640f0b6dae85f0f58f8468fc12213880

ලක්ෂාන්ත අතුකෝරාළගේ කවියකින් මෙම සටහන ආරම්භ කිරීම වඩාත් සුදුසු වේ යැයි සිතමු.

“වැඩ ඇරී

වැඩට යති

ගැහැණු… ”

මෙම කවියෙන් එක්තරා ආකාරයකට ගැහැණිය පිළිබඳව පවතින යථාර්ථයක් අකුරු බවට පත් කර ඇත. එහිදී අපට හැඟවුමක් ලබා දෙන්නේ ගැහැණු වැඩට ගොස්, එසේ නැත්නම් රැකියාවට ගොස් නිවස වෙත යාම යනු නැවත රැකියාවකට යාමක් ලෙසයි. ස්ත්‍රියගේ ශ්‍රමය පිළිබඳව මෙම සංවාදය තරමක් ඉහතදී සිදු වූවක් වන අතර අප මෙහිදී පෙන්නුම් කරන්නේ වෙනත් කරුණකි. එනම් මෙහිදී ස්ත්‍රිය පිළිබඳව පවතින්නේ ‘උපකරණමය’ ක්‍රියාකාරීත්වයකි. එම නිසා අප ‘උපකරණ’ යන්න අද දවසේ පැහැදිලිව හඳුනාගත යුතුය. විශේෂයෙන් අපට කිසිවකුගෙන්, කිසිවක්ම නොමැතිව සම්බන්ධතාවයක් පැවැත්විය හැකි ද ? අප එසේ සම්බන්ධතා පවත්වනවා ද ? යන්න පරිධියේ පවතින ප්‍රශ්නයක් වුවත් එය අප විසින් කේන්ද්‍රයට ගෙන ආ යුත්තේ එම නිසාය. ඒ නිසා අපව ද්‍රව්‍යකරණයට ලක් කිරීම අප විසින් අභියෝගයකට ලක් කළ යුතු වේ. විශේෂයෙන්ම අද දවසේ රූපවාහිනී වෙළඳ දැන්වීම් මෙයට කදිම උදාහරණයක් වේ. එහිදී ස්ත්‍රියගේ කොටස් එකිනෙක පෙන්වන්නේ ඒ ඒ අවයවවල උපයෝගීතාවයන්ට අනුවය. රන් ආභරණ වෙළඳ දැන්වීම් මෙයට සාක්ෂි ලෙසට ඉදිරිපත් කළ හැකිය. එහිදී අපට ‘කලාව’ ලෙස යමක් හඳුනාගත හැක්කේ, සුන්දරත්වය ලෙසට යමක් හඳුනාගත හැක්කේ නිර් – උපයෝගීතා ආස්ථානයන් ලෙසටය. පුටුවට ප්‍රයෝජ්‍ය වටිනාකමක් පවතින බව අපි දැනටමත් දන්නා කරුණකි. නමුත් වැන්ගෝගේ පුටුව එසේ නොවේ. එහි ඇත්තේ නිර් – උපයෝගීතාවයකි. එම නිසා සුන්දරත්වය සඳහා ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොමැති බව අපට මෙහිදී කාන්ටියානු අර්ථයෙන් සටහන් කළ හැකිය.

