේ සිනමාව යම් කිසි ආකාරයකට පරස්පර පැවැත්මක් පෙන්වා දෙයි. එසේ වන්නේ මෙම කාල වකවානුවේ සිනමාව සංකීර්ණ කලා මාධ්‍යයක් ලෙසත් ජනප‍්‍රිය කලා මාධ්‍යයක් ලෙසත් සමාජයේ පැවතීමයි. මෙම කාල පරිච්ෙඡ්දයේ තීරණාත්මක අවසානය ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික පරාජයත් රෝහණ විජේවීරගේ ඝාතනයත් යෝජනා කළ හැකිය. ස්වර්ණා මල්ලවාඅරච්චිගේ සිනමා භාවිතය අපට සාකච්ඡුා කිරීමට සිදු වන්නේ මෙම සන්දර්භයත් සමඟය. එහිදී ඇයව “සිනමාවේ ගැහැණිය” ලෙස නම් කිරීම එක්තරා අන්දමකට නිවැරදි වේ. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙසට අදට ද බොහෝ විචාරකයන් හඳුන්වන යුගය තුළ සිනමාවේි ‘නිළිය’ යන්න වස්තුවකට ඌනනය විය. එහිදී ඇයගේ ඇඳුම් , සමාජ ජීවිතය, ඇයගේ ශරීරය ආදිය පිළිබඳ සියල්ල වෙළඳපොළ වෙනුවෙන් වූ ගොඩනැංවීම් වන අතර ඒවා පිළිබඳව තීරණ ගැනීම ද ඇයට පමණක් කළ හැක්කක් නොවීය. එක්තරා අන්දමකට මෙම තත්ත්වය සිනමාව පිළිබඳව, ස්ත්‍රිය පිළිබඳව පැතලිමාදිලියේ කියැවීමකි. කුඩා ගැහැණු ළමුන්ට බෝනික්කන් ලබා දීමත් රෝස පැහැයෙන් යුක්ත ඇඳුම් ලබා දීමත් මෙම තත්ත්වයත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. වෙනත් වචන වලින් කියන්නේ නම් “කිසිවකු ස්ත්‍රියක් ලෙස බිහි නොවන නමුත් ස්ත්‍රියක් බවට පත් වේ” යන ඓතිහාසික ප්‍රවාදය මෙහිදී අපට යළි සලකා බැලිය හැකිය. නමුත් මෙහිදී අප දුටු 60, 70, දශකයේ නිළි භූමිකාවේ තිබූ විලාසිතා, සුවපහසු ජීවිතය බොහෝ විට තිබුණේ වරප්‍රසාදිත කිහිප දෙනෙකුට පමණක් යැයි කීම සාධාරණය. නමුත් ස්වර්ණා මල්ලවාආරච්චිගේ සිනමාව විසින් මෙසේ සමාජයේ එවකට ගොඩනැඟී තිබූි ‘සිනමා නිළිය’’ නැමැති පැතලිමාදිලිමය අදහස සම්පූර්ණයෙන්ම අහෝසි කර දමනු ලැබේ. ඒ වෙනුවට ඇයගෙන් දක්නට ලැබෙන්නේ සක්‍රීය ස්ත්‍රියකි. සමාජයේ ජීවත් වන සමාජයේ ප්‍රශ්න, ගැටුම් තුළින් මතු වන එම අරගලයන් හා සහ සම්බන්ධ වන ස්ත්‍රියක් අපට ශ්‍රී ලාංකේය සිනමාවේ හමුවන්නේ ස්වර්ණාගෙන් යැයි කීම අසාධාරණ නොවනු ඇතැයි සිතමු. වෙනත් වචන වලින් කියන්නේ නම් ස්ත්‍රියගේ ජීවිතය මුලක් , මැදක්, අගක් සහිත කතන්දරයක් නොව එය බාධාවට ලක් වූවක් බව, අභ්‍යන්තර සහ බාහිර අරගලයන් සමඟ සම්බන්ධ වූවක් බව අපට මෙමඟින් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම මෙම යුගයන් කිහිපය තුළම තිබූ සමාජ අර්බුදයන් වලදී විශේෂ වශයෙන් පීඩනයට ලක් වූයේ ස්ත්‍රියයි. විරැකියාව, තරුණ ඝාතන,  “ත්‍රස්තවාදය”, විවෘත වෙළඳපොළ වැනි ආස්ථානයන් හිදී ස්ත්‍රිය විශාල පීඩනයකට පත් වූ අතර ස්වර්ණා එහි සිනමාත්මක ප්‍රකාශමාන වීම ලෙසට අප හඳුනා ගනිමු. විශේෂයෙන්ම අශෝක හඳගමගේ චන්න කින්නරී චිත්‍රපටය මේ සඳහා කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. එහිදී අපට දක්නට ලැබෙන්නේ සමාජයේ ආර්ථික රටාව අනුවත් පුරුෂයාගේ පීඩණය හමුවේත් ජීවන අරගලයක නියැලෙන ස්ත්‍රියකි. එසේම එහිදී ඇයගේ ආශාවන් සහ ඔහුගේ ආශාවන් ලෙසට යමක් වර්ග කරනවා වෙනුවට ස්ත්‍රිය යනු සමාජයේ දෙවන පෙළේ පුරවැසියෙක්ය යන කාරණය මතු කරනු ලබයි. අප වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම ස්වභාවය වඩාත් දේශපාලනිකව ප්‍රකශමාන කරනු ලැබුවේ ස්වර්ණා බවයි. යම් කිසි ආකාරයකට ස්ත්‍රීවාදය අපට දාර්ශනිකව අර්ථ දැක්විය හැකි වුවත් එය දේශපාලනික ප්‍රශ්නයකි. ස්ත්‍රීවාදයේ මූලික හරය අප විමසා බලන්නේ නම් එය දාර්ශනික ප්‍රශ්නයක් නොවන බව අපට මැනවින් වටහා ගත හැකිය. එය දේශපාලන ප්‍රශ්නයකි.

