armpit-ellen-altfest

පහතින් පළ වන්නේ ‘ධනවාදය පිළිබඳ මාක්ස් ගේ ප්‍රවාදය’ සම්බන්ධයෙන් අප පළ කරනා ලිපි මාලාවක දෙවැනි කොටසයි (පළමු කොටස මෙතනින්). මෙම ලිපි මාලාව ආරම්භ කිරීමට ආසන්න හේතුව වූයේ චින්තන ධර්මදාස විසින් මාක්ස් ගේ ප්‍රවාදය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් වුවත් මෙය ඔහුට ලියනා ප්‍රතිචාරයක් නොවේ. සමකාලීන දේශපාලනය පිළිබඳව කෙරෙනා සිංහල බුද්ධිමය සංවාද වල තිබෙනා එක් දුර්වලතාවයක් වන්නේ ඒවා බොහෝ විට හිතළු පමණක් වීමයි – වඩාත් නිවැරදිව කියන්නේනම්, ඒවා ‘හිතළු + ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා එකතු කර ගන්නා විකිපීඩියා වර්ගයේ තොරතුරු’ පමණක් වීමයි. මෙවැනි වටපිටාවක, සමහර මූලික අදහස් සහ ප්‍රවාද සම්බන්ධයෙන් පැහැදිළි කරගැනීමක් ඇති කර ගැනීම දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ප්‍රාග්ධනය සම්බන්ධයෙන් මාක්ස් ගොඩ නැගු ප්‍රවාදය යනු මෙවැනි මූලික ප්‍රවාද අතරින් ඉතාම වැදගත් වන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජ මාධ්‍ය අවකාශය තුළ මේ පිළිබඳව පැහැදිළි කිරීමක් කළ හැකිනම් එය ඉතා වැදගත් වන්නේ එම නිසාය. මෙම උත්සාහය එවැනි පුළුල් පැහැදිළි කිරීමක් සඳහා අපගේ කුඩා දායකත්වයකි.

තරමක අහම්බයකින් – නොවැදගත් හිතළු ලියා ජනප්‍රිය වන වෙළඳ දැන්වීම් නිර්මාපකයෙක් ගේ ප්‍රකාශයක් නිසා – ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය ‘බව’ විසින් බොහෝ පෙර සූදානම් වී කරනු ලබන දෙයක් නොවේ. එනිසා මෙය කළ යුතු වන්නේ අප නියැලී සිටිනා අනෙක් වැඩ අතරතුර, කාලය කළමනාකරණය කරමින්ය. නමුත් මෙලෙස අඩු සූදානමක් යටතේ සහ වෙනත් වැඩ අතරේ මෙය සිදු කළ යුතුයැයි අප තීරණය කළේ මෙහි ඇති දැවෙන අවශ්‍යතාවය නිසාවෙනි. එනිසා, මෙයට මාක්ස් වෙත පක්ෂපාතී වන සහෝදරත්වයේ සහය හිමි වේනම් එය මහත් සේ අගයමු. අපගේ අඩුපාඩු පෙන්වා දීමට සහ ලිපි මාලාව වැඩි පිරිසක් අතරට අරන් යාමට ඔබගේ සහය ලබා දෙන්න. මෙවැනි මාධ්‍යයක් හරහා කෙරෙනා මෙවැනි ප්‍රයත්නයක් සාර්ථක වනු ඇත්තේ එවැනි සාමූහික සහයෝගයකින් පමණි.