සෞන්දර්ය තුළ පවතින්නේ නිර්-උපයෝගීතා වටිනාකමකි. කාන්ට් ඒ සඳහා යෝජනා කරනු ලැබුවේ නිර් – උපයෝගීතා ප්‍රීතිය නම් අදහසයි. මේ සඳහා උපකරණමය ප්‍රීතියක් නොමැත. නිර්- උපයෝගීතා ප්‍රීතිය අපට ක්‍රීඩාවෙන් ද ලබා ගත හැකි අතර එහි උපරිම අවස්ථාව ලලිත කලාව ලෙසට කියවීම වරදක් නැත. මෙහි යම් කිසි මූලධාර්මික අදහසක් ඇත. එනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරය පුරා අවධානය යොමු කිරීමේදී  පෙනී යන්නේ මෙම නිර් – උපයෝගීතාවය වැදගත් සහ ඒ වෙනුවෙන් ශ්‍රමය වැගිරීම තුළින් අප ඉගෙන ගෙන තිබෙන්නේ උපයෝගීතාවයක් වෙනුවෙන්ම නොවන වැඩ අප විසින් සිදු කර ඇති බවයි. නිර් – උපයෝගීතාමය දෙයක් වෙනත් සතුන්ගෙන් අපට දැකගත නොහැක. නමුත් මෙහිදී නිර් – උපයෝගීතාවය වැදගත් දෙයක් බවට පත් වන්නේ දේවල් දේවල් ලෙසට අගය කිරීම නිසාය. දෙයක් දෙයක් ලෙසට අගය කරන්නේ චිත්‍රයේදී  මිස අප වාඩි වන පුටුවේ දී නොවන බව අප මතක තබා ගත යුතුය. නමුත් ධනවාදයට අවශ්‍යය වන්නේ මෙම අඩවිය විනාශ කර දැමීමටයි.  වචන වලින් කියන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ අපව ‘උපකරණ’ බවට පත් කිරීමටය. කලාවේ කාර්ය වන්නේ මෙම කරණීය තර්කනය බිඳ දැමීමයි. එයට අනුව සිදුවන්නේ මිනිසා මිනිසා ලෙසට අගය කිරීමයි.

මේ සම්බන්ධව අපට විශාල කලාපයක් හයිඩෙගරියානු දර්ශනයත් ඒ සම්බන්ධව ග්‍රැහැම් හාර්මන් ගෙන ආ අදහස් පද්ධතියත් ලබා දෙන බව සලකා බැලිය හැකිය. අපට හසල්ගේ දර්ශනය හඳුනාගත හැකි එක් ආකාරයක් නම් ඔහුගේ ප්‍රපංචවාදයයි. හසල් ට වුවමනා වූයේ දේවල් අපට ගෝචර වෙන ආකාරය කුමක්ද කියා පෙන්වා දීමයි. නමුත් හයිඩෙගර් ඊට පරස්පර වන අතර ඔහුට අනුව න්‍යායට ප්‍රපංච පැහැදිලිව විස්තර කළ නොහැක. න්‍යාය ද්විත්යීකය. එයට අනුව න්‍යාය බිහි වන්නේ අප නිරීක්ෂණය නොකළ පසුබිමකිනි. වෙනත් ආකාරයකට කියන්නේ නම් එහි ඇත්තේ පූර්ව න්‍යායික පදනමකි. හයිඩෙගර්ට අනුව ඩෙකාර්ට්ගේ සිට කේන්ද්‍රයේ සවිඥානික නිරීක්ෂකයෙක්, සවිඥානික පුද්ගලයෙක් සිටී. ඔහුට ලෝකය පෙනෙන බව ඉන් අදහස් වේ.එය  විශ්වයේ කේන්ද්‍රයයි. ඔහුට පෙනෙන ලෝකය අපට දාර්ශනිකව හමුවිය හැකි බව හසල්ගේ අදහසයි. පැහැදිලි ලෙසටම හයිඩෙගර් මෙම අදහස ප්‍රතික්ෂේප කරන අතර  ඔහු ගොනු කරන්නේ ඔන්න – ඔතන – පැවැත්මක් ( ඩාසයින්) නම් අදහසයි. එනම් මිනිසා යනු ලෝකය තුළ සිටින මිනිසායි. නිරීක්ෂකයෙක් වෙනුවට මිනිසා යනු මනසට සවිඥානික  වීමට බොහෝ පෙර තිබෙන්නා වූ සන්දර්භයකට අත්හැර දමන ලද පුද්ගලයෙකි. ඔහු ලෝකයේ උපකරණ භාවිතා කරයි. ඔහු ඒවා නිරීක්ෂණය කරයි. නමුත් ඔහුව සන්දර්භයට තල්ලුකර දමා ඇත. සවිඥානිකත්වය යථාර්ථයේ කුඩා කොටසකට පමණක් ඌනනය වේ. සවිඥානිකත්වය යථාර්ථයේ පැත්තකට දමනු ලබයි. ඔහු ඒ වෙනුවට ගෙන එන්නේ ප්‍රායෝගිකව දේවල් හසුරුවන හා දේවල් වලට මුහුණ දෙන ආකාරයයි. නමුත් මේ නිසා විශ්ලේෂි දර්ශනය වෙතින් හයිඩෙගර්ව උපයෝගීතාවාදියෙක් ලෙසට ඌනනය කිරීමට උත්සහ ගනු ලබයි.