ගැහැණිය සමාජයේ දෙවන පෙළ පුරවැසියකු වීම සමාජයක් තුළ විසඳාගත යුතු ප්‍රශ්නයකි. නමුත් ඒ පිළිබඳව අපට දාර්ශනිකව සිතිය හැකි බව මෙහිදී අප අමතක නොකරන්නෙමු. මේ ආකාරයට ස්වර්ණා විසින් ලංකාවේ සිනමාවට ගෙන ආ ප්‍රධානතම අදහස වන්නේ ලංකාවේ සමාජයට ගැහැණියට ගැහැණියක වීම නිසාම ප්‍රශ්නයක් තිබෙනා බව සමාජය වෙතටම බැරෑරුම්ව ප්‍රකාශ කිරීමයි. අපට ඇය කෙරෙන් ඉසමතු වන්නේ අධිපතිධාරීි නිළිය’ නොවන අතර ඇයගෙන් අපට දිස් වන්නේ අරගලයට සක්‍රීයව මැදිහත් වන ස්ත්‍රියයි. ඇයගේ රූපය මේ අනුව ද්විතියික ස්ථානයට පත් වේ. ඇයගේ මෝස්තර, විලාසිතා, අදහස්, කථා විලාසය අප සමාජයේ අනුකරණයට පත් වූවක් නොවන අතර එය අපගේ කර්කශ දිවිපෙවෙත නිරූපණය කළ ස්ත්‍රී රූපය බව පැවසිය හැකිය. ඒ අනුව සිනමාවේ සාරය ලබා ගැනීම සඳහා ස්වර්ණා සිනමා නිළිය නම් වූ දෙය කණපිට ගසා ඇත. නමුත් ස්වර්ණා රඟපෑ චරිතයන් අතර ප්‍රධාන වශයෙන් ඉස්මතු වන්නේ සමාජයේ දෛනික ජීවිතය තුළ දී අපට හමුවන චරිත වන අතර ඒ මඟින් ඇය අපට එම චරිතයන්ට  වඩා අන් දෙයක් ගෙන එනු ලබයි. අප මෙහිදී කතා කළ යුතු වන්නේ එම අන් දෙය පිළිබඳවයි. විශේෂයෙන් අප හොඳින්ම දන්නා පරිදි සම්භාව්‍යය ස්ත්‍රීවාදයට අනුව අසනු ලබන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ගැහැණියක් යනු කුමක් ද ? යන ප්‍රශ්නයයි. ගැහැණියක් කියන්නේ කවුද කියා නො අසන අතර අසනු ලබන්නේ කුමක් ද කියාය. මෙම ප්‍රවාදය ස්වර්ණාගේ නිළි භූමිකාවට අනුව වෙනත් ආකාරයකට වර නැඟිය හැකිය. ස්වර්ණා මල්ලව ආරච්චි විසින් ලංකාවේ සිනමාවට නිළියක් යනු කුමක් ද ? කියා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු ලැබූ බව අපට යෝජනා කළ හැකිය.  එසේ වන්නේ නිළියක් ලෙසට එවකට සමාජය ඉදිරිපත් කර තිබූ අදහස් පද්ධතියට ඇය අවනත නොවීම නිසා යැයි කිව හැකිය. ඒ තත්ත්වය මත ඇයගේ නිළි භූමිකාව විනාශ වීමට ඉඩ තිබුණි. නමුත් ඇය එම අභියෝගය ජයගත් අතර ඇය නිළියක් ලෙසට මෙරට ස්ථාපිත වීමම අතිශය දේශපාලනිකය.

