the_blindfolded_man-marlene-dumas1

මාලබේ පුද්ගලික වෛද්‍ය උපාධි ලබා දෙන ආයතනයට එරෙහි අරගලය – අපි එය මෙතැන් සිට ‘සයිටම් විරෝධී අරගලය’ ලෙස නම් කරමු – ලාංකික දේශපාලන සංවාදය හරි මැදින් බෙදුම් රේඛාවක් අඳිමින් තිබෙනා බව පැහැදිළි වේ. මෙම අරගලයේ තිබෙනා පළමු වැදගත්කම, සමහරවිට, මෙය විය හැක. ‘යහපාලන ආණ්ඩුව’ සහ ‘පොදු විපක්ෂය’ ලෙස නම් කරනා අතිශයින් සීමාසහිත තෝරා ගැනීම් දෙක අතික්‍රමණය කළ නව ආකාරයක බෙදීමක් මේ අරගලය හරහා සලකුණු වෙමින් තිබේ. ඒ අනුව, මෙම අරගලය ඉදිරියේ තමන් පෙනී සිටිනා ආස්ථානය නිවැරදි ලෙස දැක්වීමෙන් ගැලවීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ.

එම අර්ථයෙන් ගත්විට සයිටම් විරෝධී අරගලය යනු තවදුරටත් එම නිශ්චිත මත ගැටුමේ පරාමිතීන් තුළින් පමණක් තේරුම් ගත නොහැකි දෙයක් බවට පත්ව තිබේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, සයිටම් විරෝධී අරගලය මගින් නියෝජනය කරන්නේ පාර්ශව දෙකක් – නිදර්ශනයක් ලෙස, ‘දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්‍ය අධ්‍යයන ආයතනය’ සහ ‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාව’ – අතර තිබෙනා බල අරගලයක් පමණක් නොවේ. ඒ වෙනුවට, එය පුළුල් අරුතින් අධ්‍යාපනය සඳහා තිබෙනා අර්ථය තීරණය කරන්නේ කෙසේද කියනා වඩා ගැඹුරු අරගලයක ලාංකික සංකේතය බවට පත්ව තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ අරගලය මගින් නිරූපණය කරනා ප්‍රශ්නය හුදු වෛද්‍ය උපාධි ලබා ගැනීම සඳහා මිනිසුන්ට ඇති අයිතිය වැනි දෙයක් දක්වා ඌණනය කිරීම තවදුරටත් ප්‍රයෝජනවත් නොවේ. මුදල් වියදම් කිරීමට හැකියාව තිබෙනා පුද්ගලයන් මුදල් ගෙවා උපාධි ලබා ගැනීමෙන් කාටවත් වෙන හානිය කුමක්ද කියා ඇසීමෙන් වටහා ගත නොහැකි වන්නේ මෙයයි.

අවසාන අරුතින් ගත්විට, මෙහි මූලික ප්‍රශ්නය වන්නේ අධ්‍යාපනය යනු ලාභ ලැබීමට හැකි, අතිරික්තය ජනනය කිරීමට හැකියාවක් ඇති අවකාශයක් ලෙස සමකාලීන ධනවාදය විසින් හඳුනා ගැනීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය යන අදහසේ සිදු වන මූලධාර්මික ජානමය පරිවර්තනයයි. අපි මෙහි අර්ථය ඉතාම සරල ලෙස පැහැදිළි කර ගනිමු.

සම්ප්‍රදායිකව, අධ්‍යාපනය යන්න සඳහා තිබුණු අර්ථය නිර්වචනය කළ හැකි සරලම ආකාරයක් වන්නේ යහපත් මිනිසෙක් නිර්මාණය කිරීම යන්නයි. පාසලක දී ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා උගන්වන්නේ විෂයමාලාවල අන්තර්ගත දැනුම පමණක් නොව, යහපත/අයහපත පිළිබඳ වූ පොදු සමාජ අදහසයි. ප්ලේටෝ ගේ ඇකඩමියේ සිට නූතන ලෝකයේ විශ්ව විද්‍යාලය දක්වා වර්ධනය වූ අධ්‍යාපන සම්ප්‍රදාය මගින් අකණ්ඩව ගෙන ආ, අධ්‍යාපනය පිළිබඳ අදහසේ ප්‍රාථමික මූලධර්මය වන්නේ මෙයයි.

