16295876_1334385073278557_1160243185_n

ආගම තුල පවතින නෛසර්ගික ම්ලේච්ඡත්වය ප‍්‍රකාශමානී තලයට පැමිණෙන අවස්ථාව ආගම තුලවත් පුරෝකතනය වන්නේ නැත. තරමක් හිතුවක්කාර ලෙස කියන්නේනම් භක්තිවන්තයන්ගේ ආත්මීයත්වය යනු ම්ලේච්ඡත්වයයි. අද දවසේ සිරියානු අර්බුධය ඇතුළු බොහෝ ජාත්‍යන්තර හා ජාතික එදිරිවාදිකම් ගමන් කරන්නේ මෙම ආගමික භක්තිවන්තභාවය තුළයි. තවද ආගම හා ජාතිය අතර ඇති සහෝදරත්වය මත ජාතිකවාදය හිස එසවීමෙන් ද මෙම තත්වයන් තව තවත් වර්ධනය වී ඇත. ජාතිකවාදය යන්න අද දවසේ ග්රේට් බ්‍රිට්න් යැයි කියා ගන්නා මහා බි‍්‍රතාන්‍යයේද, ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේද, රුසියාව, චීනය වැනි ප‍්‍රබල රටවල්වලද, කැපී පෙනෙන ලෙස ඉස්මතු වී ඇත්තේ එම රටවල්වල කේන්ද්‍රීය සිදුවීම් තීරණය කරන ප‍්‍රධානත ම සාධකය ලෙස යි.

අප මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නනේ ලෝකයේ තවත් ප‍්‍රධාන පෙලේ බෞද්ධ රටක් වන මියන්මාරයේ ජනවර්ග දෙකක් අතර ගැටුමකි. ඉතාම ආසන්න අර්ථයෙන් ‘ජනවර්ග’යන්නෙහි ම ගැටුම නිර්මාණය වී ඇත. අප දන්නා මහා වංශ ඉතිහාසයේ පටන්, මෙරට හා මියැන්මාරය මූලික ව සම්බන්ධ වූයේ ථෙරවාදී බුදුදහම තුලිනි. අදටත් එරට ප‍්‍රධාන ආගම බුදු දහම වන අතර 90‍% ක් දෙනා අදහන්නේ බුදු දහමයි. ඔවුන්ගේ සියලු සංස්කෘතික අංග බුදුදහම සමග එකට ගැටී පවතියි. වසර ගණනාවක හමුදා පාලනයත්, නොබෙල් සාම ත්‍යාග ලාබිනී අවුන් සාන් සුකී වසර ගණනාවක් සිරකොට තැබීමත්, නොයෙක් රාජ්‍යයන් හා සංවිධාන මානව හිමිකම් කඩකිරීම මත ආර්ථික සම්බාධක පැනවූවෙත් මේ 90‍% ක් බුදු දහම අදහන ජනතාවක් සිටින රටටයි. බුදු දහම හා මුස්ලිම් ජන වර්ගයක් කේන්ද්‍රගත කරනු ලැබ ඇති මෙම ගැටලුව සිංහල නොදත් පාඨකයා දැනුවත් විය යුත්තේ අප ද 2014 අලූත්ගම වැනි සිද්ධි හරහා මෙම මහා බිහිසුණු ඛේදයේ අංකුර තත්වයන් අත්විද ඇති බැවිනි. එපමණක් ද නොව අද දවසේ බුදු දහමේ ස්වරූපය ප‍්‍රකාශමාන වන එක් මාදිලියක් ලෙස ද එය හඳුනාගත හැකි බව කවුරුන් හෝ පවසන්නේ නම් එයට අප විරුද්ධ වීමට හේතුවක් නැත.

සිදුවීම් මාලාව ආරම්භ වන්නේ 2012 මැයි 28 මියන්මාරයේ තරුණියක්, එරට තරුණයින් තිදෙනෙක් විසින් දූෂණය කොට මරා දැමූ බවට චෝදනා එල්ල වීමත් සමගය. අවාසනාව වූයේ මිය ගිය දැරිය බෞද්ධ වීම හා අපරාධකරුවන් තිදෙනා මුස්ලිම් ජාතිකයන් වීමයි. ඉන්පසුව සතියක් ඉකුත් වන්නටත් ප‍්‍රථම මුස්ලිම් තරුණයින් දසදෙනෙක් කපා කොටා ඝාතනය කර තිබුණි. ක‍්‍රමයෙන් මියැන්මාරයේ රැකෑන් පළාතේ ප‍්‍රදේශ කිහිපයක මෙවැනි ඝාතනයන් රැසක් සිදුවිය. අවසානයේ දී අද වනවිට මියැන්මාරයේ බටහිර කලාපයේ ජීවත්ව සිටි මෙම රොහින්ග්‍යා (Rohingya) නම් මුස්ලිම් ජනතාව මියන්මාරයෙන් පලවා හැරීමට එරට බෞද්ධයන් කටයුතු කර ඇත. මිලියනයකට අදික රොහින්ග්‍යා වැසියන් පිටුවල් කිරීමට එරට රජය පියවරගෙන ඇත. දහස් සංඛ්‍යාත මරණ, තුවාල ලැබීම් හා අතරවර කිරීම් රැසක් ඊට පෙර සිදුවිය. මුස්ලිම් ජනයාගේ සියලු නිවාස ගිනිබත්කොට ඔවුන්ගේ පූජා ස්ථාන කඩා බිඳ දමා ඇත. රොහින්ග්‍යා ජනවර්ගය සවුදි අරාබිය, බංගලාදේශය, පාකිස්ථානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, නේපාලය වැනි රටවල්වල ජීවත්වන අතර ඒ අතරින් වැඩිම ජන ගහනයක් වාසය කළේ මියැන්මාරයේ ය.