***

2

වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය අර්ථකථනය කිරීමේ ගැටලු

අපි පළමු සටහන තුළ සාකච්ඡා කළ මූලික අදහස වූයේ පාරිභෝගික භාණ්ඩය යන්න සඳහා ඇති වටිනාකම දෙආකාර වීම පිළිබඳ නිරීක්ෂණයයි. පාරිභෝගික භාණ්ඩයක් මගින් මිනිසුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කරනා හෙයින් එහි ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබේ. නමුත් එය වෙළඳපොලේ හුවමාරු වීමේදී එයට හුවමාරු වටිනාකමක් ලැබේ. අපි දුටු පරිදි මේ වටිනාකම් වර්ග දෙක, මුළුමනින්ම වාගේ, එකිනෙකට වෙනස් වන්නා වූ දේවල් වේ. ප්‍රයෝජ්‍ය වටිනාකම අතින් ගත්විට මුළුමනින් වෙනස් වන්නා වූ භාණ්ඩ දෙකක් – ‘පරිඝණක’ සහ ‘රත්තරන් වළලු’ – හුවමාරු වටිනාකම අතින් සමාන වීමේ හැකියාව තිබේ. එසේනම්, මේ භාණ්ඩ දෙකේ සමාන බව මැන ගත හැකි පොදු නිර්ණායකයක් අපට අවශ්‍ය වන බව පැහැදිළි වේ. මෙම පොදු නිර්ණායකය විය හැක්කේ කුමක්ද?

ධනවාදය පිළිබඳ මාක්ස්ගේ ප්‍රවාදයේ පළමු විවාදාත්මක ලක්ෂ්‍යය අපට හමු වන්නේ මේ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුරත් සමගයි. බොහෝ දෙනෙකුට අනුව ‘වටිනාකම’ පිළිබඳ මෙම මාක්සියානු අදහස පදනම් වන ප්‍රවාදය දැන් යල් පැන ගොස් ඇති බැවින් ඒ මත පදනම් වූ සමස්ත ප්‍රවාදය අද වන විට ප්‍රතික්ෂේප වී තිබේ. මෙම කරුණ සම්බන්ධයෙන් ‘පූර්ණ’ පැහැදිළි කිරීමක් මෙම අවස්ථාවේදී සිදු කිරීම ප්‍රායෝගිකව කළ හැකි නොවේ. ඒ සඳහා පළමුවෙන් මාක්ස් ගේ අදහස් නිශ්චිත වශයෙන් මොනවාද යන්න පැහැදිළි කරගැනීම අවශ්‍ය වේ. ඒවායේ වලංගුතාවය පිළිබඳ වඩා සංකීර්ණ ප්‍රශ්නයට අප පැමිණිය යුත්තේ ඉන් පසුවයි.

කෙසේවුවත්, අපට එක නිශ්චිත කරුණක්, මාක්ස් වෙනුවෙන්, මේ මොහොතේදී පැවසිය හැකිය. මේ ආකාරයේ බොහෝ විවේචන මගින් මාක්ස්ගේ අදහසේ තිබෙනා මූලික කරුණක් වටහාගෙන තිබෙන්නේ දෝෂසහගත ලෙස වේ. මෙයට හේතුව වන්නේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායට මාක්ස් දක්වන සම්බන්ධය කුමක්ද යන්න නිරවුල්ව අවබෝධ කර නොගැනීමයි. මෙම විවේචකයන්ට අනුව මාක්ස් විසින් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය හේතු දැක්වීමකින් තොරව නිවැරදි න්‍යායක් ලෙස බාරගෙන තිබේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, මෙම විවේචකයන්ට අනුව මාක්ස් විසින් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය ‘සාධනය’ කර නොමැත.

නමුත් මාක්ස් ඉතා පැහැදිළිව සඳහන් කර තිබෙනා පරිදි මෙවැන්නක් සිදු කිරීම ඔහුගේ අරමුණ වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ මෙම අදහස හරිද වැරදිද යන්න ඔප්පු කිරීම නොව මෙම අදහස බිහිවීම මගින් අමතක කරනු ලබන වැදගත් කොටසක් හරහා අපට මිනිසුන් අතර දේශපාලන-ආර්ථික සම්බන්ධතා ගොඩ නැගෙන ආකාරය සම්බන්ධයෙන් හෙළි කරනා රහසක් පෙන්වා දීමයි. මෙම හෙළිදරව්ව මගින් අපට පෙන්වා දෙන කරුණු රාශියක් තිබේ. එය කිසිදු ආකාරයකට ‘ආර්ථික විද්‍යාවට’ සීමා වූ සොයා ගැනීමක් නොවේ. නිදර්ශනයක් ලෙස මනෝවිශ්ලේෂණය තුළ අධ්‍යනය කෙරෙනා ‘රෝග ලක්ෂණය’ යන්නෙහි ව්‍යූහය පළමුවෙන් න්‍යායගත කරන්නේ ෆ්‍රොයිඩ් නොව මාක්ස් බව ලැකේනියානු මනෝවිශ්ලේෂණය මගින් ප්‍රකාශ කර සිටින්නේ මාක්ස් ගේ මෙම ප්‍රවාදය පදනම්වයි. නමුත් මෙය වටහා ගැනීමට අප, පළමුවෙන්, වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය සම්බන්ධයෙන් සංක්ෂිප්ත අවබෝධයක් ලබා ගත යුතු වේ. ආධුනිකයෙක් හට තරමක බියක් ඇති කරන ආකාරයේ ගාම්භීරත්වයක් සහිත නමකින් මෙය හැඳින්වුවද මෙහි මූලික අදහස වටහා ගැනීම එතරම් අපහසු නොවේ.