සොක්‍රටීස් ගේ නඩු විභාගය පිළිබඳව ප්ලේටෝ ලියා ඇති වාර්තාව, අධ්‍යාපනය පිළිබඳ අදහසේ මෙම මුල් අරුත වටහා ගැනීම සඳහා අපට තිබෙනා ශ්‍රේෂ්ඨතම ලියවිලි වලින් එකකි. අප දන්නා පරිදි සොක්‍රටීස් හට එල්ල වන චෝදනාව වන්නේ නගරයේ තරුණයන් ගේ මනස දූෂණය කිරීමයි. මෙයට ප්‍රතිචාර ලෙස තමා ගේ භූමිකාව සොක්‍රටීස් විසින් පැහැදිළි කරනු ලබන්නේ මේ ආකාරයටයි:

‘මා මිය යන තුරු ඉගැන්වීම සහ එය භාවිතයට ගැනීම අත් හරින්නේ නැත. මට හමු වන සෑම කෙනෙක්ගෙන්ම මා අසන්නේ මෙම ප්‍රශ්නයයි: ශ්‍රේෂ්ඨ වූත්, බලවත් වූත් බුද්ධිමත් වූත් ඇතන්ස් නගරයේ පුරවැසියෙක් වන ඔබ, මා මිතුර, ඇයි ඔබ මේ තරම් මුදල් එකතු කිරීමට, ගරු නම්බු නාම ලැබීමට සහ ජනප්‍රිය වීමට ආස කරන්නේ? අනෙක් අතට ඇයි ඔබ බුද්ධිය සහ සත්‍යය මෙන්ම ඔබගේ අධ්‍යාත්මික වර්ධනය මෙතරම් අඩුවෙන් සලකන්නේ? ඔබ ඒ ගැන සිතන්නේවත් නැහැ නේද? ඔබට මේ ගැන ලැජ්ජා නැතිද?’

අධ්‍යාපනය නම් අදහස වෙත ප්‍රාග්ධනය මැදිහත්වීම මගින් සිදු වන දෙය වටහා ගත හැකි පහසුම ආකාරයක් වන්නේ මෙම ප්‍රශ්නය උඩු යටිකුරු කිරීම මගින් ඇති වන ප්‍රතිඵලය සිතා බැලීමයි. එම මැදිහත්වීම මගින් එම අදහසේ ජානමය පරිවර්තනයක් සිදු කරනා බව ඉහතින් සඳහන් කළේ එම නිසාය. එමගින් සිදු කරන්නේ අධ්‍යාපනය සඳහා තිබෙනා මෙම සොක්‍රටීසියානු අර්ථකථනයට විවෘතව එරෙහිව යමින් එහි ප්‍රතිපක්ෂය වෙනුවෙන් පෙනී සිටීමයි. අවශ්‍යනම්, නාටකීය ලෙස, අපට එය මෙලෙස ලිවිය හැකිය:

‘මට ලැජ්ජ නැහැ සොක්‍රටීස්! මම හොයාගෙන යන්නේ මුදල්, ගරුනම්බුව සහ ජනප්‍රියත්වය විතරයි. ඒ යන ගමන තුළ බුද්ධිය සහ සත්‍යය ලැබෙනවානම් ලැබිච්ච දෙන්. ඒවා වැඩිම උනොත් මගේ ද්වීතීක අරමුණු පමණයි’.