නමුත් ග්‍රැහැම් හාර්මන් ප්‍රධාන වශයෙන්  හයිඩෙර්ගරියානු විවේචකයෙක් වුවත් ඔහු හයිඩෙගර්ව මෙම උපයෝගීතාවාදියා යන්නෙන් ගලවා ගනු ලබයි. ඔහු දක්වන්නේ හයිඩෙගර් පිළිබඳ තිබෙන උපයෝගීතාවාදී අර්ථකථන වල බහුගණනය නිසා එක් වාසියක් වී ඇති බවයි. එනම් විශ්ලේෂි දර්ශනය තුළ කිසිවකුට නොතේරෙන කවියෙක්, ගුඪවාදියෙක්, මානසික නොවන ප්‍රතියථාර්ථවාදියෙක් ලෙස හයිඩෙගර්ව හඳුනාගෙන තිබෙන බවයි. ඇමරිකාව තුළ ප්‍රධාන  හයිඩෙගර් අර්ථකථනකරුවා වන්නේ හර්බට් ඩ්‍රෙෆර්ස්ය.නමුත් අපට මෙහිදී වැදගත් වන්නේ මාර්ක් ඔක්‍රන්ට්ය. ඔහුට අනුව හයිඩෙගර්ගේ වචන මාලාවේ රජ කරනා වචනය වන්නේ ‘පැවැත්ම’ නොවන අතර ඔහුට අනුව එම වචනය වන්නේ ‘ අවබෝධයයි’. ඔක්‍රන්ට්ට අනුව අවබෝධය යනු ප්‍රායෝගික දේවල් කිරීම සඳහා තිබෙන හැකියාවයි. මිටිය යනු තැලීම, කැඩීම ආදී ලෙස මිටියේ පාවිච්චිය අවබෝධකර ගැනීමයි.  ඔක්‍රන්ට්ට අනුව එවන් අවබෝධයක් සෑම  මොහොතකටම , සෑම තැනකටම වලංගුය. නමුත් මෙහිදී පරස්පරයක් මතු වේ. එනම් මිනිසුන් සෑම විටම මෙසේ නොහැසිරෙන අතර මිනිසුන් අලුත් දෑ දැක ව්‍යාකූල වේ. අප අලුතින් අලුත් වාහනයක් ගත් විට අප ව්‍යාකූල වීම මෙයට හොඳ උදාහරණයකි.  මෙම විරුද්ධාභාසයට ඔහු දෙන පිළිතුර වන්නේ, මිනිසුන් අවසාන විග්‍රහයේ දී අවබෝධ කරගන්නේ උපකරණ ( මිටිය, වාහනය ) නොව මිනිසුන් අවබෝධ කරගන්නේ තමන්වම බවයි.. හයිඩෙගර් දක්වන්නේ අවසානයේ මම කවුද ? කියන දේ පරම දැනුමකින් අවබෝධ කරගත හැකි බවයි. තමා පිළිබඳ දැනුම පරමයි. පරිබාහිර ලෝකය හයිඩෙගර් විසින් කියවන්නේ උපයෝගීතාවාදයක් ලෙසයි. එය පරම නොවන අතර එය අපට වටහා ගත හැක්කේ භාවිතය තුළිනි.

