malevich-white-on-white

1.පවත්නා ලෝකය, යථාර්ථය, මිනිසත්බව මේ තිබෙන ආකාරයෙන් තිබීම සඳහා කිසිදු අනිවාර්යතාවයක් නොමැති බව අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් චින්තන සම්ප්‍රදායන් සමකාලීන බුද්ධිමය සංවාදයේ පැහැදිළිව පෙන්වා දිය හැකිය. සම්ප්‍රදායික මාක්ස්වාදයේ තිබෙනා ඓතිහාසික-වාස්තවික අනිවාර්යතාවය (objective-historical necessity) පිළිබඳ අදහස දාර්ශනිකව ප්‍රතික්ෂේප වීම යනු, මේ අනුව, විකල්ප ලෝකයක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප වීම නොවේ. සැබවින්ම ගත්විට ඉන් සිදු වන්නේ එම අදහස තවදුරටත් ශක්තිමත් වීමයි. කිසිදු ලෙසකින් වෙනස් නොවනා ස්වභාව ධර්මයේ නියාමයන් ලෙස පෙනෙනා දේවල් වල සිට වෙනස් වන්නේ කෙසේද කියා සිතා ගැනීමට අපහසු දේශපාලන ආර්ථික සංස්ථාපිතයන් දක්වා, කිසිවක පැවැත්ම අනිවාර්ය නොවන බව සංකල්පීයව, දාර්ශනිකව ඔප්පු කිරීම එතරම් අපහසු නොවේ. එපමණක් නොව, මේ ආකාරයේ වෙනස් වීමකින්, පරිවර්තනයකින් පසුව උත්පාද වන නව ලෝකයකදී අපට ඉතාම සරල වෙනසක් ලෙස පෙනෙනා දේ වුවත්, එයට පෙර ලෝකයේ සිට සිතා ගැනීමට පවා නොහැකි වන්නේ ඇයිද යන්නත් අපට සංකල්පීයව ඒත්තු ගැන්විය හැකි දේවල් වෙයි. අපගේ සිතීමේ සහ පැවැත්මේ සීමාවන් විසින් අපව සීමා කරන්නේ කෙසේද සහ එම සීමාවන් බිඳ වැටුණු පසු එම සිතීම – අතීතයට බලපාන ලෙස – වෙනස් වන්නේ කෙසේද යන්න ඒ ආකාරයට පැහැදිළි කරගත හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ ‘සංකල්පයේ ශ්‍රමය’ මගින් ඉල්ලා සිටිනා ඉවසීම පමණි.

2. පවත්නා ලෝකය, යථාර්ථය, මිනිසත්බව මේ තිබෙන ආකාරය ඉතාම අයුක්තිසහගත බව – අවම වශයෙන්, මෙය මේ තිබෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකට සකස් විය යුතු බව – බොහෝ දෙනෙකු විසින් එතරම් විරුද්ධ නොවන ප්‍රකාශයක් ලෙස තේරුම් ගත හැක. සංඛ්‍යාලේඛණ වල අවධානම ඇසුරින් මෙය ප්‍රකාශ කරන්නේනම්, නිදර්ශනයක් ලෙස, අද ලෝකයේ සුවඳ විලවුන් කර්මාන්තය තුළ වාර්ෂිකව සංසරණය වන ධනය සමස්ත ලෝක ජනගහනයට පාණීය ජලය, ආහාර, මූලික සෞඛ්‍ය පහසුකම් සහ නිවාස ලබා දීමට අවශ්‍ය ධනය හා සමාන වන්නක් බව ගණන් බලා තිබේ. මේ, දළ වශයෙන්, දිනකට මිනිසුන් විසි දහසක් බඩගින්න නිසා මිය යන ලෝකයකයි. හොඳ/නරක, පව/පින, යහපත/අයහපත පිළිබඳව සිතා බැලීමේ හැකියාව සහ උනන්දුව, මිනිස් සමාජයේ අකණ්ඩ සම්ප්‍රදායක්නම්, මේ සම්ප්‍රදාය සහ පවත්නා ලෝකය අතර ගැලපීමක් කිරීම ඉතාම අපහසු වෙමින් තිබෙනා අතර, මෙහි අනාගතය සම්බන්ධයෙන් තිබෙනා සියලු පුරෝකථනයන් මගින් පෙන්වා දෙන්නේ මෙහි තවදුරටත් සිදු විය හැකි පරිහානිය පමණි.