මෙම ක්‍රියාවලියේ ප්‍රායෝගික ප්‍රතිඵලය කුමක්ද කියා වටහා ගැනීම එතරම් අපහසු නොවේ. අධ්‍යාපනයේ ඉලක්කය වන්නේ මුදල් හම්බ කිරීම, ගරු නම්බු ලැබීම සහ ජනප්‍රිය වීම වන නිසා ඒවා සඳහා අවශ්‍ය නොවන දේ තවදුරටත් අධ්‍යාපනය තුළ තිබිය යුතු නොවේ. ඒ අනුව සම්ප්‍රදායිකව අධ්‍යාපනය තුළ ඉතාම වැදගත් තැනක් උසුලන ශුද්ධ විද්‍යාවන් ගේ සහ කලාවන් ගේ සිට මානව ශාස්ත්‍ර අධ්‍යනයන් දක්වා පුළුල් විෂය කේෂ්ත්‍රයක් අධ්‍යාපනයෙන් පළවා හරිනු ලබයි. ඒ වෙනුවට ආදේශ වන්නේ පරිඝණක අධ්‍යනය, ගණකාධිකරණය, කළමනාකරණය, වෙළඳ ප්‍රචාරණය වැනි දේවල්ය. අද වන විට අප ලෝකය පුරා අත්දකිමින් සිටින්නේ මෙම ක්‍රියාවලිය නොවේද?

ප්‍රාග්ධනය මැදිහත්වන ඕනෑම තැනකදී – එය අධ්‍යාපනය වුවත්, සෞඛ්‍යය වුවත්, පොදු ප්‍රවාහනය වුවත් – එයට තිබෙන්නේ එකම අරමුණකි. ඒ තමයි අතිරික්තය ජනනය කිරීම. අධ්‍යාපනය නම් අවකාශයේදී එමගින් සිදු වන්නේ අධ්‍යාපනය යන්න රැකියා ලබා ගැනීමට අවශ්‍ය කරන පුහුණුවක් බවට ඌණනය වීමයි. ඉගෙන ගැනීමට මිනිසුන් වැඩිපුර සම්බන්ධ වන්නේ එම ඉගෙන ගැනීම අවසානයේදී වඩා සුරක්ෂිත රැකියාවක් තිබෙන්නේ නම් පමණි කියා මේ මගින් උපකල්පනය කරයි. එනිසා එවැනි රැකියා සුරක්ෂිතබවක් නැති – ශුද්ධ විද්‍යාවන්, මානව ශාස්ත්‍ර අධ්‍යනයන් වැනි – දේ ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් නොමැත; එනිසා එවැනි දේ උගන්වන තැන් සඳහා ප්‍රාග්ධනය මැදිහත් වන්නේ නැත. ලෝකයේ මේ ආකාරයේ දේවල් වලට එරෙහි විශාල කප්පාදුවක් ඇති වන්නේ මේ සමස්ත ක්‍රියාවලිය නිසාය. නමුත් අප දුටු පරිදි අධ්‍යාපනය පිළිබඳ තිබුණු සම්භාව්‍ය අර්ථයෙන් වඩා වැදගත් වූයේ මේ ආකාරයේ – මූල්‍යමය වටිනාකම් අඩු – අධ්‍යාපනයයි. ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට අධ්‍යාපන අවකාශය මුළුමනින් යටත් වීම යනු ඉදිරි දශක වලදී මේ ආකාරයේ අධ්‍යාපන සම්ප්‍රදායන්, ඒවා හදාරන ස්ථාන ලෝකයෙන් අතුරුදහන් වීමයි.