එසේම ස්වර්ණාගේ චරිතය බොහෝ විට ගොනු වූයේ පීඩිත පාන්තික අරගලය සමඟය. එහිදී ගම්බඳ, නගරබඳ, මධ්‍යම පාන්තික යන කුමන ආකාරයේ වුව ද ඇයගේ චරිතය අපට ඉදිරිපත් කරනු ලැබූයේ පීඩිත ස්වභාවය යැයි සටහන් කිරීම උචිතය. දඩයම චිත්‍රපටයේ දී ඇය දුප්පත් පවුලක සිසුවියකි. ඇය තරුණ ගුරුවරයාගෙන් විනාශයට ලක් වේ. ඇය ඔහුගේ මරණය තෙක් නො එසේ නම් යුක්තිය ලබා ගැනීම තෙක් නොනිමි අරගලයක නිරත වේ. එසේම සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා චිත්‍රපටයේ දී  රඟපානු ලබන්නේ දුප්පත් ගැහැණියකගේ චරිතයයි. කුසට ආහාරයක් නොලැබ තම දරුවාට උගන්වන්නට නොහැකිව ඇය ජීවීකාව ගෙවයි. හංස විලක් චිත්‍රපටයේ දී ඇය මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කළ ද පුරුෂාධිපත්‍යය සහ සමාජයේ ස්ත්‍රිය සම්බන්ධව පවත්නා අධිපතිධාරී මතවාද වලින් පීඩණයට පත් වන චරිතයක් නිරූපණය කරනු ලබයි.

මේ අනුව ස්වර්ණා ඇයගේ සිනමා දිවියේ දී බොහෝ කොට නිරූපණය කර ඇත්තේ පීඩිතයාගේ ජීවන අරගලය යැයි සඳහන් කළ හැකිය. මේ අනුව ස්වර්ණා ස්ත්‍රියගේ ප්‍රශ්නය සිනමාව තුළ නිරූපණය කරන ආකාරය අපට පෙන්නුම් කරනු ලබයි. ඇය එතෙක් ලංකාවට අමතක වී තිබූ ප්‍රශ්නයක් වන ස්ත්‍රියගේ ප්‍රශ්නය නො එසේ නම් ස්ත්‍රියට ස්ත්‍රියක්  වීම නිසා තිබෙන ප්‍රශ්නය සිනමාව තුළ සටහන් කරනු ලබයි. අප සිතනා ආකාරයට මෙම ප්‍රවණතාව විශාල වශයෙන් ලංකාවේ ස්ත්‍රිය පිළිබඳ සාකච්ඡාවට බලපාන ලදි. එය සෘජු සහ වක්‍ර සහගත වේ. එතෙක් කාලයක් ප්‍රධාන වශයෙන් නිළිය ප්‍රධාන වී අමතක වූ ලාංකේය ස්ත්‍රියගේ ප්‍රශ්නය ස්වර්ණා ඔස්සේ ගෙන එන්නට අධ්‍යක්ෂකවරුන් උත්සහ ගත් ආකාරයට හොඳම උදාහරණය වන්නේ අශෝක හඳගමගේ  චන්න කින්නරී සිනමාපටයයි. එහි පිරිමියා විසින් සහ ආර්ථිකය විසින් ස්ත්‍රියගේ  ආශාවන් වසා , හිරකර දමා තිබෙන ආකාරයත් ඇය ඊට එරෙහිව කටයුතු කරන ආකාරයත් අපට පෙන්නුම් කරයි. එසේම බොහෝ අවස්ථාවල දී අපට ස්වර්ණාගේ චරිත වලින් පෙන්නුම් කරන්නේ පවුල් ජීවිතය කරට ගත් ස්ත්‍රී චරිතයි. ඇය සිය පවුලම පිරිමියාටත් වඩා යම් විටෙක ආරක්ෂා කරන ආකාරයත් පෝෂණය කරන ආකාරයත් අපට දැකගත හැකිය. එය චන්න කින්නරී, සාගර ජලය,  සුද්දිලාගේ කතාව ආදී බොහෝ සිනමා නිර්මාණ වල දක්නට ලැබෙන්නකි. ඒ අනුව අපට පෙන්නුම් කරනු ලබන්නේ ස්වර්ණා විසින් පිරිමියාට සාපේක්ෂව ගැහැණියව නිර්වචනය කිරීමේ දැඩි පුරුෂ කේන්ද්‍රිය ලක්ෂණය දැන හෝ නොදැන අභියෝගයකට ලක් කර ඇති බවයි. එසේම අප මුලින් සඳහන් කළ ලංකාවේ 60, 70 දශක වලත් 80 දශකයේත් විශාල ලෙසට පිරිමින් විනාශ වූ සමාජයක සමාජ බර දැරීමට ඇයට සිදු වීම ඇයගේ චරිත ආශ්‍රයෙන් අපට කියවා ගත හැකිය.

