ewa-juszkiewicz

දෘෂ්ඨිවාදය යන සංකල්පයට බැලූ බැල්මට තරමක් වෙනස් අර්ථකථනයක් ක්වෙන්ටින් මෙයසූ ගේ දර්ශනය තුළ හමු වේ. ඒ අනුව දෘෂ්ඨිවාදය යනු කිසියම් දේශපාලන අවස්ථාවක්, මේ තිබෙන ආකාරයෙන් තිබීම අනිවාර්ය වන බව සිතීමයි. නිදර්ශනයක් ලෙස මේ රටේ බහුතරය සිංහල-බෞද්ධයන් වීම නිසා එය එසේම තිබිය යුතු වේ කියා පැවසීම දෘෂ්ඨිවාදී වේ. මන්ද, එය එලෙසම පැවතීමට සහ රැඩිකල් ලෙස වෙනස් නොවීමට අපට පරම වූ හේතුවක් පෙන්වා දීමට නොහැකි වේ. සමාජ යථාර්ථය මේ තිබෙනා ආකාරයෙන් පැවතීමට පරම වූ හේතුවක් තිබෙන්නේයැයි විශ්වාස කිරීම දාර්ශනික අරුතින් ගත්විට පූර්ව-කාන්ටියානු අගතියකි. අපට අත්දැකිය හැකි ලෝකය අපට සාපේක්ෂ වන්නක් වේ යන්න දාර්ශනිකව ප්‍රතික්ෂේප කිරීම පහසු නොවේ. මෙම අදහස නිශ්චිතව ම ස්ථාපිත වන්නේ නලින් ද සිල්වා හරහා නොව ඔහුට සියවස් දෙකකට පෙර සිටි ඉමානුවෙල් කාන්ට් හරහාය.

ගැටලුව වන්නේ, අපට කිව හැක්කේ ලෝකය අප අත්දකිනා ආකාරය අපට සාපේක්ෂ ලෙස නිවැරදි වන බව පමණක් නම්, අපගේ සාපේක්ෂ අත්දැකීමට ගෝචර නොවන ලෙස එම ලෝකය රැඩිකල් ලෙස පරිවර්තනය වීම අපට ප්‍රතික්ෂේප කළ හැකි නොවීමයි. මේ ලෝකය මේ ආකාරයට ම තවදුරටත් පැවතීම සඳහා අපට පරම වූ හේතුවක් ඉදිරිපත් කළ නොහැකි වන්නේ එම නිසාය. එවැන්නක් කිරීම සඳහා ලෝකය තිබෙනා පරම වූ ආකාරය අප දැන ගත යුතු වේ. නමුත් එවැන්නක් අපට කළ නොහැකි නිසා එය පරම ලෙස වෙනස් වීමේ හැකියාව ද අප එක හා සමාන ලෙස බාරගත යුතු වේ. දෘෂ්ඨිවාදය පිළිබඳව මෙයසූ ලබාදෙන පිරිමැසුම්කාරී පැහැදිළි කිරීම පදනම් වන දාර්ශනික අදහසේ සරල අර්ථය මෙයයි. ඒ නිසා දේශපාලනය අහඹු ලෙස, සිතා ගත නොහැකි ආකාරයට, වෙනස් වීමේ සැබෑ වියහැකිබව පිළිබඳව සංවේදී නොවන දේශපාලන විශ්ලේෂණයන් පවතින්නේ දැඩි අනතුරකයි.

මෙම අනතුර වත්මන් ලාංකික දේශපාලනයට වඩාත් සමීප බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. මේ වන විට මෙරට තිබෙන්නේ නිශ්චිත බල කේන්ද්‍රයක් නොමැති මුදු අරාජිකත්වයක් තුළයි. එවැනි තත්වයක් යටතේ අපට මේ මොහොතේ පුරෝකථනය කළ නොහැකි ප්‍රචණ්ඩ අනුක්‍රමණයන් ඇති වීම මුළුමනින් ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. ඉතාම මෑත ඉතිහාසයේදී අප අත්දුටු සිරියානු අත්දැකීම තවමත් අවසන් වී නොමැත. ප්‍රමාණාත්මක ව කුඩා ගැටුමකින් ආරම්භ වූ සිරියානු යුද්ධය විසින් සමාජයේ පැවති පසමිතුරුතා ඉහළ තීව්‍රතාවයකින් යුතුව ප්‍රකාශමාන කළේ ඉතාම කෙටි කලකිනි (වැඩි විස්තර සඳහා මෙතෙන්ට යන්න). මෙරට තිබෙනා මුදු අරාජිකත්වය තුළ උතුරේ දේශපාලනය මෙන්ම දකුණේ තරුණ ක්‍රියාකාරීකත්වයන් කුමන ආකාරයකට ප්‍රකාශමාන වනු ඇති ද යන්න කිසිවෙකුට සම්පූර්ණයෙන් සැලසුම් කළ හැකි නොවේ.