-හැම මිනියක්ම එක ගොඩකට ගොඩ ගහලා වැළලූවා.

-මගේ ඉස්සරහම මගේ ඥාතිසහෝදරයෝ පස් දෙනෙක් මැරුවා. ඒගොල්ලන්ව උස්සලා ගිනි ගොඩට වීසි කළා.

-ඒගොල්ලො වෙඩි තිබ්බා අපිත් පෙරලා පහර දුන්නා. මුලූ ප‍්‍රදේශයම මළ සිරුරුවලිනුවයි ලේවලිනුයි වැහිලා තිබුණෙ.

-ඒගොල්ලො ලග කිසිම කරුණාවක් නැහැ. දෙවියො විතරයි දන්නෙ අපි කොච්චර අසරණ වුණා ද කියලා

-මිනිස්සු ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. රජයෙන් ඔවුන්ට යුක්තිය ඉටුවෙන්නෙ නැහැ.

-ජුනි 08 අපි පල්ලියෙ ඉන්නකොට ගල් වරුසාවක් ආවා. මිනිස්සු අතරින් පොලීසිය අහසට වෙඩි තිබ්බා. මිනිස්සු හැම අතම දුවන්න ගත්තා. ඊට පස්සෙ පොලීසිය අපිව තෝර තෝර වෙඩි තිබ්බා.

-කීදෙනෙක් මැරුණද කියලා හොයාගන්න බැහැ. මළ සිරුරු හංගලා.

-අපි මේ දේශයෙන් මුකුත් අරගෙනත් නැහැ ඒකට මුකුත් එකතු කළෙත් නැහැ. අපිත් අනෙක් අය වගේ ම ජීවත් වුණා.

-අපි ඒගොල්ලන්ගෙ කෑමකන්නෙ නැහැ. ඒගොල්ලො අපේ කෑම කන්නෙත් නැහැ. ඒගොල්ලො අපේ ළමයෙක් දැක්ක ගමන් ඒ ළමයට ගල් වලින් ගහනවා. අපි නිකං බල්ලො වගේ.

-පිරිමි අයව කොහේ අරං ගියාද කියන්න දන්නෙ නැහැ. සමහරු හැංගුනා.

-ළමයෙක් හම්බවුණොත් ඩොලර් 150 ක් ගෙවන්න  ඕනෙ. කසාද බඳිනවනම් ඩොලර් 750 ක් ගෙවන්න  ඕනෙ. එහෙම කළේ නැත්තං අවුරුදු 5 කට හිරේ.

මේ තිබෙන්නේ මියන්මාරයේ රොහින්ග්යාව වැසියන් ගේ අත්දැකීම් සමහරකි (බලන්න අල් ජසීරා නාලිකාවේ මෙම වීඩියෝව)

නමුත් අනෙක් අතට මියන්මාරයේ වෙසෙන ප‍්‍රධාන පෙලේ බෞද්ධ භික්ෂුවක් ඉහත සඳහන් චිත‍්‍රපටයට අදහස් දක්වමින් පවසන්නේ

-ඇෆ්ගනීස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාවට වුණු දේ අපට වෙනවට අපි කැමැති නැහැ. අපි ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න  ඕනෙ.

මුස්ලිම් ජනතාව ව්‍යාප්ත වීම වැළැක්වීමට මියන්මාරයේ නීති සකස් කොට තිබේ. ජාතිය හා ආගම උත්කර්ෂයට නැංවීම තුල හටගන්නා අනියත බිය මත ම්ලේච්ඡත්වය ඉදිරියට පැමිණ ඇත. කුමන අර්ථයෙන් වුවත් රොහින්ග්‍යා ජනතාව මියන්මාරයේ ස්වදේශීය ජන කොට්ටාශයක් වන අතර පෙර හා පසු යටත් විජිත සමයන්වල පවා වාසයකොට ඇත.