3. පවත්නා ලෝකය, යථාර්ථය, මිනිසත්බව මේ තිබෙන ආකාරය වෙනස් කිරීම සඳහා නූතන දේශපාලනය තුළ බිහි වූ උපායමාර්ගික තෝරා ගැනීම් වල අර්බුධයකට අප මුහුණ දෙමින් සිටියි. දහනමවන සියවසේ මාක්ස්වාදය බිහි වීමේ සිට විසිවැනි සියවසේ අවසානයේ සෝවියට් සමූහාණ්ඩුව ඇතුළු සමාජවාදී රාජ්‍යය පද්ධතිය බිඳ වැටීම දක්වා පැවති දේශපාලන භාවිතයන්, මොඩලයන්, සංවිධානය වීමේ ආකෘතීන්, උපක්‍රමික ආස්ථානයන් සියල්ලම පාහේ තවදුරටත් භාවිතාත්මක තලයේ එතරම් ප්‍රයෝජනවත් දේ නොවේ. ඉතාමත් පැහැදිළි වන්නේ අපට සෝවියට් සමූහාණ්ඩුවේ පැවති ආකාරයේ දේශපාලන සැකැස්මක් වෙත නැවත යා නොහැකි බවයි. නමුත් එයට විකල්ප වූ දේශපාලන සැකැස්ම කුමක්ද කියා නිශ්චිත අදහසක් කිසිවෙකුට නොමැති වේ. නවලිබරල් ධනවාදයේ දේශපාලන ආධිපත්‍යය ට විකල්ප වූ රාජ්‍ය බලය අභ්‍යාස කිරීමේ මාදිළිය කුමක්ද? මෙම නිශ්චිත ප්‍රශ්නය ඉදිරියේදී අපගේ දේශපාලාන පරිකල්පනය සීමා කිරීමේ ප්‍රයෝගිකත්වයෙන් ගැලවීම එතරම් පහසු නොවේ. මෙයට විකල්ප ලෙස නැගී ආ ලෝක දේශපාලන ව්‍යාපාර සියල්ලම මේ ප්‍රශ්නය හමුවේ අසාර්ථක වී තිබේ.

ඔතෝම්බර් විප්ලවයෙන් හරියටම සියවසකට පසුව, අපගේ වර්තමානය සිතියම්ගත කරන්නේනම්, එය කළ හැකි මූලික ආකාරයක් ලෙස ඉහත සඳහන් කරුණු තුන දැක්විය හැකිය. මෙම තත්වයන් යටතේ අප, අද දවසේ හිඳ, ‘විප්ලවය’ පිළිබඳ සම්භාව්‍ය අදහස යළි කියවිය යුත්තේ කෙසේද?

මෙම ප්‍රශ්නය ඇසුරින්, මේ සම්බන්ධයෙන් තිබෙනා සම්භාව්‍ය ලියවිලි කීපයක් සාමූහිකව කියවීමේ සහ සාකච්ඡා කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. අප සිතනා ආකාරයට ‘ඔක්තෝම්බරයේ උරුමය’ වර්තමානය තුළ ඉතිරි කර ගත හැක්කේ  ගැනීම සඳහා මෙය මග හැරිය නොහැකි ක්‍රියාකාරකමකි. නමුත් මෙය සාර්ථක වනු ඇත්තේ මේ පිළිබඳව උනන්දුවක්, කුතුහලයක්, උද්‍යෝගයක් තිබෙනා පිරිසක් මෙයට සහභාගී වන්නේනම් පමණි.

ඔබ මේ සඳහා උනන්දුවක් දක්වනවානම්, මේ ආරාධනය ඔබ සඳහා ය.

විවෘත මහජන සංවාද මාලාවක් වන මෙයට අදාළ ප්‍රායෝගික තොරතුරු වන්නේ මේවාය:

සංවාදයේ දිශානතිය සලකුණු කිරීම : නිර්මාල් රංජිත් දේවසිරි

පළමු සැසිය පැවැත්වෙන දිනය : 2017 පෙබරවාරි 2 වෙනිදා

වෙලාව : සවස 3 ට

ස්ථානය : පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, අංක 407, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 (ගූගල් සිතියම මෙතැනින්)

පළමු දිනයේ කියවන ලියවිල්ල : රෝසා ලක්සම්බර්ග් ගේ “Reform or Revolution” (PDF පිටපතක් මෙතැනින්)

සංවිධානය : ‘තීර්ථ කලා පාසල’

වැඩි විස්තර සඳහා – bava.blog@gmail.com

Advertisements