මේ මගින් මිනිසත්බව පිළිබඳ ලබා දෙන නිර්වචනය වන්නේ මිනිසා යනු වෙළඳපොලේ තිබෙනා භාණ්ඩ පරිභෝජනය කිරීම සහ එයට අවශ්‍ය මුදල් සෙවීම සඳහා සිය ශ්‍රම ශක්තිය විකුණන කෙනෙක් පමණක් වන බවයි. වඩාත් නිවැරදිව කියන්නේනම්, මෙයට අනුව මිනිසත්බවේ ගැඹුරුම සාරය ලෙස හඳුන්වන්නේ මෙයයි: මිනිසා යනු විකිණීමට සහ මිලට ගැනීමට ඇති පැවැත්මකි. මිනිස් ශිෂ්ඨාචාරයේ දැවැන්ත සම්ප්‍රදයාන් බිහි කර තිබෙනා අපගේ මූලධාර්මික සොයා යාම් සියල්ල – තමන්ගේ මරණයෙන් පසු යථාර්ථය පිළිබඳව සිතීමේ හැකියාව, සුන්දරත්වය පිළිබඳව සිතීමේ හැකියාව, යහපත පිළිබඳව සිතීමේ හැකියාව – මේ මගින් ඇද දමන්නේ නොවැදගත්බවේ ද්වීතිකත්වය වෙතයි. සමස්තයක් ලෙස අධ්‍යාපනය විසින් රැකගත් ඓතිහාසික උරුමය වන්නේ මෙම මූලධාර්මික සොයා යාම් ඇතුලත් වූ සම්ප්‍රදායයි. ප්‍රාග්ධනයේ මැදිහත්වීමෙන් අවසානයේදී අභියෝගයට ලක් වන්නේ අධ්‍යාපනයේ මෙම ඓතිහාසික උරුමයයි. අධ්‍යාපනය මේ ආකාරයට ධනේශ්වරකරණය වීමට එරෙහිව ප්‍රතිරෝධය දැක්විය යුත්තේ මෙම ක්‍රියාවලිය නැවත්වීම සඳහාය.

සයිටම් විරෝධී අරගලය යනු මේ මොහොතේ මෙම පුළුල් ප්‍රශ්නය, මෙරට, ප්‍රායෝගිකව ප්‍රකාශමාන වන ලක්ෂ්‍යයයි. අප අරගල කළ යුත්තේ අධ්‍යාපනය යන අදහස තුළ ප්‍රාග්ධනයේ මැදිහත්වීමෙන් සිදු කරනා ජානමය පරිවර්තනයට එරෙහිවයි. මුදල් ගෙවා ඉගෙන ගන්නට ඉඩ දීම යන්න වෙනත් ආකාරයකට පරිකල්පනය කිරීම අනිවාර්ය ලෙස නරක දෙයක් නොවේ. කළ යුතු වන්නේ එම මුදල් පවත්නා සුභ සාධන අධ්‍යාපන යාන්ත්‍රණයේ වර්ධනයට දායක වන ලෙස එකතු කරගත හැකි ආකාරය සිතා බැලීමයි. නමුත් එයට පෙර අධ්‍යාපනය පිළිබඳ අදහස ප්‍රාග්ධනයේ තර්කණයෙන් නිදහස් කර ගැනීමට අරගල කළ යුතුය. නැතිනම් ‘සත්‍යය, සුන්දරත්වය, යහපත’ පිළිබඳ සමාජ පරිකල්පනය – අධ්‍යාපනය පිළිබඳ අදහසේ සොක්‍රටීසියානු උරුමය වන්නේ මෙයයි – මුළුමනින් අතුරුදහන් වීමේ අනතුර අප ඉදිරියේ තිබේ. එවැනි අවකාශයක සමාජයේ විසංවාදයන් පුපුරා යනු ඇත්තේ කෙසේද කියා පුරෝකථනය කිරීම එතරම් පහසු නොවේ. නමුත් එය එතරම් සුභවාදී ආකාරයක් නොවන බව පමණක් කිව හැකිය.

එම අර්ථයෙන්, ‘මාලබේ හොර උපාධි කඩය අහෝසි කරනු’ කියන – ‘සෞන්දර්යාත්මක’, ‘නාගරික’, ‘කාව්‍යාත්මක’ ගුණයන්ගෙන් තරමක් හීන වූ – සටන් පාඨය යටතට පෙළ ගැසීම මේ මොහොතේ අපට මග හැරිය හැකි දෙයක් නොවේ.

Advertisements