el_lissitzky

කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස මගින් අර්ථවත් වන දේ සඳහා තිබෙනා ජනප්‍රිය අර්ථය විය හැක්කේ කුමක්ද? මෙවැනි ප්‍රශ්න වලට ‘පරම’ පිළිතුරක් නිර්මාණය කිරීම කළ නොහැකි බව අපි දනිමු. නමුත් මෙයින් අදහස් කරන්නේ එයට පිළිතුරක් නොමැති වන බව නොවේ. ඇත්තටම එයට තිබෙන්නේ ඉතාම සරල පිළිතුරකි. ඒ තමයි, මේ ලෝකයේ බොහෝ දෙනෙකුට අනුව, කොමියුනිස්ට්වාදය යනු ‘ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි, සම්පත් සමානව බෙදී යාම නියාමනය කරනා සමාජයකි’ යන්නයි. දශක ගණනක ධනවාදී දෘෂ්ඨිවාදී යාන්ත්‍රණය මගින් අපට ස්වභාවිකකරණය කර තිබෙන කොමියුනිස්ට්වාදය පිළිබඳ අදහස වන්නේ මෙයයි.

නමුත් උපරිම වශයෙන් ගත්විට, අපට පැවසිය හැක්කේ මෙය අර්ධ සත්‍යයක් වන බවයි. කොමියුනිස්ට්වාදය මගින් යෝජනා කරනා සාමූහික ප්‍රජාව පිළිබඳ අදහස ගැන සිය ශ්‍රේෂ්ඨ විශ්ලේෂණය තුළ ජොන්-ලක් නොන්සි (Jean-Luc Nancy – ප්‍රංශ හෛඩගරියානු/ඩෙරීඩියානු ගුරුකුලයේ සමකාලීන අනුප්‍රාප්තිකයා මොහුයි) විසින් අපට මතක් කර දෙන පරිදි, අවම වශයෙන්, මාක්ස් ගේ නිර්වචනය මෙයට සීමා වූයේ නැත. මිනිස් අවශ්‍යතාවයන් සාමූහිකව නියාමනය කිරීම යන්නට ඔබ්බෙන්, කොමියුනිස්ට්වාදය විසින් නියෝජනය කළේ අතිරික්ත ශ්‍රමය, සූරාකනු ලැබූ ශ්‍රමය බවට පත්වනවා වෙනුවට එය කලාව සහ නව නිපැයුම් බවට පත්වීමයි. කොමියුනිස්ට්වාදය මගින් නියෝජනය කළ පරිපූර්ණ නිදහස, සම්ප්‍රදායට හෝ අවසන් කළ අර්ථයට හෝ සීමා කළ නොහැකි අතිරික්තය, සහ පුද්ගලවාදයට ඌණනය කළ නොහැකි පරමානන්දය අපට හමු වන්නේ මෙම ලක්ෂ්‍යය තුළයි. අවාසනාවකට, නොන්සි ට අනුව, කොමියුනිස්ට්වාදය පිළිබඳ මේ අදහස කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඓතිහාසික නායකයන්ට – ලෙනින්, ස්ටාලින් සහ ට්‍රොට්ස්කි ඇතුළු – මුළුමනින් අවබෝධ වූ දෙයක් නොවීය.

නමුත් එය අපට හඳුනා ගත හැකි නිශ්චිත මොහොත වන්නේ ඔක්තෝම්බර් විප්ලවයේ මූලාරම්භය තුළ අපට හමුවන කලාත්මක – කවිය තුළ, සිනමාව තුළ, චිත්‍රය තුළ – මහා පුපුරා යාම තුළයි. වාසිලි කැන්ඩින්ස්කි, කාසිමීර් මැලවිච්, ඇලෙක්සැන්ඩර් රොඩ්චේන්කෝ, ව්ලඩ්මියර් ටැට්ලින් වැනි නම් හරහා මෙන්ම ‘සුප්‍රමටිස්ම්’, ‘කන්ස්ට්‍රක්ටිවිස්ම්’ වැනි ව්‍යාපාර හරහා ද අපට මුණ ගැසෙන්නේ මෙයයි. සිතාමතාම ඉතාම මෝඩ ආකාරයකින් ප්‍රශ්නය ලියා තැබුවහොත්, එය මෙසේයි: ජොන්-ලක් නොන්සි ට අනුව ඔක්තෝම්බර් විප්ලවයේ රැක ගත යුතු උරුමය අපට හමු වන්නේ ඉහත නම් ලැයිස්තුව හරහා වන්නේ ඇයි?

අවම වශයෙන් ඔහු මේ මගින් කියන්නේ කුමක්ද වටහා ගැනීමට උත්සාහ කිරීම වැදගත් නොවේද?

මෙවැනි දේ ගැන කිසිදු අවබෝධයක් ලබා නොගන්නෙක් කොමියුනිස්ට්වාදය පිළිබඳව සමකාලීන සංවාදයට කුමන ආකාරයේ එකතු කිරීමක් කරනු ඇතිද?

රුසියානු විප්ලවය නැවත කියවීමේ සංවාද මාලාවක පළමුවැන්න අද (පෙබරවාරි 2 දා) පැවැත්වේ. වැඩි විස්තර, මෙතැනින්.

නොන්සි ගේ මෙම අදහස සඳහා බලන්න – Nancy, J-L, (1991), “The Inoperative Community”, ed. Connor, P., Minneapolis, University of Minnesota Press, p. 7

kandinsky-several-circles

malevich_cavalry

rodchenko-alexander-1918-constructon

vladmir-tatlin-tower

Advertisements