අපට සාමාන්‍යයෙන් සිතෙන්නේ කිසියම් භාණ්ඩයක තිබෙනා ආර්ථික වටිනාකම පදනම් වන්නේ එහි තිබෙනා උපයෝගිතාවය මත වන බවයි. නමුත් අපට බොහෝ ප්‍රයෝජනවත් වන සමහර භාණ්ඩ සඳහා ආර්ථික වටිනාකම් නොමැති බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. අප හුස්ම ලෙස ගන්නා වායුව යනු ඉතාම ඉහළ ප්‍රයෝජනයක් තිබෙන්නා වූ දෙයක් වුවත් – ඔක්සිජන් සිලින්ඩර වැනි විශේෂ ලෙස අසුරා ඇති භාණ්ඩයක් නොවන විට – ඒ සඳහා අප ආර්ථික වටිනාකමක් ලබා දෙන්නේ නැත. එසේනම්, කිසියම් දෙයකට ආර්ථික වටිනාකමක් ලැබීම සඳහා ඉහත කරුණු වලට අමතරව තවත් යමක් එකතු විය යුතු වේ. ඒ තමයි එම භාණ්ඩය නිෂ්පාදනය කිරීමට මිනිසෙකු මැදිහත්වීම – එම භාණ්ඩය කිසියම් මිනිසෙකු විසින් සිය ශ්‍රමය වැය කිරීමෙන් නිෂ්පාදනය කර තිබීම. නිකන්ම, මිනිස් අවශ්‍යතාවයක් ඉටු කරනා ‘දෙයක’ සිට හුවමාරු වටිනාකමක් තිබෙනා දෙයක් බවට යමක් පත්විය හැක්කේ මේ ආකාරයේ මිනිස් ශ්‍රමයේ මැදිහත්වීමක් තිබෙන්නේනම් පමණි. එනිසාම, එහි වටිනාකම ලෙස අපට හඳුනා ගත හැක්කේ එහි ‘තැන්පත්ව’ තිබෙනා මිනිස් ශ්‍රමයයි.

අප ඉහතින් සාකච්ඡා කළ නිදර්ශන වෙත නැවත යන්නේනම්, පරිඝණක දෙකක සහ එක රත්තරන් වළල්ලක වටිනාකම සමාන වන්නේ මේ දෙක නිෂ්පාදනය කිරීම සඳහා වැය වූ ශ්‍රම ප්‍රමාණය එක සමාන වීම මතයි. මෙම ‘ශ්‍රම ප්‍රමාණය’ යන්න මැන ගැනීම කළ හැකි වන්නේ මූලික වශයෙන් එය නිෂ්පාදනය කිරීමට ගත වූ කාලය මැන ගැනීම හරහාය.