නමුත් හාර්මන් මෙම කරුණු ආශ්‍රයෙන් අපට පෙන්වා දෙන්නේ උපයෝගීතා දැනුම පිළිබඳව හයිඩෙගර්ට ගෙන එන විවේචනය සංගත නොවන බවයි. හයිඩෙගර්ට අනුව යථාර්ථය තල්ලු කළ දෙයකි. අපට එය වටහා ගත හැක්කේ එලෙසයි. අප ඇවිදින විට අපට සපත්තුව තිබෙන බව හසු නොවේ. නොදැනේ. නමුත් එය ඉදිරිපිට ගත හැකි පැවැත්මක් වූ විට එයට අවධානය යොමු වේ. භාවිතය තුළ එය අපට සැඟවී නොසැඟවී තිබේ. හයිඩෙගර් මේවා වටහා ගන්නේ උපකරණමය ලෙසයි. දැන් අපට පැහැදිලිව හඳුනාගත හැක්කේ ගෝලීයව මෙම උපයෝගීතාවය පිළිබඳව සිදුව ඇති සංවාදය ලංකාවට තවමත් ආගන්තුක බවයි. නමුත් ලංකාවේ බොහෝ විට උපයෝගීතාවය කේන්ද්‍රකරගත් අධ්‍යාපනය, සම්බන්ධතා, දේශපාලනය, ආර්ථිකය විසින් සියල්ල උඩු යටිකුරු කර ඇත. පෙම්වතියකට ආදරය කරන්නේ නිර් – උපයෝගීතාවයෙන් ද යන්න සලකා බැලිය යුත්තේ එබැවිනි. ඇයගේ ශරීරය, ඇගේ රැකියාව, ඇගේ ක්‍රියාශීලී බව ආදී සියල්ල අතහැරිය පසුත් ඔබට ඇයට පෙම් කළ හැකි ද ? මාරියෝ වර්ගාස් ලොසා විසින් විසේකාරී නවකතාව තුළ අපට පෙන්වා දෙන්නේ එම සත්‍යයි. එහි තරුණයා සියල්ල විනාශ වූ සහ තමන්ගේ ස්ත්‍රී ලිංගය පවා විනාශ වූ තරුණියට ඔහු ආලය කරයි. එහි ඇත්තේ නිර් – උපයෝගීතාවයකි. අද දවසේ සීග්‍රයෙන් මානව ශාස්ත්‍ර, කලා පීඨ, සෞන්දර්ය අධ්‍යාපනය වැසී යාම තුළ අපට පෙන්වා දෙන්නේ ගෝලීයවම ලෝකය යොමු වන්නේ උපයෝගීතාවයක් ලබා ගැනීම තකා මිනිසා නිපදවීම කෙරෙහි බවයි. අද දවසේ අධ්‍යාපන අරගලයේ දී අප වඩාත් උලුප්පා පෙන්විය යුතු වන්නේ මෙම නිර් – උපයෝගීතාවය අධ්‍යාපනයේදී කෙතරම් වැදගත් වනවා ද යන්නයි. උපකරණමය මිනිසාගෙන් කිසි විටක නව චින්තනයක් හෝ යුග පෙරලියක් බලාපොරොත්තුවිය නොහැක. එසේ වීමට අවස්ථාවක් නොමැත.හයිඩෙගරියානු උපකරණ විශ්ලේෂණය අප සංකීර්ණව බාර ගත යුත්තේ එහි අවසානයේ ඔහු පෙන්වා දෙන්නේ, මිනිසා කේන්ද්‍ර වූ ලොකයේ මිනිසා උපකරණයක් නොවන බව පෙන්වා දෙන නිසාය.

-එරන්ද මහගමගේ-

Advertisements