අජිත් පැරකුම් ජයසිංහ මිතුරා ගේ W3Lanka බ්ලොග් අඩවියේ පළමුව පළ වූ පහතින් දැක්වෙන රචනය කියවීම ඉතාම වැදගත් වන්නේ එම නිසාය. මෙහි තිබෙනා සමහර ඉඟි කිරීම් – නිදර්ශනයක් ලෙස ‘හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම’ වැනි යෙදුම් – සමග අප මුළුමනින් එකඟ නොවේ. අප දේශපාලනිකව සයිටම් ආයතනය මගින් මේ මොහොතේ සංකේතවත් කරනා අධ්‍යාපනය ප්‍රාග්ධනයේ තර්කණයට යටත් කිරීමට ඉතා පැහැදිළිව විරුද්ධ වෙයි (මේ ගැන පැහැදිළි කිරීමක් සඳහා මෙතෙන්ට යන්න). එමෙන්ම, මෙම රචනය තුළ විශ්ලේෂණය කරනා සයිටම් ආයතනයේ නිලධාරියාට වෙඩි තැබීම කෙසේ සිදු වූයේ ද කියා අප දන්නේ නැත. නමුත් අප දන්නා එකම දේ වන්නේ මෙය භයානක අවසානයකට යා හැකි බව පමණි. මෙම රචනය නැවත පළ කරන්නේ මේ පිළිබඳව සංවේදී බව වැඩි කිරීම මේ මොහොතේ යහපත් වන නිසාය. විශේෂයෙන් අප සමග සිටින තරුණ පරම්පරාව මෙය කියවීම වැදගත් කියා අපි සිතමු. ඒ, අනවශ්‍ය බියකින් කුටුම්භගත වීමට නොව, වියහැකි අනාගතයන් ගැන සංවේදී වීමටයි.

***

මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කරන්නට පටන් අරගෙන ද?

සයිටම් ප්‍රධාන විධායක නිලධාරිගේ රියට වෙඩි තැබීමේ ‘කුමන්ත්‍රණය’ ගැන අප නම් කිසිවක් දන්නේ නැත. එහෙත්, ඒ ගැන සියල්ල දන්නා බව කියමින් ඇතැමෙක් පුවත්පත් සාකච්ඡා ද පවත්වති. දන්නා අය සාක්ෂි ඇතිව සිදු වූ සිද්ධිය ගැන විමර්ශන අංශවලට තොරතුරු දන්වන්න.

මේ ගැන දේශපාලනිකව නම් අපට කීමට තිබෙන්නේ මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කිරීම ආරම්භ වී තිබෙන බවයි. මේ යෙදුම සම්බන්ධයෙන් මා අපගේ පැරණි දේශපාලනික මිතුරකුට ණයගැති ය. අප එම දේශපාලන කණ්ඩායමෙන් කැඩී වෙනම වැඩ කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එම පුද්ගලයා කීවේ මෙසේ මස් කටින් කතා කරන්නට සිදු වී තිබෙන්නේ උතුරෙහිදී මෙන් තුවක්කු කටින් කතා නො කරන නිසා බවයි.

හොරාට කලින් කෙසෙල් කැන වැට පනින කතාව ඔබ අසා තිබේ ද? මෙම වෙඩි තැබීම පිළිබඳ විවිධ ප්‍රකාශ පුවත්පත් සාකච්ඡා හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන අය ගැන මම නම් විමසිල්ලෙන් සිටිමි. වෙඩිල්ලේ උණුසුම යන්නටත් පෙර තීන්දු දෙන්නට තිබෙන හදිසිය මට නම් සැක සහිත ය.

සිදුවීම් හුදකලාව ගත නො හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මරා දැමීමට කොටි සංවිධානය කුමන්ත්‍රණය කළ බවට ඇති කතාවත් මේ වැරදුණු කුරුමානමත් හුදකලා සිදුවීම් නො වේ.

ඒවා පිළිබඳ කුමන්ත්‍රණ න්‍යාය ගොඩනගන සියල්ල දත් පුද්ගලයන් පවසන පරිදි ම මේවා පාලකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ කුමන්ත්‍රණ වන්නටත් පුළුවන. එසේම, ඊට වඩා බරපතල දේශපාලන ක්‍රියාමාර්ග මේ පසුපස තිබෙන්නටත් පුළුවන.

මෙවැනි තරමක් දුරට අරාජික වූ, වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන දේශපාලන වටපිටාවන් වනාහි අන්තවාදී බලවේග බලය වෙනුවෙන් කෙටි මාර්ග සොයා ත්‍රස්තවාදය වෙත යොමු වීමට ඉඩ තිබෙන වකවානු වේ.