මුල් වටය තුළ, අවම වශයෙන්, මෙය පිළිගැනීමට බොහෝ අපහසු අදහසක් නොවේ. සාමාන්‍යයෙන් භාණ්ඩයක වටිනාකම මැන ගැනීම සම්බන්ධයෙන් අප මෙවැනි ආකාරයේ උපකල්පන අපගේ දෛනික ජීවිතය තුළ නිතර සිදු කරයි. කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීම සඳහා අපගේ ශ්‍රමය, සූක්ෂම ලෙස, වැඩි කාලයක් වැය කළ යුතු වේනම් එවැනි භාණ්ඩයකට ඉහළ මිලක් අය කිරීම තරමක් සාධාරණ බව පිළිගැනීමට බොහෝ දෙනෙකු මැලි නොවනු ඇත. අපි කරන්න උත්සාහ කළ කිසියම් වැඩක් අසාර්ථක වූ විට ‘අයියෝ මගේ මහන්සිය අපතේ’ කියා අප කියන්නේ මේ හා ආසන්න අර්ථයකිනි. එනිසා, අපට කිසියම් භාණ්ඩයකට ඇති වටිනාකම සඳහා වඩා විශ්වසනීය මූලාශ්‍රයක් පෙන්වා දීමට දැන් හැකියාවක් තිබේ. ඒ තමයි, එම භාණ්ඩයේ තිබෙනා ප්‍රයෝජනයට අමතරව එය නිපදවීම සඳහා වැය වූ ශ්‍රමය. එම ශ්‍රමය මැන ගන්නේ එය නිෂ්පාදනය කිරීම සඳහා ගත වූ – ශ්‍රමය ලබා දීමට අවශ්‍ය වූ – කාලය මැන බැලීමෙනි.

නමුත් මේ මගින් අපේ ප්‍රශ්නයට ප්‍රමාණාත්මක පිළිතුරක් ලැබෙන්නේ නැත. මන්ද, පාරිභෝගික භාණ්ඩයක හුවමාරු වටිනාකම රැඳී තිබෙන්නේ එය නිෂ්පාදන කිරීම සඳහා ශ්‍රමය යෙදවූ කාලය අනුවනම්, වඩා වැඩි වටිනාකමක් ලැබෙනු ඇත්තේ නුපුහුණු ශ්‍රමිකයෙක් විසින් නිපදවනු ලබන භාණ්ඩයකට වේ. රත්තරන් නිෂ්පාදන කරන ආධුනික ශ්‍රමිකයෙකුට වඩා පළපුරුදු රන් භාණ්ඩ නිර්මාණකරුවෙකුගේ නිෂ්පාදන වේගය වැඩි වෙයි. නමුත්, අප ගේ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායට අනුව එහි වටිනාකම රැඳී තිබෙන්නේ ඒ සඳහා ගත වන කාලය අනුව වන නිසා ආධුනික රන් භාණ්ඩ නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ වල වටිනාකම වැඩි විය යුතුය.

‘සමාජීයව අනිවාර්ය වන ශ්‍රමය’ (socially necessary labor) යන සංකල්පය මාක්ස් විසින් හඳුන්වා දෙන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. ඒ අනුව වැදගත් වන්නේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට එක් එක් නිෂ්පාදකයන් හට පුද්ගලිකව ගත වන කාලය නොව එය නිෂ්පාදනය කිරීම සඳහා, දෙන ලද සමාජීය අවස්ථාවකදී, ඒ සඳහා අවශ්‍ය වන පොදු කාලයයි. එක් රන් භාණ්ඩ නිෂ්පාදකයෙකු ට වළල්ලක් නිෂ්පාදනය කිරීමට ගත වන කාලය වැදගත් නොවන්නේ ඒ සඳහා අවශ්‍ය කොපමණ කාලයක් ද කියා අපට පොදු අදහසක් තිබෙනා නිසාය. නමුත් මෙම සමාජීයව අනිවාර්ය වන ශ්‍රමය යන්න වෙනස් නොවන, ස්ථිතික දෙයක් නොවේ. වෙනස් වන තත්වයන් හමුවේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට ගතවන කාලය වෙනස් වෙයි – තාක්ෂණයේ වර්ධනය, ජන ව්‍යාප්තිය, අමු ද්‍රව්‍ය වල සුලභ හෝ දුලභ හෝ බව, සංස්කෘතික ආකල්ප ආදී බොහෝ දේ මෙයට ඇතුලත් වේ.