නමුත් මෙහි ඇති බරපතල ම තත්වය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බලාපොරොත්තුව කැටිව පැමිණි අවුන් සාන් සූකිගේ පක්ෂය බලයට පත් වුව ද මෙම තත්වය පාලනය කිරීමට නොහැකිවීමයි. මිලියන 1.3 ක් වූ මියන්මාර ස්වදේශික මුස්ලිම් ජනතාව බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට පියවර ගන්නේ ඇගේ පක්ෂය බලයේ සිටියදීයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයගත් මියන්මාරයේ අවුන්සාන් සූකි ට ඒ සඳහා කළ හැක්කක් නැත.

ඇයගේ පක්ෂය සමස්ථ ඡන්ද ගණනින් 77‍% ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කළේය. ඇයට මේ ස්වදේශිකයන් එරට රදවා ගැනීමේ ක‍්‍රමවේදයක් නොවීය. ඔවුන්ගේ පක්ෂයේ යෝජනා වූයේ ඔවුන්ට වෙනත් සුවිශේෂී පුරවැසිභාවයක් ලබා දීමයි. වෙනත් ආකරයට කියන්නේනම් එම පුරවැසිභාවය මියැන්මාර බෞද්ධ වැසියන්ගේ පුරවැසිභාවයේ වරප‍්‍රසාද වලින් කප්පාදු කළ පුරවැසිභාවයකි. සූකීගේ විප්ලවය ඵල රහිත වන්නේ මේ අවස්ථාවේදීය.

සංහිඳියාවක් ඇතිකොට ජනවර්ග සියල්ල සමානයන් සේ සැලකීමට ඇයගේ පක්ෂය අපොහොසත් වන්නේ එවන් විප්ලවයකින් පරාජයට පත් කළ නොහැකි දෘෂ්ටිවාදයන් මියැන්මාරය තුල මුල්බැසගෙන තිබෙන නිසා නොවේද? එම දෘෂ්ටිවාදයන් රැකගෙන සිටින්නේ එරට බුදු දහම මූලික කරගත් ජාතිකවාදී අවකාශයයි. අද දවසේ අපගේ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට වත්මන් රජය මන්දගාමී වී ඇත්තේ ඇයිද යන්නත් අපට වටහා ගැනීමට මෙමගින් උපකාරයක් නොලැබෙන්නේද? අවුන් සාන් සූකිගේ පක්ෂය රොහින්ග්‍යා ජනතාව මියැන්මාරය තුල සම අයිතීන් දෙමින් රදවා ගතහොත් ඔවුන්ට හෙට දිනයේ රජය අතහරින්නට වෙයි. මෙවැනි දේ පෙන්වා සූකිගේ දේශපාලන ජයග්‍රහණයේ මෙන්ම මෙරට ජනවාරි 8 දේශපාලන පෙරළියේද සීමාකම් පෙන්වීම අපහසු නොවේ. සමහරවිට වඩා අපහසු ප්‍රශ්නය වන්නේ මේ මගින් සමකාලීන යුගයේ දේශපාලන පෙරළි වල සීමාව සම්බන්ධයෙන් ලබා දෙන පණිවුඩය සිතා බැලීම වේ.

මට මතකයට නැගුනේ නවගත්තේගමගේ ‘සාපෙක්ෂිණී’ නවකතාවයි…

“ශෛලේන්ද්‍ර රාජ්‍යය එකිනෙකාට පටහැනි හා ප‍්‍රතිවිරුද්ධ රාජ්‍ය කීපයකින් සමන්විතය. එම රාජධානිය අතර වෙළදාම ගෙන යෑමට ඒ එක ද රාජධානියක ස්වදේශික වෙළෙන්දෙකුට ඉඩක් නැත. මලට රටවාසී වෙළෙන්දෙකු තවත් රාජ්‍යයක් හරහා වෙළදාමේ යෑම ජීවිතය පරදුවට තබා කළ යුත්තකි. එහෙයින් ඔවුන් අත්‍යවශ්‍ය ලූණු වැනි ද්‍රව්‍යයක් ප‍්‍රවාහනය කොට දිය හැක්කේ ස්වාධීන වූ මුසල්මාන වෙළඳ තවලමකට පමණි. මේ අතින් ඔවුන් දේශ හා ජාති භේද සීමාව ඉක්මවා, ඒ හැමට සමාන සේවයක් ඉටුකරන්නෝ ය. ඒ අතරේ ශත වර්ෂාධික කාලයක් ඔවුහූ රටෙන් කොටසක් හෝ අල්වා ගැනීමේ අරමුණක් පෙන්වා ද නැත.”

-රංග මනුප්‍රිය-

.

Advertisements