1986දී ජවිපෙ සිය පළමු දේශපාලන ඝාතනය කළේ ය. එ් දයා පතිරණයි. මේ වන විට, එය ජවිපෙ විසින් කරන ලද ක්‍රියාවක් බවට සෑහෙන තරම් කරුණු ඉදිරිපත් වී තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් මුලින් ජවිපෙට චෝදනා එල්ල වන විටත් ඇතැමෙකු හැසිරුණේ වර්තමානයේදී ඇතැම් කුමන්ත්‍රණ න්‍යායධරයන් හැසිරෙන ආකාරයට ම ය. මුලින් ජවිපෙට චෝදනා එල්ල කිරීම සිනහවට ලක් කරන ලදී. ආණ්ඩුව එම ක්‍රියාව කළේ ජවිපෙ පිට වරද පටවා මර්දනය කිරීමට බව ද කියන ලදී. ජවිපෙ ඒ වෙනුවෙන් මාවිත්තර සරත් නම් මැරවරයකු සම්බන්ධ කරගෙන ගාමිණී ලොකුගේ ද පටලවා කතාවක් නිර්මානය කරන ලදී. ජවිපෙ උත්සාහ කළේ දයා පතිරණ මරා දැමුවේ එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේ බව කියන්නට ය.

මා ජවිපෙ ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලිකයකු ලෙස වැඩ කරද්දී මෙම ඝාතනය පිළිබඳ අභ්‍යන්තරයේ ප්‍රශ්න කළ විට අපට ද කරන ලද පැහැදිලි කිරීම වූයේ එම ප්‍රබන්ධයයි.

‍මෙහිදී තවත් සිදුවීමක් සිහිපත් වේ. 2007 වසර මුල හරියේදී කොළඹ නගරයේ තැන් තැන්වල සුළු පිපිරීම් කිහිපයක් ඇති විය. ප්‍රාථමික මට්ටමේ සන්නද්ධ ක්‍රියාවන් වූ මෙම පිපිරීම් සම්බන්ධයෙන් අපි ඒ දිනවල සැක කළෙමු. ඒ සැකය නිවැරදි විය. ඒ සැකය ඉක්මණින් ම දුරු වූ අතර, එම ක්‍රියාව දකුණේ සන්නද්ධ කණ්ඩායමක ආරම්භක කටයුත්තක් බව කෙටි කලකින්  හෙළිදරව් විය.

අප සන්නද්ධ අරගලවලට මූලධාර්මිකව විරුද්ධ නැත. එහෙත්, උපරිම වශයෙන් සන්නද්ධ වී සිටින රජයන් ඉදිරියේ ගල්කටස් සෙල්ලම්වල භයානකකම ගැන ලක්ෂ ගණනක් තරුණයන්ගේ හා වෙනත් මිනිසුන්ගේ ජීවිතවලින් අපි පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු. සෑම දෙයක් ම අලුතින් කර ඉගෙන ගන්නට යනවාට වඩා ඉතිහාසය කියවන එක පහසු ය.

මෙම සිද්ධිය එවැන්නක් යයි ඉඳුරා කියන්නට අපි නො දනිමු. එහෙත්, සන්නද්ධ දේශපාලනය පිළිබඳ අපේ ඉව නම් කියන්නේ මෙය සරළ සිද්ධියක් නො වන බවයි. බරපතල දේශපාලනික සිදුවීම් සමග විහිළු කිරීමේ පුරුද්දක් අපට නැත. වතුර කොරහේ කිඹුලන් දැකිය යුතු නැති මුත්, බිත්තරෙන් එළියට ආ ගමන් කිඹුල් පැටියකු වතුර කොරහේ වුණත් ඉන්නට පුළුවන. ඒ හූනකු යයි වරදවා වටහා නො ගන්නට අප පරිස්සම් විය යුතු ය. මන්ද, ආධුනිකයන්ගේ නිවැරදි ඉලක්කය මේවා විහිළු ලෙස සලකා සිනා සිසී සතුටින් සිටින අයකු විය හැකි ය.

එය රජය හෝ ව්‍යාපාරිකයන් හෝ වෙනත් අය විසින් හෝ දැනුවත්ව රඟදක්වන ලද ජවනිකාවක් නම්, එය ද බරපතල සිදුවීමකි.

මෙම සිදුවීම පිළිබඳ සිදු විය යුත්තේ දේශපාලන විමර්ශනයක් නො වේ. පොලිස් විමර්ශනයකි. පොලිසියේ, සන්නද්ධ හමුදාවල, රජයේ හා සිවිල් සමාජයේ සිටින රටට, ජනතාවට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතා විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. මේ සම්බන්ධ විවිධ ප්‍රකාශ කරන්නන් එසේ කරන්නේ ඇයි ද යන්න ද විමර්ශනය කළ යුතු ය. මෙය පාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ රඟදැක්වීමක් නම්, එය හෙළිදරව් කර, අදාළ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

එසේ නො වේ නම්, මෙම සිදුවීම කෙසේ සිදු වී ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. එවැනි ක්‍රියාවකට යමෙකු හෝ යම් පිරිසක් පෙළඹුණේ ඇයි ද යන්න සොයා බලා පිළියම් යෙදිය යුතු ය. එය සමාජ වගකීමකි. අප ඇති තරම් විනාශයන් දැක තිබේ. තවත් ඒවා දකින්නට තරම් අප අවාසනාවන්තයන් නො විය යුතු ය.

අජිත් පැරකුම් ජයසිංහ (මුල් ලිපිය මෙතැනින්)

Advertisements