නමුත් අප නැවතත් මතක තබා ගත යුතු දෙය වන්නේ මාක්ස් ගේ උනන්දුව තිබෙන තැන ලෙස මෙම වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය හඳුනා නොගත යුතු බවයි. ඔහු විසින් පෙන්වා දෙනු ලබන්නේද මෙය පමණනම් එමගින් සම්භාව්‍ය දේශපාලන-ආර්ථික න්‍යාය මගින් ඒ වනවිටත් ගොඩ නගා තිබෙනා අදහස් වලට එතරම් තීරණාත්මක දෙයක් අලුතෙන් එකතු කර තිබෙනා බව අපට පැවසිය නොහැකි වේ. භාණ්ඩයක් වෙත වටිනාකමක් ලැබෙන්නේ එය කිසියම් මිනිසෙක් මැදිහත් වී නිෂ්පාදනය කර තිබෙනා නිසා වේ යන්න සහ, ඒ අනුව, එම මිනිසාගේ ශ්‍රමය එහි අඩංගු වන බව පිළිගැනීම – අවම වශයෙන් අපගේ වර්තමානයේ සිට බැලූ විට – එතරම් අපහසු දෙයක් නොවේ.

නමුත් මාක්ස් විසින් සිදු කරනු ලබන්නේ මෙය නොවේ. ඔහුගේ ප්‍රවේශය අර්ථකථනය කළ හැකි එක් ආකාරයක් වන්නේ සම්භාව්‍ය දේශපාලන-ආර්ථික විශ්ලේෂකයන් – ස්මිත්, රිකාඩෝ – විසින් ගොඩ නැගු වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය ඇසුරින් පුද්ගලිකව වැය වන ශ්‍රමය සමාජයේ සමස්ථ ශ්‍රමයෙහි කොටසක් බවට පත්වන ආකාරය කුමක්ද යන්න විමසා බැලීමක් ලෙසයි. ස්ලැවෝයි ජිජැක් විසින් විශිෂ්ට ලෙස පෙන්වා දී ඇති ආකාරයට ෆ්‍රොයිඩ් සහ මාක්ස් අතර සම්බන්ධය පෙන්වා දීමටත්, රෝග ලක්ෂණය පිළිබඳ ෆ්‍රොයිඩියානු අදහස මාක්ස් විසින් සොයා ගත් බවට ලැකේනියානු න්‍යායේ එන යෝජනවා පැහැදිළි කරගැනීමටත් අපට හැකි වන්නේ මේ නිශ්චිත ලක්ෂ්‍යයේදී ය. මෙහි අර්ථය කුමක්ද?

ෆ්‍රොයිඩ් ගේ සිහින විශ්ලේෂණය නිවැරදි ලෙස ග්‍රහණය කර නොගන්නා බොහෝ දෙනෙක් අතින් වන සුලභ වැරද්දක් තිබේ. අප දන්නා පරිදි, ඉතාම සංක්ෂිප්ත ලෙස, ෆ්‍රොයිඩ් විසින් උත්සාහ කරනු ලබන්නේ සිහිනයක් තුළ අපට දක්නට ලැබෙනා විවිධ විකාරරූපී දසුන්, අපගේ දෛනික ජීවිතයේ අත්දකින නිශ්චිත අත්දැකීමක ප්‍රකාෂමානවීමක් බව පෙන්වා දීමයි. නිදර්ශනයක් ලෙස මා සිනිනයකදී අං දෙකක් සහිත යක්ෂයෙක් වැනි මිනිස් ස්වරූපයක් දුටුවේනම්, ෆ්‍රොයිඩියානු ක්‍රමවේදයට අනුව අප උත්සාහ කළ යුතු වන්නේ මෙම යක්ෂයා මගින් නියෝජනය වන, මගේ අවදියෙන් ගත වන ජීවිතය තුළ අත්දුටු පුද්ගලයෙක් හෝ අත්දැකීමක් හෝ වන බව පෙන්වීමයි – එමගින් නියෝජනය වන්නේ මා එම සිහිනය දැකීමට පෙර දින උදෑසන දුටු දරුණු පෙනුමක් ඇති දඩ බල්ලෙක්, මා තැති ගැන්වූ මිනිසෙක්, එසේත් නැතිනම් එම මිනිසා ගේ සහ බල්ලාගේ සම්මිශ්‍රණයක් විය හැකිය.