විශේෂයෙන්ම දශක ගණනාවක සිය රංගන ජීවිතය ඔස්සේ ස්වර්ණා අප වෙත දිශානත කරන ස්ත්‍රියගේ චරිතය භාග්‍යයේ සිට අභාග්‍යයට හෝ අභාග්‍යයේ සිට භාග්‍යයට ගොනු නොවේ. එය විශාල බාධාවන්ට ලක්වන්නක් බවත් ඒ පැවැත්ම වෙනුවෙන් අරගල කළ යුතු බවත් ඇයගේ චරිතයන් කෙරෙන් අප වෙත ප්‍රකාශ කරනු ලැබේ. වෙනත් වචන වලින් කියන්නේ නම් ලෝකය ගොඩනැඟී ඇති ධූරාවලිය අභියෝගයකට ලක් වීමක් සිදු වන අතර ස්වර්ණා විසින් අපගේ ජීවිතය නියත පරිසමාප්තියක් වෙත ගමන් කරන සරල රේඛීය ගමන් මාර්ගයක් නොවන බව සිය රංගන ජීවිතය ඔස්සේ ඉදිරිපත් කර ඇත. එම නිසා ස්වර්ණා මල්ලවාආරච්චිගේ රංගනය ලංකාවේ සිනමාවේ අහම්බයක් වන අතර ඇය ස්ත්‍රියගේ ජීවිතයේ දෛවය රැඳී ඇත්තේ බාහිර පාර්ශවයක නොවන බවත් ස්ත්‍රිය තුළම බවත් පෙන්නුම් කළ රංගන ශිල්පිනියකි. ඒ නිසා ඇය ලාංකේය සිනමාවේ ගැහැණිය ලෙස නම් කිරීම අපට අන් අරුතක් දනවයි. නමුත් මෙහිදී ගැහැණිය යනුවෙන් නම් කිරීම තුළ හුදු නිළියක් පමණක් නොව ඉන් ඔබ්බෙහි වූ අරගලකාමී පෞරුෂයක් එයට එකතු වේ.

නමුත් අප මෙහිදී යෝජනා කරන්නේ ස්වර්ණා මල්ලවාආරච්චි ලාංකේය සිනමාවේ ගැහැණිය ලෙස නම් කිරීම යම් ලෙසකට නිවැරදි වුවත් මෙහිදී ස්වර්ණා ගැහැණියක් පමණක්ම නොවන බවයි. ඇයගේ සම්පූර්ණ අනන්‍යතාවය ගැහැණියක් යන්න පමණටම ඌනනය කළ නොහැකි වීම එයට හේතුවයි. ඇය නිළියක් වීම ඇයගේ වෙනත් කොටසක් වන අතර එය ඇයගේ සම්පූර්ණ පැවැත්ම නොවේ. නමුත් මින් අප මතු කරන්නේ මේ නිසා ඇයගේ ශුද්ධ වූ පුද්ගලත්වයක් තිබෙන බව නොවේ. ඇයට තිබෙන අනන්‍යතාවයන් සියල්ල (පීඩිතයා වෙනුවෙන් පෙනී සිටීම, ලිංගික අනන්‍යතාවය, ප්‍රාදේශිය අනන්‍යතා, සිංහල හෝ දෙමළ වීම)  මෙහිදී ස්වර්ණා වෙනුවෙන් කෙනෙකුට යෝජනා කළ හැකි දෑය. නමුත් අප මෙහිදී අදහස් කරන්නේ මෙම පුද්ගල අනන්‍යතාවය යනුම සමාජය, සංස්කෘතිය විසින් ගොඩනැඟූවක් බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් පුද්ගලත්වය යනුම විශාල පුරුෂ මූලික අදහසකි. එම නිසා ස්වර්ණා මල්ලවාආරච්චි යනු – ලාංකේය සිනමාවේ ගැහැණිය – පමණක්ම නොවන බව අවසානයේ අපට මෙරට ස්ත්‍රිය පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැන්වීම උදෙසා යෝජනා කළ හැකිය.

16231489_250585132036251_1297054484_o

– එරන්ද මහගමගේ –

 

Advertisements