දැන්, බොහෝ දෙනෙකු අතින් වන සුලභ වැරද්දක් වන්නේ ෆ්‍රොයිඩියානු සිහින විශ්ලේෂණයේ අරමුණ වන්නේ සිහිනයේ ‘රහස’ මේ ආකාරයට අපේ අවදියෙන් පසුවන ජීවිතයේ අත්දැකීමක් ලෙස හෙළිදරව් කරගැනීම බවයි. නමුත්, සත්‍ය වශයෙන්ම, ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයේ රැඩිකල් මානය අපට මේ ආකාරයෙන් මග හැරී යයි. සිහින විශ්ලේෂණයේ දී වැදගත් වන්නේ මෙම ‘රහස’ හෙළිදරව් කරනා පළමු පියවර තැබීම පමණක් නොවේ. අතිශයින් වැදගත් තවත්, දෙවැනි, පියවරක් අප විසින් තැබිය යුතු වේ.

ඒ තමයි මෙම සිහිනය අපට මෙම නිශ්චිත ආකෘතියෙන් දක්නට ලැබෙන්නේ ඇයිද කියනා ප්‍රශ්නය ඇසීම. අපගේ නිදර්ශනයට නැවතත් ගියහොත්, මා අවදියෙන් සිටිනා විට මා තැති ගැන්වූ මිනිසා සාමාන්‍ය මිනිසෙක් විය. ඔහුගේ පෙනුම තුළ සාමාන්‍ය මිනිස් ශරීරයක තිබෙනා ලක්ෂණ වලින් වෙනස් වූ දේ නොවීය. එසේනම්, මෙම මිනිසා මගේ සිහිනය තුළ අං දෙකක්  තිබෙනා, යක්ෂයෙකුගේ පෙනුමකින් දෘශ්‍යමාන වන්නේ ඇයි? මේ විශේෂ ආකෘතිය එම මිනිසා පිළිබඳ මතකයට ලැබුනේ කෙසේද? සිහිනය මගින් අපට විවර කර දෙන අවිඥානය වෙත යා හැකි මාවත හමු වන්නේ මෙම දෙවැනි ප්‍රශ්නය ඇසීමත් සමගයි. එහිදී අප තවදුරටත් අවධානය යොමු කරන්නේ එම සිහිනයට දැකීමට පෙර දින ලැබූ සැබෑ අත්දැකීමට නොවේ. එයට වඩා වැදගත් වන්නේ එම අත්දැකීම මෙම නිශ්චිත ආකෘතියෙන් අපට ඉදිරිපත් වීමේ හේතු විමසා සිටීමයි.

ෆ්‍රොයිඩ් විසින් සිදු කරනා මෙම ‘ව්‍යූහාත්මක ගැලපුම’ මේ ආකාරයටම වාගේ අපට මාක්ස් ගේ විශ්ලේෂණය තුළ හඳුනා ගත හැකි වේ. ඒ අනුව මාක්ස් විසින් අසනා වැදගත්ම ප්‍රශ්නය වන්නේ පාරිභෝගික භාණ්ඩයක වටිනාකම කුමක්ද යන්න නොවේ. එම ප්‍රශ්නයට පිළිතුරක් ඒ වන විටත් නිර්මාණය වී තිබේ: පාරිභෝගික භාණ්ඩයකට වටිනාකමක් ලැබෙන්නේ එය නිෂ්පාදනය කිරීමට මිනිසෙක් මැදිහත් වූ නිසාය. ඒ අනුව විශ්ලේෂණයේ පළමු පියවර වන්නේ පාරිභෝගික භාණ්ඩය පදනම් වන, නමුත් අපට එක්වරම පෙනෙන්නට නොමැති, මූලාශ්‍රය පෙන්වා දීමයි. ඒ තමයි එය නිෂ්පාදනය කිරීමට මැදිහත් වූ මිනිසාගේ ශ්‍රමය.

නමුත් විශ්ලේෂණය මෙතනින් නතර කළහොත් අපට මාක්ස් ගේ ප්‍රවාදයේ වඩා වැදගත් කොටස මග හැරී යයි. ඒ තමයි මිනිස් ශ්‍රමය මගින් නිෂ්පාදනය වන මෙම භාණ්ඩය අපට මෙම නිශ්චිත ආකෘතියෙන් ප්‍රකාශමාන වන්නේ ඇයිද කියන ප්‍රශ්නය.

ඊළඟ කොටසින් මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ගමු.

Advertisements